නාලක අධ්‍යක්ෂණය කළ ඩාක්රූම් වේදිකා නාට්‍ය ගැන අපි මුලින්ම කතා කළොත්..?
ඩාක්රූම් කියන්නෙ පවතින ආර්ථික සමාජ රටාව තුළ ජීවත්වෙන මිනිසුන්ගේ කතාවක්. මේ නාට්‍යයෙන් හුදෙක් සිනහවෙන් පිරුණු මිනිසුන් සමාජගත කරන්න උත්සාහ ගන්නෙ නැහැ. යමක් තේරුම්ගත හැකි මිනිසුන් පිරිසක් සමාජගත කරන්න අපි උත්සාහ ගන්නවා. ආර්ථික රටාව, සමාජයේ දැක්ම, දරිද්‍රතාවය, මේ සියල්ල ගැනම අපි ඩාක්රූම් වේදිකා නාට්‍යයෙන් කතා කරන්න උත්සාහ ගන්නවා.
ඩාක්රූම් සංකල්පය ගොඩනැගෙන්නෙ කොහොමද..?
ඩාක්රූම් වේදිකා නාට්‍යයේ පිටපත ලිව්වේ රත්නතිලක පරණවිතානයි. එම වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණය සහ නිෂ්පාදන කටයුතු කරන්නෙ මමයි. මම වසර දහයක් පමණ වේදිකා නාට්‍යවලට සම්බන්ධවෙලා තිබුණා. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට වෙනස්ම දැක්මකින් අලුත් වේදිකා නාට්‍යයක් නිර්මාණය කරන්න ඕනකමක් තිබුණා. එකම කෝණයක සිට නිර්මාණයක් සමාජගත කරන්න මම කැමති වුණේ නැහැ. ඒ නිසා තමයි ඩාක්රූම් වේදිකා නාට්‍ය නිර්මාණය වුණේ.
නාලක හපුආරච්චි නාට්‍යකරුවා බිහිවෙන්නෙ කොයි අවධියේද..?
මම රත්නපුර කලවාන ප්‍රදේශයේ ඉපදුණු කෙනෙක්. මම පාසල් යන කාලේ ඉඳන්ම නාට්‍යකරුවෙක් වෙන්න ආස කළා. පාසල් අධ්‍යාපනයෙන් පසුව ගමේ තියෙන සුවඳත් එක්ක මම කොළඹට ආවා. ඒ පැමිණි ගමනේදී කලාව වෙනම කෝණයකින් දකින්න උත්සාහ කළා. ඔය අතරේදී මට විවිධ අධ්‍යක්ෂකවරුන් යටතේ වැඩ කරන්න අවස්ථාව ලැබුණා. රංගන ශිල්පියෙක් විදිහට විවිධ නිර්මාණවලට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා. ඒ ඔස්සේ ජීවිතයට අත්දැකීම් බොහොමයක් එකතු කරගන්න අවස්ථාව ලැබුණා. අද වන විට ඩාක්රෑම් වේදිකා නාට්‍ය විශ්වවිද්‍යාල හතරක වේදිකාගත කරලා තියෙනවා. ඉදිරියේදීත් අනෙකුත් විශ්වවිද්‍යාල සහ සමාජයේ ජීවත්වෙන සියලුම වේදිකා නාට්‍ය නරඹන්නන් ඉදිරියේ සමාජගත කරන්න ලොකු කැමැත්තක් තියෙනවා. මේ වේදිකා නාට්‍යයෙන් මානව දයාව පිළිබඳව කතා කරන්න අපි උත්සාහ ගත්තා. ඒ උත්සාහය සාර්ථකයි කියලා හිතෙනවා. වේදිකා නාට්‍ය නැරඹීමෙන් යම් හොඳ දෙයක් හිතට දැනෙන්න සලස්වන්න මම උත්සාහ ගත්තා.
නාලක පාර්ලිමේන්තුවෙත් ඩක්රූම් පෙන්වන්න උත්සාහ ගන්නවා කියලයි ආරංචිය..?
ඔව්.. මේ නාට්‍ය පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ට පෙන්වන්න කැමතියි. ඩාක්රූම් වේදිකාවේ ලොකු කතාවක් තියෙනවා. ඒ නිසා මේ වේදිකා නාට්‍ය රට කරවන මිනිසුන්ට පෙන්වන්න කැමතියි. මෙතෙක් මේ නාට්‍ය විශ්වවිද්‍යාල සිසු සිසුවියන්ට පමණයි පෙන්වන්න පුළුවන් වුණේ. ඔවුන්ගෙන් ලොකු ප්‍රතිචාරයක් ලැබුණා. රාජ්‍ය නාට්‍ය උළෙලේ දී මගේ නාට්‍යයට තැනක් දුන්නෙ නැහැ. ඒකෙන් මට දිරිගැන්වීමක් ලැබුණේ නැහැ. නමුත් වේදිකා නාට්‍ය නරඹපු බොහෝ දෙනකුගෙන් හොඳ ප්‍රතිචාර ලැබුණා. අවසන් වරට ජනවාරි මස විසිනව වැනිදා කැලණිය විශ්වවිද්‍යාලයේදී ඩාක්රූම් නාට්‍ය වේදිකාගත වුණා. ඉදිරියේදී ඩාක්රූම් වේදිකා නාට්‍ය පාසල් වේදිකාවේත් වේදිකාගත කරන්න බලාපොරොත්තු වෙනවා.
► Text – Dishani / Pic – Internet