2021 මැයි 01 වන සෙනසුරාදා

ඒ ඉරණම ප්‍රේමයෙන් හමාරයි

 2021 මැයි 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 157

එන්නේ කොහි සිටද යන්නේ කොතැනටද නොදන්න යමක් වෙත්නම් ඒ සුළඟ බව මම විශ්වාස කරමි. නැලවිල්ලේ ඇවිත් ගියද හිතුවක්කාරකමින් නැලවුණද ඒ සුළඟ සුළඟමය. උතුරු සුළඟ යැයි නම් තැබුවද ඒ සුළඟ සිංහල සිනමා ආස්වාදයක් උදෙසා පිපාසයෙන් පෙළෙන සහෘද ප්‍රේක්ෂක සිත් අස නැලවිල්ලේ ඕවිල්ලක සුව සදන භාව කම්පනයනට මඟ කියන අපූරු සුළඟක් යැයි සිතුණේ හදිස්සිකාරක සිනමාපට මිස භාවාත්මක සහ සෞන්දර්යාත්මක සිනමා රෑපකාරක සිංහල සිනමාව තුළ නිමැවෙන ඉඩ හසර අතිශයින්ම විරල යැයි සිතන්නට තරම් සිනමාමය දුප්පත්කමකට අද්‍යතනයේ   සිනමාව  ප්‍රවිශ්ටව ඇති හෙයිනි.

නමක් ගමක් නොදන්න අනාථයෙකු ලෙස නම් ලද සුනිමල්ගේ ජීවිතයත්, ඒ ජීවිතය හා ඈඳෙන චූටි මැණිකේගේ ප්‍රේමයත් ඒ ප්‍රේමය අත්නොහැරුණත් භෞතිකව ගිලිහෙද්දී අවසානයේ සුනිමල්ට සුනිමල්ව සැබෑ ලෙස හමුවෙන ගුවන් නියමුවෙකුගේ අර්ධ සත්‍ය කතාවක් පසුබිම් කරගෙන නිමැවුණු උතුරු සුළඟ චාමර පීරිස් නිර්මාණවේදියාගේ නිර්මාණ ප්‍රයත්නයකි. 

සැකෙවින්ම සිනමාව යනු රෑපකාරයකි. මනුෂ්‍ය සංහතිය හා සබැඳි යථාර්ථයේ විවිධ පැතිකඩ සූක්ෂම ලෙස ගවේෂණය කරමින් විමසමින් සොයමින් ලෝක ධර්මතාවයන් ප්‍රසාරණය කර දක්වන්නට දරන නිර්මාණාත්මක වෑයමක් ලෙස මම සිනමාව නිර්වචනය කරනු කැමැත්තෙමි. මනුෂ්‍යයාගේ කලාත්මක හා සෞන්දර්යාත්මක විඥානය වර්ධනයේ ප්‍රබල ප්‍රතිඵලයක් ලෙසද සිනමාව අර්ථකථනය කළ හැකිය.

මනුෂ්‍ය භාවයන්ගේ අක් මුල් පිරිසිඳ ලෝක යථාර්ථය හා ධර්මතාවයන් නිර්මාණශීලී කැඩපතකින් ප්‍රතිනිර්මාණය කර දක්වන්නට සිනමාවේදියා දරන වෑයමකදී යථාර්ථයේ සේයාවන් කැමරා කෝණ වචන, භාව නිරෑපණ හා විවිධ මානවීය ක්‍රියාවන් ඔස්සේ එළිදක්වනු ලැබේ. 

සිනමාව ඔස්සේ ධ්වනිත කරනු ලබන සන්නිවේදනය සහෘදයාගේ බුද්ධිමය ආදරයට බුද්ධිමය තර්කණයට සහ බුද්ධිමය විචක්ෂණයටද විවිධ හැඩතල ඔස්සේ ආමන්ත්‍රණය කරයි.
සිනමාවේදී කැමරාව යනු කලා රස උත්පාදකයක් හා ප්‍රබල සන්නිවේදන කාරකයකි මනුෂ්‍යයාගේ ජීවිත අනුභූතීන් මෙන්ම විවිධාකාර වූ සංසිද්ධීන්ද සංකල්පයන්ගෙන් ඔබ්බට යථාර්ථය ප්‍රතිබිම්බගත කරනු උදෙසා එය මෙහෙයවයි. එය එක්තරා සෞන්දර්යාත්මක හා සන්නිවේදනාත්මක විප්ලවයකි.

හුදු ඡායාරූපයක් නොව ඡායාරූපය යන ඒකල කලා ඒකකය ඉක්මවූ මනුෂ්‍ය අත්දැකීම් සමුදායක සුසංයෝගයක් ලෙස සිනමා පිටපත කැමරාව ඔස්සේ ජීවාත්මක තලයකට සපැමිණේ. මෙකී ගැඹුරු හා ප්‍රබල කැමරා රූප රංගනයේ සංලක්ෂණ හා සංයෝග වී යථාර්ථවාදී අනුභූතියක් තුළ සංකේන්ද්‍රගත වන විට ප්‍රබල හා භාවමය සිනමා රූපකාරයක් නිර්මාණය වීමේ ඉඩ හසර නිර්මාණය වේ.

