2025 ජුලි 19 වන සෙනසුරාදා

අඳිනවා නෙවෙයි බං අන්දනවා...

 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00 53

ඔන්න මචෝ Y Trend එකෙන් අද අරන් ආවා fashion ලෝකයේ දැන් නැගලා යන සුපිරිම සීන් කෝන් එකක් ගැන කතාවක්! මේ කතා කරන්න යන්නේ 3D මුද්‍රණය (3D Printing) කියන තාක්ෂණය විලාසිතා ලෝකයට රිංගපු විදිහ. මේක චුට්ටක් අමුතු වගේ දැනුණට වැඩේ ඇතුළේ වෙනම ආතල් එකක් තියෙනවා සුදෝ. මේකත් fashion ලෝකයේ Game Changer සීන් එකක්! ඇත්තටම Trending සීන් එකක්.

ඒ කාලේ සුදෝ සාමාන්‍යයෙන් ඇඳුමක් මහන්න රෙදි කපලා, මහන මැෂින් එකක් පාවිච්චි කරලා පට්ට ගේමක් ගැහුවා. හැබැයි මේ අලු‍ත්ම සීන් එකේදී එහෙම දෙයක් නෑ. මේකෙදි වෙන්නේ පරිගණකයෙන් හදපු නිර්මාණයක්, 3D මුද්‍රණ යන්ත්‍රයක් ඇතුළට දාලා අදාළ අමුද්‍රව්‍ය ටික එහෙම දාලා බොත්තමක් ඔබන එක විතරයි. ඇඳුම් විතරක් නෙවෙයි, විලාසිතාවලට අදාළ ආභරණ ඇතුළු ගොඩක් ආයිත්තම් මේ තාක්ෂණය ඔස්සේ දැන් දැන් නිෂ්පාදනය කරන්න පටන් අරගෙන තියෙනවා.
මේවා ඇත්තටම අඳින්න පළඳින්න පුළුවන් අපූරු දේවල්. හැබැයි පෙනුම සාමාන්‍ය රෙදි ඇඳුමකට වඩා හරිම වෙනස්. ටිකක් අමුතුයි. හැබැයි මේ තමයි අනාගත ලෝකයේ Trend වෙන ප්‍රමුඛම විලාසිතා තාක්ෂණය. මේ සීන් කෝන් එක වේගයෙන් දියුණු වෙමින් තියෙන්නෙ. මේ සීන් එක විලාසිතා ලෝකයට ආපු විදිහෙන්ම අපි කතාව පටන් ගමු.

මේ 3D මුද්‍රණ සීන් එක ඇඳුම්වලට ආවේ අද ඊයේ නෙවෙයි මචෝ. මේක මුලින්ම පටන් ගත්තේ මෝටර් රථ කර්මාන්තය වගේ ඉංජිනේරු ක්ෂේත්‍රයේ වැඩවලදී. මුල් කාලේ විවිධ නිෂ්පාදනවල අමතර කොටස් හදන්න, නැත්නම් ආදර්ශ (prototypes) හදන්න තමයි 3D මුද්‍රණ යන්ත්‍ර පාවිච්චි කළේ. ඒත් ඒ සීන් එක මුල් කාලේ හරිම විශාල, මිල අධික වැඩක් බවට පත් වුණා. ඒත් පස්සේ තාක්ෂණය දියුණු වෙද්දී, යන්ත්‍ර කුඩා වුණා. වියදම් අඩු වුණා. මේ තාක්ෂණය අනික් දේවල් වගේම නිෂ්පාදන ක්ෂේත්‍රයේ දේවල් සඳහාත් භාවිත කරන්න පෙළඹවීම ඇතිවුණේ මේ තත්ත්වයත් එක්ක.

2010 න් වගේ පස්සේ තමයි විලාසිතා නිර්මාණකරුවෝ මේ තාක්ෂණයේ තියෙන හැකියාවන් ගැන හිතන්න පටන් ගත්තේ. එයාලට හිතුණා සාමාන්‍ය රෙදිවලින් කරන්න බැරි අමුතුම නිර්මාණ මේකෙන් කරන්න පුළුවන් කියලා. අන්න එතැනින් තමයි මේ සීන් එක විලාසිතා ලෝකයට රිංගුවේ.

දැන් බලමු ඇයි මේ සීන් එක Trend එකක් බවට පත්වුණේ කියලා. මචෝ ඕකට උත්තරේ සරලයි. මේ Trend එක මෙච්චරම ජනප්‍රිය වෙන්න හේතු කිහිපයක් තියෙනවා. පළවෙනි හේතුව තමයි customize කරන්න තියෙන හැකියාව. ඒ කියන්නෙ ඔයාට ඕනෑම විදිහේ ඇඳුමක්, ඔයාගේ ශරීරයට හරියටම ගැලපෙන විදිහට හදාගන්න පුළුවන් වීම. ඒක හරියටම tailor-made ඇඳුමක් වගේ ගොඩදාගන්න පුළුවන්කම ලැබීමක්.

