2025 ජුලි 05 වන සෙනසුරාදා

වැඩ කරන්න බැරිවෙලා නෙවෙයි බැරි කරලා තියෙනවා - Sudath Mahaadivulwewa

 2025 ජුලි 05 වන සෙනසුරාදා, ප.ව. 02:00 92

ආදරවේදයක හිතුවක්කාර රතු මුද්‍රාව My Red Comrade යැයි නම් ලද්දේය. කොන්දේසි විරහිත සිනමාමය ස්නේහයකින් හද දෑල ලේ නහරයක් නහරයක් පාසා දිලෙන ස්වර සර ආත්මීය හදගැස්මෙහි ප්‍රකාශනය බවට පරිවර්තනය කරගත් ඒ සිනමාමය ආලවන්තයා සිනමා ගුරු, සිනමා අධ්‍යක්ෂ ආදී භූමිකා හදවතින් අත්හැර මේ බරැති පුටුවෙහි හිඳගත් වග මම කිසිදු මොහොතක විශ්වාස නොකරමි. ඒ සිනමාමය හදගැස්ම ඒ පපුවෙහි හදගැස්මෙහි අවසන් තත්ත්පරය දක්වා රැඳෙන වග මට දැනෙන නිසාමය. නොඑසේනම් සුදත් මහදිවුල්වැව My Red Comrade හි අධ්‍යක්ෂවරයා හෝ අයිතිකාරයා වෙන්නට ඉඩක් නැත. රැය ද දවාල ද නොසිතමින් නොතකමින් ලාංකික සිනමාව හා වෙහෙසකර දැඟලිල්ලකට ජීවිතය යා කරමින් ලාංකික සිනමාව වෙනුවෙන් අප්‍රමාණ වගකීම් සමුදායක් දෙවුර දරාගෙන අන්ධකාර මාවතක නොනිවෙන පහන් දල්වා තබන්නට පුදුමාකාර කැපකිරීමක නිරත ඒ අප්‍රමාණ මිනිසාට සිනමාමය රතු පලසක දිලිසෙන දෙපයින් ඇවිද යන්නට තත්ත්පර උදා විය යුතුමය. මක් නිසාද යත් ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සුදත් මහදිවුල්වැව යනු තනතුර තනතුරට පමණක් සීමා නොකළ සිනමාමය ආලවන්තයෙක් වන නිසාමය.

ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති - තනතුර තනතුර හා යා වුණු වගකීම් ඔබට දැනෙන්නෙ කොහොමද?

මගේ ජීවිතයේ හීන අතර සිනමාව හා යා වූ හීන බලාපොරොත්තු ප්‍රාර්ථනා අතර කවදාවත් ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා වීමේ හීනයක් මට තිබුණෙ නෑ. මේ පුටුව මේ පුටුවේ වගකීම මගේ හීනයක් නෙවෙයි. ඒත් මේ පුටුවෙහි වගකීම දෙවුර දරන්න ගෞරවපූර්වකව මට ඇරියුම් ලැබෙද්දි මම ඒ ඇරියුම බාරගත්තා. මම බාරගත්තේ හරිම සංකීර්ණ, වෙහෙසකර වගකීමක් කියන්න මට දැනිලා ඉවරයි. ඒත් මම මේ තනතුර බාරගත්තේ තනතුර කෙරෙහි ආසාවක් ලෝභකමක් නිසා නෙවෙයි. සිනමාව කෙරේ මගේ තියෙන ආදරය සහ සිනමාව වෙනුවෙන් දැනෙන යමක් කරන්න මට තියෙන තදබල අවශ්‍යතාව හින්දා. මට මේක රැකියාවක් නෙවෙයි, වගකීමක් සේවාවක්. මම මගේ සභාපතිකම දවසේ පැය අටක හෝ නවයක සේවා කාලයට සීමා කළ සභාපතිවරයෙක් නෙවෙයි. උදේම මම මෙතෙන්ට එනවා. සමහර විට රෑ වෙනකම් මම මෙතන. මට ගෙදර යන්න නිශ්චිත වෙලාවක් නෑ. ගෙදර යන්නෙ හැම දවසකම මම කළ යුතු සහ මට කළ හැකි සියලු කාර්යයන් අහවර වුණාට පස්සේ. ඇත්තටම මේ සභාපතිකම මට තනතුරක්වත් ආභරණයක්වත් නෙවෙයි. මම එය සලකන්නෙ සිනමාව වෙනුවෙන් මට උපරිම මෙහෙවරක් කරන්න ලැබුණු අවස්ථාවක් විදිහටයි. ඒත් ප්‍රශ්නය තියෙන්නෙ ඒ මෙහෙවර මගේ හිතේ හැටියට කරන්න, ඒ මෙහෙවර වෙනුවෙන් මගේ දැඟලිල්ලේ හැටියට දඟලන්න, මගේ වටේ මට දැනෙන මටම හරියන අය මට අවශ්‍ය තරමට නොමැති වීම.

