කූඩු කළ කිරිල්ලිය - රිසානා කූඩු ද්වාරය හැර පියාපත් විදාලන්නට නීතියෙන් කරුණාව නොලද්දෙන් කඩු පහරට හිස දුන්නාය. අනන්ත අසංඛ්‍ය වතාවක් ගැහෙමින් වෙවුලමින් හඬමින් නොහඬමින් මරණයේ සීතල ෆර්දාව පුරා ලේ පාට තවරාලූ ඉරණම් රේන්දයක තීන්දුව අනේ රත්තරන් නුඹ කෙසේනම් පිළිගත්තා දැයි අසන්නට අද ඔබ මේ විසල් ලොව මා දන්නා තැනක නැතුවට රිසානා මරණයට පුළුවන්ද මතකය මරන්නට... මරණයට පුළුවන්ද ආදරය මරන්නට...
රිසානා... නොදැනීම සපැමිණෙන මරණයට වඩා දැනි දැනී හුස්ම ගන්නා තත්ත්පර හා යාවී සපැමිණෙන දින නියම මරණයේ සෙවණැල්ල... මරණයටත් වඩා කළුවරය.
ඒ වේදනාවෙහි ඇරඹුම හා තරම කවුරු දනිත්ද ඔබම හැර...
වරදට දඬුවම නියම කරන විනිසුරුවන්...
වරදට දඬුවම පමුණුවන වධකයන්...
වරදට දඬුවම පසිඳින නීතියක්...
එහෙත් වරදෙහි හෘද සාක්ෂිය සහ වරදට හේතුව නීති වගන්තියෙන් සේම මනුෂ්‍යත්වයේ වගන්තියෙන්ද නොවිමසන ලෝකයක රිසානා වැරදිකාරියක වූවාය.
අරාබිකරයේදී රිසානා හිස ගසා මරා දමන ලද්දේ ඇය විසින් රැකබලා ගනිමින් සිටි ළදරුවෙකු ඇගේ තුරුල්ලෙන් ගිලිහී ගොස් මිය යාමේ සංසිද්ධිය පාදකවය.
17 හැවිරිදි යුවතියක වූ රිසානාගේ කතාව (RIZANA – A CAGED BIRD) රිසානා - කූඩු කළ කිරිල්ලිය නමින් සිනමා රූපකාරකයට ප්‍රස්තුත කරගන්නේ සම්මානනීය සිනමාවේදී චන්ද්‍රන් රත්නම්ය.
කවුද චන්ද්‍රන් රත්නම්?
Stephen Spielberg, David Lean, Carol Reed, George Lucas, John Boorman සහ Regis Wargnier වැනි හොලිවුඩ් සිනමාවේ දැවැන්තයන් හා නිර්මාණකරණයේ යෙදුණු රත්නම් ජාත්‍යන්තර සිනමා නිර්මාණ සියයකට වැඩි සංඛ්‍යාවකට තම සිනමාමය දායකත්වය තිළිණ කළ ජනේලය, අලිමංකඩ, ආදර කතාව, පොරොන්දුව, A Comman man, Accoding to Mathew වැනි සිනමා වියමන් සිංහල සිනමාවට තෑගි කළ සිනමාමය ආදරවන්තයෙකි.
රිසානා - කූඩු කළ කිරිල්ලි RIZANA – A CAGED BIRD තිර රචනය ජේම්ස් රත්නම්ගේය.
රූපගත කිරීම් ඇරඹී කූඩු කළ කිරිල්ලියගේ චිත්‍රපට නාමය නිල වශයෙන් එළිදැක්වීමේ උත්සවය සිනමන් ග්‍රෑන්ඩ් හි පැවති දා ජේම්ස් රත්නම් මොනවද කීවේ?
රිසානාගේ කතාව අදටත් ලෝකය කම්පා කරවන කතාවක්. මානව හිමිකම් ගැන නැවත නැවත හිතන්න රිසානා ලෝකයට බල කරනවා. ඇගේ කතාව සිනමාව ඔස්සේ ප්‍රකාශයට පත් කිරීමෙන් අපි ඇයට ලබා දෙන්නෙ ගෞරවයක් සහ ඇය වෙනුවෙන් හඬක්. මම හිතන්නේ අපට ඇය අමතක කරන්න බැහැ.
