ආතර් යූ. අමරසේනයන් විසිතුර සිනමා පුවත්පතේ කර්තෘත්වය දරද්දී රන් තරුවක් නමින් කුමාර කරැණාරත්නගේ නවකතාවක් පළවිය. (මෙය හැත්තෑව දශකයේ මුල විය යුතුය) එම නවකතාවේ ඡායාරූපවලට පෙනී සිටීම සඳහා තෝරාගෙන තිබුණේ විජය කුමාරණතුංග නම් නැගී එන කඩවසම් නළුවකු සහ ජානකී කුරුකුලසූරියයි. ඒ කාලයේ විජයට කොළඹ එන්නට යාන වාහන නොවීය.
පින්තූර ගත්තෙ ජී.ඇල්. ආරියපාල. ඉතින් විජය සීදූවේ ඉඳල කොච්චියේ ඇවිල්ලා පින්තූරවලට ඉඳලා යනලා. කුමාර කරුණාරත්නයන් දිනෙක මට කීවේ විජය කුමාරණතුංග නම් ඒ නවක නළුවා ජනප්‍රියත්වයේ හිනිපෙත්තේ වැජඹෙන පසු කාලයකදීය. විජය එකල සිටි ජනප්‍රියත්වය අනුව එය එක්තරා ආකාරයකට ප්‍රබන්ධයක් වැන්න.
මේ කතාව පටන් ගැනෙන්නේ විජය- චන්ද්‍රිකා විවාහය සිදුවූ ආසන්න කාලයේදීය. සුනිල් ආරියරත්නගේ කිඳුරු කුමාරි රූගත කිරීම් යොදාගෙන තිබුණේද ඒ කාලයේදීමය. විවාහයෙන් පසුව නව යුවළ එතෙර සංචාරයක් සඳහා දින යොදාගෙන තිබුණි. මට මතක විදියට එය යුරෝපයේ සංචාරයකි. එහෙත් විජය එම ගමන කල්දමාගෙන රූගත කිරීම් සඳහා ත්‍රිකුණාමලයට ගියේය.
කිඳුරු කුමාරි චිත්‍රපටයේ රෑගත කිරීම් ආරම්භ කර දින කිහිපයකට පසු කැමරා ශිල්පි තිලක් රත්නායකත් මාත් ත්‍රිකුණාමලය බලා පිටත් වූවේ රාත්‍රී තැපැල් දුම්රියෙනි. දැන් මෙන්ම වසර 42කට පෙරද රාත්‍රි 8.30ට කොළඹ කොටුවෙන් පිටත්වන දුම්රිය පාන්දර වනවිට ත්‍රිකුණාමලයට ළඟාවෙයි.
1978 වනවිට වර්ගවාදී යුද්ධය ආරම්භව නොතිබුණි. ඒ නිසා රාත්‍රී දුම්රිය ගමන ආරක්ෂිත විය. අපට යා යුතුව තිබුණේ කුච්චිවේලි වෙතය. මුළු රැයක් දුම්රියේ නිදිවරා උදේ ත්‍රිකුණාමලයට පැමිණ බස් කිහිපයකින් පමණක් නොව පාරුවලින්ද එගොඩ වී කුච්චිවේලි කරා යෑම තරමක් දුෂ්කර කාර්යයක් විය. යුද්ධය කාලයේ ඒ පාලම් කඩා දැමූ අතර දැන් නව පාලම් ඉදිව තිබේ.
දැන් මෙන් මාර්ග පහසුව නොතිබුණු එකල පාරුවලින් එගොඩ වී කුච්චිවේලි කරා යෑම එක් අතකට මට පසක් කළේ කිසියම් නුහුරු රටකට යන්නාක් මෙනි. බොහෝ විටෙක අපට මඟතොටදී හමුවූයේ සිංහල කතා කිරීමට නොහැකි ධීවර පිරිස්ය. ඒ නිසා මඟතොට අසා ගැනීමද දුෂ්කර විය. සුනිල් රෑගත කිරීම් සඳහා යොදාගෙන තිබුණේ කුච්චිවේලියේ තිබූ තුන් පැත්තකින්ම මුහුදෙන් වට වූ බිම් කඩකි. එය දූපතක් මෙනි. හාත්පස සැදි විශාල කළුගල් තලාවෙන්ද කරදියට ඔරොත්තු දෙන වියළි කලාපයටම උරැම වූ ගහකොළින්ද යුත් ඒ දූපතට සිසිල ගෙනාවේ මුහුදු සුළඟ පමණකි.
