2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා

දරුවා ඔඩොක්කුවේ තියාගෙන මම පොත් ලීවා

 2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:30 121

තෙසාරා.. ඔබගේ අලුත් පොත ගැන පොඩි විස්තරයක් කළොත්..?
මගේ අලුත් පොත කළු සමනල්ලු. ඒක ආදරය තේමා කරගෙන ලියූ නවකතාවක් වුණාට ඒක ආදර්ශමත් කතාවක්. මේක අද කාලේ විවාහවෙන, ආදර සම්බන්ධකම් පවත්වන තරුණ තරුණියන්ට බොහෝ වැදගත් වෙයි කියලා හිතෙන ආදර්ශමත් ආදර කතාවක්. මේ කතාව මම ලියන්න පටන් ගත්තෙ ගිය අවුරුද්දෙ. හැබැයි පොත ලියලා ඉවර කළේ මේ අවුරුද්දෙයි.

මෙවැනි තේමාවක් යටතේ පොතක් ලියන්න හිතුණෙ ඇයි..?
මේකෙ එක චරිතයක් ඇතුළෙ තවත් චරිත හතරක් පහක් ජීවත් වෙනවා. මේක මෙල්බන් නගරය පාදක කර ගනිමින් ලියවුණු ආදර කතාවක්. විදෙස් රටකට යන ලංකාවේ ගෑනු ළමයෙක්ගෙ චරිතය ඇතුළෙ ජීවත්වෙන චරිත කිහිපයක් මේ පොතෙන් නිරෑපණය වෙනවා. ඒ වගේ ආදරයෙන් පැරදුණු, ආදරයෙන් රැවටුණු චරිත බොහොමයක් මට මුණගැහිලා තියෙනවා. ඒ සියලු දෙනාම මතක් කරලා, ඒ චරිත සියල්ලම එකතු කරලා තමයි මේ පොත ලිව්වෙ. මගේ මෙල්බන් ඉන්න යාළුවෝ අතරේ මම මේ වගේ චරිත ඕන තරම් දැකලා තියෙනවා.

මේ පොතත් එක්ක තෙසාරාගේ මවගේ සහ පියාගේ පොත් දෙකකුත් එකම දවසේ තුන්පොත් රෑන නමින් එළිදැක්වුවා. ඒ සම්බන්ධව මතක් කළොත්..?
ඔව්.. අම්මයි තාත්තයි මමයි ලියපු ඒ පොත් තුන තුන්පොත් රෑන කියලයි හැඳින්වූවේ. තාත්තා ලියපු නවසීලන්තයේ සිදුවුණු දේ සහ සිහිවුණු දේ කියන පොත තාත්තා (වී.පී.ඒ. ජයවර්ධන) නවසීලන්තයේ ඉන්න කාලෙදී තමයි ලිව්වේ. දැන් තාත්තයි අම්මයි දෙන්නම ඉන්නෙ ඔස්ට්‍රේලියාවේ. අම්මා (පද්මා කාන්ති ජයවර්ධන) ලියපු අපිඳු යාත්‍රා කළෙමු කියන පොත අම්මා ඔස්ට්‍රේලියාවේ ඉඳිද්දී තමයි ලිව්වෙ. බෝට්ටුවලින් ඔස්ට්‍රේලියාවට යද්දී ඇතිවන නීති ප්‍රශ්නවලට උපදෙස් දෙද්දී ඒ මිනිසුන්ගේ අත්දැකීම් අම්මාට දැනගන්න පුළුවන් වුණා. ඒ දැකපු අත්දැකීම් එකතු කරලා මේ විදිහට යන අය වෙනුවෙන් පොතක් ලියන්න අම්මට ඕනවෙලා තිබුණා. බෝට්ටුවලින් ඔස්ට්‍රේලියාවට යන එක හරි පහසුයි සහ සුන්දරයි කියලයි බොහෝ දෙනා හිතන්නෙ. ඒත්.. ඒ මිනිසුන්ගෙ කටුකත්වය පිළිබඳව සැබෑ තොරතුරු ඇතුළත් පොතක් තමයි අම්මා ලියලා තිබුණෙ.

තෙසාරාට පොත් ලියන්න ආසාව ඇතිවුණේ කුඩා කාලෙදිමද..?
ඔව්.. මම ඉස්කෝලෙ කෙටිකතා තරගවලට ඉදිරිපත් වුණා. මම ඉගෙන ගත්ත කොළඹ විසාකා විද්‍යාලයේදීත් ඒවාට සහභාගි වුණා. සිංහල විෂයට මම කොහොමත් ලකුණු අනූ ගාණක් ගන්නවාම තමයි. ඒ නිසා පුංචි කාලේ මම ලියන්න ආස කළා. ඊට පස්සෙ තමයි පොත් ලියන්න පටන් ගත්තෙ.

තෙසාරා අද දරුවන් දෙන්නෙක්ගෙ අම්මා කෙනෙක්. ඒ වැඩ කටයුතුයි රැකියාවේ වැඩ කටයුතුයි එක්ක පොත් ලියන්න කාලය හොයාගන්නෙ කොහොමද..?
ඒක තමයි අමාරුම දේ. මට දැන් දරුවන් දෙන්නෙක් ඉන්නවා. ලොකු දුවට වයස අවුරුදු දෙකහමාරයි. පුතාට මාස හතයි. ඉතින්.. හරිම අමාරුයි. ඒ දෙන්නගෙ වැඩ කරන්නෙම මමයි. වෙලාවකට හරි සුන්දරයි. මම තනියම ඒ හැමදෙයක්ම කරන නිසා නිදාගන්නවත් වෙලාවක් නැති තරම්. මගේ සැමියා ගුවන් හමුදාවේ වැඩ කරන්නෙ. එයා වැඩ ඇරිලා එද්දී ගොඩක් රෑ වෙනවා. ඉතින් මේ දෙන්නත් එක්ක පොතක් ලියනවා කියන්නෙත් ලේසි නැහැ. කළු සමනල්ලු පොත ලියද්දී පොඩි එක්කෙනා හිටියෙ මගේ කුසෙයි. ලොකු දුව නිදාගන්නකොට එයාවත් ඔඩොක්කුවේ තියාගෙනමයි පොත ලියලා ඉවර කළේ. මම පොත් ලියන්න ආසයි. අභිරහස් කතා කිහිපයක්ම මගේ ඔළුවේ තියෙනවා. ඒ කතාත් හෙමිහිට වෙලාවක් ලැබුණු ගමන් ලියන්න බලාපොරොත්තු වෙනවා.

 

► Text - Jayamali   /   Pic – Internet