2022 ජුලි 24 වන ඉරිදා

රෝගී ආර්ථිකය නිරෝගී නොකළොත්!

 2022 ජුලි 24 වන ඉරිදා, පෙ.ව. 08:00 57

පාලකයන්ගේ අදූරදර්ශි ක්‍රියා පිළිවෙත හේතුවෙන් මේ වන විට රටේ සමස්ත ජනතාවම දැඩි පීඩාවකට පත්වී සිටියි. විදේශ විනිමය සංචිත නොමැති බැවින් ආහාර, ඖෂධ, ඉන්ධන, ගෑස් වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනයට බාධා පැමිණ තිබේ. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් මේ වන විට පත්වී සිටී. ඔහුට හා අලුතින් පත්වන ආණ්ඩුවට රට පත්ව ඇති අර්බුදයෙන් ගොඩ ගැනීමේ විශාල අභියෝගයක් පවතී. රටේ නිර්මාණය වී ඇති අර්බුදයෙන් ගොඩ ඒමට නිසි තීන්දු තීරණ ගන්නේ කවුරුන්ද යන්න තවමත් ගැටලුවකි. මේ මොහොත රටේ ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා අතවශ්‍ය කෙටිකාලීන තීන්දු තීරණ ගත යුතුම අවස්ථාවකි. ආර්ථික ප්‍රතිපත්ති  සම්බන්ධ ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගැනීමේදී ප්‍රධානතම පාර්ශ්වකරුවා වන්නේ පවතින ආණ්ඩුවයි. ඒ සඳහා ස්ථාවර ආණ්ඩුවක් සහ දේශපාලන ස්ථාවරත්වයක් පැවතිය යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පසුගියදා බීබීසී සිංහල සේවය සමඟ පැවැති සාකච්ඡාවකදී අවධාරණය කළේය.

කඩා වැටී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ශ්‍රී ලංකා මැහ බැංකුව යම් යම් ක්‍රියාමාර්ග ගනිමින් සිටී. එහි පළමු පියවර වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කොට මූල්‍ය ස්ථාවරත්වයක් ඇති කර ගැනීමට කටයුතු කිරීමය. දෙවැන්න ණය ප්‍රතිව්‍යහගත කිරීමය. මෙම කාර්යයන් ඉටු කිරීමට අවශ්‍ය වැදගත් තීරණ ගැනීමේදී ඒ සඳහා ස්ථාවර පාර්ලිමේන්තුවක්, කැබිනට් මණ්ඩලයක් හා මුදල් ඇමැතිවරයෙක් සිටීම අත්‍යවශ්‍ය කරුණකි. මෙම කටයුතු සිදු කෙරෙමින් පවතින විට එවක පැවැති රජය වෙනස් විය. නව ආණ්ඩුව යටතේ බිඳ වැටුණු සාකච්ඡා යළි ආරම්භ කළ පසු යළිත් ආණ්ඩුව කඩා වැටිණි. ඉන් සිදුවූයේ සාකච්ඡා යළි බිඳවැටීමයි. සාකච්ඡා බිඳ වැටීම හේතුවෙන් මෙරට ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීමට ගතවන කාලය තව තවත් දිගු විය.

ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නම් රටේ සියලු දේශපාලන පක්ෂ, ජනතාව, අරගලකරුවන් යන සියලු පාර්ශ්ව එක්ව ස්ථාවර දේශපාලන වාතාවරණයක් රට තුළ ගොඩනගා ගැනීමට පියවර ගත යුතුයැයි ආචාර්ය වීරසිංහ වැඩිදුරටත් සඳහන් කරයි. ඔහුට අනුව ආර්ථිකය ශක්තිමත් කිරීමේ ක්‍රියාවලිය සඳහා එය අත්‍යවශ්‍ය කරුණකි.. එය ප්‍රමාද වුවහොත් ජනතාව අත්විඳින පීඩා තවදුරටත් වර්ධනය වී ලබන මාසය වන විට ඔවුන්ට ජීවත්වීමට අපහසු තත්ත්වයක් උද්ගතවනු ඇත. දැනටමත් අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල විශාල හිඟයක් පවතී. රට පුරා පෝලිම් නිර්මාණය වී තිබේ. ඉදිරි සති කිහිපය සඳහා අවශ්‍ය ඉන්ධන මිලදී ගැනීමට මේ වන විට පියවර ගෙන තිබේ. එහෙත් එය ප්‍රමාණවත් වන්නේ දෙසතියක පමණ කාලයකටය. ජනතාවට අත්‍යවශ්‍ය ඉන්ධන, ඖෂධ, ආහාර සැපයීම මහ බැංකුවට තනිව කළ හැකි කාර්යයක් නොවේ. රටට අවශ්‍ය මුදල් සපයා ගැනීම සඳහා රටේ පවතින අපනයන කර්මාන්ත බාධාවකින් තොරව ක්‍රියාත්මක විය යුතුය. එසේ නොවුණහොත් රට තවත් අගාධය කරා යනු ඇත. අලුතින් පත්වන ආණ්ඩුව ප්‍රථමයෙන් කළ යුත්තේ මෙම අර්බුදයෙන් ගැලවීම සඳහා අවශ්‍ය තීන්දු තීරණ ගැනීමය. 

පවතින තත්ත්වය ඉතා අසීරුය. බිඳ වැටුණු ආර්ථිකය යළි ගොඩ නැගීම සඳහා ඇත්තේ ක්‍රම දෙකකි. එකක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කොට කිසියම් වැඩපිළිවෙළක් අනුව ඔවුන්ගේ සහය ලබාගැනීමය. දෙවැන්න ණය ප්‍රතිව්‍යුහ ගත කිරීමය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලැබෙන විට ලොව අනෙකුත් ණය ලබා දෙන ආයතනවලින් ශ්‍රී ලංකාවට කෙටිකාලීන ණය හෝ ආධාර ලබා ගැනීමට හැකි වනු ඇත. ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා සාකච්ඡා කොට ඔවුන්ගෙන් සහතිකයක් ලබා ගත යුතුය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ක්‍රම දෙකකට සාකච්ඡා පැවැත්වේ. ඒ තාක්ෂණික මට්ටමේ සාකච්ඡා සහ ප්‍රතිපත්තිමය සාකච්ඡා වශයෙනි. තාක්ෂණික සාකච්ඡා යනු මහ බැංකුව, භාණ්ඩාගාරය සහ අනෙකුත් අමාත්‍යංශ එක්ව ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග හා නිර්ණායක ඇතුළත් යෝජනාවලියකි. ප්‍රතිපත්තිමය සාකච්ඡාවලදී රජයක් විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත ප්‍රතිපත්ති පිළිබඳව සාකච්ඡා කෙරේ. එහිදී එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන බවට ආණ්ඩුව එකඟ විය යුතුය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ඉදිරිපත් කරන වැඩපිළිවෙළ ඉදිරියේ ක්‍රියාත්මක කරන බවට සහතිකය දිය යුත්තේ ආණ්ඩුව විසිනි. එම වැඩපිළිවෙළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් පිළිගන්නේ නම් ඒ සඳහා එකඟතාවකට පැමිණෙනු ඇත. රාජ්‍ය අස්ථාවරභාවයක් පවතින්නේ නම් ඉදිරියේ ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් රජයට සහතිකයක් ලබා දිය නොහැකිය. පසුගිය කාලය පුරාම පැවැති දේශපාලන අස්ථාවරභාවය හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැති සාකච්ඡා ප්‍රමාද වූයේය. 