ධීවර ගම්මානයකට අනිවාර්යයෙන්ම තිබිය යුතු දැල් ආම්පන්න, ඔරු පමණක් නොව මාළු වාඩිද අවට දැකගත හැකිවිය. තිලක් හා මා පාරැවකින් එගොඩ වී විශාල වැලි කන්දක් තරණය කර දර්ශන තලයට ළං වනවිට විජයගේ මුහුණේ ඇඳුණේ මනස්කාන්ත සිනාවකි. නුහුරු නුපුරුදු පරිසරයකදී අප දුටු විට ඔහුගේ හදවතට දැනුණ ළෙ න්ගතුභාවය ඒ සිනාවේ රැඳී තිබිණ.
කිඳුරු කුමාරි කතාව ගෙතී යන්නේ ත්‍රිකුණාමල ප්‍රදේශයේ දූපතක දිවි ගෙවන තිදෙනකු වටාය. එහි එක් චරිතයක් රඟපෑවේ විජයයි. සෙසු ප්‍රධාන චරිතවලට පණ පෙව්වේ රොබින් ප්‍රනාන්දු සහ ජෙනිටා සමරවීරය. කැමරා ශිල්පියා වූයේ එච්.ඒ. ප්‍රේමසිරිය. සුනිල්ගේ චිත්‍රපටවලට සම්බන්ධ වීමෙන් පසුව ඔහු ප්‍රේමසිරි හෙට්ටිආරච්චි නමින් වඩාත් ප්‍රකට වූයේය. කලා අධ්‍යක්ෂ එරල් කෙලී, සහාය අධ්‍යක්ෂ ජෙරාල්ඩ් ප්‍රනාන්දු, ජෙනිටාගේ මව දර්ශන තලයේ සිටි අය අතර මට තවමත් මතකය. ඒ හැරුණු විට කැමරා ශිල්පි මනමේන්ද්‍ර හා සෝමපාල ධර්මප්‍රියද අතිරේක කැමරා ශිල්පින් වශයෙන් ඊට දායක වූහ. වෙඩි පිපිරවීම් ජොනී ඩී හට් සහ කරුණාදාස අතුරුගිරිය ගෙනි. මෙය නිෂ්පාදකවරු කිහිප දෙනකුම සම්බන්ධ වූ චිත්‍රපටයකි. කතාව සුසීමා දමයන්තිගෙනි.
රූගත කිරීම් කණ්ඩායම නැවතී සිටියේ කුච්චිවේලි තානායමෙහිය. එය කාමර කිහිපයකින් යුතු කුඩා තානායමකි. එය පිහිටා තිබුණේද තුන් පැත්තකින් වට වූ මේ අපූරැ බිම්කඩට නොදුරෙනි. කාමරවලද ඇතැමුන් සාලයේද රාත්‍රිය ගත කළ බව මට මතකය. එය විජයගේ සුන්දරම කාලය යයි මට සිතෙයි. උදේ පාන්දරින්ම තනිපාට සරමකින් සැරසුනු විජය සිනාමුසු මුහුණින් දකින්නට ලැබෙයි.
විජය මේ කාලයේද දේශපාලනයට සම්බන්ධ වී සිටියේය. කුච්චිවේලි තානායමේ උදේ ආහාරය ගනිද්දී විජය හා එහි සිටි කිසිවකු අතර ඇතිවූ දෙබසක් මට තාමත් මතකය. උදා ආහාරය සූදානම් කර තිබුණේ බටහිර ක්‍රමයටය. නැතහොත් ඉංග්‍රිසි උදෑසන ආහාර වේලකි. විජය රොබින් ජෙනිටා ඇතුළු පිරිස මේසයේ වාඩි වී හැඳි ගැරුප්පුවලින් බටහිර පන්නයට උචිත වන සේ ආහාර ගනිමින් සිටියහ. කතාව ආවේ ඒ අතරය.
විජය මහත්තෙලා කතා කරන්නෙ සමාජවාදෙ, දුප්පත් මිනිස්සු ගැන. ඒ වුණාට කන්නෙ බොන්නෙ හැඳි ගෑරුප්පුවලින්...
එය විජයගේ දේශපාලනය තියුණු ලෙස විවේචනය කිරීමක් පමණක් නොව ඇනුම්පදයක්ද විය. විජය කෝප වෙතැයි මම සිතුවෙමි. ඔහුගේ පිළිතුර කුමක් විය හැකිද?
අපි එහෙම තමයි. අපි කෝකටත් ඔට්ටුයි. හැඳි ගෑරුප්පුවලින් කනකොට එහෙම කනවා. බිම වාඩිවෙලා කන්නත් පුළුවන්... විජය කීවේ සිනාසෙමිනි.
