අල්ලස දූෂණය බැලු බැලු අත පෙනෙන්නා සේම කප්පම් ගැනීම, කප්පම් ඉල්ලීම සහ ආධාර අනුබල දීම වර්තමානයේ සුලභව දකින්නට ලැබෙන්නකි. ඒ අතරත් පොදු ප්‍රවාහන සේවයේදී කප්පම් නොදී ගමනාරම්භයේ සිට ගමනාන්තය දක්වා යාමට තවමත් වාසනාව හිමිවී ඇත්තේ කෝච්චි රියැදුරන්ට පමණකි. ඒ තරමට බස් රථවලින් කප්පම් ගැනිල්ල වර්තමානය වනවිට වසංගතයක් සේ පැතිරිලාය. කාලයක් තිස්සේ සිදුවන මෙම බස් රථවලින් කප්පම් ගැනීමේ සිදුවීම් ගණනාවක් මාධ්‍ය මගින්ද වාර්තා කර බලධාරීන්ගේ අවධානයට යොමුකළ ද ඒ සම්බන්ධයෙන් ක්‍රියා කළ බවක් නම් දක්නට නැතිවා සේය.
මේ සම්බන්ධයෙන් පෞද්ගලික මගී ප්‍රවාහන සේවක සංගමය පසුගිය දා පැවසුවේ බස් රථවලින් කප්පම් ගැනීම දිගින් දිගටම ඉහළ යමින් තිබෙන බවයි. කෙටි ගමන් සේවා බස් රථයක් දිනකට රුපියල් 1000කට ආසන්න මුදලක් සහ දුර ගමන් සේවා බස් රථයක් රුපියල් 4000කට ආසන්න මුදලක් කප්පම් වශයෙන් ගෙවීමට සිදුව තිබෙන බවද එම සංගමය පවසයි.
බස්වලින් කප්පම් ගැනීමට ආසන්නම සිදුවීමක් වාර්තා වූයේ අනුරාධපුරයෙනි. බස් කප්පම් පාතාලයක් බිහිවී ඇති බවට මෙම සිදුවීමම සාක්ෂි සපයයි. අනුරාධපුර ප්‍රධාන බස් නැවතුම්පොළට පැමිණෙන බස් රථවලින් කප්පම් ගැනීමේ ජාවාරමක් සිදුවන බවත්, ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අංශවල ඇතැමුන් නෑසූ කන් ඇතිව සිටින බවත් එල්ල වූ චෝදනාවකි. මෙම කප්පම් කල්ලිවලට ප්‍රදේශයේ ඇතැම් දේශපාලකයන්ගේද සබඳතා ඇතැයිද කප්පම්කරුවන්ට එරෙහිව පැමිණිලි කරන පැමිණිලිකරුවන්ගේ අනන්‍යතාව හෙළි කරන ඇතැම් නිලධාරීන්ද සිටින බවටද නගරවැසියෝ චෝදනා කළහ. මාධ්‍ය මගින් දිගින් දිගටම වාර්තා කළ පෞද්ගලික බස් රථවලින් කප්පම් ගැනීම සම්බන්ධයෙන් සොයා බැලීමට ගිය උතුරුමැද පළාත් මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරියේ නිලධාරීන්ට තර්ජනය කිරීම සම්බන්ධයෙන් ප්‍රදේශයේ පිය පුතු දෙදෙනෙක් පොලිසිය විසින් පසුගිය කාලයේ අත්අඩංගුවට ගනු ලැබූහ. විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම සැකකාර පියා සහ පුත්‍රයා කාලයක සිට අනුරාධපුරයෙන් ගමන් ආරම්භ කරනු ලබන දුර ගමන් සේවා බස් රථවලින් කප්පම් ලබාගන්නා බවයි.
