Art එකේ කැරට්ටුව..
Nilar සමඟ Danushka
කොළඹට ඉහළ අහස ළා දම්පැහැ ගැන්විලා... වළාකුළුවල ගෑවෙන නොගෑවෙන.. තරමට යවපු එක එක පාට සරුංගල් අහස සිසාරා... එහෙමෙහෙ හැමතැනම පුදුම චමත්කාරයක්... අවට පරිසරයේ වෙනස් වීම ගැන වගක්වත් නැති චතුරස්‍රයට පිටුපසට වෙන්න හිටපු තරුණ පෙම්වතුන් යුවළ ඔවුන්ගේ ආදර ලෝකයේ ඇවිදගෙන හුඟක් දුර ගිහින්... සැදෑ කළුවර ටිකෙන් ටික ටික නිදහස් චතුරස්‍ර භූමිය වෙලාගන්න සැරසෙනවා...
දැන් වෙලාව 6ට කිට්ටු ඇති...
ආයුබෝවන්... නිලාර්...
නිලාර් කිව්වට බෑ... නිලාර් එන්. කාසිම්....
නිලාර් කියන්නේ හැකියාවන් ගොඩක එකතුවක්, ඔහු විටෙක නිවේදකයෙක්. තවත් විටෙක අපූරු ගීත රචකයෙක් ඒ වගේම ලේඛකයෙක්. ඒ සියල්ලටම වඩා ඔහු සරල මනුස්සකමින් පිරුණු මිනිහෙක්. එහෙමයි අපි නිලාර්ව දන්න විදිය.
මාතෘකාවට එන්න කලින් නිලාර් මේ දවස්වල මොනවද කරන්නේ කියලා හෙමිහිටි දැනගෙන ඉමුද? නිලාර්... ඉතින් කියමුද බලන්න ජීවිතය ගැන...
මේ දවස්වල පොඩි පොඩි වැඩ ටිකක් කරනවා... සාහිත්‍ය මාසය මුල්කරගෙන මගේ ගීත පොතක් සහ සංයුක්ත තැටි කිහිපයක් ජනගත කරන්න අදහසක් තියෙනවා... ඒකට පොඩ්ඩක් මහන්සි වෙනවා... ඒක තමා මේ දවස්වල කරන විශේෂ වැඩේ... ජීවිතේ සාමාන්‍ය දියට ගලාගෙන යනවා...
හරි එහෙනම් අපි මාතෘකාවට බහිමු...
නිර්මාණයක හරය ගැන රසවින්දනය ගැන නිලාර්ට අමුතුවෙන් කියාදෙන්න දෙයක් නෑ... නිලාර් කියමුකො බලන්න ඔබගේ හිත දැඩිව කම්පනය කරපු, මතකයෙන් ඉවත් කරන්න ලෝබ පරිකල්පන ලෝකයේ ඔබව අතරමං කරපු නිර්මාණයක් ගැන...
නිලාර්... දෙපාරක් නොසිතා කතාව පටන්ගත්තා...
මගේ හදවතට සමීප නිර්මාණ ගොඩක් තියෙනවා... ඒ අතරින් මම ගොඩක් කැමති පරාක්‍රම කොඩිතුවක්කුගේ ඉතා විශේෂ පොතක් තියෙනවා. අපි ඒක ගැන කතාකරමු.. ඒකෙ නම තමා ඉන්දු සහ ලංකා කියන කවි පොත. ඒක තමා මම තෝරගන්න කාව්‍යයම නිර්මාණ එකතුව...
ඔබ කවි පොත් ගොඩක් කියවලා ඇති... ඒ අතරින් මේ පොතම ඔබේ හොඳම පොත වෙන්නේ කොහොමද...?