මට කියන්න ඔබ එහෙම කියන්නෙ ඇයි?

චිත්‍රපට සංස්ථාවේ වැඩ කරන යම් කවුරුන් හෝ කෙනෙක් මේක රස්සාවක් විතරක් විදිහට හිතන තාක් සිනමාව කර්මාන්තයක් විදිහට ගොඩනගන්න සහ ජීවිතය පහුරු ගාන සිනමාවක් මේ රටේ ඇති කරන්න දෙන්න පුළුවන් සක්‍රිය දායකත්වය දෙන්න අමාරුයි. මම චිත්‍රපට පිස්සෙක්. අඩුම තරමේ මාසෙකට එක චිත්‍රපටයක්වත් බලන්නෙ නැති මිනිහෙක් මේකෙ ඉන්නවනම් ඒ මිනිහට කොහොමද සිනමාව ගැන ආදරයක් කැක්කුමක් උවමනාවක් දැනෙන්නේ. මේ පුටුවේ ඉඳගත්ත දවසෙ ඉඳන් මම සිනමාව වෙනුවෙන් මගේ මෙහෙවර ඉටුකරන දැඟලිල්ල මම පටන් ගත්තා. මම එක තත්ත්පරයක්වත් නාස්ති කළේ නෑ. අලුත් සැලසුම් රාශියක් මම සම්පාදනය කළා. ඒ වෙනුවෙන් හැකි තරම් සාකච්ඡා පැවැත්වුවා. ඒත් අද වනතුරු මාස හයක් පුරා ඒවගෙන් සියයට විස්සක් විතර තමයි කරගන්න ලැබුණේ. සියයට අසූවක් විතර කරගන්න බැරිවෙලා තියෙනවා.

සභාපතිතුමනි... බැරිවෙලා තියෙනවද? බැරි කරලා තියෙනවද?

ඔව් ඇත්තටම බැරිවෙලා නෙවෙයි, බැරි කරලා තියෙනවා.

කවුද බැරි කරලා තියෙන්නේ?

