උතුරුමැද පළාතේ දේශපාලන පිපිරීම් රැසක් සිදුවුණේ ඉතිහාසයේ යම් යම් සලකුණු තබමිනි. ඉන් එකක් වූයේ මහින්දට හිතවත්ව සිටිමින් චන්ද්‍රිකා බණ්ඩාරනායක සමඟ ගනුදෙනු කළ බර්ටි දිසානායක මහ ඇමැතිකමින් දොට්ට දමා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රබලයකු වූ එස්.එම්. චන්ද්‍රසේනගේ සහෝදරයා වූ එස්.එම්. රංජිත්ට මහ ඇමැති පට්ටම ලබාදීමය. මේ නිසා බර්ටි සිත් තැවුලට පත්වූ අතර බර්ටිගේ පුත්‍රයා වූ දුමින්ද දිසානායක එය ඉවසාගෙන සිටියේය. කෙසේ වෙතත් මහා කඳවුරු බැඳි බර්ටි පරම්පරාව බර්ටි දිසානායකගේ මරණයත් සමඟ අවසන් විය. ඒ වෙනුවට එස්.එම්ලා රජ කිරීමට ආහ. කෙසේ වෙතත් එය දුමින්දගේ හිතේ තිබුණි. මේ නිසා දුමින්ද 2014 නොවැම්බර් 21 දා රාජපක්ෂවරුන්ට එරෙහිව මෛත්‍රී සමඟ එළි බැස්සේය. ඒ එස්.එම්ලාට විරුද්ධවය. ඒ රාජපක්ෂලාට විරුද්ධවය.
මේ අතර එකී එස්.එම්ලා සම්බන්ධයෙන් විවිධ චෝදනා යහපාලන සමයේදී එල්ල වන්නට විය. ඔවුන් සම්බන්ධයෙන් පැමිණිලි පොලිසිවල වැටෙන්නට විය. ආණ්ඩුව රාජපක්ෂවරුන් සමඟ තිබූ ගැටුම නිසා එස්.එම්. පරම්පරාව මූලික ඉලක්කයක් විය. ඒ අනුව එස්.එම්. රංජිත්ට විරුද්ධව ඉන්ධන දූෂණයක් පිළිබඳ පැමිණිල්ලක් අල්ලස් හෝ දූෂණ කොමිසම වෙත ගොනු විය.
ඒ අනුව 2012 වසරේ සැප්තැම්බර් මස 27 දා සහ 2014 වසරේ දෙසැම්බර් මස 21 දා අතර කාලසීමාව තුළ එස්.එම්. රංජිත් පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස සිටියදී ඔහුගේ පෞද්ගලික ලේකම් වන ශාන්ති චන්ද්‍රසේන නැමැත්තියට වැටුප සමඟ ඉන්ධන දීමනාවක් එක් කර තිබියදී එය අභිබවා නීතිවිරෝධී ලෙස ඉන්ධන දීමනාව වශයෙන් රුපියල් ලක්ෂ 26 කට අධික ඉන්ධන ප්‍රමාණයක් ලබා ගැනීම සහ ඊට අනුබල දීම යන චෝදනා එල්ල කරමින් පැමිණිල්ල විභාග වීම ආරම්භ විය. මෙම සිදුවීම සම්බන්ධයෙන් නඩුව 2021 වසරේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සමයේ ආරම්භ වූ අතර චෝදනා ගොනු කිරීම පසුගිය රජය සමයේ සිදුවිය. ඒ අනුව රුපියල් ලක්ෂ 26ක් වටිනා තෙල් ලීටර් 16,784 ක් වංචා කර ලබා ගැනීම සම්බන්ධයෙන් නඩුව විභාග වීම ආරම්භ විය. එසේ විභාග වූ නඩුව පසුගිය 2 වැනිදා අවසන් කරමින් තීන්දුව ප්‍රකාශ කරනු ලැබීය. ඒ එස්.එම්. රංජිත් සහ ශාන්ති චන්ද්‍රසේන යන අයට වසර 16 ක් සිරඳඩුවම් නියම කරමිනි. එසේම දෙදෙනාට ලක්ෂ දෙක බගින් දඩයක්ද නියම විය.