අර්ධ සත්‍ය කතාවක් ඇසුරින් ලියැවුණු 
සිනමා සිත්තම උතුරු සුළඟ


විශ්වීය සිනමා ආඛ්‍යානයන් තුළ එවන් සංලක්ෂිත සිනමා රෑපකාරක උදෙසා සංනිදර්ශන විරල නොවුණත් සිංහල සිනමාව තුළ එවන් ඇසගැසීම් අතිශය විරලය. ඒ කටුක හා නීරස යථාර්ථය තුළ චාමර පීරිස්ගේ උතුරු සුළඟ හදවතට යම් අස්වැසිල්ලකි. නෙතට ආස්වාදයකි. 

විශ්ව සිනමාව තුළ විජේ සේතුපායි සහ ඉර්ෆාන් ඛාන් යනු ඔවුන්ගේ රංගනය තුළ මා මනස රංගනය නම් සුවිශේෂ කලාවෙන් මුසපත් කළ රංගවේදීන්ය. ඔවුන් හුදෙක් නළුවන් යන ආඛ්‍යානය තුළට රාමුගත කරන්නට මම අකමැත්තෙමි. ඒ ඔවුන් රඟපෑමෙන් ඔබ්බට ඒ චරිත තුළ ගැඹුරු හුස්මක් ගනිමින් ඒ රංග හා ආත්මීය බැඳීමකින් ආත්මගත වන හෙයිනි. මගේ සිනමා ආශක්තවීම තුළ විජේ සේතුපායි සහ ඉර්ෆාන් ඛාන් එතරම්ම සුවිශේෂී චරිත ද්විත්වයක් වන්නේ ඉතාමත් ඉසියුම් හා සුගැඹුරු ලෙස ඔවුන් රඟපෑමෙන් ඉවත්ව ඒ ඒ සිනමා රෑපකාරක හා හුස්මක් ගන්නා බැවිනි.


උතුරු සුළඟ තුළ සුනිමල්ගේ චරිතය සුවිශේෂී වන්නේ ඔහුද යම්තාක් දුරකට රංගනයෙන් ඔබ්බට උතුරු සුළඟ සිනමා රූපකාරකය තුළ ආත්මීය බන්ධනයකින් හුස්මක් ගන්නා සෙයක් හැඟෙන බැවිනි. ඔහු ඉවසිලිවන්ත ලෙස එරංග ජීවන්තගේ මනෝකායෙන් දුරස්ව සුනිමල්ගේ ජීවන හැඩතල හා තම මනෝකාය හා භෞතිකය මුහුකර ඇති අයුරු සැබැවින්ම ප්‍රසංශනීයය.
ලාංකික සිනමාවේ අද්විතීය සිනමා කෘති අනාගතයේදී හෝ නිර්මාණය වන්නේනම් විජේ සේතුපායි හා ඉර්ෆාන් ඛාන් වැනි අතිශය ප්‍රබල රංගවේෂයන් තුළ සැරිසරන රංගවේදීන් බිහිවෙතැයි යන අනුමානයට ජීවන්ත වැනි නළුවන්ගේ රංගනයන් දකින විට නිතැතින්ම ඇතිවේ.

කටපාඩමින් දෙබස් කියමින් අත පය පමණක් හසුරුවමින් කැමරාව අබිමුව කලාව වර්චස් කරන බහුතර ලාංකික නළු නිළියන්ට රංගනවේදියෙක් තුළ නිතැතින්ම පැවතිය යුතු ඉවසිලිවන්ත බව, ඉසියුම් හා සූක්ෂම භාව ප්‍රකාශන, නිර්වාචික සන්නිවේදාත්මක රංගනය උදෙසා මෑතකාලීන හොඳම සංනිදර්ශනයක් උදෙසාද ඔහුගේ රංගනය නම් කළ හැකිය. ඒ උතුරු සුළඟ ගොඩනැගෙන්නේම සුනිමල් වටා යැයි සිතෙන තරමට උතුරු සුළඟ තුළ සුනිමල් ප්‍රබල වී ඇති හෙයිනි.

