බෝ මළුවේ මල් සුළඟට පැටලී, කෙලෙසද කිව මැන සිපගත් දෑතට, මේ පාලු සීත රාත්‍රියේ, දෑස නිලුපුල් තෙමා, මට ආරාධනාවක් කළාදෝ, බිඳුණු කලක අමතක කළ, මගෙ දෑසෙ කඳුළු තව දෑසක සතුටු කඳුළු වේ, මගෙ ජීවිතේ සතුට රැඳී තිබුණේ... වැනි ජනප්‍රිය ගීත ඇතුළත් ගී පද රචනා 2000කට ආසන්න සංඛ්‍යාවක හිමිකරු දැන් වෙසෙන්නේ ලංකාවේ නොව නවසීලන්තයේය.
ප්‍රියානන්ද විජේසුන්දර කී සැණින් අපේ මතකයට නැඟෙන්නේ ගී පද රචකයෙකු පමණක් නොව විවිධ අංශයෙන් දස්කම් පානා ප්‍රවීණ කලා ශිල්පියෙකි.
වසර 22කට පෙර නවසීලන්තයේ පදිංචියට ගිය ප්‍රියානන්ද මේ දිනවල ඔහුගේ කලා ශිල්පිනි බිරිය සන්ධ්‍යා විජේසුන්දර සමඟ කෙටි නිවාඩුවක් සඳහා තම මව්බිමට ඇවිත් සිටිනවා.
මම නම් අඩුම තරමේ අවුරුදු දෙක තුනකට සැරයක්වත් ලංකාවට ඇවිත් යනවා, අම්මා බලන්න. හැබැයි මේ පාර සන්ධ්‍යා ආවෙ අවුරුදු 22කට පස්සෙ. ඇයත් නර්තන ශිල්පිනියක් හැටියට නවසීලන්තයේ දී ශ්‍රී ලාංකික දරුවන්ට අපේ දේශීය කලා කුසලතාවන් ඔප්නංවන්නට ලොකු මෙහෙයක් ඉටු කළා. සන්ධ්‍යා පහුගියදා ඇගේ මුල්ම ගීත ඇල්බමයත් එළිදැක්වුවා. ප්‍රියානන්ද කතාබහට මුලපුරමින් සඳහන් කළා.
නවසීලන්තෙට ගිය මුල්ම කාලෙ නම් අපිට එහෙ ඉන්නම හිත දුන්නෙ නැහැ. කොටින්ම කිව්වොත් මම සන්ධ්‍යාට කිව්වෙ අපේ සූට්කේස්වත් අස්පස් කරන්න එපා, ආපහු යන්න වෙන නිසා කියලා. ඒත් දෛවය එයට ඉඩ දුන්නෙ නැහැ. ශ්‍රී ලාංකිකයෙකු වන ජිත්මන් රාමචන්ද්‍ර අපට මුණගැසීමත්, ඒ හරහා දයා මුදන්නායක දැන හඳුනාගන්නට ලැබීමත් අපේ ගමන් මඟ වෙනස් කරන්න හේතු වුණා. මම වසර ගණනාවක ඉඳන් වැඩ කරන්නෙ නවසීලන්තයේ නවරං ප්‍රඩක්ෂන්ස් ආයතනයෙ. නවසීලන්තයේ ගායන හැකියාවන් තිබෙන කලා ශිල්පීන්ට මම ගීත රචනා කරලා දුන්නෙ නොමිලේ. අපිට ඩොලර් වටිනවා. ඒත් කලාවෙන් ලබාගන්න ඩොලර්වලට මගේ වැඩි කැමැත්තක් නැහැ. සන්ධ්‍යා එළිදැක්වූ නිද්‍රාව බිඳනු මැන ගීත ඇල්බමයටත් මම ගීත රැසක් ලිව්වා. ඒ වගේම වෙනත් ගීත රචනා ද ඒකට ඇතුළත් වුණා. ප්‍රියානන්ද කීය.
සන්ධ්‍යා කොහොමද කලා ලොවට අවතීර්ණ වුණේ?
