2025 ජුනි 21 වන සෙනසුරාදා

කාසි නෝට්ටු නොඉල්ලමින් අපේ නැටුම ලෝකයටම අරගෙන ගිය - නැටුම් ගුරුතුමී

 2025 ජුනි 21 වන සෙනසුරාදා, ප.ව. 02:00 53

රිද්ම ලීලා අතර රඟනා රංගනාවියකගේ නර්තනයට ආත්මීය ආලයකින් පෙම් බැඳි ලලනාවකගේ අතීත මතක සමුදායක් සම්මිශ්‍රණය වූ සේයාරූ සමුච්චයක් මා දෑස් අසය. අද එනම් ජූනි මහේ 22 වැනිදා ඉරිදා තම ජීවන පුස්තකයේ 60 වැනි පරිච්ඡේදය කියවන්නට සූදානම් වන මොහොතේත් ඇය ඇගේ හුස්මට තරම් ජීවිතයේ ආදරය කළ සහ ආදරය කරන දෑ අතරෙහි නර්තනය ද වන වග නිසැකවම මම දනිමි. සෞන්දර්යාත්මක හරයන් තුළ ජීවිතය සොයා යන ගැහැනුන් සහ මිනිසුන් කිසිදා වියපත් නොවන වග මම ඉඳුරාම විශ්වාස කරමි. අදටත් ඇය සොඳුරු ලෙස නර්තනයෙහි යෙදෙන්නීය. එදා මෙදා තුර රුපියලක්වත් අය නොකරමින් සිය දහස් ගණන් දරුවන්ට නර්තනයේ රිද්මසාර ඉගැන්වූ ඒ ස්නේහවන්ත ගුරුතුමිය දශක තුනකටත් වැඩි කාලයක් මුළුල්ලේ මැලේසියාවේ ජීවත් වෙමින් මැලේසියාව වැනි මුස්ලිම් උරුමයන් වැඩි වශයෙන් රැඳි රටක ජීවත් වන විවිධ ශ්‍රී ලාංකික සහ විදේශීය දරුවන්ට නර්තනය උගන්වන්නීය. ලාංකික උරුමය රැඳි නර්තනය ලෝකයට රැගෙන ගිය ඒ ආදරණීය ගුරුතුමිය දයානි පතිරණ හේමදාසය.

ඇය ජාතික තරුණසේවා සභාවේ හිටපු නැටුම් ශිල්පිනියකි. එමෙන්ම හිටපු සහකාර තරුණසේවා නිලධාරිනියක වූ ඇය ප්‍රතිභා ප්‍රසංග සහ යෞවන රංගන යන නැටුම් කණ්ඩායම් දෙකෙහිම උපදේශිකාව ලෙස තරුණ වියෙහිදී කටයුතු කළාය. ළමා වියේ සිටම සම්, මස්, ලේ, නහර, ඇට මිඳුළු විනිවිද යන ප්‍රේමයකින් නර්තනය කෙරෙහි බැඳුණු ඇය එම රැකියාවට සමුදුන්නේ ඒ හේමදාස නම් ආදරවන්තයකු ඇය සොයා ආ නිසාමය. ඔහු හා අතිනත ගෙන මැලේසියාවේ පදිංචියට ගියත් ඇය කිසිදා නර්තනයෙන් ඈත් නොවුණු වගට සුන්දරම සාක්ෂියක් වන්නේ අද ස්කොට්ලන්තයේ ලාස්ගෝ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක් ලෙස කටයුතු කරන තම දියණිය කුස දරාගෙන උන් අවධියේ ද ඇය දරුවන් වෙනුවෙන් නර්තනයේ යෙදුණු ගුරුවරියක වූ නිසාමය. කුසයේ සිටි වියේදීම නර්තනයේ ගැයුම් වැයුම් ඉසියුම් ලෙස ස්පර්ශ කළ ඒ බිළිඳිය ද නර්තනය කෙරෙහි බැඳුණු අතර අරංගේත්‍රම් දැක්මක් දක්වා ඇය භරත නාට්‍ය කලාව සකලාකාරයෙන්ම ප්‍රගුණ කළාය.