මේ ආකාරයට රට පුරා විවිධ ප්‍රදේශවලින් දුර ගමන් බස්වලින් කප්පම් ඉල්ලන්නන් පිළිබඳ පසුගිය කාලය පුරාම වාර්තා විය. බස් සේවක සංගමය වර්තමානයේ පවසනුයේ මේ වනවිට එම තත්ත්වය නියපොත්තෙන් ගැලවීමට තිබූ දේ පොරොවෙන් කැපීමට තරම් වී ඇති බවයි. මෙම ගැටලුව සම්බන්ධයෙන් කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදීද කතාබහට ලක්වූ අවස්ථාවේදී මහජන ආරක්ෂක අමාත්‍යවරයා පැවසුවේ පෞද්ගලික බස්වලින් කප්පම් ගන්නා ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් රජය දැඩි තීන්දුවක් ගෙන ඇති බැවින් කඩිනමින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ කප්පම් ජාවාරම සම්පූර්ණයෙන්ම අවසන් විය යුතු බවයි. එම සාකච්ඡාවේදී අනාවරණය වී තිබුණේ අලව්ව, මැල්සිරිපුර, නාරම්මල, ගිරිඋල්ල යන නගරවල කප්පම්කරුවන් ක්‍රියාත්මකව සිටින බවට තොරතුරු ලැබී ඇති බවත්, කප්පම් නොදෙන බස්රථ සේවකයන්ට කප්පම්කරුවන්ගෙන් සහ ඔවුන්ට සහාය දක්වන මැර කල්ලිවලින් හිරිහැර සිදුවන බවත්ය. මේ සඳහා යම් යම් ප්‍රදේශවල දේශපාලකයන්ගේ බලය ද උපකාරී වනවා යැයි නොරහසකි. දේශපාලක බලය උපයෝගී කරගෙන මෙවැනි කාර්යයක නිරත වන්නේ ගම්මුන්ගේ භාෂාවෙන්ම කියනවානම් දේශපාලකයන්ගේම හෙංචයියෝය.
මෙවැනි බස් රථවලින් කප්පම් ගන්නා රට පුරා සිටින පිරිස් සම්බන්ධයෙන් අප කළ සොයා බැලීමේදී අනාවරණ වූයේ පුත්තලම අනුරාධපුර මාර්ගයේ මැදවච්චිය, බස්නාහිර පළාතේ කඩුවෙල, කිරිබත්ගොඩ, පානදුර, උඩවලව හන්දිය, පේරාදෙණිය හන්දිය, දඹුල්ල, කුරුණෑගල, අලව්ව ආදී ප්‍රදේශ ගණනාවක මෙවැනි පිරිස් රැඳී සිටිමින් බස් රථවලින් කප්පම් ගන්නා බවයි. ජනතාව පවසන මෙවැනි ස්ථාන පිළිබඳ විමසිලිමත් වී සැකකරුවන් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට ගෙන යාම පොලිසිය ඇතුළු බලධාරීන්ගේ වගකීමකි.
එසේම දුර ගමන් සේවා බස් රථවලට ඇතැම් ප්‍රදේශවල රැඳී සිටින කප්පම්කරුවන්ට මෙලෙස කප්පම් වශයෙන් මුදල් ලබාදීමට සිදුවනවා සේම, කෙටි දුර ධාවන බස් රථවලට බස් රථ ගමන් ආරම්භ කරන ස්ථානවල සහ අතරමග සිටින වේලා සටහන්කරුවන්ට මුදල් කප්පම් වශයෙන් ලබාදීමට සිදුවන බව ඔවුහු පෙන්වා දෙති. මෙලෙස මුදල් ඉල්ලා සිටින වේලා සටහන්කරුවන්ට මුදල් ලබාදීම ප්‍රතික්ෂේප කළහොත් තම ගමන් වාර ප්‍රමාද කිරීම සිදුකරන බවත් තමන්ට නියමිත ගමන් වාර ලබාගැනීමේ අරමුණින් බස් කොන්දොස්තරවරුන්ට මෙම මුදල් ලබාදීමට සිදුවන බවත් ඔවුහු පවසති. කෙටි දුර ධාවන බස් රථ ධාවනය ආරම්භක ස්ථානයේ වේලා සටහන්කරුවෙක් සිටී. බස් සේවකයන්ට මෙම පිරිසට සන්තෝසම දීමට සිදුවන අතර එසේ නොමැති වුවහොත් වේලා සටහන්කරුවන්ගේ විසිල් පහර වෙලාවට කලින් වැදීමටත්, නොවැදී තිබීමටත් හේතු විය හැකි බව බස් සේවකයන්ගේ අත්දැකීමය. මෙවැනි වේලාසටහන්කරුවෝ ධාවන මාර්ගය අතරමගද යම් යම් ස්ථානවල ස්ථානගත කර සිටිති.