සුඛාන්තයකින් අවසන් වන සිනමා රෑපකාරකයන්ට අත්‍යන්තයෙන්ම පෙම් කරන තරමට දුක යන්න ‍භෞතික හා ආධ්‍යාත්මික වශයෙන් විශ්වවාසී බහුතර මිනිසුන්ගේ ජීවිත හා නිබඳ සැරිසරන ජීවන අත්දැකීමක් බවට පත් වී තිබේ. එහෙයින් කලාව තුළ හෝ සුඛාන්තයකින් කෙළවර වන ඉරණම් කතාවලට මිනිසුන් පෙම් බඳිතැයි සිතේ. එහෙත් විප්‍රලම්භ ශෘංගාරය යනු කලාවේ වෙනස්ම රසයකි. එනයින්ම කලාත්මක අනුභූතීන් හා නිරන්තර සබැඳි රසයකි. උතුරු සුළඟ විප්‍රලම්භ ගෘංගාරය තුළට සහෘදයා මටසිලිටු ලෙස කැඳවමින් ඒ කැඳවීම ඔස්සේ සහෘද දෙඇසට කඳුළක් නංවමින් අවසානයේ ධනාත්මක අවසානයක් කරා ප්‍රේක්ෂකයා කැටුව යයි.


ලෝකයේ කවර කලාත්මක නිර්මාණයකට වුවද ප්‍රේමය හා ආදරය ප්‍රස්තුත නොවූ ඇසිල්ලක්, ඉඩ හසරක් නොවුණු තරම්ය. එමෙන්ම සම්ප්‍රයෝගය සහ විප්‍රයෝගය තුළ මානවයා අත්දකින මානවීය භාවයන් අනුභූතිය නොවූ ඉඩ හසරක් නොමැති තරම්ය. ඒ මානවීය භාවයන් අතර ආදරය හා ප්‍රේමය එතරම් තීව්‍ර ලෙස මනුෂය සන්තානය අතික්‍රමණය කර ඇති හෙයිනි. එක් මනුෂ්‍ය භාවයක් සිනමා රෑපකාරයක් තුළට නිමිත්ත වී ඒවා සිනමාමය රූප රාමු තුළ ප්‍රතිබිම්බගත වී පෙළගැසෙන විට මානවීය හැඟීම් තෘප්ත හා තෘප්තිමත්භාවයට පමුණුවන හා ඒ හා සබැඳෙන ස්වභාවධර්මයේ නිර්මිතයන්ද ඒ හා මුසු කරන්නට නිර්මාණවේදියා සමත් වේනම් එය නිර්මාණශීලීත්වයේ චමත්කාර ද්වාරයකි.
වැස්ස, සුළඟ, මන්දාරම් අව්ව, රාත්‍රිය, රාත්‍රියේ කළුවර විනිවිද නැගෙන ස්වර සිනමා රෑපකාරකයන් භාවාතිශය ලෙස වර්ණවත් කරයි. ඒ වර්ණ ගැන්වීම විකෘතියක් නොවී සමපාත ලෙස මුහු කිරීම සිනමාවේදියාගේ විශිෂ්ටත්වයකි. ඒ විශිෂ්ටත්වය උතුරු සුළඟ තුළ මැනවින් දක්නට ලැබේ. 

සැබැවින්ම කලාවේදියෙක් යනු ප්‍රගතිශීලී පෙරටුගාමී පුද්ගලයෙකු විය යුතුයි. ඒ ඔහු දකින දෙය විනිවිද දකින හා දකින දෙය තුළ ඇති සැඟවුණු දෙය දකින, පෙනෙන දෙය තුළ ඇති නොපෙනෙන දෙය දකින්නට තරම් ආධ්‍යාත්මික විනිවිදභාවය සහ සාම්ප්‍රදායිකත්වය අභිභවන ප්‍රගතිශීලී අතික්‍රමණ ගුණයකින් යුක්ත විය යුතු හෙයිනි. කලාවේදියා සහ කලාව යනු කුමක්දැයි අර්ථකථනය කළහොත් නව සමාජයීය වෙනසක්, සමාජ ප්‍රගමනයක්, සමාජ විප්ලවයක් ඇතිකළ හැකි හැකියාවෙන් අනූන සංකේන්ද්‍රණයක් බවට ඒ මුහුව පත්විය යුතුය. මානවීය ප්‍රේමයෙන් මානවයා ඇහැරවන සාරාර්ථ පිබිදුම්කාරකයක් සේම මානවීය ප්‍රේමණීය ආදරණීය පුරුෂාර්ථ උත්පාදනය කරන්නෙක් බවට කලාවේදියා පත්විය යුතුය.
එහෙයින් කලා මාදිලීන්ට සමාජයීය ආකල්ප සංකල්ප, සම්ප්‍රදායන්, නිර්ණායකයන් හා දෘෂ්ටිවාද නවමු මානයකට රුගෙන ගොස් සමාජයීය ප්‍රගතිශීලීත්වයක් හා නව්‍ය ශෝධනයක් උදෙසා උරදීමේ ශක්තියක පවතී.
මානවීය භාව මැනවින් විසරණය කොට ඒවා නිර්මාණාත්මක ප්‍රවේශ තුළ ප්‍රතිනිර්මාණය කිරීම සොඳුරු වෑයමකි. ඒ ප්‍රයත්නය තුළ උතුරු සුළඟ සැනසිල්ලක් දනවන බව හැඟේ.

 ස