1986 වසරේදී නිස්කෝ දැන්වීම වෙනුවෙන් පෙනී සිටි ඇය 1985 සිට 1991 දක්වා කාලය තුළ නන්දන වින්දන රූපවාහිනී වැඩසටහන් සඳහා නර්තන දායකත්වය දැක්වූවාය. තවද සෙබළියෝ සහ බඹර කලාපේ චිත්‍රපට සඳහා ද පසුබිම් නර්තනයෙන් දායක වූ ඇය 1988 තරුණසේවා සුබ පැතුම් පත තම නර්තන සේයාරුවකින් සරසාලීය. ඇගේ රුව ප්‍රමුඛ සමූහ නර්තන සේයාරුවින් සැරසුණු කැලැන්ඩර ද එකල විය.

1990 සම්බුද්ධ භාවනා සහ සිතුම් පොබ කළ සමන් මල් යායේ ගීතය සඳහා ද නර්තනයෙන් සහභාගි වූ දයානි යුවතිය 1985 සිට 1991 දක්වා තරුණසේවා සභාවේ නර්තන කණ්ඩායම සමඟ එම නර්තන කණ්ඩායම මෙහෙයවමින් රටවල් විස්සක පමණ සංචාරය කළාය. දේශීය නර්තන සම්ප්‍රදායන් ඒ අයුරින් නැටුම් සංදර්ශන ඔස්සේ ලෝකයට ගෙන ගිය දයානි 1991 සිළුමිණ පුවත්පතෙහි වාලුකාවේ සිහිනයෙහි රූප රාමුවලට පෙනී සිටියේ තම සුන්දරත්වය නර්තනයේ රස හා මුහු කරමිනි. 1985 සිට 1988 තෙක් තරුණසේවා යොවුන් ගී යොවුන් මිහිර, සහ නර්තන කණ්ඩායමේ නිවේදිකාව ලෙස ද කටයුතු කළ ඇය 1984 මාතර නගරාධිපති කුසලානය 1978 සිට 1984 දක්වා අත්පන්දු, දැල් පන්දු සහ එල්ලේ ක්‍රීඩාවන්හි දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන දක්වා පැමිණ සමස්ත ලංකා තරග නියෝජනයට ද වරම් ලද්දාය. ක්‍රීඩා කණ්ඩායම්හි නායිකා, උප නායිකා තනතුරු දැරූ ඇය 1980 කොරියා ලංකා අත්පන්දු කණ්ඩායමේ ද සාමාජිකාවකි. මාතර සුජාතා බාලිකා විද්‍යාලයෙන් වාණිජ්‍ය විෂය ධාරාව හදාරා උසස් පෙළ කඩඉම ජයගත් ඇය ජාතික තරුණසේවා සභාවේ යොවුන් ලලිත කලාවේදී ඩිප්ලෝමා පාඨමාලාව සාර්ථක ලෙස පූරණය කළාය.

1991 ජූනි මාසයේදී පෙම්බර කුමරෙකු සහ අතිනත ගෙන මැලේසියාවට පැමිණි ඇය 1992 සිට 2025 වසර තෙක් කාලයේදී 2020 කොවිඩ් වසංගතයට ලෝකය නතු වූ වසරේදී හැර ඉතුරු කාලය මුළුල්ලේම ශ්‍රී ලංකා නිදහස් දිනය වෙනුවෙන් මැලේසියාවේ තානාපති කාර්යාලය මෙහෙයවන උත්සව සඳහා දේශීය නර්තන ඉදිරිපත් කළ ශිල්පිනියකි. 1993.12.16 වැනි දින මැලේසියාවේ බ්‍රික්ෆීල්ඩ් විහාරස්ථානයේ එවකට විහාරාධිපතිව වැඩවිසූ කිරින්දේ ශ්‍රී ධම්මානන්ද නාහිමිපාණන් වහන්සේගේ අවසරයෙන් සහ ශාසන සමිතියේ සභාපතිව සිටි එම්.එච්. ඇල්බට් මහතා සහ ඇගේ සැමියා වූ ඒ. හේමදාස මහතාගේ සහයෝගයෙන් සංසාල සංස්කෘතික සංසදය ආරම්භ කළාය.

