2025 අගෝස්තු 30 වන සෙනසුරාදා

එංගලන්තෙ ඉඳන් බස් එකේ කොළඹ ආපු ලන්ඩන් සුද්දෝ

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:03 419

අද තාක්ෂණය සහ විද්‍යාව ඉතා දියුණුය. ලෝකයම ස්මාර්ට් දුරකථනය තුළය. එසේ ලෝකය කෙතරම් දියුණු වුණත් කන්කසන්තුරේ සහ දකුණු ඉන්දියාව අතර පටන්ගත් මගී නාවික සේවය පවා නිසි පරිදි ක්‍රියාත්මක නොවේ. නමුත් අදින් අවුරුදු 66කට පෙර එංගලන්තය සහ ලංකාව අතර බස් ගමනාගමනයක් ආරම්භ කර ක්‍රියාත්මක වූ බව ඔබ විශ්වාස කරනවාද? එවකට ගුවන් ගමන් පවා පැවතියේ රටවල් කිහිපයක් අතර පමණි. දීර්ඝ ගුවන් ගමන් වෙනුවට රටින් රටට ගොස් ගමනාන්තයට ළඟාවන ගුවන් ගමන් බහුල විය. ඒ කාලයේ ආරම්භ වූ කොළඹ එංගලන්ත ඩෝවර් බස් සේවය අද සුන්දර මතකයක් පමණක් බවට පත්ව ඇත. මේ ඒ ගැන සොයා බැලීමට ගත් උත්සාහයකි.

මේ කාලයේ රටවල් හරහා බස් සේවා ක්‍රියාත්මක කිරීම බහුලව දක්නට ලැබුණි. ඩොවර්- කොළඹ මේ අන්තර් මහාද්වීපික බස්රථ චාරිකාව ආරම්භ කළේ එංගලන්තයේ Penn Overland Tours සමාගම විසිනි. මේ සමාගම රටවල් රාශියකට බස් සේවා ක්‍රියාත්මක කළ අතර, චාරිකා විස්තර සහිත සඟරාවක් ද පළ කර ඇත. 1959.08.17 දින එංගලන්තයේ ඩොවර් නගරයේ සිට කොළඹ දක්වා ගමන් ගන්නා බස්රථ සේවය ආරම්භ කර තිබේ. ලංකා ආණ්ඩුව යටතේ ලංගම ආරම්භ කර ඒ වනවිට අවුරුද්දක් ගතව තිබුණි. අඩු වියදමකින් යුරෝපය බලා යාමට අවශ්‍ය මගීන් ඉලක්ක කර මෙය ක්‍රියාත්මක වුණු අතර, බොහෝ මගීහු ලන්ඩන් වැසියෝ වූහ. කාර්ය මණ්ඩල සාමාජිකයන් 4 දෙනෙක් බසයේ සිටි අතර, වරකට ගමන් කළ හැකි වූයේ මගීන් 10 දෙනකුට පමණි. ඒ සඳහා යොදාගත් බස්රථ වූයේ AEC, BMC, British Leyland බස් රථ පමණි. ඒවා ඉතා ශක්තිමත් රථ වූ අතර, දිගු ගමනකට ඔරොත්තු දෙන එන්ජිමක් සහිත විය. අද මෙන් වායුසමීකරණ පහසුකම් නොවූ මේ බස්වල ගමනේදී අධික උෂ්ණත්වය මෙන්ම අධික ශීතල ද දරාගනිමින් යාමට මගීන්ට සිදුවිය. මේ ගමන 1976 දක්වා ක්‍රියාත්මක වූ බව පැවසේ.

