පසුගිය මැයි මස 7 දින ඇමෙරිකාවේ නිව් හේවන්හිදී අපූරු කෘතියක් එළිදක්වනු ලැබීය. ඉතිහාසඥ ඩේවිඩ් එන්ගර්මන් විසින් රචිත එම කෘතිය Apostles of Development: Six Economists and the World They Made (සංවර්ධනයේ අපෝස්තුළුවරු - ආර්ථික විද්‍යාඥයන් හය දෙනෙක් සහ ඔවුන් නිර්මාණය කළ ලෝකය) නමින් හඳුන්වා තිබිණි.
දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ආරම්භ වූ ගෝලීය දරිද්‍රතාවයට එරෙහිව සටන් කළ තුන්වැනි ලෝකයේ ආර්ථික විද්‍යාඥයන් අතර ශ්‍රී ලංකාවේ ලාල් ජයවර්ධන මහතාද සිටින බවට එහි සඳහන්ය.
මෙම කෘතිය 1945න් පසු දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට ගත් ගෝලීය උත්සාහය සහ ජාත්‍යන්තර වේදිකාවේ නව චරිතයක් වන තුන්වැනි ලෝකයේ සංවර්ධන විශේෂඥයන්ගේ නැගීම විස්තර කරයි. මෙම කෘතියේ ආර්ථික විද්‍යාඥයන් සය දෙනකු පිළිබඳව සඳහන්ය. ශ්‍රී ලංකාවේ ලාල් ජයවර්ධන, ඉන්දියාවේ අමර්ත්‍යා සෙන්, මන්මෝහන් සිං සහ ජග්දීෂ් භගවතී, පාකිස්තානයේ මහබුබ් උල් හක්, සහ බංග්ලාදේශයේ රෙහ්මාන් සෝබන් ඒ සය දෙනාය. 1950 දශකයේ මුල් භාගයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ එක්ව අධ්‍යාපනය ලද මෙම පිරිස ගෝලීය සංවර්ධන චින්තනයේ සහ ප්‍රතිපත්තිවල ප්‍රමුඛ හඬක් බවට පත් වූ පිරිසකි.
ජාතීන් වශයෙන් වෙනස් වුවද මෙම ආර්ථික විද්‍යාඥයන් සය දෙනා සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යයන්හි ආර්ථික මට්ටම ඉහළ දැමීම සඳහා එකාවන්ව කැපවූ පිරිසක් වූ අතර විශ්වවිද්‍යාලයේදී මෙන්ම ඔවුන්ගේ වෘත්තීය ජීවිතය පුරාවට ද සමීප සගයන් සහ සහයෝගිතාකරුවන් ලෙස කටයුතු කළහ. යටත්විජිත පාලනය යටතේ පැවැති රාජ්‍යයන්හි උපත ලද සහ බටහිර විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලද මෙම ආර්ථික විද්‍යාඥයන් පිරිස ඔවුන්ගේ ව්‍යාපෘති සඳහා විචාරාත්මක බුද්ධිය සහ ප්‍රායෝගික අත්දැකීම් යන දෙකම යොදාගත් බව ද හදිසි සංවර්ධන අභියෝග සමඟ ප්‍රායෝගිකව සම්බන්ධ වීමෙන් ඒ සඳහා ඔවුන්ගේ දායකත්වය ලබා දුන් බවද එම ග්‍රන්ථයේ සඳහන්ය.
බටහිර ආධිපත්‍යයේ මෙවලමක් ලෙස සංවර්ධනය පිළිබඳ පවතින සංකල්පයට අභියෝග කරන එන්ගර්මන්ගේ කෘතිය, අර්ථවත් ප්‍රගතියක් ඇතිවන්නේ සන්දර්භයට විශේෂිත වූ, දේශීය වශයෙන් දැනුම්වත් විසඳුම්වලින් බවට තර්ක කරයි.
ඔහුගේ කෘතියට පාදක වන ආර්ථික විද්‍යාඥයන් සය දෙනා මෙපරිදිය.
