2025 ජුනි 21 වන සෙනසුරාදා

මහනුවරට බරක් නොවූ බෝගම්බර

 2025 ජුනි 21 වන සෙනසුරාදා, ප.ව. 02:03 135

බෝගම්බර කියන විටම අපි කාටත් මතක් වන්නේ මේ හිරගෙදර තිබුණු එල්ලු‍ම් ගහයි. අද එය ක්‍රියාත්මක නොවුණත් එල්ලා මැරීම සිදුවුණු 1876 - 1975 කාල වකවානුව ඇතුළත මේ එල්ලු‍ම් ගහේ එල්ලපු සිරකරුවෝ ගාණ 534 කි. තුන්දෙනෙක්ව එක සැරේ එල්ලලා මරන්න පුළුවන් විදියේ එල්ලු‍ම් ගහක් මුලටම ගොඩනංවලා තියෙන්නෙත් බෝගම්බරමය. දැන් බෝගම්බර හිරගෙදර වැදගත් වන්නේ පැරණි ඓතිහාසික මතක සටහන්, බියකරු මතකයන් සහිත ගොඩනැගිල්ලක් වශයෙනි. එහි බන්ධනාගාරය 2013 දී අහෝසි කළ අතර එහි සිටි සියලු‍ රැඳවියන් 2013 අවුරුද්දේ ඉඳන් ඉන්නේ පල්ලෙකැලේ හිරගෙදරය.

පසුගියදා කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවසුණේ පැරණි බෝගම්බර බන්ධනාගාර ඉඩම වසර 50 ක බදු පදනම මත බැහැර කිරීම සඳහා අභිලාෂ කැඳවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙන බවයි. තීරණය ගෙන ඇත්තේ එම ප්‍රදේශය සංස්කෘතික හා සංචාරක ප්‍රවර්ධන කටයුතු සඳහා යොදා ගැනීමේ අරමුණින් බව සඳහන්ය.

නාගරික සංවර්ධන අධිකාරියට පවරා ඇති මෙම ඉඩම, මහනුවර මහ නගර සභා බල ප්‍රදේශය සඳහා 2021-2030 කාලපරිච්ඡේදය ආවරණය වන සංවර්ධන සැලැස්මේ උපයෝගිතා සේවා කලාපය තුළ පිහිටා ඇත. විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක් වන්නේ බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රය සහ එහි ගොඩනැගිලි ලෝක උරුම ගොඩනැගිලි සංරක්ෂණය යටතේ හඳුනාගෙන තිබීමයි.

නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අනුව, මෙම ඉඩම මූල්‍ය, පාරිසරික හා සාමාජීය වශයෙන් විභවතාවක් සහිත සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා යොදා ගැනීමට අපේක්ෂා කෙරේ. නාගරික සංවර්ධන අධිකාරියේ මූලික සැලසුමට අනුකූලව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිත බව ආණ්ඩුව සඳහන් කරයි.

ඓතිහාසික වටිනාකමින් යුත් මෙම ස්ථානය නගරයේ වැදගත් සංචාරක ආකර්ෂණයක් බවට පත් කිරීමේ අරමුණක් ඇතිව පෞද්ගලික ආයෝජනය සඳහා ලබාදෙන බව රජය ප්‍රකාශ කර තිබේ. අදාළ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ආයෝජකයන්ගේ අභිලාෂ කැඳවීම ඉදිරියේදී සිදු කිරීමට නියමිතය. මෙම භූමිය ආයෝජනයකට බදුදීමේ යෝජනාව 2024 රනිල් වික්‍රමසිංහ පාලන කාලය තුළ ද පැමිණි අතර, ඒ සඳහා සුදුසු ආයෝජකයකු එකල හමුවූ බවක් අසන්නට ලැබුණේ නැත. එවකට නාගරික සංවර්ධන අධිකාරියේ මෙම ව්‍යාපෘතිය බාරව සිටි නිලධාරියකු අපට පැවසුවේ මෙලෙසිනි:

“හෝටල් ව්‍යාපෘතියට මුළු ඉඩමම ලබා දෙනවා. එහි තට්ටු තුනේ සිරමැදිරි පැවති ගොඩනැගිල්ල තමයි පළමුවැනි අදියර යටතේ හෝටලය බවට පත් කරන්නේ. මෙය පුරාවිද්‍යා ස්මාරකයක් නිසා පෞරාණික බව රැකෙන පරිදි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ

අධීක්ෂණය යටතේ ප්‍රතිසංස්කරණය කිරීම කළ යුතුයි. ඒ සඳහා වියදම දැරිය යුත්තේ අදාළ ආයෝජකයායි. ඔවුන්ට දීර්ඝකාලීන බදු පදනම මත මෙම බිම ලබා දෙනවා. අලු‍ත් ගොඩනැගිලි මෙහි ඉදිකිරීමට පුරාවිද්‍යා අවසරයක් නැහැ. තිබෙන ගොඩනැගිල්ලේ ඇතුළත යම් සුළු වෙනස්කම් පමණක් කර හෝටලයක් බවට පත්කිරීමට නියමිතයි.”

