2021 අප්‍රේල් 24 වන සෙනසුරාදා

ඒ ගීතයයි මගේ ජීවිතයයි අතර මහා බැඳීමක් දැනෙනවා

 2021 අප්‍රේල් 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 176

දකින දෙය විනිවිද දැනෙන දෙය විනිවිද අසන දෙය විනිවිද දකින්නට, විඳින්නට අසන්නට හැකි තැන නිමැවෙන අපූර්වත්වයේ තෝතැන්න නිර්මාණශීලීත්වය ලෙස අරුත් ගන්වන්නට මට සිතෙයි. වෙනස් ඇසකින්, වෙනස් ළයකින් සියල්ලගේ සහ සියල්ලකගේ හදගැස්ම හඳුනාගත හැකි තැන අපූර්වත්වය මැවෙන බව ඉඳුරාම මට දැනෙයි. ඔහු පැමිණි කලාවේ මඟ හසර ඒ අපූර්වත්වය ඒ නිර්මාණශීලීත්වය නෙක කලා නිමැවුම් අතර ඔහු මැනවින් සංනිදර්ශන සහිතව ගෙනහැර පෑයේය. 
ඒ නිර්මාණශීලී මිනිසා නිර්මාණකරුවකු සේම කලාව හා සබැඳි ව්‍යාපාරයකද හිමිකරුවෙකි. ඒ සියල්ල තුළ සාර්ථකත්වය නොබිඳි සංකල්ෂණයකි. 

සුනිල් රත්නායක.. ඒ ඔහුය. මගේ නොවන මගේම ගීතය ගැන හදට දැනුණු හදගැස්මෙන් කතා කරන්නට ගීයක් රුගෙන අද පැමිණියේ ඒ අපූරු නිර්මාණකරුවාය.

මගේ කියන්න මගේම කියන්න වත්කමක් නැති දේවල්වලට ආධ්‍යාත්මිකව මගේම කරගෙන ආදරය කිරීම මනුෂ්‍ය ස්වභාවයක්. ගීත, කවි ආදී කලා නිර්මාණවලටත් මිනිසුන් ඒ විදිහට ආදරය කරනවා. ඒ අයුරින් ඔබ ඔබේම කරගත් ගීතයක් තියෙනවාද කියලා මම ඇහුවොත් මොකද්ද ඔබේ උත්තරය?
මම හුඟාක් ගීත රසවිඳින්නෙක්. ඒ රසවිඳි ගී සමුදාය අතරින් මම හුඟාක් හැඟීම්බරව රසවිඳි ගීතයක් තමයි බන්දුල නානායක්කාරවසම් කියන ප්‍රවීණ ගී පද රචකයා රචනා කළ එක්පෙති මලක් විය නුඹ මගේ අත් දෙකට කියන ගීතය.

ඔබ කැමති ගීත සමුදායක් අතුරින් එය ඔබේ ප්‍රියතම ගීතය වෙන්නට තරම් සුවිශේෂී වූ හේතුව කුමක්ද?
ඒ ගීතයයි මගේ ජීවිතයයි අතර මොකක්දෝ බැඳීමක් තියෙනවා. ජීවිතයේ සමහර දේවල් අපිට ලෝකය ඉදිරියේ වචන බවට පරිවර්තනය කරන්න බැහැ. ඒ විදිහට ලෝකයක් ඉදිරියේ වදන් බවට පත් නොකරන ඇතැම් හැඟීම්, සංසිද්ධීන් අපි පුදුමාකාර සතුටකින් හිතින් විඳිනවා. විරහ රසය දනවන මේ ගීතය මගේ ජීවිතේ සිදුවූ එක්තරා සිදුවීමක් එක්ක මම මගේම කරගත්ත ගීතයක්. ආත්මීය වශයෙන් මගේ හදවතේ සියුම් අක්මුල් පවා ස්පර්ශ කළ ගීතයක්.

ඔබව මෙතරම් ප්‍රකම්පනයට පත් කළ ඒ ජීවන අත්දැකීම් මේ මොහොතේ වචන බවට පත් කරන්න අපට පුළුවන්ද?
දැන් මම වයසින් වියපත් මනුස්සයෙක්. මේ ගෙවන ජීවිතය වට කරගෙන සමාජයීය හා සංස්කෘතික බැඳීම් ප්‍රාකාරයක් වගේ මා වටා තියෙනවා. ඒක මට විතරක් නෙවෙයි මේ ලෝකයේ හුඟාක් අයගේ ජීවිත හා සබැඳෙන ඒ ජීවිතවලට වලංගු සත්‍යයක්. ඒ නිසාම ඔබ හාරා අවුස්සන්න හදන මගේ අතීත අත්දැකීම මට වචනවලට පෙරළන්න බෑ. එය වචන බවට පරිවර්තනය කළොත් එය විවිධ ඵල මා වෙත තෑගි කරන්න හේතුවක් විය හැකියි. ඒ නිසා ඒ ජීවන අත්දැකීම හැකිතාක් දුරට මම මගේ හදවතේ රහසක් ලෙසම සඟවාගෙන සිටින්නම්.

