2025 අගෝස්තු 09 වන සෙනසුරාදා

හරක් කටාගේ කටින් පැන්නේ ඇත්තක්ද?

 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:02 189

අවුරුදු දෙකයි මාස පහක කාලයක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට අනුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට අයත් තංගල්ල රැඳවුම් බන්ධනාගාරයේ රඳවා සිටි නඳුන් චින්තක නොහොත් හරක් කටාට පසුගිය දා අධිචෝදනා ගොනු කෙරිණි. 2023 මාර්තු මාසයේදී අත්අඩංගුවට ගත් හරක් කටා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාස තුන බැගින් තුන් වතාවක් රැඳවුම් නියෝග මත තබාගත් අතර, ඉන්පසුව ඉතිහාසයේ ප්‍රථම වරට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 15 (අ)1 වගන්තිය යටතේ නඩුව අවසන් වනතෙක් රඳවා තබා ගැනීමට එවකට ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න අත්සන් තැබීය. ත්‍රස්තවාදියකුට පවා යොදා නොගත් එම වගන්තිය හරක් කටාට විශේෂ වූයේ ඔහු රහස් පොලිසියෙන් පැන යාමට කුමන්ත්‍රණය කිරීම හේතුවෙනි. නීතිය එසේ ක්‍රියාත්මක කිරීම ගැන අපට කිසිම ගැටලු‍වක් නැත.

එහෙත් පුදුමය නම් එසේ නොවීමයි. වසර දෙකයි මාස පහක් ගියත් අදටත් මහා කුඩුකාරයකු යැයි කී නඳුන්ට එකදු කුඩු නඩුවක් හෝ ගොනුකර නැත. ඊටත් වඩා වසරයි මාස පහක් ගියත් සුප්‍රසිද්ධ කිරිටොෆි නඩුවට අඩුම තරමින් අධිචෝදනා හෝ ගොනු කළේ නැත. ඒ සියල්ල නොකර නඳුන්ව තංගල්ල බන්ධානාගාරයේ ආරක්ෂක අංශයේ 87 දෙනකු මැද රඳවා තබනු ලැබීය. ඔහු වෙනුවෙන් මාසිකව වැය කළ මුදල රුපියල් කෝටියකි. එසේනම් නඩුත් නැතුව බඩුත් නැතුව හරක් කටා එලෙස තියාගත්තේ ඇයි?

ඒ ප්‍රශ්නය ගැන සොයන විට හරක් කටාගෙන් ඇතැම් පොලිස් නිලධාරීන් ඇතුළු ලොකු ලොක්කන් මුදල් ගත් හැටිත්, නඳුන් මුදල් ලබාදුන් හැටිත් පිළිබඳ තොරතුරු ලැබිණි. එහෙත් තොරතුරුවල සත්‍යතාවක් තහවුරු වූයේ නැත. එකී තොරතුරු ලැබුණු සමයේදී හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ප්‍රකාශ කර සිටියේ, “හරක් කටා නිදහස් කිරීමට තමන්ටද මුදල් ලබාදීමට උත්සාහ කළ” බවයි. ඒ සඳහා අයකු පැමිණි බවත්, ඔහුද වෙඩිකා මියගිය බවත් ආරක්ෂක අමාත්‍යවරයා පැවසීය. කෙසේ වෙතත් මේ අතර දිනක් අධිකරණයට පැමිණි නඳුන් චින්තක ද මාංචු දමාගෙන යන ගමන් කීවේ තමන්ට කියන්නට දෙයක් ඇති බවයි.

