2018 ජුනි 16 වන සෙනසුරාදා

මා නොදකින ඒ පුරහඳ ඔබට හැකිය දකින්න

 2018 ජුනි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 1016

හන්තානට පායන සඳ 
ලස්සනයිද කියන්න
මා නොදකින ඒ පුරහඳ 
ඔබට හැකිය දකින්න

අඳුරු වලා වහිනා කල
සරසවි බිම තෙමෙන්න
කුඩේ යටින් ඔබ යන කල
එපා තනිය දැනෙන්න

ලතා මඩුළු අත වනාවි
එපා අහක බලන්න
මා ගැන මතකය ගුලි කර
මහවැලියට  දමන්න

ගී පද - ධම්මික යසනාත් බණ්ඩාර
සංගීතය - ඩෙනිස්ටර් පෙරේරා
ගායනය - අමරසිරි පීරිස්

 

 

සඳට දොස් නොකියන්න
සඳ කුමක් කරන්නද
බාල වයසින් මැරුණ
ප්‍රේමයකි තරු එළිය..

රත්න ශ්‍රී විජේසිංහයන් එක් දවසක එසේ ලීවේය. ඒ පද මම මේ මොහොතේ නිර්වචනය නොකරමි. එහෙත් ඒ පද වින්දනීය කුමක්දෝ ශෝක රසයක් හිතට කාන්දු කරයි. ඔව් මේ මොහොතේත් ඒ පද වින්දනීය  කුමක්දෝ ශෝක රසයක් හිතට කාන්දු කරයි. මම ඔබෙන් එක් ප්‍රශ්නයකට උත්තර ඉල්ලමි. ප්‍රේමයේ අවසානය කුමක් විය යුතුද? එය විවාහයකින්ම කෙළවර විය යුතුයැයි ඔබ උත්තර දෙනවානම් ඔබ ප්‍රේමය.. ප්‍රේමය සතු විය යුතු ගුණාංග හඳුනාගත් හදවතකින් ප්‍රේම කළාදැයි ඔබ ඔබ දෙසටම හැරී විචාරන්නයැයි මම ඔබට කියමි. මක්නිසාදයත් ප්‍රේමයේ මහ’රුත් ආත්මාර්ථයෙන් නොව පරාර්ථයෙන් පසිඳින සඳ ප්‍රේමයේ අවසන් ඵලය හුදෙක් විවාහය නම් රාමුව තුළ ලඝු කළ හැක්කක් නොවෙතැයි මට සිතෙන බැවිනි. 

ප්‍රේමය විවාහයකින්ම කෙළවර විය යුතුය යන උත්තරය පිටුපස සැඟව ඇති අනෙක් අරුත මම ඔයාට ආදරය කළානම් ඔයා මට ආදරය කළානම් වෙන කතා අවශ්‍ය නෑ. අපි දෙන්නා කසාද බඳින්නම ඕනෑ...... යන ප්‍රේමය අයිතිය තුළ තහවුරු කරගැනීමේ නොතිත් උවමනාවයි. දෙදෙනකු අතර ඇතිවන ප්‍රේමය විවාහය යන බැම්මෙන් බැඳී අයිතිය නැමැති සන්නසින් කෙළවර වෙනවානම් විරහී වේදනාවකට වඩා එය සැබැවින්ම සුන්දරය. එහෙත් ඒ සුන්දර අත්දැකීම සුන්දර අයිතියක් ලෙසට හිමිවන අවස්ථාවකදී හැර බලහත්කාර අයිතියක් ලෙස හිමිකර ගැනීම ප්‍රේමයට නිගාවක් මිස සුන්දරත්වයක් නොවේ.

ඕනෑම ප්‍රේම කතාවක සුන්දර මොහොත ඒ දෙදෙනා අතර ප්‍රේමය දලුලන මොහොතයි. එය ප්‍රකාශිතව හෝ අප්‍රකාශිතව බන්ධනයක් බවට පත් වූ ඉනික්බිති ඒ බන්ධනය ගනුදෙනුවක් බවට පත් වූ ඉනික්බිති අදහස් අතර රුචි අරුචිකම් අතර ඇතැම් විට  බොහෝ ගැලපීම් ඉස්මතු විය හැක. තවත් වරෙක බොහෝ නොගැලපීම් ඉස්මතු විය හැක. යා කළ නොහැකි තරමට නොගැලපීම් ඉස්මතු වේනම් විරහී වේදනාවක් විඳිමින් හෝ ඒ ප්‍රේමයෙන් සමුගැනීම කවරෙකුට වුවත් සැනසිල්ලක් ආත්ම සුවයක් ලෙස දැනෙනු ඇත.