“මට කියන්න හරිම සතුටුයි. ලංකාවෙන් පිට පළමුවැනි ලියාපදිංචි dance troupe එක සහ මැලේසියාවේ ශාසන සිංහල සංස්කෘතික නර්තන troupe එක අපි පටන් ගත්තේ. ඒ 1993 දි. අදට පුරා අවුරුදු 32 ක් තිස්සේ මම ඒ දරුවන්ට කිසිදු අයකිරීමක් නැතුව නර්තනය උගන්වනවා.”

1998 දී සිංහල භාෂාව ලිවීම, කියවීම සහ කතා කිරීම නොමිලේම පුහුණු කිරීමේ පන්ති ආරම්භ කළ ඇය අදටත් සති අන්තයේ එම පන්ති පවත්වනු ලබයි. 1991 සිට මේ දක්වා සිංහල දමිළ අවුරුදු උළෙලට මැලේසියානු සිංහල සංගමයේ සිංහල දින රාත්‍රියට නර්තන කණ්ඩායම පටන් ගැනීමට පෙර ඒ සියලුම දේශීය නර්තන අංග ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් කරන්නේ ඇයයි. එමෙන්ම විදේශ තානාපති කාර්යාල හා මැලේසියාවේ වෙනත් සමිති සමාගම්හි පැවැත්වෙන උත්සව සඳහා ද ඇය නර්තන අංගයන්ගේ අපිරිමිත දායකත්වයක් ලබා දෙන්නීය. 1993 වසරේ මලාම් වෙසක් වෙනුවෙන් බෞද්ධ රටවල් පහකින් ඉදිරිපත් කළ නැටුම් අතර ශ්‍රී ලංකාව නියෝජනය කළ ඇය නගාරා ක්‍රීඩාංගණයේ දහස් සංඛ්‍යාත ජනකායක් මැද සමාරම්භක පූජා නර්තනය ඉදිරිපත් කළේ තම දියණිය ද කුස දරාගෙන සිටියදීය. එය එහි ප්‍රකාශකයා බවට පත්වන චීන පුවත්පතකට ද අපූරු පුවතක් වී තිබුණි.

1994 වසරේ සිට මේ දක්වා වෙසක් උත්සවය වෙනුවෙන් වෙසක් ධජය තානාපතිතුමා අතින් එසවෙද්දී ඇය පුහුණු කළ දරුවන් ජය මංගල ගී ගයති. එමෙන්ම භක්ති ගීත වැඩසටහන්, උපන්දින, විවාහ උත්සව, විවෘත කිරීම් ආදී අවස්ථා සඳහා දේශීය නර්තන ඉදිරිපත් කිරීම් කරන ගුරුතුමිය ඇයයි.
1996 සිංගප්පූරුවේ උත්සවයකට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නර්තන අංග ඉදිරිපත් කළ ඇය 2006 දී රටවල් 9 ක් අතර පැවති International Sakyadeetha Conference හි Multi cultural dance event organizer ලෙස උඩරට, පහතරට, සිංහල, චීන, දමිළ, බංග්රා, මැලේ, කඩසන් ආදී නැටුම් ඉදිරිපත් කළාය. 2014 දී පුරා වසර 15 ක් තිස්සේ ඇයගෙන් නර්තනය උගත් ඇගේ දියණියක් සහ තවත් දියණියකගේ ශීර්ෂාභරණ මංගල්‍යය ඇය පැවැත්වූවාය. මැලේසියාවේ පැවැත්වූ පළමුවැනි ශීර්ෂාභරණ මංගල්‍යය ලෙස මැලේසියානු කලා ඉතිහාසයට එක් වීමටද ඇය පළමු ශීර්ෂාභරණ මංගල්‍යයෙන් වරම් ලද්දාය.