මේ සම්බන්ධයෙන් සිදුකළ සොයා බැලීමකදී නඳුන් චින්තකගේ නීතිඥවරුන් විසින් නඩු ගොනුවේ තිබී ලබාගත් ප්‍රකාශයක් අපට සොයා ගැනීමට හැකි විය. එම ප්‍රකාශය අනෙකුත් ප්‍රකාශවලට වඩා වැදගත් වන්නේ එය කිසිදු සිදුවීමකට ඍජුව සම්බන්ධ නොමැති පුද්ගලයකු විසින් සිදුකළ ප්‍රකාශයක් බැවිනි. එපමණක් නොව, ඔහුගේ ප්‍රකාශය ලබාගෙන තිබුණේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට අනුව රඳවා තබා ගනිමිනි. ඒ අනුව අනෙකුත් ප්‍රකාශවලට වඩා මෙම ප්‍රකාශය බලවත් බව පැහැදිලිය.
ඒ අනුව මෙම ප්‍රකාශය ලබා දී තිබුණේ නඳුන් චින්තකට පැන යාමට උදව් කළ රහස් පොලිසියේ කොස්තාපල් රවිඳු සන්දීප‍ යන අයගේ මස්සිනා (අක්කාගේ මහත්තයා) විසිනි. හරක් කටාට පැන යාමට උදව් දීම සම්බන්ධයෙන් සන්දීප කලක් අතුරුදන්ව සිටි අතර, එලෙස අතුරුදන් වූ මොහොතේදී රහස් පොලිසිය ඔහුගේ පවුලේ අය අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග ලබාගනිමින් ප්‍රශ්න කරන්නට විය. ඒ අනුව ඒ මොහොතේදී මස්සිනා විසින් පොලිසියේ ලොකු මල්ලි පැමිණ කී කාරණා පිළිබඳව ප්‍රකාශ ලබා දී තිබුණේ මෙලෙසය.

මෙකී මස්සිනා නමින් අමිල සංජීවය. ඔහු සඳහන් කර තිබුණේ නඳුන් චින්තක රඳවා සිටි මොහොතේ තම මස්සිනාට ප්‍රකාශ කළ කරුණුය.

එහිදී ඔහු පැවසුවේ හරක් කටා දිනක් ලොකු මල්ලිගෙන් ප්‍රශ්න කරමින් සිටි අවස්ථාවේ ලක්ෂ 20 ක් ලබාදෙන්නදැයි විමසූ බවය. එවිට සන්දීප විසින් ඒ සම්බන්ධව අංශයේ ස්ථානාධිපතිවරයා දැනුවත් කර ඇති අතර, ඔහු දන්වා ඇත්තේ හරක් කටාට ළංවී වත්කම් සම්බන්ධ‍යෙන් දැනගන්නා ලෙසටය. ඒ බව සන්දීප තමන් සමඟ පැවසූ බව අමිල ත්‍රස්ත විමර්ශන අංශයේ ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශ කළේය.

සන්දීප විසින් ප්‍රකාශ කළ අනෙක් කාරණය නම් හරක් කටාගේ දරුවා බැලීම සඳහා  එක් අවස්ථාවක එහි සිටි ස්ථානාධිපතිවරයකුගෙන් උදව් ඉල්ලූ අතර ඒ සඳහා ලක්ෂ පහක් ඉල්ලා සිටි බවත්, එහෙත් හරක් කටා එය ලබා නොදුන් බවත් හරක් කටා සන්දීපට කියූ බව අමිල පවසා ඇත. එපමණක් නොව, සන්දීප එක් වරක් නිවෙසට එන විට ජංගම දුරකතනයක් රැගෙන පැමිණි බවත්, එය හරක් කටා දුන් එකක් යැයි කී බවත් ඔහු පැවසීය. එසේම ඇපල් ලැප්ටොප් පහක් ලැබුණු බවත්, ඉන් තුනක් ස්ථානාධිපතිවරුන් ලබාගත් අතර ඉතිරිය ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර බෙදාගත් බවත් ඔහු සඳහන් කළ බව අමිල සංජීව ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත් සන්දීපට දුරකතනය ලබාදී ඇත්තේ හරක් කටාගේ බිරිඳ සහ දරුවන් සමඟ කතා කිරීමට අවස්ථා ලබාදීම වෙනුවෙන් තෑග්ගක් ලෙසය. එසේම හරක් කටා විසින් මල්ලිට ලක්ෂ 20ක මුදලක් ලබාදුන් බවත්, එසේම එසේම මල්ලි සමීපයේ සිටි මිතුරකුට ලක්ෂ හැටක් සහ තවත් පිරිසකට ලක්ෂ හතළිහක් බැගින් ලබාදුන් බවත් ඔහු පවසා තිබුණි. ඒ නිසා ලක්ෂ 20 මල්ලිට දෙන අවස්ථාවේ “සර් මෝඩයා නොවී සල්ලි ගන්න, මේකේ ඉන්න ඔක්කොම මගෙන් සල්ලි අරන් තියෙන්නේ” කියා පැවසූ බවට සන්දීප තමා සමඟ පැවසූ බව සන්දීපගේ මස්සිනා නොහොත් අමිල පවසා තිබේ.