අනෙක් අතට භෞතික හෝ අධ්‍යාත්මික නොගැලපීම් මත අනෙකාගේ යහපත වෙනුවෙන් සතුට  වෙනුවෙන් ඉවසිලිවන්ත ලෙස සමුදී උත්තුංග ප්‍රේමයේ වටිනාකම් ඒත්තු ගන්වමින් ප්‍රේමය පරිත්‍යාගයක් කැපකිරීමක් බවට පත් කළ හැකිනම් එය ප්‍රේමය අයිතිකර ගැනීමට වඩා ප්‍රේමයට උත්තරීතර වටිනාකමක් එක්කිරීමකි. මාත් එක්ක හිටියොත් එයාට එයාගේ ගමන යන්න බැරිවෙයි........ එයාට මට වඩා හොඳ කෙනෙක් එක්ක සතුටින් ජීවිතය ගෙවන්න පුළුවන් වෙයි... මාත් එක්ක ගියොත් ගොඩක් දුක් විඳින්න වෙයි... මම එයාව මගෙන් නිදහස් කරලා එයාට එයාගේ ජීවිතේ හදාගන්න ඉඩ දෙනවා. ඒක මට දුකක් නෙවෙයි... සතුටක්...... හිත රිදවුණත්, දුක දැනුණත් මට එයාගේ සතුට වෙනුවෙන් ඒ දුක දරාගන්න පුළුවන්... ඔබට එසේ සිතිය හැකිනම් ඔබ ඒ අරුත් සපයන්නේ ප්‍රේමයේ මහඟු වටිනාකම්වලටය. පිහිය, ඇසිඩ් බෝතලය නින්දා අවමන් වෙනුවට ඒ ඉවසිලිවන්ත කැපකිරීමේ චේනතා ඔබට අනෙකා වෙනුවෙන් උපදවාගත හැකි නම් ඔබ ප්‍රේමය  ප්‍රේමයම ලෙස දුටුවෙකි. හඳුනා ගත්තෙකි.
මේ ගීතය තුළ මුණගැසෙන පෙම්වතා ප්‍රේමයේදී එවන් බෝසත් පාරමිතාවක් පුරන ප්‍රේමවන්තයෙකි. ප්‍රේමයේ දී එවන් බෝසත් පාරමිතා පුරන්නට හැකිද? අනෙකාගේ සතුට, යහපත, සැනසිල්ල වෙනුවෙන් තමාගේ සතුට, සැනසීම, ආදරය කැප කළ හැකිද? මට ඔබ මොහොතක් සිදුහත් යශෝධරා සංසාරගත ප්‍රේමයේ භවයන් කරා රැගෙන යන්නට සිත්වෙයි. වෙස්සන්තර ජාතකයේදී යශෝධරා මන්ද්‍රි දේවියව උපන්නාය. වෙස්සන්තර රජු තම ලෙයින් මන්ද්‍රි දේවියගේ කුසට දුන් දරු පැටවුන් දෙදෙනා තම බෝධිසත්ව පාරමිතාවක් සාක්ෂාත් කරගනු වස් දන් දුන්හ. ඒ මොන තාත්තා කෙනෙක්ද? වෙස්සන්තර රජ්ජුරැවෝ කියන්නේ මහා ආත්මාර්ථකාමියෙක්. සංසාරේ බුදු බව ප්‍රාර්ථනා කළත් ඒ බුදු බව වෙනුවෙන් පාරමිතා පූර්ණය කරන්නට වුණත් තමන්ගේ දරුවෝ දෙන්නා දන් දෙන්න පුළුවන් මොන තාත්තෙක්ටද? ඒ දරුවන්ගේ අම්මාට ඒක දරාගන්න පුළුවන් වෙයිද? වෙස්සන්තර රජු දරුවන් දන් දුන් පාරමිතාව යමෙකු දකින්නේ එලෙසින් විය හැක.