ආණ්ඩුවක් වෙනස් වුණාට ඒ ආණ්ඩු වෙනස් වුණු වේගයට ආයතන ඇතුළෙ ඉන්න මිනිස්සුන්ගේ චින්තනය හා දැක්ම වෙනස් වෙලා නෑ. ජරාජීර්ණ වෙච්ච හොරකම, වංචාව, ආත්මාර්ථය සහ වැඩවසම්වාදී චින්තනය කරපින්නා ගත් සමාජයක ජීවත් වෙච්ච මිනිස්සු ආණ්ඩුවක් වෙනස් වූ සැණින් පරිවර්තනයන්ට ලක්වෙයි කියලා අපේක්ෂා කරන්නත් බෑ. චක්‍රලේඛ, අණ පනත් අස්සේ හිර කරපු සමහර තැන්වලින් ගැලවෙන්න උවමනාව තිබුණත් ගැලවෙන්නත් අමාරුයි. කොන්ද පණ තියෙන, කෙළින් තීරණ ගන්න පුළුවන් බලධාරීන් එක තැනක විතරක් ඉඳලා මදි. හැම තැනකටම එවන් බලධාරීන් අවශ්‍යයි. තමන්ගේ රැකියාව රැකියාවේ රාමුකරණය තුළට විතරක් පටු නොකර නිදහස් නිර්මාණශීලී චින්තනයකින් වැඩ කරන මිනිස්සු මේ රටට අනිවාර්‌යෙන්ම අවශ්‍යයි. එහෙම නොවුණු ගෝත්‍රිකවාදයන් තුළ සමහර දේවල් බැරි කරලා තියෙනවා. වැටත් නියරත් ගොයම් කානම් කාට පවසම්... ඒ අමාරුව කියලා අහන්න වෙන තැන් තියෙනවා. සිනමාව වෙනුවෙන් බොහෝ දේවල් කරන්න මගේ දැඟලිල්ලට අවශ්‍ය දැඟලිල්ලක් ඇති තැන් හමුවෙනවා හරි අඩුයි.

තනතුර තුළ ඔබට ලොකු බලයක් සහ අවකාශයක් තියෙනවා?

ඔව් මට ලොකු බලයක් සහ අවකාශයක් තියෙනවා.

ඒත් ඔබ කතා කරන්නේ යම් කලකිරීමකින්?

ඔව්...

ඇයි ඒ... මම අහන්නේ හේතු?

මම කලිනුත් කීවා මම වගේ චිත්‍රපට පිස්සෙකුට අඩුම තරමේ මාසෙකට එකක්වත් චිත්‍රපට බලන්නෙ නැති අයත් එක්කත් සිනමාව වෙනුවෙන් වැඩ කරන්න වෙලා තියෙනවා. අනන්ත වාරයක් මට හිතිලා තියෙනවා, මම මෙතන ඉන්න ඕනෑද කියලා. ඒ තරම් කලකිරීමක් දැනෙන දේවල් මම අත්වින්දා. මම පෞද්ගලික අංශයේ වැඩ කරලා තියෙනවා. දැවැන්ත පරිමාණයේ රූපගත කිරීම් මම කරලා තියෙනවා. ඒ වැඩවලදි මම රැස්වීමක් තියලා කීවොත් මට හෙට උදේ වෙද්දි අශ්වයන් සීයක් ඕනෑ කියලා හෙට උදේ වෙද්දි ඒ අශ්වයන් සීයම මම කියපු විදිහට ඉන්නවා. ඒත් දැන් චිත්‍රපට සංස්ථාවේ සභාපතිතුමා විදිහට අද රැස්වීමක් තියලා මට හෙට උදේ වෙද්දි අශ්වයන් සීයක් ඕනෑ කීවොත් අශ්වයෙක් තියා එක බූරුවෙක්වත් නෑ. කතා කරනවා විතරයි. කතා කරන දේවල් කරන්න බැරි විදිහට ඇතැම් අණ පනත්වලින් හිර කරලා තියෙනවා. හුඟාක් තැන්වලදි මිනිස්සු චින්තනයෙන් දැක්මෙන් සහ සිනමාමය උන්මාදයෙන් දුප්පත්. ඒක හරි ඍණාත්මක දෙයක්. මේ මාස ගණන පුරා ගෙවුණු හැම දවසක් අවසානයේම නැවත නැවතත් මම මගෙන්ම අහගන්න ප්‍රශ්නයක් තියෙනවා, මම මේ දඟලන දැඟලිල්ලෙන් ඇත්තටම ප්‍රතිඵල තියෙයිද? මේ කාලය මම යළි චිත්‍රපටයක් කරන්න, මගේ පවුලේ අය එක්ක ගෙවන්න, කෝපි කෝප්පයක් නිදහසේ බොමින් මගේ යාළුවෙක් එක්ක චිත්‍රපටයක් ගැන කතා කරන්න, මගේ දැනුම තවත් පරපුරකට බෙදා දෙන්න වෙන් කළොත් හොඳ නැද්ද කියන ප්‍රශ්නය මම මගෙන්ම අහලා තියෙනවා. ලෝකයේ පළමු සිනමා හල බිහිවුණේ රුසියාවේ. වී.අයි. ලෙනින් ඒ සිනමා පාසලේ වගකීම පවරන්නේ තමන්ගේ බිරිඳට. ඒ ඇය තමන්ගේ බිරිඳ වීම නිසා නෙවෙයි. කලාව, සිනමාව ගැන ඇයගේ තිබුණු ආදරය සහ ඇගේ රසවත් ධනාත්මක පරිකල්පනයේ තරම ලෙනින් අඳුරගත්ත නිසා. ඇත්තටම සිනමාව කියන්නේ මිනිසා පරිවර්තනයට ලක් කරන ප්‍රබල දෘශ්‍ය මාධ්‍යයක්. එහි වටිනාකම තේරුම් නොගැනීම, නොගන්නා පිරිසක් සමඟ කටයුතු කරන්න සිදුවීම ජාතියක දේශයක අභාග්‍යයක් විදිහටයි මම දකින්නේ.

ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා ලෙස වගකීම බාරගත් දිනයේ පටන් ඔබ දීප්තිමත් සිනමාවක් වෙනුවෙන් බොහෝ දේ සැලසුම් කළා. මේ මොහොතේත් ඔබ සැලසුම් කරමින් සිටිනවා යැයි මට හිතෙන තරමට ඔබ සක්‍රිය මිනිසෙක්. මට කියන්න ඒ සැලසුම්?

ඔව් බොහෝ දේ සැලසුම් කළා. උසස් පෙළ විෂය ධාරාවට සිනමාව කියන විෂය ඇතුළත් කරන්න, පාසල්වල සිනමා සංගම් ඇති කරන්න, “මිනි තියටර්” නිර්මාණය කරන්න, “මිනි තියටර්” නිර්මාණය කරන්න කතා කරලා සති දෙකක් ඇතුළත මම එහි නිර්මාණ ආකෘති පවා නිර්මාණය කළා. ජාතික චිත්‍රපට සංස්ථාව භූමිය ‘ලෑන්ඩ්ස්කේප්’ කරලා එය කැලයක ආකාරයේ භූමියක් බවට පත් කරන්න, එවිට එම භූමිය සිනමා දර්ශන තලවලට පවා උචිත ලෙස භාවිත කරන්න පුළුවන්. සිනමා පාසලක් හදන්න, විදේශීය සිනමාවේදීන් මෙරටට ගෙන්වා ඔවුන්ගේ දැනුම සිනමා විද්‍යාර්ථින් වෙත බෙදා දෙන්න, විදේශීය සිනමා උළෙලක් පවත්වන්න, දක්ෂ තරුණ පරම්පරාවේ පස්දෙනකුට සිනමා නිර්මාණ කිරීමට අනුග්‍රාහක ප්‍රතිපාදන ලබා දීමට කටයුතු කිරීම ඇතුළු සැලසුම් රැසක් මට තියෙනවා. අඩුම තරමේ මේ මන්දගාමී ව්‍යුහයන් තුළ ඒ සියල්ල සක්‍රිය කරන්න සහ සජීවීකරණය කරන්න මට ඉඩ නැතිවුණොත් එයින් සියයට පනහක් හෝ කරලා යන්න මට පුළුවන් වුණොත් කියන ධනාත්මක සිතුවිල්ල මම තවමත් හිතින් අතහැරලා නෑ.

තනතුරෙහි වගකීම බාරගත් දවසේ පටන් ඔබ තෘප්තිමත් වූ එක් දවසක් හෝ තියෙනවාද?

