කලා ලෝකයේ බොහෝ දෙනාට පසුගිය කාලය පුරාම අපල කාලයකි. එමෙන්ම එකී කාලයේ ඇතැම් කලාකරුවන්ගේ වෘත්තීය ජීවිතයේ රංගනය සේම සැබෑ ජීවිතයේ රංගනය ද මෙරට සුවහසක් ජනතාව ඉදිරියේ දිස්වූයේ බොහෝ දෙනාගේ වෙස් මුහුණු ගැලවෙමිනි. එකී අවස්ථාවල මෙරට ප්‍රේක්ෂක සිත් සතන් ඇද බැඳ තබාගත් ප්‍රවීණ නළු නිළියන්ට පවා රූප පෙට්ටියේ උදේ හවා දකින රඟපෑමට එහා යමින් ප්‍රේක්ෂකයන් ඉදිරියේ සිය සැබෑ ස්වරූපය දිග හරින්නට සිදුවිය.
වර්තමානයේදී මෙරට ප්‍රවීණ රංගවේදිනියක මෙන්ම සිනමා රංගන ශිල්පිනියකගේ නම කරළියේ බඩපිනුම් ගසනු දැකිය හැකිය. යර්ස් බොස් ටෙලි කතා මාලාවේ ‘රෝෂිණී’, එයා දැන් බැඳලා නාට්‍යයේ ‘සුද්දී’, තත්ත්පරයක් දෙන්න නාට්‍යයේ ‘බ්‍රිජට් නෝනා’, යන ටෙලිනාට්‍ය ඔස්සේත් සිනමාවේත් ප්‍රේක්ෂක ගෞරවාදරයට පත් වූ රංගනවේදිනියක් වන ඇය නමින් සේමිණී ඉද්දමල්ගොඩය. ඇය 2023 වසරේ වසරේ විශිෂ්ටතම රංගන ශිල්පිනියට හිමි රයිගම් ටෙලි සම්මානය පවා හිමිකර ගත්තාය. කලා ජීවිතයේ ඒ තරමට තාත්වික රංගනයක නිරත වූ ඇයගේ රංගන හැකියාව ඇය ඇයගේ ජීවිතයේ අවස්ථා ගණනාවකදී පෙන්වා ඇත. එහෙත් සැබෑ ජීවිතයේ වෙනස්ම අවස්ථාවක ඇය පෙන්වා ඇත්තේ මෙවරය.
සේමිණී ඉද්දමල්ගොඩ පසුගියදා වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. පොලිසිය පැවසුවේ මූල්‍ය වංචා සම්බන්ධයෙන් වූ වරෙන්තු 7 කට අදාළව ඇය මෙලෙස අත්අඩංගුවට ගත් බවයි. එමෙන්ම පෞද්ගලික ආරක්ෂක සේවාවක් පවත්වාගෙන යමින් එහි සේවකයන්ගේ අර්ථසාධක මුදල් සහ දායක මුදල් නොගෙවීමේ චෝදනා මත තංගල්ල, මාතර සහ කොළඹ යන අධිකරණවලින් මෙසේ ඇයට එරෙහි වරෙන්තු නිකුත් කර ඇතැයි ද ඇය දීර්ඝ කාලයක් උසාවි නියෝගයට පිටුපා අධිකරණයට අවනත වී නැතැයි ද වාර්තා වන බව පොලිසිය පැවසීය. මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සේමිණී ඉද්දමල්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කර තිබූ අතර එහිදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පසුගියදා (11) නියෝග කළේ සැකකාරිය ඇප මත මුදා හැරීමටය.
අර්ථසාධක නොගෙවීම සම්බන්ධයෙන් ගොනු කළ විමර්ශනවලට අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් සැකකාරියට අධිකරණය මගින් වරෙන්තු හතක් නිකුත් කර තිබූ අතර එම වරෙන්තු අනුව වැලිකඩ පොලිසිය මගින් සැකකාරිය අත්අඩංගුවට ගෙන මෙසේ අධිකරණයට ඉදිරිපත් කළේය. සැකකාරිය වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ නීතිඥයන් පවසා සිටියේ ඇතැම් නඩුවල මුදල් මේ වන විටත් තම සේවාදායිකාව විසින් ගෙවා අවසන් කරනු ලැබ ඇති බවත්, තවත් සමහර නඩු කම්කරු දෙපාර්තමේන්තුව මගින් ඉල්ලා අස්කරගෙන ඇති බවත්ය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා සැකකාරියට තංගල්ල සහ මාතර අධිකරණ මගින් නිකුත් කර ඇති වරෙන්තු සම්බන්ධයෙන් එම අධිකරණවල පෙනී සිට වරෙන්තු ආපසු කැඳවාගෙන එම ලේඛන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය. කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කර ඇති වරෙන්තු සම්බන්ධව ගනු ලැබූ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ලබන 19 වැනිදා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස ද නියෝග කළේය. ඒ අනුව සැකකාරිය ඇප මත මුදාහරින ලෙසට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා පවතින විමර්ශනවලට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප නියම කිරීමටද නියෝග කළේය.