එහෙත් වෙස්සන්තර රජු එදා තම ලෙයින් ජාතක කළ දරුවන් දන් දුන්නේ මතු මතු සංසාරේ භවයක මුළු මහත් විශ්වයක්ම මුළු මහත් ජන ගංඟාවක්ම දුකින් මුදවා ගැනීමේ, දුක් සහිත සංසාරයෙන් එතෙර කරලීමේ සාදු පරමාර්ථයක් පෙර දැරිවනම්.....
දරු දුකින් හදවත පැලී යන තරම් වේදනාවෙන් හඬා වැටෙද්දීත් එදා මන්ද්‍රි දේවිය තම හිමියන්ගේ ප්‍රාර්ථනාව වෙනුවෙන් ඒ දුක ඉවසා දරාගන්නට වෑයම් කළේ ඇය සංසාරේ භවයෙන් භවයට ඔහු වෙනුවෙන්ම කළ කැපකිරීම්වල, පරිත්‍යාගයන්වල මහිමයෙනි. ප්‍රේමය ඉල්ලා හිඳීමක් නොව දන් දීමක් බව ඈ හදවතින්ම පසක් කර ගත් හෙයිනි. මිග ජාතකයේදී යශෝධරාව මුව දෙනකව ඉපදුණාය. සිදුහත් කුමරු මුවෙකුව උපන්නේය. ඒ භවයේ ඒ මුවාට දැනුණු පවස නිවන්නට වතුර ටිකක් නැති වෙද්දී මුව දෙන හඬා එකතු කළ කඳුළු බොන්නට දී ඒ මුවාගේ පවස සංසිඳ වූ බව කියයි. යශෝධදරාව සඳ කිඳුරියව ඉපදී සිදුහත් කුමරු සඳ කිදුරෙකුව උපන් භවයේ විෂ ඊතලතයක් වැදී මිය ගිය සඳ කිඳුරාට සඳ කිඳුරිය තමන් රැකි පතිදමේ බලයෙන් අධිෂ්ඨාන පූජාවක් කර පණ ලබාදුන් බව කියයි.

මේ සියලු ජාතක කතා ඒත්තු ගන්වන එක් කාරණයක් වන්නේ ප්‍රේමයේ ඉවසිලිවන්ත භාවයයි. පරිත්‍යාග ගුණයයි. කැපකිරීමයි. අනෙකාගේ සතුට වෙනුවෙන් අහිමි වීම් දරා ගැනීමයි. වේදනාවන් දරාගැනීමයි. එවන් විරල බෝසත් ගුණ සහිත ප්‍රේමවන්තයන් ප්‍රේමවන්තියන් මඟතොට  නිතර මුණ නොගැසුණත් හන්තානට පායන සඳ ගීයේ ගී පද රචකයාම වරක් කී පරිදි මේ ගීතය ඔහු ඔහුගේ ශිෂ්‍යයකුගේ සැබෑ අත්දැකීමක් කරණ කොටගෙන ලියූ ගීයකි.
ටියුෂන් පියසකදී පැලවුණු පුංචි ප්‍රේමය අතුරිකිලි ළා වැඩෙද්දී ඇය උසස් පෙළ කඩඉම ජයගෙන පේරාදෙණිය සරසවිය වෙත ගියාය. ඔහුට එහි යාමට වරම් නොලැබුණි. ගී පද රචකයාට ඉන් කලකට පසු ඒ ශිෂ්‍යා මුණගැසුණු විටෙක අර යුවතිය  ගැන විමසද්දී ඔහු පවසා ඇත්තේ ඇගේ සතුට යහපත වෙනුවෙන් තමා ඇය අත්හල බවයි. ඇයට සරසවි ජීවිතයේදී අත්විඳින්නට ලැබෙන ප්‍රේමයකින් තමා වෙතින් ලැබෙන ප්‍රේමයට වඩා බොහෝ දේ අත්විඳින්නට ලැබෙනු ඇතැයි යන සිතුවිල්ලෙන් ඔහු ඈ අත්හල බවයි. එවන් කැප කිරීමක් කෙනකුට කළ හැක්කේ කලාතුරකිනි. ගී පද රචකයාගේ හිතට තදින් දැනුණු තරුණයාගේ ඒ ගුණය ඔහු ගීයකට කැටි කළේ හන්තානට පායන සඳ ගීතය ඔස්සේය.

