මේ දිනවල සංවාදයට තුඩු දී ඇති දත්ත ආරක්ෂක පනත පිළිබඳ යම් සොයා බැලීමක් කිරීමට අප තීරණය කළෙමු. ඒ අනුව පළමු මෙම පනත කුමක්ද? ඒ වටා ඇති පරිසරය කුමක්ද? යන්න හඳුනාගැනීම වැදගත් වේ. නූතනයේ අප සම්ප්‍රදායිකව බොහෝදෙනා දකිමින් සිටින ලෝකය තුළ නොවන බව සංවාදයට පූර්විකාවක් ලෙස ලියා තැබිය යුතුය.
අප ජීවත්වන්නේ දත්ත මතින් ගොඩනැගුණු තොරතුරු ලෝකයකය. එම නිසාම නූතන මානවයාගේ පැවැත්ම කෙරෙහි දත්ත සහ තොරතුරුවල ආරක්ෂාව සාධනීය ලෙස බලපානු ලබයි. උදාහරණයක් ලෙස ඔබට අයත් පෞද්ගලික දත්ත ඔබගේ අවසරයෙන් තොරව වෙනත් අයෙකුට භාවිත කිරීමට ඉඩ නොදීමේ අයිතිය ඔබ සතුවිය යුතුය. එය තොරතුරු පෞද්ගලිකත්වය (data privacy) ලෙස නූතන ලෝකයා හඳුන්වති.
ලෝකයට පළමුවරට පෞද්ගලික දත්ත ආරක්ෂණ නීතියක අවශ්‍යතාවය මතු කරන්නේ වන්නේ යුරෝපා සංගමය තුළිණි. 1981දී යුරෝපා සංගම් විසින් දත්ත ආරක්ෂණය පිළිබඳ සම්මුතියක් මුල්වරට සම්මත කරගැනීම සිදුව තිබේ. එමඟින් දත්ත හිමිකරැවන්ගේ මෙන්ම එම දත්ත භාවිත කරන්නන්ගේද සමස්ත සමාජයේම අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට අපේක්ෂා කෙරුණි. ඉහත සම්මුතිය අනුගමනය කරමින් වසර 1998 දී බ්‍රිතාන්‍යයද තම දත්ත ආරක්ෂණ පනත (United Kingdom Data Protection Act) නීතිගත කර ඇත. ඊට අනුව කෙනකුගේ පෞද්ගලික ජීවිතය හෝ ව්‍යාපාර සම්බන්ධ අසත්‍ය තොරතුරු ප්‍රචාරණය වැළැක්වීම මෙන්ම සත්‍ය වූ තොරතුරැ ඒවායේ හිමිකරැවන්ගේ අවසරයකින් තොරව අනාවරණය කිරීම හෝ ප්‍රයෝජනයට ගැනීම සීමාකිරීම සිදුව තිබේ. මෙය වෙනම සාකච්ඡාවට බඳුන් කළ යුතු ශාස්ත්‍රීය පදනමක් සහිත විෂයයකි. කෙසේ වෙතත් අපගේ අවධායනට ලක්විය යුත්තේ ශ්‍රී ලංකාව තුළ වර්තමානයේ සිදුවෙමින් පවතින්නේ කුමක් ද යන්න පිළිබඳවයි.
වර්තමානයේ සමාජ ජාලා වෙබ් අඩවි පිළිබඳ මෙරට ඇති වී තිබෙන සංවාද දෙසට අවධානය යොමුකළ යුතුව ඇත. පෞද්ගලික ජීවිතය හෝ ව්‍යාපාර සම්බන්ධ අසත්‍ය තොරතුරු ප්‍රචාරණය මෙරට නීතිමය ගැටලු මතුවෙමින් පවතින කරුණකි. සත්‍ය තොරතුරු වුවද හිමිකරුවන්ගේ අවසරයෙන් තොරව අනාවරණය කිරීම පිළිබඳ ගැටලු මතුව ඇත. උදාහරණයක් යම් යම් තොරතුරු, ඡායාරූප විවිධ වෙබ් අඩවිවලින් ඉවත් කරන ලෙසට අධිකරණ නියෝගයක් ලබා ගැනීමට මෙරටදී බොහෝදෙනා උත්සාහ කරමින් සිටිති. නමුත් ඊට අදාළ සෘජු නීති නිසා ඇතැම් විට එම අවස්ථාවන් මඟහැරී යයි. ශ්‍රී ලංකාවට ශක්තිමත් දත්ත ආරක්ෂණ නීතියක් අත්‍යාවශ්‍යය යන තර්කය මතුවූයේ මේ ආදී පදනමක් මතය.
පසුගියදා ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ ඇමැති අජිත් පී. පෙරේරා මහතා මේ හා සම්බන්ධ ප්‍රකාශයක් කර තිබුණි. ඊට අනුව කියැවුණේ තොරතුරැ දැනගැනීමට ඇති මූලික අයිතිය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා වන යෝජිත දත්ත ආරක්ෂණ පනතට අදාළ කෙටුම්පතේ ප්‍රතිපත්ති රාමුව මේ වනවිට සකස්කර අවසන් බවයි. මෙය දීර්ඝ සංවාද සහ ක්‍රියාවලිය ප්‍රතිඵල ලෙස සිදුකරන ලද ප්‍රකාශයකි. අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ වෙබ් අඩවිවලට ප්‍රතිපත්ති රාමුව ඇතුළත් කර තිබෙන බවත් මේ පනත් කෙටුම්පතට ඇතුළත් වියයුතු කරුණු මොනවාද යන්න සම්බන්ධයෙන් මේ මස 24දා තෙක් ලිඛිතව කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසාදී තිබෙන බවත් මෙහි දී අමාත්‍යවරයා තවදුරටත් හෙළිකළේය. නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට පෙර මේ සම්බන්ධයෙන් මහජන මත විමසුම සඳහා මේ මස 27දා කොළඹ, ගාලුමුවදොර හෝටලයේදී වැඩමුළුවක් සංවිධානය කර තිබෙන බවත් තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ විද්වතුන්, නීති විශාරදයන් ඇතුළු විශාල පිරිසක් ඊට සහභාගිවීමට නියමිතව තිබෙන බවත් මෙහිදී හෙළිවිය. මේ සම්බන්ධයෙන් වන පනත් කෙටුම්පත ඉදිරි මාස දෙකක කාලයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකිවනු ඇති බව ප්‍රකාශ වී තිබුණි.