අද නම් රට රටවල් හරහා බසයක ගමන් කිරීම සිහිනයක් බවට පත්ව ඇත්තේ යුදබිය, ජාතිවාදය ඇතුළු ඇණකොටා ගැනීම් නිසාය. මේ බසය එංගන්තයේ දකුණු මුහුදුබඩ ඩොවර් නම් වරාය නගරයෙන් ආරම්භ වූ අතර, ගමන් මාර්ගය වූයේ Dunkirk, ප්‍රංශයේ පැරිස්, ඉතාලියේ වැනීසිය, තුර්කියේ ඉස්තාන්බුල්, ඉරානයේ ටෙහෙරාන්, ඇෆ්ගනිස්ථානයේ කාබුල්, පකිස්ථානයේ ලාහෝර්, ඉන්දියාවේ නවදිල්ලි, දකුණු ඉන්දියාවේ රාමේෂ්වරම් හරහා කොළඹට ගමන් කෙරිණි. ඩෝවර් වරායේ සිට පාරු සේවය මගින් ප්‍රංශයේ Dunkirk නගරයට බසය රැගෙන ආ අතර, ඉන්පසු පැරිස් හරහා ගොඩබිම ඔස්සේ ගමන සිදුවිය. ඉන්දියාවේ රාමේෂ්වරම් සිට කොළඹට පැමිණියේ නාවික යාත්‍රාවල බසය පටවාගෙනය. මේ ගමන සඳහා අවසර ලබාගැනීම අපහසු නොවූයේ අද මෙන් රට රටවල් ඇවිලී නොතිබූ නිසාය. චාරිකාව සිදුවන කාලය පුරාවටම බස්රථය තුළදීම ආහාර පාන පිළියෙළ කර ගැනීමේ පහසුකම් සලසා තිබූ අතර, මගීන් සඳහා කුඩා නිදන ඇඳන්, විදුලි පංකා සහ හීටර්ස් ද සපයා තිබුණි. මේ නිසා රෝද මත හෝටලය (hotel on the Wheels) ලෙසින් ද බසය හැඳින්වීය.

මේ කාලයේ ලන්ඩන් - කල්කටා බස් සේවාව Albert Tours ආයතනය විසින් ආරම්භ කර ක්‍රියාත්මක විය. එය මගීන් අතර ජනප්‍රියව පැවතුණි. ඒ සඳහා ගතවූ කාලය දින 50 ක් වූ අතර, ටිකට්පතක මිල පවුම් 85 කි. බසය කල්කටාවට එන අතරමග ඇති ප්‍රසිද්ධ සංචාරක ගමනාන්ත දැකගැනීමටත් පහසුකම් සැලසූ නිසා වැඩි ගමන් කාලයක් ගත වූ බව පැවසේ. මේ නිසා ගාස්තුව ද වැඩි විය.

ලෝකයේ දීර්ඝතම බස් සේවාවක් ලෙස Dover- කොළඹ බස් සේවය සැලකිය හැකිය. එය දින 42ක් පුරා ගමන් කළ අතර, ගමනේ දුර කි.මී. 20,000 ක් විය. ගාස්තුව පවුම් 78කි. (රු. 32930). එය අද උද්ධමනයට ගැලපූ විට අද වනවිට නම් පවුම් 2300ක් වටිනා අතර, අද රුපියල්වලින් 920,000 ක් වේ.

ලන්ඩන් - කල්කටා බස් සේවාවත් 1976 වසර වන තෙක්ම ක්‍රියාත්මක වී තිබේ. Albert Tours විසින්ම ආරම්භ කළ ලන්ඩන් - සිඩ්නි බස් සේවාව ලොව දීර්ඝතම බස් සේවාව ලෙස සැලකේ. එය ලන්ඩන්, ඩොවර්, ඩන්කර්ක්, පැරිස්, වැනිසිය, ඉස්තාන්බුල්, ටෙහෙරාන්, කාබුල්, පෙෂාවොර්, ලාහෝර්, නවදිල්ලි, අග්‍රා, බරණැස හරහා කල්කටාවට පැමිණ පසුව මියන්මාරය, තායිලන්තය හරහා සිංගප්පූරුවට පැමිණ තිබේ. සිංගප්පූරුවේ සිට බස්රථය නැවක් මගින් ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරයට රැගෙන යන අතර, ඉන්පසු ගොඩබිම ඔස්සේ කි.මී. 4000 ක් ගමන් කර සිඩ්නි නගරයට පැමිණ තිබේ. මේ ගමනට ගතවූ කාලය දින 132 කි.