• ආචාර්ය ලාල් ජයවර්ධන
මෙම කෘතියේ අන්තර්ගත කීර්තිමත් කණ්ඩායමට ශ්‍රී ලංකාවේ ආචාර්ය ලාල් ජයවර්ධන ඇතුළත් කිරීම, ගෝලීය සංවර්ධන කථිකාව සඳහා ශ්‍රී ලංකාව දක්වන ලද සුවිශේෂී දායකත්වයට කදිම සාක්ෂියකි. ආචාර්ය ජයවර්ධන ශ්‍රී ලාංකික ආර්ථික විද්‍යාඥයකු සහ රාජ්‍ය තාන්ත්‍රිකයකු වූ අතර ඔහු ලෝක සංවර්ධන ආර්ථික විද්‍යා පර්‌යේෂණ ආයතනයේ (WIDER) පළමු අධ්‍යක්ෂවරයා (1985-1993) සහ 1970 ගණන්වල ශ්‍රී ලංකා භාණ්ඩාගාර ලේකම්වරයා විය. ජයවර්ධන මහතා යුරෝපා ආර්ථික ප්‍රජාවේ සහ බෙල්ජියම, ලක්සම්බර්ග් සහ නෙදර්ලන්තය සඳහා ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස (1978-82) ද එක්සත් රාජධානියේ සහ අයර්ලන්තයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස ද (1999-2000) සේවය කර ඇත. ඔහු ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ආර්ථික උපදේශකයකු සහ ශ්‍රී ලංකා ජාතික සංවර්ධන කවුන්සිලයේ නියෝජ්‍ය සභාපතිවරයා ද විය. භාණ්ඩාගාර ලේකම්වරයා ලෙස, ඔහු 1970 දශකයේ මැද භාගයේදී ශ්‍රී ලංකාවේ විවෘත ආර්ථික ප්‍රතිසංස්කරණවලටද දායක විය. ඔහු ඉන්දු-ශ්‍රී ලංකා ආර්ථික සහයෝගීතාව පිළිබඳ අධ්‍යයන කණ්ඩායමේ සභාපතිත්වය දැරූ අතර, එම කණ්ඩායමේ අවසාන වාර්තාව ඉන්දු-ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික නිදහස් වෙළෙඳ ගිවිසුමේ (1998) පදනම විය. ඔහු 24 කණ්ඩායමේ දෙවැනි උප සභාපතිවරයා ද විය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති එන්.යූ. ජයවර්ධන මහතාගේ සහ ඇමිබෙල් මිලිසන්ට් ජයවර්ධන මහත්මියගේ පුත්‍රයා වූ ඔහු කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද අතර පසුව කේම්බ්‍රිජ් හි කිංග්ස් විද්‍යාලයෙන් ආර්ථික ත්‍රිපෝස් (කොටස් තුනකින් යුත් උපාධි පරීක්ෂණය) උපාධිය ලබා කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ගත්තේය. කේම්බ්‍රිජ් හි සිටි කාලය තුළ ඔහුගේ සමකාලීනයන් වූවෝ අමර්ත්‍ය කුමාර් සෙන්, රිචඩ් ලේයාර්ඩ්, ටැම් ඩැලියෙල්, මහබුබ් උල් හක්, ජග්දිෂ් භගවතී, මන්මෝහන් සිං සහ ජෙෆ් හාර්කෝට්ය. ඔහු විවාහ වූයේ ආචාර්ය කුමාරි ජයවර්ධන සමඟය.
• මහාචාර්ය අමර්ත්‍ය කුමාර් සෙන්
අමර්ත්‍ය කුමාර් සෙන් ඉන්දියානු ආර්ථික විද්‍යාඥයකු සහ දාර්ශනිකයෙකි. සෙන් 1972 සිට එංගලන්තයේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ සේවය කර ඇත. 1998 දී, සෙන් සුබසාධන ආර්ථික විද්‍යාව සඳහා ඔහුගේ දායකත්වය වෙනුවෙන් ආර්ථික විද්‍යාව සඳහා නොබෙල් අනුස්මරණ ත්‍යාගය හිමිකර ගත්තේය. ඔහු සමාජ තේරීම් න්‍යාය, ආර්ථික හා සමාජ යුක්තිය, සාගත පිළිබඳ ආර්ථික න්‍යායන්, තීරණ න්‍යාය, සංවර්ධන ආර්ථික විද්‍යාව, මහජන සෞඛ්‍යය සහ රටවල යහපැවැත්මේ මිනුම් සඳහා ශාස්ත්‍රීය දායකත්වයක් ලබා දී ඇත.
අමර්ත්‍ය කුමාර් සෙන් දැනට තෝමස් ඩබ්ලිව්. ලැමොන්ට් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු සහ හාවඩ් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව සහ දර්ශනය පිළිබඳ මහාචාර්යවරයා වේ. ඔහු කලක් ලන්ඩනයේ ත්‍රිත්ව විද්‍යාලයේ සහ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ තනතුරු දරා තිබේ. 1999 දී, සුබසාධන ආර්ථික විද්‍යාව සඳහා ඔහුගේ දායකත්වය වෙනුවෙන් ඔහුට ඉන්දියාවේ ඉහළම සිවිල් ගෞරවය වන භාරත රත්න සම්මානය හිමි විය.