මෙම ප්‍රකාශයන් පසු එළඹි කාලය තුළදී විවිධ ආයතන සංවිධානය සහ පුද්ගලයන් නව පනත පිළිබඳ විරෝධාකල්ප පෙරදැරිව කතාබහ කරන්නට වූහ. අප සංවාද නිමිත්ත සැපයූයේ ඒ හරහා නිර්මාණය වූ ආන්දෝලනයයි. මෙහිදී ඉදිරිපත්ව ඇති කරුණු කිහිපයක් පොදුවේ ගත් කළ මෙසේය. දැනට තිබෙන සැලසුම අනුව දත්ත ආරක්ෂණ අධිකාරියක් පිහිටුවීමට ආණ්ඩුව සැලසුම් කර තිබේ. එම අධිකාරිය දේශපාලනික වීමේ සම්භාවිතාව ඉතා ඉහළ බව ඔවුන්ගේ අදහසයි. එසේ වුවහොත් මහජන දත්ත තොරතුරැ දේශපාලන පක්ෂ සහ පුද්ගලයන්ගේ අවශ්‍යතාව මත අවභාවිතා වීමට හැකියාවක් ඇතැයි ඔවුහු පෙන්වා දෙයි. එම නිසා එවන් ආයතනයක් ස්වාධීන වීමට අදාළ පත්කිරීම ආදීය සිදුවිය යුතු ආකාරයේ විනිවිදභාවය අවධානය කෙරේ.
මීළඟ මහජන අදහස් ලබා ගැනීමට ලබා දී ඇති සති දෙක කාලය ප්‍රමාණවත් නොවන බවටද අදහස් මතුව තිබේ. එමෙන්ම මෙම ක්‍රියාවලිය කාලවේලාව ලබාගෙන කළ යුත්තක් යැයි ඔවුහු පවසති. සිංහල දෙමළ මාධ්‍යවලින් පනත් කෙටුම්පත මහජන අදහස් විමසුමට ඉදිරිපත් නොවීමේ ගැටලුවක් ගැන චෝදනා එල්ලවෙමින් පවතී. මේ ආදී විවිධ දුබලතා මෙම පනතට අදාළව පෙන්වා දෙන අතර ශ්‍රී ලංකා පරිවර්තනය සමූහය ඉහළින්ම සිටින අතර ඔවුන් මාධ්‍ය නිවේදනයක් පවා මේ පිළිබඳ නිකුත් කර තිබේ.
අපට අනුව නම් පනත ගෙන ඒම මෙන්ම ඉදිරිපත් වන විරෝධයන් ඉතා සාධනීය ලෙස ගත යුතුය. පැහැදිලි විචාරයකින් තොරව කිසිසේත්ම මෙවන් පනතක් ගෙන ඒම නොකළ යුත්තකි. මන්ද ඕනෑම ආණ්ඩුවක් පාලනයක් මෙවන් පනතක් තම වාසියට පෙරළා ගැනීමට මැලිවෙතැයි කීම නොහැක්කකි. මෙම සංවාද සහභාගීත්වය ප්‍රමාණාත්මකව ඉහළ යා යුතුව තිබේ. තොරතුරැ දැනගැනීමේ අයිතිය නව පනත හරහා අභියෝගයකට ලක්වෙතැයි පැතිර යන මතවාදයක් ඇති බව කිවයුතුය. එයද ලොව මෙවන් පනත් ගෙන එනවිට බොහෝ රටවල සංවාදයට ලක්වෙන තේමාවකි. මේ සියල්ලෙන් අවධාරණය වන්නේ මෙම පනත පිළිබඳ පුළුල් අවධානයක අවශ්‍යතාවයි.
දත්ත ආරක්ෂණ පනත පිළිබඳ සංවාදයේ මහජන කෝණයෙන් අවධාරණය කළ යුතු කරුණු කිහිපයක් අවසානයේ මෙසේ දක්වමු. දත්ත තොරතුරැ යන නූතන ලෝකයේ මුදල් පරයන වටිනාකම ඇති දෙයක් බව අප මතක තබා ගත යුතුය. තොරතුරු පාලනය කරන්නන් ලෝකය පාලනය කරන යුගය උදාවෙමින් පවතින බව විශ්වාස කළ යුතුමය. ඊළඟ ලෝක යුද්ධය තොරතුරැ වෙනුවෙන් කරන්නක් නොවේ යැයි අනාවැකි කීම කිසිවෙක්ට කළ නොහැක්කකි. ඉතින් ඔබගේ තොරතුරැ පිළිබඳ ඔබේ අවධානය කොපමණද?
චමිඳු නිසල් ද සිල්වා
මූලාශ්‍ර : අන්තර්ජාලය