අක්කර 11 ක භූමි භාගයක පැතිරී පවතින බෝගම්බර සිපිරි ගෙදර ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම බන්ධනාගාරයයි. එය මහනුවර නගර සීමාවේ මහනුවර වැව, තරුණ බෞද්ධ සංගමය, මහනුවර නගර මධ්‍යස්ථානය (KCC) සහ මහජන පුස්තකාලයට නුදුරින් ඇහැලේපොළ කුමාරිහාමි මාවතේ පහත් බිම්කඩක පිහිටා තිබේ. ඉංග්‍රීසි පාලන කාලයේ තැනූ මෙම ගොඩනැගිල්ල මහනුවර පුරාවිද්‍යාත්මකවත් වැදගත් ස්මාරකයකි. බන්ධනාගාරය පල්ලෙකැලේට මාරු කළ පසුව පාළුවට ගොස් තිබූ බන්ධනාගාර භුමිය ඉඳහිට ප්‍රසංග සඳහා ලබාදීම ද සිදුවිය. නුදුරේදී මේ විශාල බිමේ ආයෝජන ව්‍යාපෘතියක් ලෙස හෝටලයක් හෝ වෙනත් ජනතාව සම්බන්ධ ස්ථානයක් බවට පත්වීමට නියමිතය.  

බෝගම්බර බන්ධනාගාරය සංවර්ධන කටයුතු සඳහා නාගරික සංවර්ධන අධිකාරියට පවරන ලද්දේ වර්ෂ 2014 දීයි. අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන විසල් මහනුවර සංවර්ධන සැලැස්ම හා මහනුවර නගර සංවර්ධන සැලැස්ම යටතේ එය ප්‍රතිසංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණත් ක්‍රියාත්මක වුණේ නැත. මේ වන තෙක් එය ටිකට් පතක් ගෙන සංචාරකයන්ට නැරඹිය හැකි පාළු ගොඩනැගිලි සංකීර්ණයක් පමණක් විය.

මහනුවර ලෝක උරුම නගරයට අයත් මෙම ගොඩනැගිල්ල නව ආයෝජන ව්‍යාපෘතියේදී එහි පුරාවිද්‍යාත්මක වටිනාකම ආරක්ෂා කර ගැනීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම අවශ්‍ය වේ. පසුගිය කාලයේ එසේ පුරාවිද්‍යා මූලධර්ම මත සංරක්ෂණය කරන ලද මහනුවර ඇහැලේපොළ වලව්ව වැනි ස්ථානවලින් එයට පූර්වාදර්ශ සපයාගත හැකිය.

2018 වන විට නාගරික සංවර්ධන අධිකාරිය විසින් බන්ධනාගාරය ඉදිරිපස ප්‍රවේශය සංරක්ෂණය කරන ලදී. එය ගොඩනැගිල්ලක් සහිත උද්‍යානයක් ලෙසට සංවර්ධනය කර තිබේ. බන්ධනාගාරය ඉදිරියේ පවතින විනෝදාත්මක පහසුකම් සහිත පරිශ්‍රය පසුගිය කාලයේ සාමාන්‍ය ජනතාව සඳහා විවෘත කෙරිණි.   

මේ වන විටත් බන්ධනාගාර පවුර සහ ප්‍රධාන ගොඩනැගිල්ල හැරුණුවිට අනෙකුත් භූමිය සංවර්ධනය සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කෙරෙමින් පවතී. බන්ධනාගාර රෝහල් ගොඩනැගිල්ලෙහි ප්‍රතිසංස්කරණ කටයුතු ද පසුගිය කාලයේ අවසන් කෙරිණි.   

පුරාණයේ බෝගම්බර වැව තිබුණේ දැන් බෝගම්බර ක්‍රීඩාංගනය සහ බන්ධනාගාරය පැවති බිම්කඩේය. ජනප්‍රවාදයට අනුව අවාසනාවන්ත මරණයකට මුහුණ දුන් ඇහැලේපොළ කුමාරිහාමි බෝගම්බර වැවේ ගිල්වා මරණයට පත් කිරීමෙන් අනතුරුව මළසිරුර ගොඩගැසූ බවට සැලකෙන ස්ථානය ඇත්තේත් බන්ධනාගාර භූමිය ඇතුළතයි.  