කෙසේ වෙතත් මෙහි වැදගත්ම කොටස නම් අමිල වෙත සිදුකරන බරපතළ ඉල්ලීමයි. එනම් තමා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියත්මක කරන බවට හරක් කටා විසින් සන්දීපට දැනුම් දී ඇති බවත්, වහාම එය ඉහළට දැනුම්දෙන ලෙසටත් සිදුකළ ඉල්ලීමයි. කෙසේ හෝ එම ඉල්ලීම පරිදි ඉහළට දැනුම් දුන් පසුව හරක් කටා ලොකු මල්ලිට වැඳ “සර් නිසා තමයි මම ජීවත් වන්නේ,” කියා පැවසු බව අමිල පවසා ඇත. ඊට අමතරව තමා එම ඝාතනයෙන් බේරාගැනීම සඳහා රහස් පොලිසියේ එවකට අධ්‍යක්ෂ මහත්මයකුටත් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයකුටත් කෝටි 20 බැගින් ලබාදුන් බව හරක් කටා සන්දීප සමඟ පැවසූ බව ඔහු සිය මස්සිනා සමඟ පවසා ඇත. එහෙත් ඒ කෝටි 20 එක් අයකුටද නැත්තන් පිරිසකට ලබා දුන්නාදැයි තමන් නොදන්නා බව ඔහු සඳහන් කර තිබේ. එපමණක් නොව, සන්දීප සේවය කළ ස්ථානයේ ස්ථානාධිපතිවරයකුට කෝටි 2ක් ලබාදුන් බවද හරක් කටා සන්දීප සමඟ පවසා ඇතැයි කියැවේ. එහෙත් ජනාධිපතිවරයාටත් බන්ධනාගාරයේ ලොක්කකුටත් මුදල් ලබාදීමට ගියත් ඒවා ප්‍රතික්ෂේප වුණු බවද හරක් කටා පවසා තිබේ.

ඒ හරක් කටාට පැන යාම සඳහා උදව් කළ රහස් පොලිසියේ කොස්තාපල්වයකු වන සන්දීපගේ මස්සිනා විසින් ලබාදුන් ප්‍රකාශයි. කෙසේ වෙතත් රඳවා සිටින අයකුට මෙතරම් බොරුවක් කීමට පුළුවන් යැයි අපට සිතෙන්නේ නැත. එසේම මේ ප්‍රකාශ 100% ක් ඇත්තදැයි අපි නොදනිමු. එය සනාථ කරගත හැක්කේ පරීක්ෂණ සිදුකිරීමෙන් පමණි. එසේනම් වහාම මේ සම්බන්ධව පරීක්ෂණ සිදුකළ යුතුමය. මේ නිසාම හරක් කටාගේ නීතිඥවරුන් ඉදිරියේදී මේ සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට පැමිණිලි කිරීමටද නියමිතය. එසේ කළ යුතුය. හරක් කටා මහා පරිමාණ කුඩුකාරයකු නම් එකී කුඩුකාරයා රවටා මුදල් ගන්නට තරම් පොලිස් නිලධාරීන් පහත් තත්ත්වයට ඇදවැටී ඇත්දැයි සොයා බැලිය යුතුමය. විශේෂයෙන් හරක් කටා රඳවාගත්තේ මේ ඇත්ත එළියට එන නිසාදැයි යන්න අපට ගැටලු‍වකි.

මේ අතර පසුගිය දා හරක් කටාගේ සුප්‍රසිද්ධ කිරිටොෆි නඩුව ඉවත් කරමින් ඔහුට අලු‍ත් නඩුවක් සඳහා අධිචෝදනා බාර කෙරිණි. එය නිවැරදිය. නීතිය ක්‍රියාත්මක කළ යුත්තේ එලෙසය. එසේ නොමැතිව බල්ලෝ මරා හෝ සල්ලි හොයන න්‍යාය ආරක්ෂක අංශවලට තිබුණොත් මේ රට මේ අපායෙන් ගොඩගන්න බැරිය. ඒ නිසා අපේ අදහස නම් දැන් වැඩේ පටන්ගත යුතු කාලය පැමිණ ඇත. තරාතිරම නොබලා එය ක්‍රියාත්මක කිරීම මේ රජයේ වගකීමකි.

• ගයාන් ගාල්ලගේ

 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:03