ඔව්... මේ පොතේ විශේෂත්වයක් තියෙනවා... ඉන්දීය දෙමළ කවි සිංහලට මුලින්ම පරිවර්තනය වෙන්නේ මේ පොත හරහා... මේ පොත මුලින්ම මිනිස්සු අතරට පත්වුණේ 1979 වකවානුවේ මාවත ප්‍රකාශකයෝ සහ ක්‍රිස්තියානි කම්කරැ සහෝදරත්වය කියන සංවිධාන හා එක්ව තමයි පරාක්‍රම මේක ප්‍රකාශනයටත් පත් කළේ. ඒ වෙනකොට පරාක්‍රම කොඩිතුවක්කු කවියෙක් විදියට පොඩි මල්ලියේ, අකීකරැ පුත්‍රයකුගේ ලෝකය, අලුත් මිනිහෙක් ඇවිත්, කියන පොත් එහෙම ලියලා හිටියේ ඒ වෙනකොටත්... ඒ කාලේ ලංකාවේ සමාජය අද තියෙන තරමට බෙදිලා හිටියේ නෑ... අපි උදාහරණයක් ගත්තොත් පනස් හයේ සහ හැත්තෑ ගණන්වල අග භාගයේ වරින්වර ජාතිබේදවාදී කෝළහාලවලට මුහුණදීලා තිබුණා... ඒත් ඒවා යුද්ධයක් දක්වා වර්ධනය වුණේ නෑ... ඒ වගේ කාලයක අනාගතය ගැන දුරදක්නා නුවණකින් යුතුව කරපු සම්පාදනයක් තමා ඉන්දු සහ ලංකා කියන පොත.
ඔබ ඔච්චරම කැමති පොතේ හදවතට වදින කවියක් දෙකක් මතක් කරමුද...?
පරාක්‍රම කොඩිතුවක්කු කවි පොතේ මුලම භාරතී කියන ඉන්දීය කවියගේ අදහස මෙන්න මෙහෙම... පැහැදිලි කරනවා...
“පාලමක් හදමු අපි ලංකාදීපයට
පුරවා ඉන්දු මුහුද
එක වීදියක් තනමු...”
අපේ ළඟම අසල්වැසියා, කිට්ටුම මිත්‍රයා සමග ගොඩනගාගන්න ඕන සහෝදරත්වය මේ පද පේළි කිහිපයෙන් අවධාරණය කරන්නේ.. කලාපීය වශයෙන් එපිට එක්සත් වීමට තිබෙන උවමනාව මේ තුළ මතු කෙරෙනවා.. ඒ වගේම දෙමළ සමාජයේ තිබෙන විවිධ ප්‍රශ්න යාපනයේ තිබෙන කුලබේදය, වතුකරයේ මිනිස්සුන්ගේ ජීවන අරගලය, උතුරු නැගෙනහිර ප්‍රශ්නය, මඩකලපුවේ ගොවි සමාජයේ දුගීභාවය, ආගම්වාදයට මුවාවෙලා පාරම්පරිකව තිබෙන මිත්‍යාවන් මේවා ගැන එම්.ඒ නූමාන්, මහා කවි, සභාජය රාශා, මුරුගයියා, ජයපාලන්, එම්.එච්.එම්. ශම්ස්, යේසුරාසා, ශංමුගම් ශිවලිංගම් වැනි දෙමළ කවීන් නගපු හඬ තමයි පරාක්‍රම කොඩිතුවක්කු මේ කවිපොතට ගෙනාවේ. මගේ නිර්මාණවලටත් පූර්වාදර්ශයක් වුණා මේ කෘතිය.
නිලාර්... මම මෙහෙම ඇහුවොත්.... කවි පරිවර්ථකයන් ලංකාවේ ගොඩක් ඉන්නවා.. මොකක්ද පරාක්‍රම කොඩිතුවක්කුගේ තියෙන විශේෂත්වය....
කවියක් පරිවර්තනය කරන්න හැම පරිවර්තකයටම බෑ, භාෂා දෙකක් දන්න කෙනෙකුට ලිපියක් පරිවර්තනය කරන්න පුළුවන්, කතාවක් පරිවර්තනය කරන්න පුළුවන්... ඕනෙ නම් ගද්‍ය නිර්මාණයක් පරිවර්තනය කරන්නත් පුළුවන් හැබැයි පද්‍ය නිර්මාණයක් පරිවර්තනය කරන්න ඔහු කවියෙක්ම විය යුතුයි... පරාක්‍රම කවියෙක් විදියට දක්වපු විශිෂ්ඨත්වය මේ කෘතියෙන් හරියටම ඔප්පු වෙනවා... මිනිසාගේ බුද්ධිය වර්ධනය කරන්න, සමාජය බලපෑමක් කරන්න මේ කෘතියට හැකිවුණා කියලා මට හිතෙනවා.... ඇත්තටම ඒ සමාජ මෙහෙවරක්..