ඊළඟ සීන් කෝන් එක මේ වැඩේ ඇතුළෙ තියෙන අමුතුම නිර්මාණශීලිත්වය. සාමාන්‍ය රෙදිවලින් කරන්න බැරි අමුතුම හැඩතල වගේම Patterns මේකෙන් හදන්න පුළුවන්. ඔයාලට මේ විදිහට හදලා තියෙන ඇඳුම් දෙක තුනක් දිහා බැලු‍වම සීන් කෝන් එක පැහැදිලි වෙයි. මේකෙන් නිර්මාණකරුවන්ට අමුතුම නිදහසක් ලැබෙනවා. ඊළඟට වැදගත්ම දේ තමයි පරිසර හිතකාමී බව. මේ වැඩේදී රෙදි කපලා අපතේ යන්නේ නැහැ. ඕනෑ කරන ද්‍රව්‍ය විතරක්ම පාවිච්චි කරලා ඇඳුම හදන්න පුළුවන්. ඒකෙන් පරිසරයට වෙන හානිය අඩු වෙනවා.

දැන් සුදාලට ප්‍රශ්නයක් ඇති මේක සිද්ධ කරන්නේ කොහොමද කියන එක ගැන. අපි දන්නවා සාමාන්‍ය ඇඳුම් ආයිත්තම් හදන්න භාවිත කරන්නේ මොන වගේ අමුද්‍රව්‍යද කියලා. ඒත් මේ සීන් කෝන් එකේදී ඒ ගැන එච්චර පැහැදිලි බවක් අපිට නැහැ. දැනට තියෙන විස්තර අනුව 3D මුද්‍රිත ඇඳුම් හදන්න ප්‍රධාන වශයෙන්ම පාවිච්චි කරන්නේ විශේෂ ප්ලාස්ටික් වර්ග (polymers) තමයි. මේවා සාමාන්‍යයෙන් "filament" නැත්නම් "powder" කියන ආකාර දෙකෙන් තමයි මුද්‍රණ යන්ත්‍රයට දාන්නේ. මේ වැඩේ සිද්ධ කරන විදිහ ගැන තවත් විස්තර ඕනෑ නම් සුදාලට අන්තර්ජාලයෙන් හොයලා දැනගන්න පුළුවන්.

හරි සුදෝ, වැඩේ තේරුණානේ! දැන් අපි බලමු මේ ලෝකයේ ප්‍රසිද්ධ වෙලා ඉන්න 3D මුද්‍රණ ඇඳුම් නිර්මාණකරුවන් සහ සමාගම් කිහිපයක් කවුද කියලා. අයිරිස් වෑන් හර්පන් (Iris van Herpen) තමයි මේ ලෝකයේ ඉන්න ප්‍රසිද්ධම 3D මුද්‍රණ නිර්මාණකාරිය. ඇයගේ ඇඳුම්වල තියෙනවා වෙනම කලාවක්. සිරාවටම කිව්වොත් අපිට නම් හරිම අමුතුයි. ඒත් ඇය නිර්මාණය කරන මේ ඇඳුම් බොහෝ වෙලාවට ප්‍රසිද්ධ හොලිවුඩ් නිළියොත් අඳිනවා.

ඊළඟට ඉන්නවා තවත් කෙනෙක්. එයාගේ නම ඩැනිට් පීලෙග් (Danit Peleg). මේ නිර්මාණකාරිය 3D මුද්‍රණයෙන් හදපු ඇඳුම් සහ ජැකට් විකුණනවා. ඇය ඇත්තටම අඳින්න පුළුවන්, සැහැල්ලු‍ ඇඳුම් හදන්න මේ තාක්ෂණය පාවිච්චි කරනවා. මෙයා මේ සම්බන්ධව ගැඹුරින් ඉගෙන ගත්ත කෙනෙක්. යුරෝපයේ තාක්ෂණය සම්බන්ධ බලවත් කාන්තා චරිත පනහ අතරට මේ නිර්මාණ ශිල්පිනියගේ නම එකතුවෙලා තිබීමෙන් ඒ කාරණාව තවත් පැහැදිලි වෙනවා.

ඊළඟට ඕගොල්ලෝ දන්න තව සමාගමක් මේ සීන් එකේ ඉන්නවා. ඔයාලා දන්නවනේ අඩීඩාස් (Adidas) සමාගම. ඒ ගැන නොදන්න කෙනෙක් අපි අතර නෑ. ඇත්තටම මචෝ Adidas සමාගම Futurecraft කියන වැඩසටහන යටතේ 3D මුද්‍රණයෙන් හදපු සපත්තු විකුණනවා. මේ සපත්තුවල යටිපතුල් (soles) 3D print කරලා හදලා තියෙන්නේ. ඒවා හරිම සැහැල්ලු‍යි. ඒවා පළඳින අය නම් කියන්නේ හරිම සුව පහසුයි කියලා. ආභරණ ආයිත්තම් නිෂ්පාදනය කරන සමාගම්, පුද්ගලයෝ ඕනෑ තරම් ඉන්නවා. ඉතින් මචෝ වැඩි විස්තර හොයාගන්න කැමති නම් Google දෙයියන්ගෙන් අහලා දැනගන්න.