මෑත කාලයේ මම හරි සතුටක් අත්වින්දා. කොළඹ පාසල් දහයක තෝරාගත් දරුවන් පිරිසක් ගෙන්වලා රසවින්දනය පිළිබඳ වැඩමුළුවක් පවත්වලා පාසල්වල සිනමා සංගම් ඇතිකිරීමේ කටයුත්තට අපි මූලික අඩිතාලම දැම්මා. එදා ඒ දරුවෝ පිරිසක් ඒක ඉවරවෙලත් මේ භූමියේම රැඳී ඉන්නවා මාව හමුවෙන බලාපොරොත්තුවෙන් කියලා කෙනෙක් මට කීවා. මම ඒ දරුවන්ට නැවත කතා කළා. ඒ දරුවන් තුළ තිබුණේ පුදුම උද්‍යෝගයක්. ධනාත්මක හැඟීමක්. ඊළඟ පරම්පරාවේ සිනමාවට මේ තරම් ආදරය කරන දරුවොත් ඉන්නවා නේද කියන සංතෘප්තිය මම එදා හුඟාක් අත්වින්දා.

ලංකාවේ බහුතරයක් තිර රචකයන් සහ චිත්‍රපට අධ්‍යක්ෂවරුන් සිනමාමය ප්‍රස්තුතමය අතින් හරි දුප්පත් කියන හැඟීම අපට දනවන සහ දැනෙන චිත්‍රපට  නිර්මාණයවීමේ සම්භාවිතාවය වැඩි වගක් දැනෙනවා. ඇයි එහෙම වෙලා තියෙන්නෙ කියලා ඇහුවොත් මොකක්ද ඔබ මට දෙන උත්තරය?

තිර රචනයක් ලිවීම හෝ අධ්‍යක්ෂණ වෘත්තියක් හෝ රැකියාවක් විතරක් කරගත්තොත් ඒක එහෙමම තමයි. චිත්‍රපට ජීවිතයේම කෑල්ලක් බවට පත් කරගන්න. චිත්‍රපටයකට පුළුවන් ජීවිතය ගැන අවබෝධයක් ලබා දෙන්න. ජීවිතය පහුරු ගාන්න සිනමාවට පුළුවන්. චිත්‍රපටයක් කියන්නේ ආත්මීය ප්‍රකාශනයක්. Author සිනමා කියන ශානරය ගත්තම අධ්‍යක්ෂවරයාට පුළුවන් තමන්ගේ හැඟීම්, තමන්ට දැනෙන දේ තමන්ගේ ළඟ ඉන්න අයට වගේම ඕනෑම දුරක ඉන්න අයටත් දැනෙන්න කෑගහලා කියන්න. එවන් අධ්‍යක්ෂවරයෙක්ගේ හඬ ඒ ප්‍රේක්ෂකාගාරය තේරුම් ගන්නවා. විශ්වාස කරනවා. චිත්‍රපටයක් කියන්නෙ බලන්න හදන දෙයක් නෙවෙයි. දැනෙන්න හදන දෙයක්. චිත්‍රපටය ඉපදෙන්නෙ එය ප්‍රේක්ෂකයාට දැනෙන තැනදි. චිත්‍රපටය තේරෙනවා කියන එක නෙවෙයි නිවැරදි දේ දැනෙනවා කියන එක. සිනමාමය භාෂාව කියන්නේ අමුතු භාෂාවක්. චිත්‍රපටය තේරුණේ නැතත් එය දැනෙන්න ඕනෑ. ප්‍රස්තුතමය අතින් දුප්පත් වෙන්නේත් ඒ ශක්‍යතාවන් ගිලිහෙන තැනදි.

දැනෙන චිත්‍රපට දැනෙන තරමට හැදෙනවද ලංකාවේ?

