2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා

කාෙලු කෙළියෙන් කකුල හබක්

 2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 118

ඔන්න මේ කියන්න යන්නෙ ටෙලිනාට්‍ය රූගත කිරීමක් අතරතුර සිද්ධ වුණු කතාවක්. මේක ටෙලිනාට්‍ය බලද්දි නම් පේන්නෙ නැතිවෙයි, මොකද මේක සිද්ධ වුණේ තිරයේ පිටුපස.

ඔන්න කතාවෙ හැටියට ප්‍රධාන නිළි චරිතය රඟපාන්නෙ තරුණ රංගන ශිල්පිනියක්. ඇගේ පියාට රඟපාන්නෙ අප රටේ ප්‍රවීණ රංගන ශිල්පියෙක්. ඔන්න දැන් දුව කොල්ලෙක් එක්ක යාළුවෙලා කතාවෙ හැටියට. හැබැයි ඒ කොල්ලා මේ පවුලට ගැලපෙන්නෙ නැහැ කියලා තාත්තා හිතනවා. එහෙම හිතලා තාත්තා අර කොල්ලට නොයෙක් වද හිංසා දෙනවලු. බැරිම තැන කොල්ලා එයාගෙ සෙට් එකේ කොල්ලො ගැන්සියක් ලෑස්ති කරනවා, කෙල්ලගෙ තාත්තට ගහන්න.

ඔන්න කොල්ලො සෙට් එක තාත්තට හොඳටම ගහනවා. දැන් මේ ගුටිකෑම අර තාත්තට රඟපාන ප්‍රවීණ නළුවට දිරවන්නෙ නැහැලු. එයා අධ්‍යක්ෂට කියලා ස්ක්‍රිප්ට් එකට තවත් ෆයිට් එකක් ඇතුළු කරගන්නවා. ඒ කියන්නෙ ටික දවසකට පස්සෙ තාත්තට අර ගහපු කොල්ලො සෙට් එක ආයෙත් හම්බවෙනවා. ඒ වෙලාවෙ තාත්තා කොල්ලන්ට එලව එලවා පයින් ගහනවා.

ඔන්න අර සීන් එකෙන් පස්සෙ අර ප්‍රවීණ නළුවගෙ කකුල ඇඹරිලා ඇවිදගන්න අමාරුයි කියලයි ආරංචිය.

 

අදටත් මතක ගාමිණී, මානෙල්

අපේ ජනප්‍රිය පැරුණි සිංහල චිත්‍රපට වගේම සිංහල චිත්‍රපට පෙන්වූ සිනමා ශාලා ද අපේ මතකයෙන් කවදාවත් ඈත්වෙන්නෙ නැහැ.

ඒකට හොඳම උදාහරණය තමයි අවුරුදු 30කට අධික කාලයක් අපට අහිමි වූ සිනමා ශාලාවල නම් අපේ ජනවහරෙන් තවමත් ඈත් නොවී තිබීම. 

තවමත් මරදානෙ ගාමිණී හෝල් එක නැති වුණාට, බස් කොන්දොස්තරවරු බහින්න කියන්නෙ ගාමිණී හෝල් එක ළඟ. මිනිස්සු තාමත් බස් රථවල ටිකට් ගන්නෙ ගාමිණී හෝල් එක ළඟට. ගාමිණී හෝල් එක අපට අහිමි වුණේ 1983 දී බව වර්තමාන පරපුර නොදන්නවා ඇති.

දෙමටගොඩ මානෙල් සිනමාහලත් නැති වී අවුරුදු 30කට වැඩියි. ඒත් මිනිස්සු බහින්නෙ මානෙල් එක ළඟ.
අසෝකා, සෙයින්ස්තාන්, ක්‍රවුන් එම්පයර් වැනි සිනමා ශාලා ගැන කියන්නට තියෙන්නෙත් ඒ ටිකමයි.

 

සල්ලි දෙනවනම් ඕන රෙද්දක් හා මෙයා...

එදා අපේ ප්‍රවීණ නළු නිළියො කී දෙනෙක් නම් නොමිලේ චිත්‍රපටවල රඟපාලා තියෙනවද? මුදලට වඩා ඔවුන් මුල්තැන දුන්නෙ කලාවට, එහෙමත් නැත්නම් මනුස්සකමට.

ඒත් වර්තමානයේ තත්ත්වය වෙනස්. අද තරු බවට පත්වෙන්න ඕනෑම කැපකිරීමක් කරන තරුණ ශිල්පීන්, යම්කිසි තත්ත්වයකට ආවායින් පස්සෙ මුල්තැන දෙන්නෙ මුදල්වලට. හැමෝම නොවුණත් බොහෝ අය එහෙමලු.

ඉතින් මේ අයට අනාථ නිවාසයක තෑගි බෙදාදීමේ උත්සවයකට කතා කළත් ඉස්සෙල්ලම අහන්නෙ ඒ අයට කීයක් ගෙවනවද කියලා. දැන් දැන් ඔය ලෙඩේ උග්‍රවෙලා මාධ්‍යවලටත් ඔය පාට් එක දාන අයත් ඉන්නවලු.