මේ ගීතය ඔබ හෘද සංවේදීව විඳින්නෙ කොහොමද කියලා අපි කතා කරමුද?
මම අදටත් පුදුම වෙනවා විධායක බැංකු නිලධාරියෙක් වූ බන්දුල නානායක්කාරවසම් කියන මගේ මිත්‍රයා මේ තරම් ලස්සනට හදවතට දැනෙන්න ගීත ලියන්නෙ කොහොමද කියලා. ඔහු වෙනස්ම අපූර්ව පරාසයක ගීත රචනා කළ ගී පද රචකයෙක්. මේ ගීතයෙන් කියවෙන්නේ ආදරය තුළ අත්විඳි විසල් ප්‍රබල පහරක් ගැන.

එක්පෙති මලක් විය
නුඹ මගෙ අත් දෙකට

ඒ එක්පෙති මලට ඔහු ආදරය කළත් ඒ මල නෙලාගන්න යන්නෙ නෑ. අත්පත් කරගන්න, අයිතියක් කියන්න, හිරිහැර කරන්න යන්නෙ නෑ. අපේ සංස්කෘතිය තුළ අදටත් වඩා අතීතයේ යුවතියක සතු මහා වටිනාකමක් පාරිශුද්ධ දායාදයක් ලෙස සැලකුණේ ඇගේ කන්‍යාභාවය. අද එය විටෙක සෙල්ලම් බඩුවක් තත්ත්වයට පත් වුවත් එදා කන්‍යාභාවය සැලකුණේ එය නැතිකර ගත්තොත් මුළු ජීවිතයම විනාශ වුණා හා සමාන විපත්තියක් ලෙසට. එදා කන්‍යාභාවය පිදුවේ තමන් අයිති කරගන්න, විශ්වාස කරන පිරිමියා ඉදිරියේ. වර්තමානයේ හුඟාක් තරුණ තරුණියන් එය වටිනාකමක් සහිත දෙයක් ලෙස සලකන්නෙ නැති තරම්. මේ ගීතයේ එන පෙම්වතා තමන්ගේ බෝසත්කමට ඒ මල නෙලාගන්න යන්නෙ නෑ.

එක්පෙති මලක් විය
නුඹ මගෙ අත් දෙකට
නෙලා නොගත්තේ
මගෙ බෝසත්කමට
හැර ගිය දිනේ නාවත් මා ගම් දොරට
ආවේ ඇයිද විරහී හිත අද්දරට

ඇය ඔහු අත්හැර යද්දි ඔහු ඒ ගමේ නෑ. මගේ ජීවිතයේ එක්තරා සිද්ධියක් විඳින්න වෙද්දි මම හිටියේ විදේශ රටක. එදා මට ඒ දැනුණු හැඟීම් මට තාම මතකයි. මේ සියල්ල තුළ තමා මම මේ ගීතය රසවිඳින්නේ.

මම විශ්වාස කරනවා ඕනෑම ගීතයක යම් පද පේළියක් තියෙනවා හදවත කොනිත්තලා අල්ලාගන්න. ඔබේ හදවතේ එක් තැනක් අල්ලා ගත්තේ මේ ගීතයේ මොන පද පේළියද?
මේ ගීතයේ එක තැනක නොකියා කියනවා මේ ගීතයේ ජීවත් වන ඔහු ඒ මල නෙලා නොගත්තේ ඔහුගේ ජීවිතයටත් අයිතිකාරියක් හිටි නිසා කියලා. ඒ හිටිය කෙනා ආදරවන්තියක්ද බිරිඳද කියන්න දන්නෙ නෑ.

සතුකර ගන්න මුල් පෙම නොපිදූ බැවින 
දුක්බර සිතට කීවෙමි නොහඬන ලෙසින

මොකක් හෝ හේතුවක් නිසා හදවතට දැනුණත් නොදැනුණත් ඒ බැඳීමෙන් මිදිලා මේ බැඳීමේ රුඳෙන්න ඉඩ හසරක් නොතිබුණු බව කියන ඒ පද ටිකට මම හරි ආසයි.
බෝසත් හිතකට ඇරෙන්න මම නැතත් ඔබ කොහේ හිටියත් මගෙන් ලැබුණු ආදරයම ඔබට ලැබේනම්, ඔබ සතුටින් නම් මට ඒ ඇති කියලා හිතලා සැනසෙන්න බෑ. එය අවෛරයෙන් තොර සමුගැනීමක්. 