වස්තුලාට අපි හැමදාම කියන විදිහට හැම දේකම දෙපැත්තක් තියෙනවා. ඉතින් දැන් අපි බලමු මේකෙන් අපිට වෙන හොඳ සහ නරක මොනවද කියලා. අපි මුලින්ම බලමු මේකේ තියෙන වාසි මොනවද කියලා. සරලම දේ තමා සාමාන්‍ය මහන මැෂින්වලට කරන්න බැරි සංකීර්ණ නිර්මාණ මේකෙන් කරන්න පුළුවන් වීම. ඊළඟට සාමාන්‍ය එක ඇඳුමක් හදන්න දවස් ගණන් මාස ගණන් මහන්සි වෙන්න නිර්මාණකරුවකුට සිද්ධ වෙනවා. ඒත් 3D මුද්‍රණයෙන් පැය කිහිපයකින් ඇඳුමක් නිර්මාණය කරගන්න පුළුවන්. අනික් කාරණාව තමා මේ තාක්ෂණය පාවිච්චි කිරීම හරහා අපතේ යන ද්‍රව්‍ය ප්‍රමාණය අවම කරන්න පුළුවන් වීම.

මේ නිර්මාණවල තියෙන අවාසි පිළිබඳව ඊළඟට අවධානය යොමු කරමු මචෝ! තාමත් මේ ඇඳුම් ඇන්දම තරමක් අසහනකාරී බවක් දැනෙන බවට චෝදනාවක් තියෙනවා. 3D මුද්‍රණයෙන් හදන ඇඳුම් සමහර වෙලාවට තරමක් දෘඪ (rigid) ගතිය වැඩියි. අනාගතයේදී මේ තත්ත්වයත් අවම කරගන්න පුළුවන් කියලා තමයි මේ කර්මාන්තය ගැන පරීක්ෂණ කරන අය නම් කියන්නෙ. ඒත් ඇත්තටම මේ වැඩේ අධික වියදම් සහිත දෙයක්. මොකද සුදෝ හොඳ තත්ත්වයේ 3D මුද්‍රණ යන්ත්‍ර සහ ඒ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය තවමත් තරමක් මිල අධිකයි. ඒ වගේම ඇඳුම් හදන්න පාවිච්චි කරන්න පුළුවන් 3D මුද්‍රණ ද්‍රව්‍ය තවමත් වෙළෙඳපොළේ ප්‍රමාණාත්මකව සීමිතයි. මොකද මේ සීන් කෝන් එක තාමත් විලාසිතා ලෝකයට අලු‍ත්.

කොහොම වුණත් ටිකක් හිතන්න සුදෝ! දැන්ම මේ තරම් දියුණුනම්, අනාගතයේදී මේ සීන් එක කොහොම වෙයිද? මේ 3D මුද්‍රණ කියන සීන් එක අනාගතයේදී තවත් දියුණු වෙනවා සහතිකයි. අනාගතයේදී අපිට අපේ ගෙදර තියෙන 3D මුද්‍රණ යන්ත්‍රයෙන්ම අපිට ඕනෑ ඇඳුම, ඕනෑ වෙලාවක හදාගන්න පුළුවන් සමහර විට. චුට්ටක් හිතලා බලන්න, ඒක සිරාවටම පිස්සු ආතල් එකක් වෙයි.

සමහර විට අපිට ඉස්සරහට කඩේකට ගිහින් ඇඳුමක් අරන් එනවා වෙනුවට online ඇඳුමක Design එකක් download කරගන්න වෙයි. ඇත්තටම මචෝ මේක ලෝකයේ Creative field එකම වෙනස් කරන, Game Changer සීන් එකක්! මේක තවත් වේගයෙන් ජනප්‍රිය වෙමින් යනවා. ඒත් මේක තියෙන්නේ තාමත් ආරම්භක අවධියෙයි. කෘත්‍රිම බුද්ධිය ඇතුළු තවත් තාක්ෂණයන් සමඟ මේ වැඩේ දියුණුවෙලා අපේ ජීවිතත් එක්ක ගැටගැහෙන්න වැඩි කාලයක් ගතවෙන එකක් නැහැ. ඉතින් ආරම්භයේදීම සීන් කෝන් එක ගැන ඔයාලත් දැනුවත් වෙලා ඉන්න එක වටිනවා.

 චමිඳු නිසල්