අපි දින කිහිපයක්ම කුච්චිවේලියේ රැඳී සිටියෙමු. විජයගේ විදේශ ගමනට තිබුණේ දින දෙකක් වැනි සුළු කාලයකි. ඒ නිසා ඔහු යුහුසුළුව රූපගත කිරීම්වල නියැළුණේය. එම දූපතේ රඟපෑම්වල යෙදෙද්දී ඔවුන් හැඳ සිටියේ ගෝත්‍රික ඇඳුමක ස්වරෑපය ගත් අමුතුම ඇඳුම් කට්ටලයකි. දූපතක සැඟවී ජීවත්වන මිනිසකු හට තවත් මිනිසකු හමුවීමත් ඉන්පසුව හමුවන තරුණියක් නිසා ඔවුන්ගේ ජීවිත වෙනස්වන ආකාරයත් කිඳුරු කුමාරි කතාව වී තිබිණ.
අප සිටි එක් දිනයක රූගත කෙරුණේ වෙඩි පිපිරවීම් දර්ශන පෙළකි. ඒ සඳහා පැමිණ සිටි කැමරා ශිල්පීන් අතර මට මතකයේ සිටින චරිතය වූයේ සෝමපාල ධර්මප්‍රියය. ඔහු රේඛාව චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑ ළමා නළුවායි. පසුකලෙක තවත් සිංහල චිත්‍රපටයක දෙකක ඔහු දැකගන්නට අපට හැකි විය. ඉන්පසුව ඔහු කැමරා ශිල්පියකු ලෙස හමුවීම විශේෂිතය. අපි රේඛාව ගැන කතා පමණක් නොව නොයෙක් විහිළු තහළුද කර ගතිමු. එක් දිනෙක රාත්‍රී ආහාරය සූදානම් කර තිබුණේ මාළු වාඩියකය.
පොල් අතු සෙවිළි කළ, තාප්ප මෙන් හතර වටේට පොල් අතු බැඳ තිබූ විශාල මඩුවක මුහුදු සුළං පහස විඳිමින් රාත්‍රී ආහාරයෙන් සප්පායම් වීම අමුතු අත්දැකීමක් විය. මුහුදු වැල්ලට උඩින් අමු පොල් අතු දමා ඊටත් උඩින් පැදුරු දමා තිබිණ. ආහාර ගත යුතු වූයේ බිම වාඩිගෙනය. විජය තානායමේදී කීවාක් මෙන් ඔහුට බිම වාඩි වී ආහාර ගැනීම ගැටලුවක් නොවීය.
පසුදා රූගත කිරීම් නිමවූ විගස ඔහුට කොළඹ යාමට අවශ්‍යව තිබිණ. ත්‍රිකුණාමලයේ සිට කොළඹට වාහනයක් ලබාදීම නිෂ්පාදන කණ්ඩායමට වියදම් අධික කටයුත්තක් විය. විජය රාත්‍රී දුම්රියේ කොළඹ බලා යන්නට එකඟ විය. මාත්, විජය කුමාරණතුංගත්, තිලක් රත්නායකත් කැමරා අංශයේ තවත් කිහිප දෙනෙකුත් එදා රාත්‍රී දුම්රියේ කොළඹ ආවා මතකය. මුදල් හදල්, යාන වාහන, ජනප්‍රියත්වය නැති කාලයේ තරුණයකු දුම්රියෙන් ගමන් කිරීම සාමාන්‍ය කාරණයකි.
එහෙත් දැන් විජය ශ්‍රී ලංකාවේ ජනප්‍රියම යොවුන් නළුවාය. ඔහු දැකගන්නට ජනතාව පොරකති. තිරයේ දකින ඔහුගේ රූපය දැකගන්නට ප්‍රේක්ෂකයෝ වැල නොකැඩී එති. එපමණක් නොවේ. ඔහු දේශපාලකයකු ලෙසින්ද පැහැබර ගමනක් යන්නට අඩිතාලම දමාගෙන යයි. ඔහු විවාහ වී සිටියේ ශ්‍රී ලංකාවේ කීර්තිමත් අගමැතිවරුන් දෙදෙනකුගේ දියණියක සමඟය. ඉන් එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා ආසියාවේ රිදී සීනුව ලෙස විරුදාවලි ලැබූවෙකි. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ලෝකයේම ප්‍රථම අගමැතිනිය ලෙස වාර්තාගත වී ඇත.
මා මේ සටහන තබන්නේ මෙතරම් ජනප්‍රියත්වයක් ලද මෙතරම් භාග්‍යයක් ලද නළුවෙකු අද සිටියේ නම් පැය දහයක් එකොළහක් රෑ පුරා නිදි මරාගෙන රාත්‍රී දුම්රියක එන්නට කැමති වේද යන්නයි.