රටේ දේශපාලන අස්ථාවරත්වයක් නිර්මාණය වූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාව ලබා ගැනීමට ආසන්නව තිබියදීයැයි ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පෙන්වා දෙයි. ශ්‍රී ලංකාව විසින් ගෙවීමට ඇති විශාල ණය පියවීම සඳහා යම් සහනයක් ලබාගත හැක්කේ එම සහතිකය හිමිවුවහොත් පමණි. රටක දේශපාලන අස්ථාවරත්වයක් පවතින්නේ නම් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ එම කටයුතු ප්‍රමාද වීමක් සිදු වේ. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්යය සඳහා අවශ්‍ය පරිසරයද සකසා ගත යුතුය. එසේ වුවහොත් තවත් මාස කිහිපයකින් ආර්ථිකය යම් පමණක යහපත් තත්ත්වයකට ගෙන ආ හැකිය. එම ක්‍රියාමාර්ග අසාර්ථක වී ආර්ථිකය ශක්තිමත් කරගත නොහැකි වුවහොත් රට මීටත් වඩා අසීරු තත්ත්වයකට පත්වනු නොඅනුමානය.

ශ්‍රී ලංකාව විවිධ රටවලින් ණය ලබා දෙන ලෙස ඉල්ලීම් කළද ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි ආයතන මෙන්ම බොහෝ රටවල්ද ප්‍රකාශ කරන්නේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන ආකාරය සම්බන්ධයෙන් වැඩපිළිවෙළක් සකස් කර පෙන්වන ලෙසටය. එමෙන්ම එම වැඩපිළිවෙළ සාර්ථකව ක්‍රියාත්මක කළ හැකි බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි සංවිධානයකින් සහතික කළ යුතු වේ. එය ඉටුකළ පසුද ඔවුන් ණය ලබා දීමට එකඟ වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට මුදල් ලබා දීමෙන් පසුවය. එහෙයින් ශ්‍රී ලංකාවට අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ඇති එකම මාර්ගය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලය. මහ බැංකු අධිපතිවරයා පෙන්වා දෙන්නේ මීට වසරකට පමණ ඉහත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ඉල්ලා සිටියා නම් රට මේ තරම් අගාධයකට පත් නොවන බවයි. 

මේ වන විට ශ්‍රී ලංකාව සතුව ඇති විදේශ සංචිත ප්‍රමාණය ඉතාම අවමයකි. පසුගිය මැයි මාසය වන විට එය ඇමෙරිකානු ඩොලර් මිලියන 1750 දක්වා පහත වැටී තිබිණි. එහිද ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 අගයක් ගන්නා යුවාන්. ප්‍රමාණයක් ඇති අතර ඒවා භාවිත කළ නොහැකිය. භාවිතයට ගැනීමට හැක්කේ ඩොලර් මිලියන 250ක් වැනි ප්‍රමාණයක් පමණි. මහබැංකු අධිපතිවරයා එම ධුරයට පත්වන අවස්ථාවේ භාවිතයට ගතහැකි සංචිත වශයෙන් පැවතියේ ඩොලර් මිලියන 20ක පමණ ප්‍රමාණයකි. ඉදිරි මාස 12 සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 6ක ණයක් ගෙවීමට මුදල් නොමැති වූ හෙයින් අප්‍රේල් 12 දා සිට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියකට යාමට සිදු විය.. ණය ප්‍රතිව්‍යුහගත නොකළා නම් මේ වන විට රට සම්පූර්ණයෙන්ම වසා දමන තත්ත්වයකට පත්වනු ඇතැයි මහ බැංකු අධිපතිවරයා පෙන්වා දෙයි. දැඩි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් ආනයන වියදම් අවමකිරීම හේතුවෙන් ඉදිරියේ ආර්ථික පීඩාව යම් පමණකට අවම විය හැකිය. 
කෙසේ නමුදු නව ආණ්ඩුව පත්වීමෙන් පසු නව මුදල් ඇමැතිවරයකු යටතේ ඉදිරි වසර තුනක කාලයක තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සහතිකයක් ලබා දීමෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය හිමිවනු ඇතැයි විශ්වාස කෙරේ.

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00