ගීතයක පද රචනය, භාවමය කටහඬ, සංගීතය, මේ අංග අතුරින් මේ ගීතයේදී ඔබට වඩාත් සුවිශේෂී ලෙස දැනෙන්නේ කවරක්ද?
මම ආසම මේ ගීතයේ අන්තර්ගතයට. හැබැයි ඊට නොදෙවෙනි ලෙස රොහාන් ශාන්ත බුලේගොඩ මේ ගීතය ගායනා කරනවා. ඒ ගායන විලාසයෙත් ඒ හඬෙත් මට දැනෙන්නේ බෝසත් ස්වරයක්. ඒ කටහඬට මම ඇත්තටම පුදුම විදිහට ආදරෙයි. ඒ ගීතයේ අන්තර්ගතය හරි අපූරුවට මේ කටහඬත් එක්ක පෑහෙනවා.

මේ ගීතය ගැන ඔබ ඔබේ බිරිඳ එක්ක කතා කර තියෙනවද?
මම හුඟාක් ප්‍රිය කරන දෙයක් තමයි පවුල තුළ සාමය. හැබැයි ඉවසීමෙන් ඒ සාමය රුකගන්න කාන්තාවන් හරි අඩුයි. ඒ නිසා මම මගේ ජීවන අත්දැකීම්, පෞද්ගලික අත්දැකීම් ඇය හා දරුවන් සමඟ සුලභව බෙදාගන්නෙ නෑ. මිතුරන් සහ කිට්ටුවන්තයන් සමඟවත් මම ජීවිතයේ අතිශය පෞද්ගලික දේවල් කතා කරන්නෙ නෑ.

ජීවිතයට හුඟාක් කිට්ටුවන්ත ලෙස දැනෙන කෙනෙක් එක්කවත් ඇයි ඔබ ජීවිතය ඒ විදිහට බෙදානොගන්නෙ?
අපිට විශ්වාසවන්ත මිතුරන් සිටිය යුතුයි. එහෙත් ඒ කිට්ටුවන්තයා මිතුරෙක් නොවී මිතුරියක් වුණොත් කටකතා රුසකට පසුබිම නිර්මාණය වෙන ගෝත්‍රික වැඩවසම්වාදී සමාජයක අපි අදටත් ජීවත් වෙන්නේ. මට ඉතා කිට්ටුවන්ත මිතුරු මිතුරියන් රුසක් ඉන්නවා. ඒ අතුරින් මම ඉතා ගැඹුරින් ජීවිතය ගැන කතා කළ අයත් ඉන්නවා. හොඳ ජීවිත අවබෝධයක් තියෙන අය එක්ක මම විවෘත වෙන තැන් තියෙනවා.

ඔබ බන්දුල නානායක්කාරවසම් කියන අපූරු ගී පද රචකයා සමඟ මේ ගීතය ගැන කතා කර නැද්ද?
වෙන ගී ගැන කතා කළත් මේ ගීතය ගැන කතා කරන්න තරම් විවේකයක් මට ලැබුණේ නෑ තාම. 

අද්‍යතන පරම්පරාවේ සුභාවිත රසඥාතාව ගැන ඔබට සෑහීමකට පත්විය හැකිද?
අද්‍යතන පරම්පරාව අපි හිතන තරම් දුර්වල නෑ. මත්පැන්වල තියෙන ආදීනව අවබෝධ කරගත් ආගම දර්ශනය ගැන මනා බැඳීමක් ඇතිකරගත් පිරිස් අද්‍යතන පරම්පරාවේ ඉන්නවා. අන්ධ භක්තිකයන් නොවී යථාර්ථවාදීව ඒ සංකල්ප අඳුරාගත් පිරිසක් ඉන්නවා. ඒ වගේම සාහිත්‍යයට ආදරය කරන පිරිසකුත් ඉන්නවා. අවාසනාවට අපේ මේ වර්තමාන සමාජයේ ඒ දරුවන්ට කලා රසඥතාවක් ඇතිකරගන්න බැරි පරිසරයක් මැවිලා තියෙනවා. ගිරවු වගේ පත පොත කටපාඩම් කිරීමෙන් එහා විභාග මානසිකත්වයෙන් එහා හිතන්න බැරි දරු පරපුරක් නිර්මාණය වෙන්න සමාජයම පසුබිම සකසා තියෙනවා. ඒ අතරින් පිරිසක් කලාව හා බැඳී සිටිනවා. නිකම්ම නිකම් අමු අධ්‍යාපනයකට යොමු කරනවට වඩා සාහිත්‍ය සමඟ බැඳෙන මඟකට මේ දරුවන් යොමු කරන්න පුළුවන්නම් ඉවසිලිවන්ත බුද්ධිමත් ජීවිතාවබෝධ ඇති දරු පරපුරක් අපිට දකින්න හැකිවේවි.