පසුදා උදේ විඩාබර ගතින් යුතු විජය කොටුව දුම්රියපොළෙන් බැස දුම්රිය වේදිකාව දිගේ ඉක්මන් ගමනින් යද්දී එතැන සිටි ජනතාව විස්මිතව ඔහු දෙස බලා සිටි අයුරු මට තවමත් සිහිපත් වෙයි. කොටුව දුම්රිය පොළෙන් අප සමඟම එළියට ආ විජය මොරිස් මයිනර් වර්ගයේ ටැක්සියකට අත වනා නවතාගෙන තලකොටුව වත්තේ නිවස කරා පියනැගුවේ එදා සැන්දෑවේ එතෙර ගමනට සූදානම් වන්නටය.
ඉඳහිට අදද ත්‍රිකුණාමලයට යන අවස්ථාවකදී කුච්චිවේලි හරහා ගමන් කරද්දී සුනිල්ගේ කිඳුරු කුමාරි රූගත කළ ඒ සොඳුරැ බිම්කඩ ඈතින් දැකගත හැකිය. ත්‍රිකුණාමලයේ සිට මෙතැනට එන්නට අප ඒ කාලයේ මොනතරම් දුෂ්කරතාවක් වින්දාද, පැරණි තානායම යුද්ධ කාලයේදී හමුදාවේ නවාතැනක් විය.
වසර හතළිහකටත් එහා කාලයකදී දුටු ඒ සොඳුරු දූපතේ අද තවමත් දැකගත හැක්කේ එදා මා දුටු ගල්කුළු පමණකි. එය දකින මට එදා ගල්කුළු, වියළි වන ලැහැබ් අතරින් කිඳුරු කුමාරි රූගත කරනු දැකගන්නට ඔබ මොබ පැනගිය සොඳුරු අතීතය සිහිපත් වෙයි.
මා සමඟ විශේෂාංග ලියන්නට එදා දර්ශන තලවලට නිරතුරුව එක්වූ කැමරා ශිල්පි තිලක් රත්නායක මීට ටික කලකට පෙර අප අතරින් සදහටම සමුගත්තේය. ජෙනිටා සිනමාවෙන් සමුගෙන බොහෝ කල්ය. මෑත කාලයේ එක් දිනකදී ඇය මට හදිසියේම සුපිරි වෙළඳසලකදී මුණ ගැසිණ. එකල, ත්‍රිකුණාමලයේ සිටි සෑම උදයකම ක්‍රීඩා ඇඳුමකින් සැරසී උජාරුවෙන් මුහුදු වෙරළ දිගේ ව්‍යායාම සඳහා ඔබ මොබ දුවන ජව සම්පන්න රොබින් ප්‍රනාන්දු හමුවූ කාලයක් මතක නැත. විජයත් රොබිනුත් කොටහේනේ ශාන්ත බෙනඩික් විදුහලේ පාසල් මිතුරෝය.
වරක් රොබින් මට කීවේ හන්තානේ කතාවට එන්නට පෙර විජයට චිත්‍රපටයක දෙකක සුළු චරිත කීපයක් රඟපාන්නට ඔහු අවස්ථාව ලබාදුන් බවය. කිඳුරු කුමාරි කළු සුදු චිත්‍රපටයකි. එකල මේ විශේෂාංගය සුරතුර පුවත්පතේ පළවූයේද කළු සුදු වර්ණයෙනි. විජය වරක් පවසා තිබුණේ ඔහු රඟපාන්නට වඩාත් කැමැති කළු සුදු චිත්‍රපටවල බවය. එහි වර්ණ චිත්‍රපටයකට වඩා අපූරු ජීව ගුණයක් ඇතැයි ඔහු පැවසීය. ඔහු අවසන් වරට නිෂ්පාදනයෙන් දායක වූවේද කළු සුදු චිත්‍රපට දෙකකට හෝ තුනකටය.
එදා කුච්චිවේලි වෙරළේ කොට කලිසමක් පමණක් ඇඳගෙන රැල්ලට තෙමෙමින් රූපගත කිරීම්වල නිරත වූ සුනිල් ආරියරත්නගේ ඡායාරූපයක් ගන්නට තිලක් කැමරාව මානද්දී තිලක් ඕක ගත්තට කමක් නෑ... උඹ පත්තරේ එහෙම දානවා නෙවෙයි... සුනිල් කීවේ මඳක් ලැජ්ජාවෙනි.
මෑතකදී ඒ පුවත්පත් තීරුව මා දකින විට ඔහුගේ ඒ ඉල්ලීමට පිටුපා සුනිල් කොට කලිසමෙන් සැරසී සිටින ඒ ඡායාරූපය පළ වී තිබිණ. වසර හතළිහකට එහා ඒ සොඳුරැ සිදුවීම් චිත්‍රපටයක් මෙන්ම අදද කළු සුදු මතකයකි.
රොඩ්නි විදානපතිරණ