උත්තරය හරිම කලාතුරකින් හරිම අඩුවෙන් කියන එක. ‘හවුස් ෆුල්’ වුණු පමණින් චිත්‍රපටයක් දැනෙන චිත්‍රපටයක් වෙන්නෙ නෑ. ජීවිතය පහුරු ගාන චිත්‍රපට හදන්නත් බෑ හැමෝටම. සියුම් නිරීක්ෂකයෙක්ට විතරයි පුළුවන් ලෝකයම ස්පර්ශ කරමින් ලෝකයම සිඹිමින් එහෙම චිත්‍රපට හදන්න. එහෙම චිත්‍රපටයක් කොච්චර දැනෙනවද කියන්නෙ, කන් දෙකට ඇහෙන්නෙ අමුතු දෙයක්, ඇස් දෙකට පේන්නෙ අමුතු දෙයක්, පපුවට දැනෙන්නේ අමුතු හදගැස්මක්. එදා රෑටත් මතක් වෙන්නෙ ඒ චිත්‍රපටය. ඒ චිත්‍රපටය හා හුදෙකලා සංවාදයකට අපට කැටුව යන්න ඒ චිත්‍රපටයට පුළුවන්. මම නැවත නැවතත් කියන්නෙ දැනෙන  චිත්‍රපට හදන්න. මිනිසුන් පරිවර්තනය කරන සිනමාවක් ගේන්න.

එකදිගට චිත්‍රපට මුදාහරින ප්‍රවණතාවක් අපි දකිනවා. එහෙම මුදාහැරි පමණින් චිත්‍රපට බලන්න ප්‍රේක්ෂකාගාරයක් නිර්මාණය වෙයිද? මිනිසුන්ට ආර්ථික ශක්තියක් තියෙයිද චිත්‍රපට ඒ විදිහට බලන්න?

සාදයකට, විනෝද ගමනක් යන්න වියදම් කරන මුදල් හරි වියදම් කරලා හොඳ සිනමා පට එනවනම් මිනිස්සු බලයි. මිනිස්සු දැන් චිත්‍රපට ඉස්සරට වඩා බලනවා කියලා මට දැනෙන ප්‍රවණතාවක් තියෙනවා.

චිත්‍රපට නිෂ්පාදකවරු රැකගන්න, නිෂ්පාදන දායකත්වය තුළ ඔවුන් බංකොලොත් වීම හෝ ඔවුන්ට සිනමාව යන වචනයත් එපා වීම වැළැක්වීමට හෝ අවම කිරීමට වැඩපිළිවෙළක් ඔබ හිතලා තියෙනවාද?

හිතමින් යනවා. සැලසුම් කරමින් යනවා. ප්‍රමිතියෙන් බාල චිත්‍රපටත් මුදා නොහැරි චිත්‍රපට පෝලිමේ තියෙනවා. ඒ වෙනුවෙනුත් මොනවද මට කරන්න පුළුවන් කියන එක මම හිතනවා. පුළුවන් තරම් මැණික් කැට තෝරා තෝරා මම එළියට ගන්නවා.

නැවත සිනමා අධ්‍යක්ෂවරයා යන භූමිකාවට අවතීර්ණ වීමට ඔය සභාපතිකම බාධාවක්ද සභාපතිතුමනි?

මේ පුටුවෙ ඉඳන් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන හා පසුබිම තියෙනවාද කියන එක ගැන මම හොයනවා. අධ්‍යක්ෂණය ගැන මගේ පිපාසය, මගේ හීන මට අත්හරින්න බෑ. ඒ හීනවලට මම ආදරෙයි.

නිවැරදි සාධාරණ සහ යුක්තිගරුක සිනමා සම්මාන උළෙලක් ඔබේ සභාපතිත්වය තුළ අපට අත්විඳින්න පුළුවන්ද?