ෆොටෝ ෂූට් එකට එන්න කිව්වම ඇඳුම් ගන්න ඕනෙලු, සාරි ගන්න ඕනෙලු කියලා ගාණක් කඩාගන්න ට්‍රයි කරනවා.
පුංචි තිරයේ වැඩසටහන්වලට කතා කළාමත් කියනවලු, හොඳ සාරියක් නැහැ, 25,000 ක් විතර යයි හොඳ සාරියක් ගන්න කියලා.

 

අරුම පුදුම නීතියක්!

අපේ දේශීය චිත්‍රපට කර්මාන්තයේ කඩාවැටීම ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැනෙ.
70 දශකයේ සිංහල සිනමාවේ ස්වර්ණමය යුගයේ අවසානයත් සමඟම ඇති වූ අභාග්‍යසම්පන්න සිද්ධීන් නිසා 80 දශකයේ මුල් භාගය තුළ අපට සිනමා ශාලා සිය ගණනාවක් නැතිවෙලා ගියා. චිත්‍රපට ශාලා අහිමිවීමත් සමඟ සිංහල චිත්‍රපට ප්‍රේක්ෂකයන් දස දහස් ගණනාවක් සිනමාවට අහිමි වුණා.

එතැනින් පටන් ගත්තු සිනමාවේ කඩාවැටීමෙන් ගොඩ එන්න අපි තාමත් දඟලනවා. අපට මුලින්ම අවශ්‍ය වුණේ අලුතින් සිනමා ශාලා හදන්න. එදාට වඩා අද අලුත් සිනමා ශාලා හදන්නට සිනමාවට ආදරේ කරන ව්‍යාපාරිකයන් පෙළඹී තිබීම ඉතාම සුභ පෙරනිමිත්තක්. ඒත් එවැනි නව සිනමාහල්වලට පහසුකම් හා සහන ලබාදීම වෙනුවට ජාතික චිත්‍රපට සංස්ථාව ඔවුන්ට අනවශ්‍ය පීඩනයක් ලබාදෙන බව සිනමාහල් හිමියන් චෝදනා කරනවා.

තමන්ගෙ මුදලින් කෝටි ගණනක් යටකර සිනමා ශාලා හැදුවත් ඒවා විවෘත කරන දිනයේ සිට මාස 6 ක් දක්වා ජාතික චිත්‍රපට සංස්ථා මණ්ඩලය යටතේ පවත්වා යා යුතු බවට අරුම පුදුම නීතියක් ගෙන තිබීම මෙයට හේතුව බව පෙනෙනවා. 
තමන්ගෙ මුදලින් චිත්‍රපට ශාලාවක් හදලා තමන්ට අවශ්‍ය චිත්‍රපට පෙන්නන්න නිදහසක් නැත්නම් මේකෙ ඇති පලයක් තියෙනවද කියලයි ඔවුන් අහන්නෙ?

 

වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි

එක්තරා වකවානුවක කොළඹ නගරයේ ඇතැම් ජනාකීර්ණ පෙදෙස් ආශ්‍රිතව වීඩියෝ පාලර් තිබුණු බව බොහෝ දෙනෙකුට මතක ඇති.

ඒ වගේ තැන්වල බොහෝ වෙලාවට පෙන්නුවෙ වැඩිහිටියන්ට පමණක් සිමාවුණු විදෙස් චිත්‍රපට. කාලයාගේ ඇවෑමෙන් බොහෝ ගෙවල්වලට වීඩියෝ/ ඩීවීඩී එන්න පටන් ගත්තායින් පස්සෙ අර අහුමුලුවල තිබුණ පාලර් නැතුව ගියා.

ඒත් ඒ කාලෙ ඒ වගේ තැන්වල චිත්‍රපට බලපු අපේ එක්තරා ශිල්පියෙකුට අපූරු සිදුවීමක් වෙලා කියලා ආරංචියි.
ඔහු ඊයෙ පෙරේදා දවසක කොළඹ ආමර් වීදිය පැත්තෙ හාඩ්වෙයාර් බඩු ගන්න ආපු වෙලාවක අර වගේ ගොඩනැගිල්ලක දැකලා තියෙනවා වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි කියලා බෝඩ් එකක්. ඒකෙ තිබුණා රාත්‍රී 8 සිට කියලත්. කුතුහලය වැඩිකම නිසාම මෙයත් ඒ ගොඩනැගිල්ලෙ බෝඩ් එක තියෙන 3 වැනි මහලට ගියාලු. ඒකෙ ගහලා තිබුණ බෝඩ් එක දැකලා ඔහු දවස් ගාණක් හිනාවුණාලු.

වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි - දිනපතා රාත්‍රී 8 සිට විශේෂ ඉංග්‍රීසි කතා පුහුණු කරන පන්තිය

► Text - Mithra