ආසියාවේ අමුතු රටේ වැඩිපුරම කියැවෙන වචන ඇත්නම් ඒ අතරින් වංචා, දූෂණ, අල්ලස්, කප්පම් ආදී වචන ඉදිරියෙන්ම තිබේ. ගමේ ගොඩේ පොලොස් ගැටේ හොරකම් කිරීමේ සිට මහා පරිමාණ බදු වංචා දක්වා එදා මෙදාතුර අමුතු රටේ අමුතු ඇත්තෝ කප් ගැසීමට රුසියෝ වූහ. ඒ වගේම තාක්ෂණයත් සමඟ දැන් දැන් කළු සල්ලි සුදු කරන්නත් ඇතැම්හු පෙළඹී සිටිති.
තමන්ගේ ආදායම නිසි පරිදි විනිවිදභාවයකින් ඔප්පු කිරීමට මේ රටේ කී දෙනකුට හැකිදැයි පරීක්ෂා කළහොත් මෙම පරීක්ෂණයේ ප්‍රතිඵල කවරාකාර වේදැයි චිත්ත රූප මවා ගැනීමත් බිය ගන්වන කරුණකි. අපේ රටේ ඉතිහාසයේ මුල්වරට බදු ගැසූ අවස්ථාව ලෙස ඉතිහාසය සාක්ෂි දරනුයේ ක්‍රි.ව. 3 වැනි සියවසේ සිට කෘෂිකාර්මික කාර්යයන් සඳහා යොදා ගැනුණු ජලය සඳහා ගෙවන ලද බදු සම්බන්ධයෙනි. රජය වෙනුවෙන් නිලධාරීන් විසින් බදු එකතු කළ අතර, මෙම බදු දෙකපති සහ බෝජකපති ලෙස හැඳින්වූ බවට ලංකා ඉතිහාසය සාක්ෂි දරයි.
වර්තමානයේදී යම් තක්සේරු වර්ෂයක් සඳහා යම් පුද්ගලයකුට සේවා නියුක්තියෙන් ලැබෙන ලැබීම් සහ ලාබ ගණනය කිරීම, ව්‍යාපාරයකින් යම් තැනැත්තකුට ලැබෙන ආදායම, එම වර්ෂය සඳහා ව්‍යාපාරය පවත්වාගෙන යාමෙන් එම තැනැත්තාට ලැබෙන ලැබීම් ගණනය ආදී ක්‍රමවේද 4ක් ඇසුරෙන් ආදායම් බදු අය කෙරේ. එහෙත් තම සිවිල් බලතල පාවිච්චි කරමින් තමන් උපයන ආදායමට සරිලන ආදායම් බදු ගෙවීම දීර්ඝ කාලයක් තිස්සේ පැහැර හරිමින් කට්ටි පනින්නෝද මේ මිහිපිට සිටිති. එවන් වූ අවස්ථාවක් පසුගිය දා අනාවරණය විය. ඒ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා අධිකරණයට කරුණු දක්වමින් පැවසූ කාරණයකිනි. අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාඹුගල සහ නිරූපන ශිල්පිනී පියුමි හංසමාලි ගෝමස් යන තැනැත්තන් 2022 සහ 2023 වර්ෂ සඳහා ගෙවීම පැහැරහැර ඇති රුපියල් කෝටි 42කට ආසන්න ආදායම් බදු මුදල් දඩ සහ පොලිය අයකර ගැනීමට මහාධිකරණයේ නඩු පවරන බවට දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා පසුගිය දා අධිකරණයට දැනුම් දුන්නේය.
තාඹුගල මහතා රුපියල් මිලියන 194ක බදු මුදලක් සහ ලෝලියා ස්කින් කෙයා පෞද්ගලික සමාගමේ හිමිකාරිනී පියුමි හංසමාලි මහත්මිය රුපියල් මිලියන 225ක බදු මුදලක් ගෙවීම පැහැරහැර ඇතැයි දේශීය ආදායම් කොමසාරිස්වරයා පැවසුවේය.
2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ 186, 189 හා 190 වගන්ති අනුව බදු පරිපාලනයට බාධා කර අපරාධමය වරදක් කිරීම, නිසි පරිදි බදු ගොනු පවත්වාගෙන නොයෑම හා බදු ගෙවීම පැහැර හැරීම යන චෝදනා යටතේ චෝදනා ගොනු කර ඇත. මෙලෙස දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා කරුණු දැක්වූයේ බදු අපරාධ වැරැදිවලට අදාළ විමර්ශනවල ප්‍රගති වාර්තා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා පසුගිය දා කැඳවූ අවස්ථාවේදීය.