හන්තාන කඳු මුදුනේ පායන සඳේ අසිරිමත් බව ජීවිත අහසේ ප්‍රේමයේ කවිය ලියන්නට කරන නිහඬ ඇරයුමක් වැන්න. නුවර අහසින් හැන්දෑවට ගලා එන මන්දාරම් වැහි පොද උණුසුමකින් තොරව හුදකලාව විඳින්නට බැරි බව සරසවි බිමේ තනි වුණ තරුණ හිත්වලට මුර ගා කියයි. ඒ සීතල උණුසුම් ඇඳුමකින් දරා ගන්නට අසීරු තරමේ සීතලකි. සරසවි බිමේ අකුරු ඇහිඳින අතරේම ඒ සීතලට උණුසුමක් ළඟපාතකින් ඇස ගැටෙන මානයකින් සොයාගන්නට සිත් වෙයි. සරසවි බිමේ ගහකොළ, මල්, ඇහැල මල් යාය ඒ ප්‍රේමය විඳින්නට ඉඩ  හදන්නේ ඒ ගහ කොළ, මල් අතු අග්ගිසි පවා ප්‍රේමය නම් කුමක්දැයි දැන හඳුනාගත් කලෙක මෙනි.
හන්තාන කඳු මුදුනට ඉහළින් ඇය දකින සඳ දකින්න ඔහු නොලද වරම ඔහු කම්පනයක් නොව පරිත්‍යාගයක් බවට පත්කර ගනියි.

හන්තානට පායන සඳ 
ලස්සනයිද කියන්න
මා නොදකින ඒ පුරහඳ
ඔබට හැකිය දකින්න...

ඒ සඳේ චමත්කාරය දැක සරසවි බිමේ උණුහුමක් නැති හුදෙකලාවක තනි නොවෙන්නැයි ඔහු ඇයට කියයි. ඒ කියන්නේ මම ඔබෙන් ඉවත යමි ඔබ ඔබේ ජීවිතය දැන් සොයාගන්න යන සිතුවිල්ලෙනි.

කුඩේ යටින් ඔබ යන කල
එපා තනිය දැනෙන්න..

සරසවි බිමේ මහා ගස්කොළං, හැඳූ තුරුවියන් යටින් වැහි බිඳු බේරෙයි. ඒ වැහි බිඳු කොයි මොහොතක හෝ සුළං කෝඩයක දැවටී වෙලී විත් මුළු ගතම හිරිගඩු පිපෙන තරම් සීතලකින් කිතිකවයි.
ඔහු අසන්නේ එවන් සීතලක් ඔබට ප්‍රේමයේ උණුසුමකින්ම මිස අන් කවරකින්වත් මකා දැමිය හැකිද යන්නයි. ඔයයි මමයි පෙම් කළත්, අප දෙතැනක නම් ඔබට උණුහුමක් දෙන්න ඔයා ළඟින් ඉන්න මට බැරිනම් ඔබට අයිතිවාසිකම් කීම අයිතියට පෙම් කිරීම මම ඔබට කරන මහා අසාධාරණයකි. මගේ මතකය ඔබ ඈතකට විසි කර දමන්න. සරසවි බිමේ ගහකොළත් ඔබට එන්න කියන්නේ ඒ ගස් වියන් යටට තනියම නෙවෙයි. ආදරය විඳින්න ප්‍රේමවන්තයෙක් එක්කමයි. ඔබ ඒ ඇරයුම පිළිගන්න.

ලතා මඩුළු අත වනාවි
එපා අහක බලන්න
මා ගැන මතකය ගුලි කර
මහවැලියට  දමන්න

ඔහු කියන්නේ එයයි...
එය ප්‍රේමයේ බෝසත් ගුණය, ප්‍රේමයේ බෝසත් පාරමිතාවම හැර අන් කවරක්ද?

 

අපේ විචාරයට ලක්වෙන ගීත ගැන ඔබටත් කියන්නට දෙයක් ඇත්නම් අපට ලියන්න.ඔබ කැමති ගීතත් අපට කියන්න.
Deshayanews@gmail.com
Deshayalayout@gmail.com
හදසර - සංස්කාරක, දේශය කතෘ මණ්ඩලය, 
විජය පුවත්පත් සමාගම, අංක 08, හුණුපිටිය හරස්පාර කොළඹ 02

► දන්ත ශල්‍ය වෛද්‍ය අසේල විජේසුන්දර