නඩුවේ තීන්දුව ලබා දීමට පෙර අල්ලස් කොමිසමේ නීතිඥවරිය ඉතාම අගය කළ යුතු ප්‍රකාශයක් සිදු කළාය.
“මොහු මහජන ඡන්දයෙන් තේරී පත්වුණේ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන්. අනුරාධපුර දිස්ත්‍රික්කය කියන්නේ තරමක දුෂ්කර දිස්ත්‍රික්කයක්. එහි වැඩි වශයෙන් වාසය කරන්නේ ගොවීන්. මෙසේ දුෂ්කර ජනතාවක් ජීවත් වන ප්‍රදේශයක මහජන නියෝජිතයන් වශයෙන් තේරී පත් වී මහජන මුදල් අවභාවිත කරමින් විත්තිකරුවන් මෙම දූෂණ ක්‍රියාවේ නිරත වී තිබෙනවා. 2012 වසරේ ඔහු විසින් අවභාවිත කළ මුදල්වල වටිනාකම රුපියල් ලක්ෂ 26 කට අධිකයි. එම මුදල්වල වර්තමාන වටිනාකම ඊටත් වඩා වැඩියි” යනුවෙන් සඳහන් කළ එම නීතිඥවරිය, මෙම චෝදනාවල බරපතළ බව සැලකිල්ලට ගෙන විත්තිකරුවන්ට නිසි දඬුවම් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියාය.
විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා, මෙය 2012 වසරේ සිදුවූ වරදක් බවත් විත්තිකරුවන් නඩුව කඩිනමින් අවසන් කිරීමට පූර්ණ සහාය ලබා දී ඇති බවත් මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන තම සේවාදායකයන්ට ලිහිල් දඬුවමක් ලබා දෙන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එහෙත් අවසානයේ තීන්දුව ප්‍රකාශ කරමින් විනිසුරුවරයා මෙලෙස සඳහන් කළේය.
“වෙනත් අපරාධ සම්බන්ධයෙන් දඬුවම් නියම කිරීමේදී අනුගමනය කරන ක්‍රියා පටිපාටිය මෙම සිද්ධියේදී අනුගමනය කිරීමට හැකියාවක් නැහැ. මෙම නඩුකරය තුළින් අනාවරණය වන්නේ ආර්ථික අපරාධයක්. පළමුවැනි විත්තිකරු මහජන නියෝජිතයකු වශයෙන් තේරී පත්වූ අයකු වන අතර ඔහු මහජනතාවට වගකිව යුතු ආකාරයෙන් කටයුතු කිරීමට බැඳී සිටිනවා. දූෂණ ක්‍රියා නිසා රටේ ආර්ථිකයටත් අහිතකර බලපෑම් එල්ල වෙනවා. පසුගිය කාලයේ අපේ රට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා. මේ නිසා අපේ රටේ ජනතාව දැඩි ලෙස පීඩාවට පත්වුණා. මෙවැනි ආර්ථික අර්බුදවලට රට තුළ සිදුවන දූෂණ ක්‍රියාත් බලපානවා. එම නිසා මෙවැනි චෝදනා එල්ලවන මහජන නියෝජිතයන්, රජයේ නිලධාරීන් හා අධිකරණ නිලධාරීන් සම්බන්ධයෙන් ලිහිල්ව කටයුතු කිරීමට හැකියාවක් නැහැ. ඔවුන්ට නීතියෙන් ලබා දිය හැකි උපරිම දඬුවම් ලබා දීමට සිදු වෙනවා.”
ඒ අනුව එස්.එම්. රංජිත් සහ එස්.එම්. චන්ද්‍රසේනගේ බිරිඳ වන ශාන්ති චන්ද්‍රසේන වසර 16 ක් දක්වා අච්චු කරනු ලැබූහ. කෙසේ වෙතත් සුපුරුදු පරිදි තම දඬුවම ලිහිල් කර ගැනීම සඳහා මොවුන් පසුගිය බ්‍රහස්පතින්දා අභියාචනාධිකරණය වෙනුවෙන් ඇපලක් ඉදිරිපත් කර තිබූ අතර එය සලකා බැලීම සම්බන්ධයෙන් ඉදිරියේදී දින නියම වනු ඇත.
• ගයාන් ගාල්ලගේ