තාඹුගල සහ පියුමි හංසමාලි යනු කාලයක සිට පුවත් මැවූ දෙදෙනෙකි. ඔවුන් සම්බන්ධ විවිධාකාර තොරතුරුවලින් ප්‍රධාන මාධ්‍ය පමණක් නොව සමාජ මාධ්‍ය ද පිරී තිබිණ. රිදී තිරයේ ඇතැම් නළු නිළියන් පවා අමතක කරවන තරමටම පියුමි හංසමාලි චරිතයක් වී සිටියාය. ඇය වැඩිපුරම කරළියට එන්නේ සමාජ මාධ්‍ය හරහාය. එසේ කරළියට එන සෑම අවස්ථාවකම මෙරට ප්‍රසිද්ධ නම් ද ඒ සමඟ ගෑවී තිබෙනු දැක ඇත. පියුමි හංසමාලිගේ වත්කම් හොයන්නට පටන් ගත්තේ පසුගිය කාලයේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් රාජකරුණා මහතා අධිකරණයට කරුණු දක්වමින් පැවසුවේ, කෙටි කාලයකදී රුපියල් කෝටි ගණනක් මුදල් ඉපයූ බව කියන නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි නමැත්තිය වසර ගණනාවක් පුරා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමඟ සබඳතා පවත්වමින් ගනුදෙනු කර ඇති බවයි. එම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු කොළඹ මහාධිකරණයේ විභාග කෙරෙන නඩුවක විත්තිකරුවකු බවත් ඔහු රුපියල් කෝටියක මුදලක් පියුමි හංසමාලි නමැත්තියට දීම, ඇගේ නමින් ලියාපදිංචි බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ සුපිරි මෝටර් රථයක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ නිවෙසේ ගාල්කර තිබීම සහ අදාළ රථයට පියුමි හංසමාලි නමැත්තිය විසින් රුපියල් මිලියන විස්සක ලීසිං පහසුකමක් ලබාගෙන තිබීම යන කරුණු මත ඇය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් උද්ගත වී ඇති බවත් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා එම අවස්ථාවේ කරුණු දැක්වීය.
මෙයට පාර සැකසුණේ පොලිසිය තමන්ගේ ක්‍රීම් වර්ග මිලට ගන්නා ගනුදෙනුකරුවන්ගෙන් ප්‍රකාශ ලබාගනිමින් තම ව්‍යාපාරයට බාධා කරන බව පවසමින් පියුමි හංසමාලි නමැත්තිය ගොනු කළ මෝෂමක් කැඳවූ අවස්ථාවේදී නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් රාජකරුණා මහතා අධිකරණය හමුවේ එසේ කරුණු දැක්වීය. එම අවස්ථාවේදී නඩුව කැඳවූ අවස්ථාවේදීය. පියුමි හංසමාලි නමැත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුමුදු හේවගේ මහතා එහිදී අධිකරණයේ කරුණු දක්වමින් පැවසුවේ තම සේවාදායිකාවගේ රූපලාවණ්‍ය ආලේපන අලෙවි කිරීමේ ව්‍යාපාරයට නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් බරපතළ අපරාධයක් කරමින් සිටින බවයි. එසේම වැඩි මිලට ක්‍රීම් වර්ග විකිණීම වරදක් නොවන බවත්, එම වැරැද්ද වෙළෙඳ ක්ෂේත්‍රයට අදාළ වරදක් නොවන බවත්, පෙන්වා දුන් නීතිඥවරයා ඇය අලෙවි කරන්නේ කීර්තිනාමය බවත්, කීර්තිනාමය ඕනෑම මිලකට අලෙවි කළ හැකි බවත් සඳහන් කළේය. එසේම පියුමි හංසමාලි වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා උදාහරණයක් ගෙනහැර පාමින් ප්‍රශ්න කළේ නිරූපණ ශිල්පිනියක වශයෙන් කටයුතු කරන තම සේවාදායිකාව ව්‍යාපාරිකාවක් වශයෙන් ඉහළ තලයකට දියුණුවීමේ වරද කුමක්ද යන්නයි. එසේ නම් වසර දෙදාහකට පෙර සිටි අම්බපාලි වර්තමානයේ සිටියා නම් ඇයට රහත් වීමට අවස්ථාවක් නොලැබෙනු ඇති බවත් නීතිඥවරයා පෙන්වා දුන්නේය. ඒ තර්කයෙත් වරදක් නැත. පියුමි හංසමාලි දියුණු වෙන්න තෝරාගත්තේ කවරාකාර මාර්ගයකින්ද, එහි ප්‍රතිඵල මිනිසා පසුපස එන සෙවණැල්ල මෙන් අම්බපාලිට මෙන්ම පියුමිටද අත්විඳින්නට සිදුවන්නේ යැයි පියුමිගේ නීතිඥවරයා පවසන කතාව සත්‍යය.