Reversal of Fortune චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් හොඳම නළුවාට හිමි සම්මානය ඇතුළු තවත් සම්මාන රැසකින් සම්මානනීය වූ ඔස්කා සම්මානලාභී හොලිවුඩ් රංගන ශිල්පී ජෙරම් අයන්ස් (Jeremy Irons), රිසානා හා රංගන හුස්මකට ලංකාවට ආව ජෙරම් අයන්ස් අපට හමුවුණේත් Cinnoman Grand හිදී.
ජෙරම් අයන්ස් (Jeremy Irons) මොනවද කීවේ?
ශ්‍රී ලංකාවට පැමිණ මෙවැනි චිත්‍රපටයක රඟපෑම මට අලුත් අත්දැකීමක්. මම ඇත්තටම සතුටු වෙනවා ආසියාතික සිනමා කර්මාන්තයේ සාර්ථකත්වය හා රසාස්වාදය ගැන. රිසානාගේ කතාව හුඟාක් ඛේදජනක කතාවක්. මේ චිත්‍රපටයේ රංගනයට දායක වී මට කියන්න ඕනෑ මරණීය දණ්ඩනය කියන හද කම්පා කරවන දඬුවම ලෝකයේ තවදුරටත් සිදු නොවිය යුතු බවයි. සිනමාව තුළින් ඒ ප්‍රකාශනය කිරීමට මට අවශ්‍යයි.
මුද්‍රා නාට්‍ය ශිල්පිනියක ලෙස ක්ෂේත්‍රයට පැමිණ චිත්‍රපට රැසකට තම රංගන දායකත්වය ලබා දී ඇති සම්මානනීය නිළි වරලක්ෂ්මි සරත් කුමාර් (Varalaxmi Sarathkumar) කියන්නේ භාෂා හයක් කතා කරන අපූරු සුන්දර ඉන්දියානු නිළියක්.
වරලක්ෂ්මි සරත්කුමාර් (Varalaxmi Sarathkumar) රිසානා ගැන මොනවද කීවේ?
චන්ද්‍රන් රත්නම් අධ්‍යක්ෂවරයා යටතේ රඟපෑමත්, මා භක්තිමත් හැඟීමකින් සලකන ජෙරම් අයන්ස් සමඟ රඟපෑමට ලැබීමත් මට විශාල සතුටක්. රිසානාගේ කතාව මට මගේ හදවතටම දැනුණු කතාවක්. කාන්තා අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාකාරිනියක වශයෙන් ඒ කතාව විවිධාකාර ප්‍රවේශ ඔස්සේ මගේ හදවත ස්පර්ශ කළා කිව්වොත් නිවැරදියි.
RIZANA – A CAGED BIRD නිෂ්පාදන දායකත්වය දෙවුර දරන්නේ සුමති හෝල්ඩින්ග්ස් සභාපති ජගත් සුමතිපාලය.
ඉතින් අවසන මට විදුෂිකා රෙඩ්ඩි ගැන කියන්නට අවැසිමය...
රිසානා හා ආත්මීය හුස්මක් ගනිමින් විදුෂිකා අත්විඳිමින් හිඳින්නේ තම පළමු සිනමාමය අත්දැකීමය.
එහෙත් ඇගේ භාවාත්මක රංගනයේ මා දුටු සේයා අංශුමාත්‍රය විදුෂිකා කවුදැයි දෙන ඉඟිය සොඳුරු සුබවාදයකි. රඟන්නියන් සුලභ නිළියන් විරල ලාංකික සිනමා අවකාශයේ දැනෙන රුදුරු හිස්තැන්හි විදුෂිකාගේ සරනය සිදුවේනම් තවත් නිළියක් ලාංකික සිනමාවට තෑගි කිරීම වෙනුවෙන් චන්ද්‍රන්, ජේම්ස් ඇතුළු හැම දෙනාටම ස්තූතියි කිව යුතුමය.
රිසානා... ඔබ නැවත සපැමිණෙන තුරු...
රිසානා ඔබ නැවත අපේ හදවත් ස්පර්ශ කරන තුරු...
රිසානා සිනමාමය ප්‍රකාශයකින් ඔබ නැවත හුස්මක් ගන්න තුරු...
ඉතින් අපි පෙර මං බලා හිඳිමු.
• සංජීවිකා සමරතුංග