“මේකෙ තව අපූරු කවියක් තිබෙනවා...
කඳුළුවල රශ්මියෙන්
මගේ කවිය නොපිපීම අවසන්වේ....”
ඒ එක කවියෙක්ගේ හඬ, තවත් කවියක මෙහෙම තියෙනවා...
“හෙලුව විකුණන ගැහැනු අපි වෙමු,
අඳින්නට වස්ත්‍රයක් ගන්නට....”
මේ කවියෙන් සමාජයේ සිටින කාන්තාව කොච්චර දුප්පත් කමකින් මිරිකෙනවද කියලා ඉතා සියුම්ව කවියෙන් ඉස්මතු කරනවා. තවත් අපූරු කවියක්මටත් මතක් වෙනවා...
“පත්තිනි දේවියගේ පතිවත රැකුනේ
ඇය රජයේ සේවිකාවක් නොවූ නිසයි....”
හරිම විප්ලවීය ස්වරයක් මේ හැම කවියකම ගැබ්වෙලා තිබෙනවා.... මේ හැම නිර්මාණයකින්ම මේ කවියන් උත්සාහ කරලා තියෙන්නේ සිංහළ, දෙමළ, මුස්ලිම් කියන ජාතීන් අතර තියෙන පවුරු බිඳින්න. අපි ඕනෙවෙලා තියෙන්නේ ජාතික සාහිත්‍යයක් කියලා මට හිතෙවා..
මෙච්චරම හිතට දැණුනු ඉන්දු සහ ලංකා කී පාරක් නිලාර් බැලුවාද...?
නිලාර්ගේ මුවගේ සිනාරැල්ලක් නැගුණා...
මම ඒ කාලෙම මේ පොත විසි තිස් වතාවකට වැඩිය කියෙව්වා.... මේ වෙනකොට සියවාරයක් විතර සමහරට විට කියවලා ඇති...
මේ පොත අහම්බෙන් හමුවුණ එකක්ද?
මම පාසල් යන කාලේ කවි පොත් ගැන ලොකු උනන්දුවක් තිබුණා.... ඒ කාලේ මම පොත්හල්වල රාක්ක පීරමින් කවි පොත් හෙව්වා... එතකොට තමා මට මේක හම්බවුණේ.
ඔබ මේ කෘතියෙන් ලබාගත් දෙයින් තව කාට හරි ජීවිතය හදාගන්න දෙයක් කියමුද?
මෙහෙමයි... අපි සිංහල සාහිත්‍ය විතරක් කියවන අය නම්, අපි දන්නෙ නෑ අපේ අසල් වැසි ජනකොටසගේ හෘද සාක්ෂිය ඔවුන්ගේ භාෂාවෙන් ප්‍රකාශ වෙනවා කියන එක. අපි ගොඩක් වෙලාවට, රුසියානු සාහිත්‍ය, ඇමෙරිකානු සාහිත්‍ය වගේ දෙවල්වලට තමා වැඩි කැමැත්තක් දක්වන්නේ... ඒත් අපේ රටේ තිබෙන සහෝදර ජනයාගේ සාහිත්‍ය කියවන්න සංවේදිවෙලා තියෙන්නේ අඩුවෙන්... ඒ සාහිත්‍ය පරිශීලනය කරන්න අවශ්‍ය මාර්ග උපදේශකත් ඒ කාලෙ තිබුණා... මෑතකාලේ අපි අත්වින්ද දරුණුම අත්දැකීම තාම තිස්වසරක යුද්ධය... එදා ඉඳලම ඒ සංවේදකම ගොඩනගාගන්න පුළුවන් වුණා නම් මට හිතෙනවා එහෙම යුද්ධයකට අපි තල්ලුවෙන එකක් නෑ කියලා.... අපිට ඒ ඉතිහාසය වෙනස් කරන්න තිබුණා... දැනුත් අපි ප්‍රමාද නෑ.....
ඔහු කතාවට තිත තිබ්බා...
ජාති බේද ආගම් බේද පසෙකලා.... එකම පාරක යන්න අපි තාම ප්‍රමාද නෑ කියලා මටත් හිතුණා....