කොළඹ හත වෝඩ් පෙදෙසේ පිහිටි පියුමි හංසමාලිට අයත් යැයි කියන අධි සුඛෝපභෝගී නිවෙසක් සහ රේන්ජ් රෝවර් වර්ගයේ ජිප් රියක් මිලදී ගත් ආකාරය සම්බන්ධයෙන් ‘මගෙන් රටට’ සංවිධානයේ සංජය මහවත්ත විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකයට කළ පැමිණිල්ලක් අනුව මෙම පියුමිගේ වත්කම් ගැටලුව දිගහැරිණි. මුහුණ සුදු කරන ක්‍රීම් වර්ග අලෙවි කරන ව්‍යාපාරයක් පමණක් පවත්වාගෙන යන ඇය හිටපු ජනාධිපතිවරයකු භාවිත කළ රේන්ජ් රෝවර් රථයක් මිලදී ගැනීම සම්බන්ධයෙන් සමාජයේ දැඩි ආන්දෝලනයක් ඇතිවිය. පසුගිය කාලයේදී ඇය තම කොණ්ඩා විලාසිතාව වෙනුවෙන් රුපියල් ලක්ෂ පහළොවක් වැය කළැයි සමාජ මාධ්‍යයේ දැඩි කතාබහට ලක් වුණේය. ඇතැම්විට ඒවාද ක්‍රීම් විකුණා ඇය උපයාගත් මුදල් විය හැකිය. පියුමිගේ සහ ඇගේ සමීපතමයන්ට අයත් බැංකු ගිණුම් දහනවයක් ගැනද නීතිවිරෝධී වත්කම් කොට්ඨාසය විමර්ශන ආරම්භ කර ඇත. ඒ, 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 15 (1) ප්‍රකාරවය. ක්ෂණිකව ධනවතුන් වීමේ මාර්ගය ලෙස බොහෝ දෙනකු මෙතෙක් කලක් දැන සිටියේ මත්කුඩු ජාවාරම බවයි. එහෙත් පියුමිගේ ව්‍යාපාරික තියරියට අනුව ක්‍රීම් විකිණීමේද වරදක් නැත. කෙසේ වුවද මුහුණ සුදුවෙන ක්‍රීම් විකුණා කෝටි ගණනක දේපළ උපයාගත් පියුමිගේ ව්‍යාපාරික ඥානයේ තරමේ ඇත්ත නැත්ත තවත් නොබෝ දිනකින් රට්ටුන්ට හෙළිවීමට ඉඩ ඇත.
අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාඹුගල නමැත්තා මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් පසුගිය කාලයේ අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ සිට ඇප ලැබීය. එසේම කෝටි 7කට ආසන්න මුදල් පරිහරණය කිරීමක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි බව කියන විරංජිත් තාඹුගල පසුගිය කාලයේ අධිකරණය හමුවේ රහස් ප්‍රකාශයක් සිදු කළේය. තමන් හෙලිකොප්ටරයක් ලබාගැනීමට බව කියමින් ලබාගත් කෝටි 7ක මුදලක් වංචා කළැයි තාඹුගලගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් මීට පෙර රුපියල් කෝටි 30ක කප්පමක් ඉල්ලා සිටි බව අධිකරණයේදී අනාවරණය කෙරුණේ තාඹුගලගේ නීතිඥයා මගිනි. රහස් ප්‍රකාශයට මග සැකසුණේ එහෙමය.
මේ ආකාරයට පියුමි හංසමාලි සහ තාඹුගල යන දෙදෙනාට මහාධිකරණයේ අධි චෝදනා ගොනු කිරීමට දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා සැරසෙයි. දැනට ඇත්තේ පෙරහරේ මල් බයිසිකල් පමණක් වන අතර තව තව කාරණා ඉදිරියේදී හෙළිවනු ඇත. එතකල් ඔවුන් සේම අපි ද කලබල නොවෙමු.
• සසංක චලන ගිම්හාන