• ආචාර්ය මහබුබ් උල්-හක්
මහබුබ් උල්-හක් පකිස්ථාන ආර්ථික විද්‍යාඥයකු, ජාත්‍යන්තර සංවර්ධන න්‍යායාචාර්යවරයකු සහ දේශපාලනඥයකු වූ අතර එරට මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය. ශ්‍රේෂ්ඨතම ආර්ථික විද්‍යාඥයකු ලෙස සැලකෙන හක්, ජාතීන්ගේ සංවර්ධනය මැනීම සඳහා බහුලව භාවිත වන මානව සංවර්ධන දර්ශකය නිර්මාණය කළේය.
ලාහෝර්හි රජයේ විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ උපාධියක් ලබා ගැනීමෙන් පසු, ඔහු එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට ශිෂ්‍යත්වයක් දිනාගත් අතර, එහිදී ඔහු ආර්ථික විද්‍යාව පිළිබඳ දෙවැනි උපාධිය ද හිමිකර ගත්තේය. පසුව ඔහු එක්සත් ජනපදයේ යේල් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබාගත් අතර මහබුබ් උල්-හක් හාවඩ්හි කෙනඩි පාසලේ පශ්චාත් ආචාර්ය පර්යේෂණ සිදු කළේය. 1960 දශකයේ සැලසුම් කොමිසමේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥයා ලෙස සේවය කිරීම සඳහා හක් නැවත පාකිස්ථානයට පැමිණියේය.
හක් ගෝලීය සංවර්ධනය කෙරෙහි ප්‍රබල බලපෑමක් ඇතිකළ පුද්ගලයකු ලෙස සැලකේ. ඔහු විසින් රචිත “මානව සංවර්ධනය පිළිබඳ පරාවර්තනයන්”, නමැති කෘතිය එක්සත් ජාතීන්ගේ ගෝලීය සංයුක්තය වැනි මානව සංවර්ධන ආදර්ශක සඳහා ප්‍රතිපත්ති යෝජනා සඳහා නව මංපෙත් විවර කළ බව පැවසේ.
• ආචාර්ය මන් මෝහන් සිං
2004 සිට 2014 දක්වා ඉන්දියාවේ අගමැතිවරයා වූ ආචාර්ය මන් මෝහන් සිං ඉන්දියානු ආර්ථික විද්‍යාඥයෙක්, රාජ්‍ය නිලධාරියෙක්, ශාස්ත්‍රාලිකයෙක් සහ රාජ්‍ය තාන්ත්‍රිකයෙක් විය. ජවහර්ලාල් නේරු, ඉන්දිරා ගාන්ධි සහ නරේන්ද්‍ර මෝදිට පසුව දීර්ඝතම කාලයක් අගමැති ධුරය හෙබවූ සිව්වැනියා ඔහුය. ඉන්දීය ජාතික කොංග්‍රසයේ සාමාජිකයකු වූ සිං ඉන්දියාවේ පළමු සික් ජාතික අගමැතිවරයාය. නේරුගෙන් පසු පූර්ණ පස් අවුරුදු ධූර කාලයක් සම්පූර්ණ කිරීමෙන් පසු නැවත පත් කරන ලද පළමු අගමැතිවරයා ද ඔහු විය.
1970 සහ 1980 ගණන්වලදී, සිං ඉන්දීය රජයේ ප්‍රධාන තනතුරු කිහිපයක් දැරූ අතර, ඒවා අතර ප්‍රධාන ආර්ථික උපදේශක (1972-1976), සංචිත බැංකුවේ ආණ්ඩුකාර (1982-1985) සහ සැලසුම් කොමිසමේ ප්‍රධානියා (1985-1987) යන තනතුරු ද වේ. 1991 දී, අගමැති පී.වී. නරසිංහ රාඕ යටතේ, සිං මුදල් අමාත්‍ය ධුරයට පත් කරන ලදී. ඉදිරි වසර කිහිපය තුළ, දැඩි විරෝධය නොතකා, ඔහු ඉන්දියාවේ ආර්ථිකය ලිබරල් කළ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ කිහිපයක් සිදු කළේය. එම ප්‍රතිසංස්කරණ හේතුවෙන් ආර්ථික විද්‍යාඥයකු ලෙස සිංගේ කීර්තිය ගෝලීය වශයෙන් ප්‍රචලිත විය. පසුව, 1998-2004 අතල් බිහාරි වජ්පායි රජය තුළ සිං රාජ්‍ය සභාවේ (ඉන්දීය පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය) විපක්ෂ නායකයා විය.
2004 දී, කොංග්‍රසය ප්‍රමුඛ එක්සත් ප්‍රගතිශීලී සන්ධානය (UPA) බලයට පත් වූ විට, එහි සභාපතිනි සෝනියා ගාන්ධි අනපේක්ෂිත ලෙස සිං අගමැති ධුරයට පත් කිරීමට තීරණය කළාය. අගමැතිවරයා ලෙස ඔහු ජාතික ග්‍රාමීය සෞඛ්‍ය මෙහෙවර, ග්‍රාමීය රැකියා සහතික කිරීමේ යෝජනා ක්‍රමය සහ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත ඇතුළු ප්‍රධාන නීති සහ ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කළේය.