අනිවාර්‌යෙන්ම ඔව්. නිවැරදි කිරීම් ගණනාවක් සිදු කරමින් සාධාරණ ඇගයීම් ලබා දිය යුතුම වෙනවා. එතනදි ජූරියට අපි පත් කරන්නෙ කවුද කියන එක හරිම තීරණාත්මක සාධකයක්. සිනමා විචාර ලියූ පමණින් සහ සිනමාව ගැන න්‍යායාත්මක දැනුම තිබූ පමණින් පුද්ගලයන් ජූරියකට පත් කිරීම පුදුම අසාධාරණයක් සහ සිදු නොවිය යුතු දෙයක්. සාහිත්‍ය‌වේදීන් ජූරි සභිකයන් නොකළ යුතු තැන් තියෙනවා. කැමරාව ගැන, කැමරාවේ තාක්ෂණික කාර්යභාරය ගැන දන්නෙ නැති ජූරියක් කොහොමද හොඳම කැමරා අධ්‍යක්ෂවරයා තෝරන්නේ? ඒ එක් නිදර්ශනයක් පමණයි.

පසුගිය දිනෙක පැවති 36වැනි සරසවි සිනමා සම්මාන උළෙල ගැන ඔබේ ඍජු නිර්දේශය, ප්‍රතිචාරය හෝ අදහස මට කියන්න?

චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා විදිහට සරසවි සිනමා සම්මාන උළෙලේ නිර්දේශ ගැන මට කියන්න බැරිවුණාට සුදත් මහදිවුල්වැව විදිහට මට පුළුවන් ඒ ගැන කියන්න. සියලු දෙනා තෘප්තිමත් වන තීරණ, නිර්දේශ, ඇගයීම් සම්මාන උළෙලකදි දෙන්න බැරිවුණත් වැඩි දෙනාට එකඟ විය හැකි සාධාරණ යුක්තිසහගත ඇගයීම්, ජූරියේ තීරණ ලබා දිය යුතුමයි. එතෙන්දි වරද අන් පාර්ශ්ව වෙත පවරමින් අත හෝදාගන්න කාටවත් බෑ. ඒක සරල කාරණයක් නෙවෙයි. මම අධ්‍යක්ෂණය කළ My Red comrade චිත්‍රපටය සිනමා සම්මාන උළෙලට නිර්දේශ නොවීම ගැන මම කල්පනා කරනවා, චරිත දෙකක් අරගෙන එක කාමරයක් තුළ දින හතරක් තුළ මම චිත්‍රපටයන් කරන්න ගත්ත උත්සාහය කියන්නෙ කිසිම වටිනාකමක් නැති දෙයක්ද එය යල්පැන ගිය ආකෘතියක්ද කියලා.

ඔබ... චිත්‍රපට සංස්ථාවේ සභාපති ධුරයට පත්වීම මම දන්නවා ඇත්තටම සිනමාවට ආදරය කරන බොහෝ පාර්ශ්වයන්ගේ සුවිසල් බලාපොරොත්තුවක් අපේක්ෂාවක් බවට පත් වුණා. ඉතින් මම විශ්වාස කරනවා තවත් දිගු කලක් ඉක්ම යනතුරු ඔබට සභාපතිත්වය අත්හරින්න බෑ, එය එසේ නොවිය යුතුයි කියලා?

බිත්ති ගලවලා දීප්තිමත් ආලෝක ධාරාවන් ගලා එන ජනේලයක් සවි කරන්න තවමත් ධනාත්මක සිතුවිල්ලක් තුළ මම උත්සාහ කරමින් ඉන්නවා. එක්කො මම යයි. නැත්නම් මේ ඔක්කොම බුල්ඩෝසර් කරලා ආයෙත් මම හදයි. මොකද ජීවිතයේ මධ්‍ය ලක්ෂය පසු කළාට පසු සතුටින් ඉන්න ඕනෑ වග මම විශ්වාස කරනවා. මම ඕනෑම වෙහෙසක් දරන්න පුළුවන්. එහි අවසන් ප්‍රතිඵලය සතුටක් නම්.

• සංජීවිකා සමරතුංග
• අන්තර්ජාලයෙනි