නිදසුනක් ලෙස මාර්ග අංක 175 කොහිලවත්ත - කොල්ලුපිටිය බස් මාර්ගයේ කාලයකට පෙර බස් රථවල විවිධාකාර ගැටුම් ඇතිවූයේ බස්රථ භාෂාව අනුව කොටන ඉබ්බන් නිසාය. මෙම ගැටුම් අවම කිරීමේ අරමුණින් බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මගින් කොහිලවත්තෙන් ගමන් ආරම්භ කරන බස්රථ සඳහා ගමනාන්තය වන කොල්ලුපිටියට පෙර ප්‍රධාන මංසන්ධිය වන කොළඹ මහජන පුස්තකාලය බස් නැවතුම සඳහා වේලා සටහන්කරුවෙක් පත් කරනු ලැබීය. ගමන් මාර්ගයේ ධාවනය කරන ලංගම සහ පෞද්ගලික සෑම බස් රථයකටම කාඩ්පතක් ලබා දී ඇති අතර, මෙම බස් රථවලින් දවසේ පළමු ගමන් වාරයේදී කොළඹ මහජන පුස්තකාලය අසල සිටින වේලා සටහන්කරුවන්ට රුපියල් 150ක මුදලක් අත මිට මෙළවීමට බස් සේවකයන්ට සිදුවෙයි. වේලා සටහන්කරු බස් රථයට හිමි කාඩ්පතේ වේලාව සටහන් කිරීම බස් සේවකයන්ට මසුරන්වලට වඩා වටිනා වැඩකි. එනම් එම වේලාව ප්‍රමාද වුවහොත් නැවත ඊළඟ ගමන් වාරයට ඉඩ ලැබෙනුයේ බස්රථ ගණනාවක වේලාවට පසුවය. එහෙයින් 175 බස් සේවකයෝ වේලාසටහන්කරු දෙවියකු සේ සලකති. ඇතැම් බස් කොන්දොස්තරවරුන්ට 175 බස් රථයට කොළඹ නගර ශාලාව බස් නැවතුමෙන් ගොඩවන මගීන්ගෙන් මුදල් අයකර ගැනීමත් අමතකය. සිහිය ඇත්තේ කාඩ්පතේය. 175 බස්රථ වැඩිම දුරක් වැඩිම වේගයකින් ගමන් කරන දුර ප්‍රමාණය වන්නේ කොළඹ නගර ශාලාවේ සිට මහජන පුස්තකාලය අසලටය. ඒ තරමට වේලා කාඩ්පත රත්තරන්ය.
මැජික් යෂ්ටිය මෙන් ඒ රත්තරන් කාඩ්පතේ බලය ගැන තවත් කතාවක් අසන්නට ලැබුණේ බස් මගියකුගෙනි. 175 බසය කොළඹ දන්ත රෝහල අසල නැවතුමේ නවතා තිබියදී ඇතැම් කොන්දොස්තරවරුන් බසයෙන් බැස ගොස් කාඩ්පත ලකුණු කරගෙන බසය පැමිණි පසු බසයට නගින අවස්ථා ද නැතුවා නොවේ යැයි බස් මගීන්ගේ සාක්ෂියයි. මේ විස්තරය එක් කෙටි දුර ධාවන බස් රථ මාර්ගයක් ගැන පමණකි. හෙට්ටියාවත්ත - කරගම්පිටිය 176 බස් මාර්ගයේ තත්ත්වයද මෙයට වඩා ලොකු වෙනසක් නොවේ. මෙවැනි කෙටි දුර ධාවන බස් බස්නාහිර පළාත ඇතුළත කෙතරම් තිබේද?
මේ ආකාරයට බස් රථවලින් කප්පම් ගන්නා සැකකරුවන් නීතිය හමුවට කැඳවීම පොලිසිය ඇතුළු බලධාරීන්ගේ වගකීමකි. මෙවැනි පිරිස්වල ක්‍රියා කලාපවලින් බස් රථවල සේවකයන්ට පමණක් නොව එකී බස්වල ගමන්ගන්නා මගීන්ටත් සිදුවන්නේ අගතියකි.
• සසංක චලන ගිම්හාන