එංගන්තය සහ ඉන්දියාව අතර මුලින්ම බස් සේවයක් ආරම්භ වුණේ 1957 වසරේ අප්‍රේල් 15 වැනි දිනය. ලන්ඩන් නුවර පිහිටි ගැරෝ-ෆිෂර් ටුවර්ස් විසින් ක්‍රියාත්මක කරන ලද එම බස් සේවාව “ඉන්දියාමන්” යන නමින් හැඳින්විණි. පළමු වරට ලන්ඩනයේ වික්ටෝරියා බස් නැවතුමේ සිට ගමන් ආරම්භ කළ, AEC සමාගම විසින් නිපදවූ බස් රථය කි.මී. 32,000ක දුරක් ගෙවා කල්කටා නුවරට පැමිණි ගමන නිව්‌යොක් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබුණි.

මේ බස් සේවාව ප්‍රංශය, ඉතාලිය, යුගෝස්ලාවියාව, බල්ගේරියාව, තුර්කිය, ඉරානය, සහ පාකිස්ථානය යන රටවල් හරහා ගමන් කරනු ලැබීය. එක් ගමන් වාරයක් සඳහා මගීන් 20 දෙනකු සහභාගී වූ අතර, ගමන සඳහා එක් මගියකුගෙන් පවුම් 85ක පමණ මුදලක් අය කෙරිණි. එසේම ආපසු ගමන සඳහා එක් මගියකුගෙන් අයකළ මුදල පවුම් 65 කි. අප්‍රේල් 15 වැනිදා ලන්ඩන් නුවරින් ගමන් ආරම්භ කළ බස්රථය, ජූනි 5 වැනිදා කල්කටා නුවර වෙත ළඟා විය. එම ගමන අතරතුරදී මගීන්ට රාත්‍රී කාලය ගත කිරීම සඳහා හෝටල් වෙන්කර තිබුණි. ජූනි 5 දා කල්කටා නුවරට පැමිණි බස් රථය ආපසු ලන්ඩන් නුවරට ළඟා වුණේ අගෝස්තු 2 වැනිදායි. ඒ දින 16ක පමණ දිගු ප්‍රමාදයකින් පසුවයි. බස් රථයේ ප්‍රමාදයට ප්‍රධානතම හේතුව වුණේ එවකට ආසියාව පුරා ආසියානු උණ වසංගතය පැතිරෙමින් පැවතීම බව සඳහන්ය. ඉන්දියාමන් බස් සේවාව දිගු කාලයක් ක්‍රියාත්මක නොවූ අතර එය මඳ කලකින් නැවතුණි. ඒ, බස්රථ සේවය ක්‍රියාත්මක කිරීමේදී මතුවුණු දුෂ්කරතා නිසාය. නමුත් 1968 වසරේදී ලන්ඩන් සහ කල්කටා අතර යළි බස්රථ සේවයක් ආරම්භ වුණු අතර, එය ඉන්දියාමන් බස් සේවයට වඩා සුඛෝපභෝගී චාරිකාවකි.

අද ලොව දීර්ඝතම බස් ගමන ලෙස සැලකෙන්නේ පේරුහි ලීමා නුවර සිට බ්‍රසීලයේ රියෝද ජැනෙයිරෝ දක්වා ධාවනය වන බස් සේවාවයි. එහි මුළු දුර කි.මී. 6300ක් වන අතර, ගමන් කාලය පැය 100-102ත් අතර වේ. මෙම ගමන අත්ලාන්තික් wවෙරළ තීරයේ සිට ඇමසන් වැසි වනාන්තරය හරහා, ඇන්ඩීස් කඳුවැටි හරහා අවසානයේ පේරු හි පැසිෆික් වෙරළ තීරයට සංචාරකයන් රැගෙන යයි. මෙම සේවාව ට්‍රාන්ස් ඇක්‍රේනා වැනි සමාගම් විසින් ක්‍රියාත්මක කරනු ලබන අතර, දකුණු ඇමෙරිකාවේ විවිධ භූ දර්ශන අත්විඳීමට අපූරු අවස්ථාවක් හිමිකර දෙයි. අද සංචාරකයන් අතර මෙය ඉතා ජනප්‍රිය වී තිබේ. ඒ ගැන සැකසුණු වීඩියෝ අන්තර්ජාලයේ නැරඹිය හැකිය.
 

• කුසුම්සිරි විජයවර්ධන