2020 ඉන්දුනීසියානු තානාපති කාර්යාලයේ ආරාධනාවක් අනුව රටවල් 29 ක් සහභාගි වූ උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දේශීය නර්තන ඉදිරිපත් කිරීම ද ඇයගේ නර්තන මතක සටහන් අතර තවත් සොඳුරුතම මතකයකි. තවද 2023 දී ලංකාවේ තානාපති කාර්යාලීය සේවකයන්ද සහභාගි කර ගනිමින් පොසොන් බැති ගී උළෙලක් පැවැත්වීමට ඇය මූලික වූ අතර තානාපති කාර්යාල හයක තානාපතිතුමන්ලා එහිදී විශේෂ ආරාධිත අමුත්තෝ ලෙස සහභාගි වූහ. 2023 දෙසැම්බරයේදී තවත් ශීර්ෂාභරණ මංගල්‍යයක් පැවැත්වූ ඇය ඒ දරුවන්ට වසර 17 ක් මුළුල්ලේ නිර්ලෝභීව නර්තන ශිල්පය ඉගැන්වීය.

2023 දෙසැම්බරයේදී ඇගෙන් නර්තනය හැදෑරූ දරුවන් 45 දෙනෙකුට සහ ලංකාවෙන් ගෙන්වාගත් ශිල්පීන් පස්දෙනකුගේ සහභාගීත්වයෙන් පුරා පැය දෙකක් පුරා සංස්කෘතික නර්තන අංග ඉදිරිපත් කළ ඇය විදෙස් තානාපති කාර්යාල හතක තානාපතිවරුන් විශේෂ ආරාධිත අමුත්තන් ලෙස කැඳවමින් පුරා තිස් වසරක සංවත්සර උළෙල උත්කර්ෂවත් ලෙස සැමරීමට තම දායකත්වය නොමසුරුව ලබා දුන්නීය.

තවද 2025 රටවල් 114 ක සහභාගීත්වයෙන් බංග්ලාදේශ තානාපති කාර්යාලය මෙහෙයවූ ජාත්‍යන්තර මව්බස දිනය වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ශාස්ත්‍රීය නර්තන අංග ඉදිරිපත් කළ ඇය නර්තනය වේදිකාවට පමණක් නොව විෂය මාලාවකට අනුකූලව ශාස්ත්‍රීයව ද පුහුණු කරමින් ලාංකික නර්තනය ලෝකයට ගෙන යන්නට එදා මෙදා තුර ලබා දුන් සහ ලබාදෙන දායකත්වය අනුපමේය වේ.

එමෙන්ම තම ආදරණීය මෑණියන් සුජීවත්ව සිටිනා කාලයේදී ඔබ මහමෙරක් සේමැයි නම් මව් උපහාර ග්‍රන්ථය ලියා තම මෑණියන්ට උපහාර පුද කළ ඇය සම්භාවනා සුගන්ධී උපහාර නමින් තවත් උපහාර ග්‍රන්ථයක් ද ලියා පළ කළාය. අදටත් මාතර තමන් සාර සිප් සොයා ගිය පාසල්හි ජීවත්ව සිටිනා ගුරු මෑණිවරුන් සහ පියවරුන්ට උපහාර දක්වන්නට යන ඇය ජීවිතය සාර සුබාවට අස්වද්දා ගන්නට වදනකින් හෝ දිරි දුන් සියල්ලන්ටම තම කෘතවේදීත්වය පළ කරන්නේ අපිරිමිත භක්ත්‍යාදරයකිනි.
ආදරණීය මවකට හා පියෙකුට දියණියක වෙමින් ද ගංගාරාමාධිපති ආචාර්ය කිරින්දේ අස්සජී හිමියන්ට සහ තවත් සොයුරියකට සොයුරිය වෙමින් ද ආදරණීය සැමියකුට සහ යහගුණ පිරි දුවෙකුට සහ පුතෙකුට මවක් වෙමින් ද දහස් සංඛ්‍යාත දරුවන්ට ආදරණීය ගුරුතුමියක් වෙමින් ද ජීවිතයේ රස සාර දල්වාලූ ප්‍රදීපාලෝක ඔස්සේ සොයා යන ආදරණීය ඇඳුරුතුමියනි....

චිරං රක්ඛතු බෝ ආයු මැද නර්තනය ලෝකයට ගෙන ගිය මැලේසියාවේ සිංහල නර්තන රැජිනියනි...

ඔබට ආශිර්වාදාත්මක උපන්දිනයක් වේවා!

• සංජීවිකා සමරතුංග