සේමිණීට මීට පෙරද එනම් 2021 වසරේ දෙසැම්බර් 16 වැනිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින්නට වූවාය. එයට හේතු වූයේ බලපත්‍ර රහිතව ආරක්ෂක සේවා ස්ථානයක් පවත්වාගෙන යාමේ චෝදනාවකි. ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විසින් පවරා තිබූ මෙම නඩුව මින් ඉහත කැඳවා තිබූ අවස්ථාවක ඇය උසාවියේ පෙනී නොසිටි බැවින් සැකකාර සේමිණී ඉද්දමල්ගොඩ මහත්මියට ඉකුත් නඩු දිනයේදී වරෙන්තු නිකුත් වී තිබිණි. ඒ අනුව අධිකරණය හමුවේ පෙනී සිටි ඉද්දමල්ගොඩ මහත්මියගේ වරෙන්තු ආපසු කැඳවීමට අධිකරණය තීරණය කළ අතර බලපත්‍ර රහිතව ආරක්ෂක සේවා ස්ථානයක් පවත්වාගෙන යාම වරදක් බව ඇය අධිකරණය හමුවේ පිළිගත්තාය. අධිකරණ භාෂා පරිවර්තකයකු මගින් විත්තිකාරියට චෝදනා පත්‍රය කියවා දීමෙන් පසු එම චෝදනාවට තමන් වැරැදිකරු බවට ඇය අධිකරණය හමුවේ පිළිගත් අතර සේමිණී ඉද්දමල්ගොඩ මහත්මියට රුපියල් 15,000 ක දඩයක් ගෙවන ලෙස අධිකරණය නියෝග කරනු ලැබීය.
කෙසේ වෙතත් වර්තමාන සිදුවීමේ කතාබහ සමාජය පුරා ළැව් ගින්නක් මෙන් පැතිරුණු අතර මේ සම්බන්ධයෙන් සේමිණී ඉද්දමල්ගොඩ මහත්මිය ඉකුත් 11 වැනිදා සිය මුහුණුපොතේ ඇත්ත ඇති සැටියෙන් යන හිසින් කරුණු පහදා ඇත.
“ඊයේ රාත්‍රී මාගේ සැමියාගේ මෝටර් රථය පාර්ලිමේන්තු පාරේදී අනතුරකට ලක්වූ අතර අනතුරෙන් පසු ඔහු වැලිකඩ පොලිසියට ගියා. ඒ පිළිබඳව සැලවීමෙන් අනතුරුව මමද ඒ අවස්ථාවේම පොලිසියට ගියා. එහිදී එම ස්ථානයේ සිටි පොලිස් නිලධාරියෙක් ඔයාට වරෙන්තු වගයක් තියෙනවා යැයි පවසා මාව අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා. ඒ පිළිබඳව එම නිලධාරියා මුලින් පැවසූ විටදී මා සිතුවේ ඔහු විහිළුවක් කළා කියලයි. මොකද මම එතෙක් මා වෙත එවැනි වරෙන්තු නිකුත් කිරීමක් කර ඇති බව දැනගෙන සිටියේ නැහැ.
පසුව ඔහු ඒ පිළිබඳව සටහන් තබා උදෑසන වනතුරු මා පොලිසියේ රඳවා තබාගෙන සිට අනතුරුව අද දින උදෑසන උසාවියට ඉදිරිපත් කළා. ඇත්තටම මේක කම්කරු උසාවිය සම්බන්ධ ප්‍රශ්නයක්. ඒත් මෙම සිදුවීම මූල්‍ය චෝදනාවක් ලෙස හුවා දැක්වීමක් සිදු වූ බව ඇප ලබා පිටතට පැමිණි පසුව මට දැන ගැනීමට ලැබුණා. සැබෑ සිදුවීම වන්නේ මට අයත් ව්‍යාපාර අතර පවතින පෞද්ගලික ආරක්ෂක සේවා ලබා දෙන ව්‍යාපාරයේ සේවකයන්ගේ සේවක අර්ථසාධක අරමුදල් පිළිබඳ ඇතිවූ ගැටලුවක්. ඊට අදාළ සිතාසි 07 ක් මේ වනතුරු මට ලැබී තිබුණේ නැහැ. ඒවා බාර දී තිබුණා යැයි පැවසුවේ මෙම සේවාවට අයත් පරණ කාර්යාලයකටයි. ඒ පිළිබඳව මම කිසිදු දැනුවත් වීමක් නැහැ. කෙසේ වෙතත් ඔය කියන කම්කරු කාරණා 07 ටම අදාළ සියලු ගෙවීම් මේ වන විටද මවිසින් සිදුකර අවසන්. ඊට අදාළ සියලුම ලියැකියවිලි මා සන්තකයේ තිබී අධිකරණයට ඉදිරිපත් කළ අතර අධිකරණය විසින් ඉතා කෙටි වේලාවකදී මට ඇප ලබා දීමට කටයුතු කළා.