මම පාසල් යන කාලෙ ඉඳලම ගීත ගායනා කළා. මම රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විදුහලේ ඉගෙන ගත්තෙ. එහිදී මම නැටුම් හැදෑරුවා. අපි නවසීලන්තයට අාෙව් මීට අවුරුදු 22කට කලින්. ඒ කාලෙ අද වගේ ශ්‍රී ලාංකික ප්‍රජාවක් මෙහෙ හිටියෙ නැහැ. අපි මූලික වෙලා අපේ දේශීය කලාව මෙහෙ වෙසෙන ශ්‍රී ලාංකික දූ දරුවන් අතර ප්‍රචලිත කරන්න මහන්සි වුණා. හෙළ මිහිර ප්‍රසංගය බිහිවුෙණ් එහි ප්‍රතිඵලයක් හැටියට. දැන් එය වර්ෂයක් පාසා නවසීලන්තයේ පවත්වන සුවිශේෂී ප්‍රසංගයක් වෙලා. මුල් කාලෙ දරුවන්ට නැටුම් පුහුණු කළේ මමයි. මගේ නිද්‍රාව බිඳිණු මැන ගීත සංයුක්ත තැටිය එළිදැක්වුණේ නවසීලන්තයේදි. එයට ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. ලංකාවෙ ඉන්න මේ ටික කාලෙදි මම අලුත් ගීත කීපයකුත් පටිගත කරනවා. මගේ එකම අරමුණ ප්‍රියා (ප්‍රියානන්ද) ලියපු ගීත සියල්ල එකතු කරලා පොතක් හැටියට එළිදක්වන්නයි. ඒක ලංකාවෙ නැත්නම් නවසීලන්තයේ අනිවාර්යයෙන්ම නුදුරේම සිදුවේවි.
ඒත් එදා අපි අහපු, රසවිඳපු සින්දුයි අද මෙහෙ ඇහෙන සින්දුයි අතර ලොකු වෙනසක් දැනෙනවා. දැන් හැදෙන සින්දු අපට විඳින්න හරි අමාරුයි. ඇය කියනවාත් සමඟම ප්‍රියානන්දත් ඒකට යමක් එකතු කළා.
අද තියෙන්නෙ කට ඇදකරලා ආදරෙයි කියලා කෑගහන සින්දුනෙ. මේ සංස්කෘතිය වෙනස් කරන්න බැරිකමක් නැහැ, ඕනකම තියෙනවනම්. අපේ ප්‍රවීණ සංගීතවේදියෙකු වන ක්ලැරන්ස් විජේවර්ධන එදා මට කියපු කතාවක් මතක් වෙනවා. මල්ලි ඉස්සරහට සල්ලි තියෙනවනම් ගොලුවෙකුටත් ගායකයෙක් වෙන්න පුළුවන් කාලයක් එයි කියලා ක්ලැරන්ස් කීවා. අද ඇත්තටම ඒ දේ වෙලා තියෙනවා. අද හැමදෙනාම සින්දු කියනවා. ඒත් ගායනා කරන්නෙ නැහැ. අද තාරුණ්‍ය සින්දු නම් කියනවා. මමත් ට්‍රිප් යනකොට සින්දු කියනවා.
ප්‍රියානන්ද ඒ ශ්‍රේණියේ ගුවන් විදුලි ගායකයෙක්. ඒත් මේ වෙනකම් එකම ගීතයක්වත් පටිගත කරලා නැහැ. ඒක මේ රටේ වාර්තාවක් වීමට ද ඉඩ තියෙනවා.
අවුරුදු 29 ක් තිස්සෙ මම විද්‍යා ගුරුවරයෙක් හැටියට සේවය කරන අතරතුර තමයි කලා කටයුතුවලත් නියැලුණේ. මම ගුවන් විදුලි නිවේදකයෙක් වුණෙත් අහම්බෙන්. ඒක දිග කතාවක්. ටී.එන්.එල්. රූපවාහිනියේ මුල්ම ප්‍රවෘත්ති නිවේදකයාත් මමයි. එච්.ආර්. ජෝතිපාල කලාකරුවා පටිගත කළ අවසාන ගීතය රචනා කළෙත් මමයි. සෙනෙහස හැකිදෝ සමව බෙදන්නට යන ඒ ගීතයට ජෝති අයියත් පුදුම ආසාවකින් හිටියෙ. 1970 දශකයේ කොළඹ පැවති නොබැඳි ජාතීන්ගේ සමුළුව අතරතුර යුගොස්ලෝවියානු රූපවාහිනී කණ්ඩායම විසින් කොළඹ විදුලි සංදේශ කාර්යාලයේ සිට ලෝකයටම රූපවාහිනී වැඩසටහනක් හරහා ප්‍රචාරය කළේ ජන ජන ජන සේනා... ගීතයයි. ඒ ගීතය රචනා කළේ මමයි. ලංකාවෙ රූපවාහිනී වැඩසටහනකින් ප්‍රචාරය වුණ පළමුවැනි ගීතය ලෙසයි ඒ සින්දුව ඉතිහාසගත වෙන්නෙ.
► Text – Ramesh uvais / Pic - Kushan pathiraja