උපරිම ආරක්ෂාව සහිත සිරගෙයක් වූ බෝගම්බර සිරගෙය ඉදිකරනු ලැබුවේ බ්‍රිතාන්‍ය පාලන යුගයේ දී මෙරට ප්‍රථම බන්ධනාගාර සහ පොලිස් කොමසාරිස් වූ එන්.ආර්. සෝන්ඩර්ස්ගේ මෙහෙයවීම මත 1876 වසරේදීය. බ්‍රිතාන්‍ය මහ රැජනගේ ඔටුන්නේ හැඩයට එය ඉදිකර තිබේ. බෝගම්බර බන්ධනාගාරයේ ඇති විශේෂත්වයක් වන්නේ එය කිසිම තැනකින් වෙන් නොවුණු තනි පාදමක් මත ඉදිකෙරුණු ආසියාවේ දිගම ගොඩනැගිල්ල වීම‍යි. බන්ධනාගාරය මහල් තුනකින් සහ සිරමැදිරි තුන්සියවිසිඅටකින් සමන්විතය. එය දිගින් අඩි 556 ක්ද පළලින් අඩි 144 ක්ද උසින් අඩි 102 ක්ද වේ. එවකට බන්ධනාගාරය ඉදිකිරීමට රුපියල් ලක්ෂ හතරකට ආසන්න මුදලක් වැය වී තිබේ. එහි ඉදිකිරීම් කටයුතු සිදුකරන ලද්දේ රජයේ වැඩ දෙපාර්තමේන්තුව විසිනි. බන්ධනාගාර ගොඩනැගිල්ලට පිවිසෙන දොරටුව උසින් අඩි 5 ක් වන අතර ඉන් වරකට ඇතුළු විය හැක්කේ එක් අයකුට පමණි.

මෙම බන්ධනාගාරය දරුණු ගණයේ අපරාධකරුවන් සහ මරණ දණ්ඩනයට ලක්වූ රැඳවියන් රැඳවීමට භාවිත කළ බන්ධනාගාරයකි. ශ්‍රී ලංකා දේශපාලනයේ වැදගත් චරිත සහ ලංකාවේ බොහෝ පිරිසකගේ කතාබහට ලක්වූ රැඳවියෝ බෝගම්බර බන්ධනාගාරයේ සිරකුටිවල රඳවා තබා සිටියහ. 1940 දශකයේ ලංකා සමසමාජ පක්ෂයේ නායකයන් වූ පිලිප් ගුණවර්ධන, කොල්වින් ආර්. ද සිල්වා සහ විලියම් ද සිල්වා යන අය ද මරුසිරා නම් සිරකරු ද බෝගම්බර බන්ධනාගාරයේ සිටි මතකයේ රැඳුණු සිරකරුවන් අතර වෙති. අවසාන වතාවට බෝගම්බර බන්ධනාගාරය තුළ එල්ලු‍ම් ගස ක්‍රියාත්මක වී ඇත්තේ තිස්මඩ මිනීමැරුම සම්බන්ධයෙන් ඩබ්ලිව්.ඩී. රිචඩ් සහ ටී.එම්. ජයවර්ධන යන චූදිතයන් දෙදෙනාටයි.

2013 වර්ෂයේ දී බෝගම්බර සිරකරුවන් අභිනවයෙන් ඉදිකෙරුණු පල්ලේකැලේ පිහිටි    බන්ධනාගාරය වෙත රැගෙන යාම සිදුවිය. ඉන්පසු බෝගම්බර බන්ධනාගාරය සති දෙකක පමණ කාලයක් මහජන ප්‍රදර්ශනය සඳහා විවෘතව තැබිණි. 2014 ජනවාරි 01 වැනි දින සැලසුම් කරන ලද සංස්කෘතික උද්‍යානයේ ඉදිකිරීම් කටයුතු සඳහා බන්ධනාගාරය සම්පූර්ණයෙන්ම වසා දැමුණු අතර එහි පැවති භාණ්ඩ සියල්ලක් ශ්‍රී ලංකා රජය වෙත භාරදෙනු ලැබිණි.

පළමු අදියරේ වැඩ අවසන් කොට, 2019 අගෝස්තු 24 වැනි දින අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් බන්ධනාගාරය ඉදිරිපිට බිමේ බෝගම්බර සංස්කෘතික උද්‍යානය ජනතා අයිතියට පත් කෙරිණි. මෙම ව්‍යාපෘතියේ පළමු අදියර සඳහා ඒ වන විට වැය කර ඇති මුදල මිලියන 200 කි.

ලොව බොහෝ රටවල පැරණි ගොඩනැගිලි වාණිජ ව්‍යාපෘති බවට පත්කිරීම කලකට පෙර ඇරඹුණු පිළිවෙතකි. ලංකාවේ කොළඹ කොටුවේ ඕලන්ද රෝහල සාප්පු සංකීර්ණයක් බවට පත් කෙරුණු අතර, පැරණි තුරග තරග පිටියේ ගොඩනැගිලි ද නිදහස් චතුරස්‍රය අසල බ්‍රිතාන්‍ය යුග ගොඩනැගිලි ද එසේ සාප්පු සංකීර්ණ බවට පත්විය. යාපනයේ හැමන්හිල් දූපතේ බලකොටුව ද හෝටලයක් වුණු පැරණි ස්මාරකයකි. මෙසේ පුරාණ ගොඩනැගිලි නවීකරණය කිරීමේදී එහි පෞරාණික අගය හැකි තරම් ආරක්ෂා කිරීමට කටයුතු කිරීම නම් අත්‍යවශ්‍ය වේ. නව රජයේ ඒ කටයුතු කෙරෙහි ජනතාව අතිශය සංවේදී නිසා වැඩි සැලකිල්ලක් දැක්වීම අවශ්‍ය බව අමුතුවෙන් කිව යුතු නොවේ.


• කුසුම්සිරි විජයවර්ධන