මෙවැනි සිදුවීමක් රටේ කවර තරාතිරමක පුද්ගලයකුට වුව සිදුවිය හැකි වුණත් මා වැන්නකුට එවැන්නක් සිදුවීම පෞද්ගලිකව ඉතාම ඛේදනීය වටපිටාවක් ගොඩනගන සිදුවීම් දාමයකට මග පාදනවා. අද සිදුවූයේත් එවැන්නක්. කරුණු කාරණා නොසොයා ඒකමතිකව මාව වරදකරු කර පුළුවන්නම් තවත් අභූත චෝදනා රැසකුත් පටබැඳ පතුරුවා හැරීමට සමහර පුද්ගලයන් කටයුතු කරන ආකාරයක් දැකගන්න ලැබුණා. ඒ පිළිබඳව ඇත්තටම පවතින්නේ දුකක් නොව කලකිරීමක්. සිදු වූ සිදුවීමේ සත්‍ය ඇති සැටියෙන්ම මම මෙහි සඳහන් කර තිබෙනවා. මේ සුළු වේලාව තුළ අසත්‍ය චෝදනා පැතිරවූවන්ට සත්‍ය අවබෝධ වේවා යන්න මගේ පැතුමයි. ඒ වගේම ඊයේ රාත්‍රියේ සිට මා සමඟ රැඳී සිටි සහ මා පිළිබඳව සොයා බැලූ සියලුම මිතුරු මිතුරියන්ට හා මාගේ ප්‍රාණසම ආදරණීය ප්‍රේක්ෂකයන්ට අනේක වාරයක් ස්තුතියි. ආදරෙයි.”
වරෙන්තුකරුවකුට නවාතැන් දීම සහ සැඟව සිටීමට අනුබල දීම ද රටේ නීතිය අනුව බරපතළ වරදකි. එය තම බිරිය, දරුවන් පමණක් නොව මව පියා වුවද වරද වරදමය. සේමිණී ඉද්දමල්ගොඩ මහත්මියගේ ස්වාමිපුරුෂයා වන ධම්මික ඉද්දමල්ගොඩ මහතා ශ්‍රී ලංකා පොලිසියේ වගකීම් සහගත තනතුරක් දරන පොලිස් නිලධාරියෙකි. ඔහු මේ සම්බන්ධයෙන් අපට වඩා හොඳින් දන්නවා ඇතැයි අපි සිතමු. 2022 වසරේ ඔක්තෝබර් මාසයේදීත් සේමිනීගේ නම සමාජයේ කියැවුණේ බට පඳුරට ගිනි ඇවිලුණා සේය. ඒ පසුගිය කාලයේ ආන්දෝලනයකට තුඩු දුන් මහා පරිමාණ මූල්‍ය වංචා සම්බන්ධයෙන් රිමාන්ඩ් කර සිටි තිළිණි ප්‍රියමාලි නමැත්තිය සම්බන්ධයෙන් වන විමර්ශනවලට අදාළව සේමිණි ඉද්දමල්ගොඩගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 4 කට ආසන්න කාලයක් ප්‍රශ්න කළේය.
තිළිණි ප්‍රියමාලි සමඟ තිබුණා යැයි කියන සබඳතාව, තිළිණි ඇයට ලබා දී තිබූ මුදල් ප්‍රමාණය සහ හඬපට සම්බන්ධයෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇයගෙන් ප්‍රශ්න කර තිබූ අතර එහිදී සේමිනී තිළිණි සමඟ කළ ගනුදෙනු සහ හඬපට ප්‍රතික්ෂේප කළාය. ගෝල්ෆේස් අරගලයේදී සටන්කාමී චරිතයකට පණ පෙවූ දමිතාගේ නමත් මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ගෑවුණේ කොරියා යවන බව කියා මුදල් ගැරූවැයි කියන සිද්ධියකටය. කොරියාවේ කර්මාන්ත ශාලාවක සේවය කිරීමට ලංකාවෙන් කිහිප දෙනකු යවන බවත් එහි මාසික වැටුප රුපියල් ලක්ෂ පහළොවක් බව කියමින් දමිතා සහ ඇගේ සැමියා බව කියන ජොන්සන් නමැත්තකු තමන් රැවටූ බව පැමිණිලිකරුවෙක් පොලිසිය හමුවේ පැවසීය.
කෙසේ වෙතත් තත් චෝදනාව සම්බන්ධයෙන් සේමිණී ඉද්දමල්ගොඩ ඇප ලබා සිටින්නීය. ඇයගේ නිර්දෝෂීභාවය පිළිබඳ ගන්නා තීරණය අපි අධිකරණයට බාර කරමු. එහෙයින් අධිකරණ තීන්දුවක් ලබා දී නොමැති බැවින් ඒ සම්බන්ධයෙන් වැඩි යමක් නොකියමු.
• සසංක චලන ගිම්හාන