• ආචාර්ය ජග්දීෂ් නට්වර්ලාල් භගවතී
ජග්දීෂ් නට්වර්ලාල් භගවතී ඉන්දියානු සම්භවයක් සහිත ඇමෙරිකානු ආර්ථික විද්‍යාඥයකු වන අතර කොලොම්බියා විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව සහ නීතිය පිළිබඳ මහාචාර්යවරයකු ලෙස කටයුතු කළේය. විදේශ සබඳතා පිළිබඳ කවුන්සිලයේ ජාත්‍යන්තර ආර්ථික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකි. ඔහු ජාත්‍යන්තර වෙළෙඳ න්‍යාය සහ ආර්ථික සංවර්ධනය සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇත.
ඔහු 1991 ඉන්දියානු ආර්ථික ප්‍රතිසංස්කරණවල පියා ලෙස සැලකේ. කොලොම්බියා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පදවිය දරන විද්වතුන් 10 දෙනාගෙන් එක් අයෙක් වන්නේද ඔහුය. භගවතී යනු ඕඩර් ඔෆ් ද රයිසින් සන්, පද්ම විභූෂණ, දේශපාලන ආර්ථිකය පිළිබඳ ෆ්‍රෑන්ක් සෙයිඩ්මන් කීර්තිමත් සම්මානය සහ ස්විට්සර්ලන්තයේ නිදහස් ත්‍යාගය ඇතුළු කීර්තිමත් සම්මාන කිහිපයක් ලබාගත් ආර්ථික විද්‍යාඥයෙකි.
2014 දී, ෆිනෑන්ෂල් ටයිම්ස් ඔහුව හැඳින්වූයේ ඔහුගේ පරම්පරාවේ වඩාත්ම කැපී පෙනෙන ආර්ථික විද්‍යාඥයා වුවද මෙතෙක් නොබෙල් ත්‍යාගය දිනා නොගත් ආර්ථික විද්‍යාඥයා ලෙසිනි.
• ආචාර්ය රෙහ්මාන් සෝබන්
රෙහ්මාන් සෝබන් බංග්ලාදේශ ආර්ථික විද්‍යාඥයෙකි. රටේ ඉහළම චින්තකයකු ලෙස සැලකෙන ඔහු, ප්‍රතිපත්ති සංවාද මධ්‍යස්ථානයේ (CPD) නිර්මාතෘ සහ වත්මන් සභාපතිවරයා වේ. එය ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳ විවෘත මහජන සාකච්ඡාවල, විශේෂයෙන් පාලන ක්ෂේත්‍රයේ ක්‍රියාකාරී සංවිධානයකි.
බංග්ලාදේශ විමුක්ති යුද්ධයේදී බංග්ලාදේශ තාවකාලික රජයේ ප්‍රකාශකයකු ලෙස ඔහුගේ භූමිකාව කැපී පෙනෙන අතර, ඔහු බංග්ලාදේශ නිදහස් ව්‍යාපාරයේ ප්‍රධාන චරිතයක් විය. 2008 දී බංග්ලාදේශයේ ඉහළම සිවිල් ගෞරවය වන නිදහස් දින සම්මානය ඔහුට පිරිනැමිණි. ඔහු බංග්ලාදේශයේ සැලසුම් කොමිසමේ සාමාජිකයකු වූ අතර, පසුව ඔහු බංග්ලාදේශයේ පළමු භාරකාර රජයේ සැලසුම් උපදේශක ලෙස සේවය කළේය.
කේම්බ්‍රිජ් විශ්විද්‍යාලයෙන් උපාධිය හිමිකර ගැනීමෙන් පසු සෝබන් 1957 ජනවාරි මාසයේදී ඩකා නගරයට යළි සංක්‍රමණය විය.
1971 දී බංග්ලාදේශය නිදහස ලැබීමෙන් පසු, සෝබන් ෂෙයික් මුජිබර් රහ්මාන්ගේ සැලසුම් කොමිසමේ සාමාජිකයන් හතර දෙනාගෙන් අයෙක් ලෙස කටයුතු කළේය. 1975 දී ෂෙයික් මුජිබර් රහ්මාන්ගේ අභාවයත් සමඟ ඔහු රට හැර ගියේය. 1982 දී බංග්ලාදේශයට යළි පැමිණි පසු, ඔහු ඉහළ පෙළේ පෞද්ගලික අංශයේ බුද්ධි මණ්ඩලයක් වන බංග්ලාදේශ සංවර්ධන අධ්‍යයන ආයතනයට (BIDS) සම්බන්ධ විය.
• ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා