2025 ජුනි 14 වන සෙනසුරාදා

මත ගැටුමකට මැදිවූ අඩු මිල මත්පැන් බෝතලේ

 2025 ජුනි 14 වන සෙනසුරාදා, ප.ව. 02:05 56

සුරාබදු කොමසාරිස්වරයා පසුගියදා පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී අනාවරණය වූයේ නීති විරෝධී මත්පැන් ප්‍රචලිත වීම අවම කිරීම සඳහා නීත්‍යානුකූල මද්‍යසාර බෝතලයක් අවම මිලට ලබාදීම පිළිබඳ රජයේ සැලකිල්ල යොමුව ඇති බවය. එසේම මෙම වැඩපිළිවෙළෙන් බලාපොරොත්තු වන තවත් කරුණක් වන්නේ නීති විරෝධී මත්පැන් නිසා අහිමිවන බදු ආදායම රජයට ලබාදීම බවද එහිදී පැවසිණි. තවද මෙම සාකච්ඡාවේදී අනාවරණය වූ තවත් කරුණක් වන්නේ නීත්‍යානුකූල මද්‍යසාර නිසා සිදුවන ජනතාවගේ සෞඛ්‍ය හානිය අවම කිරීම උදෙසා මෙම අඩු මිල මත්පැන් බෝතලය හඳුන්වා දීමට බලාපොරොත්තු වන බවයි.

මෙම ආරංචිය මත්පැන් පාවිච්චි කරන්නන්ගේ සතුටට හේතු වන බව නොරහසකි. මෙයට පෙර රනිල් වික්‍රමසිංහ රජය පැවැති සමයේදීද මත්පැන් මිල අඩුකිරීම පිළිබඳ සාකච්ඡා පැවතුණද කුමන හෝ හේතු නිසා එය ක්‍රියාත්මක වූයේ නැත. වර්තමාන ජාතික ජනබලවේග රජය බලයට පත්වී කෙටි කාලයක් තුළ මත්පැන් මිල අඩු කිරීමට යන්නේ සුරාබදු කොමසාරිස්වරයා පවසන පරිදි ජනතාවගේ සහන සැලසීම මෙන්ම බදු ආදායම වැඩිකර ගැනීමේ පරමාර්ථය උදෙසා වෙයි.

වර්තමානයේ මිල අඩුම මත්පැන් වන ගල් අරක්කු මිලිලීටර් 750 බෝතලයක මිල රුපියල් 4000 ට ආසන්න වෙයි. පසුගිය සමයේ ළඟ ළඟම මත්පැන් සහ දුම්වැටි මිල දෙවරක් ඉහළ නැංවීය. එහෙත් මත්පැන් අලෙවිය පහත වැටී නැති බව රජයේ බදු ආදායම වැඩි වී තිබීම නිසා සනාථ වෙයි. අරක්කු බෝතලයක මිලෙන් සියයට 80 ක් පමණ අඩංගු වන්නේ විවිධ බදු වර්ග බව මෙයට පෙර විවිධ මාධ්‍ය තුළින් ප්‍රචාරය විය. අරක්කු බොන්නන් අරක්කුවලට වඩා බදු බොන බව පෙන්වා දෙනු ලැබිණි.
සාමාන්‍යයෙන් මත්පැන් සහ දුම්වැටි ආර්ථික විද්‍යාවේදී හඳුන්වන්නේ අනම්‍ය දේවල් බවටය. සාමාන්‍ය වෙනත් ආර්ථික භාණ්ඩ මිල පිළිබඳ නම්‍යතාවක් දක්වයි. මිල වැඩිවන විට අලෙවිය අඩුවන අතර, මිල අඩුවන විට අලෙවිය වැඩිවීම සාමාන්‍යයෙන් මිල හා භාණ්ඩ අලෙවිය අතර ඇතිවන සම්බන්ධතාවයි. එහෙත් මත්පැන් මිල වැඩි වූවා යැයි එහි පාරිභෝජනය අඩුවෙන බවක් දක්නට නොවීය. පෙනෙන්නේ පාරිභෝජනය වැඩිවන බවකි. මෙය විකෘති ආර්ථික ස්වරූපයකි. ඒ නිසාම රජය මත්පැන් මිල ඉහළ දැමීමට පසුබට වන්නේ නැත.

සුරාබදු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය කොමසාරිස් ඒ.ඒ. රොෂාන් පෙරේරා පසුගිය දා පැවැති තවත් මාධ්‍ය සාකච්ඡාවකදී ආඩම්බරයෙන් පැවසුවේ 2025 අප්‍රේල් මස 30 දා වනවිට සුරාබදු දෙපාර්තමේන්තුව ආදායම් ඉලක්ක අභිබවා යමින් වාර්තාගත ආදායමක් ලබා ගැනීමට සමත් වී ඇති බවකි. ජනවාරි මස සිට අප්‍රේල් 30 දින දක්වා මාස හතරට රජයේ ආදායම් ඉලක්කය බිලියන 80.6 ක් නමුදු එය අභිබවා යමින් රුපියල් බිලියන 83.6 ක ආදායමක් ලබාගෙන ඇති බව නිවේදනය කළේය. 2025 ජනවාරි සිට අප්‍රේල් 30 දක්වා නිෂ්පාදනය කළ ශුද්ධ මත්පැන් ප්‍රමාණය ලීටර් මිලියන 121 ක් වන අතර, 2024 වසරට සාපේක්ෂව නිෂ්පාදනය කළ ප්‍රමාණය මිලියන 1.3 කින් වැඩි වී ඇති බවද ප්‍රකාශ කළේය.

ආණ්ඩුව අඩු මිල මත්පැන් බෝතලයක් හඳුන්වා දීමට සූදානම් වන්නේ සුරාබදු ආදායම අයවැය ඉලක්ක පරාජය කරමින් දිනුම් කණුව වෙත ගමන් කර ඇති අවස්ථාවේදීය. අරක්කු නිෂ්පාදන වියදම අඩුවී ඇත්තේ අරක්කු නිෂ්පාදනයට පාවිච්චි කරන එතනෝල් ද්‍රාවණයේ මිල පහළ ගොස් ඇති බැවිනි. එතනෝල් ලීටරයක බෝතලයකින් මිලිලීටර් 750 ප්‍රමාණයේ මත්පැන්  බෝතල් තුනක් නිපදවිය හැකි බව සොයාගෙන තිබේ. පසුගියදා අරක්කු බෝතලයේ මිල අඩුකළ හැකි බව මුලින්ම අනාවරණය කළේ කර්මාන්ත හා ව්‍යවසායක අමාත්‍ය සුනිල් හඳුන්නෙත්තිය.

“එතනෝල් ලීටරය රුපියල් 1500 – 1700 ට තියෙනකොට අරක්කු බෝතලයේ ගාණ වෙනස් වුණේ නැහැ. අරක්කු කම්පැනි රුපියල් 1500 ට එතනෝල් අරගෙන අරක්කු බෝතලය 3500 – 4000 ට වික්කා. දැන් එතනෝල් මිල රුපියල් 475 ට අඩුකර තියෙන විටත් අරක්කු බෝතලය ඒ ගාණමයි. රුපියල් 475 ට එතනෝල් ලීටරයක් අරගෙන අරක්කු බෝතල් තුනක් හදන්න පුළුවන්. එතකොට 445 ට අරගෙන අරක්කු කොච්චර අඩුවට දෙන්න පුළුවන්ද? ගල්ඔය, ඇතිමලේ, සෙවනගල වගේ සීනි නිෂ්පාදනය කරන ආයතනවලට අරක්කු නිෂ්පාදනය කරන්න ලයිසන් දෙන්න කියලා මම ජනාධිපතිට වාර්තාවක් දෙනවා.”

මේ කතාව අනුව අපට පෙනෙන්නේ වැඩි කලක් යන්නට පෙර ජනතාවට අඩු මිලට අරක්කු බෝතලයක් මිලදී ගැනීමට අවස්ථාව ලැබෙනු ඇති බවයි. ඒත් එම බෝතලයේ මිල කීයක් වෙයිද යන්න තවම ජනතාව දන්නේ නැත. දැනට අරක්කු බෝතලයකට අය කරන සියයට 80 ක් තරමේ බද්ද තවදුරටත් වැඩිකර ගනිමින් අරක්කු මිල අඩු කිරීමට ආණ්ඩුව උත්සාහ නොකරනු ඇතැයි කාට නම් කිව හැකි වේද?

මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ සම්පත් ද සේරම් පවසන්නේ ආණ්ඩුව අරක්කු මිල අඩු කරන බවට තවමත් ස්ථිරසාර තීරණයක් ගෙන ඇතැයි දැනගන්නට නොමැති වුවත් එසේ වුවහොත් එය අවිද්‍යාත්මක තීරණයක් වන බවයි. එයින් ජනතාවට සිදුවන යහපතට වඩා අයහපත වැඩි බව ඔහු කියයි. යම් විදියකින් මත්පැන් මිල අඩු කළහොත් එනිසා මත්පැන් භාවිතය ඉහළ යන අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් තවදුරටත් සමාජ, ආර්ථික හා සෞඛ්‍ය ප්‍රශ්න ඇතිවන්නේ යැයි හෙතෙම අවධාරණය කරයි.

“අරක්කු මිල අඩු කිරීමෙන් ජනතාව අවිධිමත් මත්පැන්වලට වෙන නැඹුරුව අඩුවෙන බව පවසනවා. නීත්‍යානුකූල මත්පැන්වල මිල අඩුකළ පසු විෂ මත්පැන්වලට පුරුදු වී ඇති ජනතාව නීත්‍යානුකූල මත්පැන්වලට මාරුවන බවට වගකිවයුත්තන් පැවසුවත් එහි සත්‍යතාවක් නැහැ. විධිමත් අවිධිමත් මත්පැන් ලෝලීන්ගේ රුචිය එකිනෙකට වෙනස් වීම එයට ප්‍රධාන හේතුවක්.

අපේ රටේ ජනතාව වළකාගත හැකි මරණවලින් මද්‍යසාර භාවිතයට ලැබෙන්නේ තෙවැනි ස්ථානයයි. පළමුවැනි ස්ථානය දුම් පානය, දෙවැනි ස්ථානය ආහාර රටාව වන අතර, මද්‍යසාර භාවිතය තෙවැනි ස්ථානය ගන්නවා. යුරෝපය ආශ්‍රිත රටවල මරණවලට ප්‍රධානතම හේතුව වන්නේ මද්‍යසාර භාවිතයයි. එහෙත් අද ඇතිව ඇති ප්‍රවණතාව අනුව ඉදිරියේදී රටේ මරණවල ප්‍රධාන හේතුව ලෙස මද්‍යසාර ඇතුළත් විය හැකියි.

කසිප්පුද, අරක්කුද වඩා නරක කියලා සෙවිල්ලෙන් වැඩක් නැහැ. ඒ දෙවර්ගය තුළම අඩංගු දේවල් එකයි. ඒ දේවල් ශරීරයට අහිතකරයි. එහි ප්‍රභේදයක් නැහැ. මිල වැඩි අඩු ප්‍රශ්නයක් නැහැ. මොන ලේබලය යටතේ ආවත් නරක දේ නරකමයි. නිෂ්පාදන ක්‍රියාවලිය අනුව නිෂ්පාදනයේ හොඳ නරක තීරණය වන්නේ නැහැ. ඒ නිසා මේ මත පදනම් වෙලා ආණ්ඩුව තීරණයක් ගතහොත් එය අවිද්‍යාත්මක තීරණයක්. මෝඩ තීරණයක්. ආණ්ඩුව මෙයින් ලාභය අපේක්ෂා කළත් ලැබෙන්නේ අලාභයක්. දීර්ඝ කාලීනව සිදුවන හානිය ඉතා විශාලයි. මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය මේ පිළිබඳ අවධානය කරන්නේ මෙය සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ අපේක්ෂිත ඉලක්ක කරා කිසිසේත්ම ළඟා විය නොහැකි විද්‍යාත්මක සාක්ෂි නොමැති යෝජනාවක් බවය. සුරාබදු කොමසාරිස්ගේ යෝජනාව තුළින් අපේක්ෂිත අරමුණු ඉටු නොවන්නේ කෙසේද යන්න පිළිබඳ හෙතෙම කරුණු පැහැදිලි කරයි.

නීත්‍යානුකූල මත්පැන්වල මිල අඩු කිරීමෙන් නීත්‍යානුකූල නොවන මත්පැන් පාලනය කළ හැකි බව පැවසීම මිත්‍යාවක් යැයි හෙතෙම කියයි. කුමන භාණ්ඩයක් වුවද ඊට ආදේශකයක් ලෙස වෙළෙඳපොළට පැමිණෙන නීත්‍යානුකූල හෝ නීත්‍යානුකූල නොවන භාණ්ඩ අනිවාර්යෙන්ම එම නියම භාණ්ඩයේ මිලට වඩා පහළ අගයකින් වෙළෙඳපොළ තුළ අලෙවි වෙයි. එසේ නොවුණහොත් එම ආදේශක භාණ්ඩයට වෙළෙඳපොළ තුළ ඉල්ලුමක් නොමැති වන්නේ යැයි හෙතෙම පවසයි. කසිප්පු හෝ වෙන ඕනෑම නීත්‍යානුකූල නොවන මද්‍යසාරයක මිල නීත්‍යානුකූල මද්‍යසාරවල මිලට වඩා පහළින් තබාගත යුතුය. සුරාබදු කොමසාරිස්වරයා යෝජනා කරන පරිදි මිල අඩු මද්‍යසාර බෝතලයක් වෙළෙඳපොළට හඳුන්වා දීම කළහොත් එයින් සිදුවන්නේ එම මිලට පහළ අගයකින් නීත්‍යානුකූල නොවන මද්‍යසාර මිල පවත්වාගෙන යාමකි. ඒ නිසා නීත්‍යානුකූල මත්පැන්වල මිල පහළ දැමීමෙන් නීත්‍යානුකූල නොවන මද්‍යසාර පාලනය කළ හැකි යැයි පැවසීම සම්පූර්ණ මිත්‍යාවක් යැයි පවසන අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පවසන්නේ එය මද්‍යසාර සමාගම්වලින් ඔහුට උගන්වන ලද බොරුවක් බවකි.

මේ කතාව මිත්‍යාවක් බවට අතීතයෙන්ද සාක්ෂි සපයාගත හැකි අතර, 1996 දී හිටපු මුදල් ඇමැති මෙවැනිම තර්කයක් ඉදිරිපත් කරමින් නීත්‍යානුකූල මද්‍යසාර පාලනයට යැයි බියර් බද්ද සියයට 50 කින් පහත දැමීය. එහෙත් එයින් සිදුවූයේ සියයට 200 කටත් වැඩි ප්‍රමාණයෙන් බියර් පාවිච්චිය වැඩි වීමකි.

නීත්‍යානුකූල නොවන මද්‍යසාර නිසා රටට අහිමිවන බදු අඩු මිලට නීත්‍යානුකූල මත්පැන් බෝතලයක් හඳුන්වාදීමෙන් වළක්වා ගත හැකිය යන්නද එවැනි පිළිගත නොහැකි කතාවකි. ඔහු කියන ආකාරයට අඩු මිලට නීත්‍යානුකූල මත්පැන් බෝතලයක් හඳුන්වා දීමෙන් නීත්‍යානුකූල මද්‍යසාර පාවිච්චි කරන අයගේ මිලදී ගැනීමේ හැකියාව වැඩිවන අතර, ඒ නිසා භාවිතය ද වැඩි වෙයි. එසේම නීත්‍යානුකූල මත්පැන් මිලට අනුරූපව හොර මත්පැන්වල මිල පහළ යාමෙන් ඒවා පාවිච්චිය ද වැඩි වෙයි.
මේ නිසා මත්පැන් භාවිත කරන සංඛ්‍යාව ඉහළ යාමෙන් ශාරීරික සහ මානසික සෞඛ්‍ය පිරිහීම සිදුවී ඒ අයගේ පවුලේ සතුට සමාදානය අහිමි වී සමාජයටද රටටද විශාල අහිතකර තත්ත්වයක් උද්ගත වේ. මේ නිසා දිගුකාලීන හා කෙටිකාලීන වශයෙන් රටේ සෞඛ්‍ය වියදම ඉහළ ගොස් වැඩ කරන ජනතාවගේ ඵලදායීතාවය අහිමිවීම සිදුවේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම අධ්‍යයනවලට අනුව කිසිදු මද්‍යසාරයක් ශරීරයට කෙසේවත් හිතකර නොවන බව සනාථ වී තිබේ. ලොව පුරා සිදුවන වළක්වාගත හැකි මරණවලින් 10 න් 8 කටම හේතුවක් වන බෝ නොවන රෝග ඇතිවීමට බලපාන ප්‍රධාන සාධක 4 න් 1 ක් ලෙස මද්‍යසාර භාවිතය පෙන්වා දී තිබේ. රටක මද්‍යසාර පාවිච්චිය ඉහළ යාම එරට මරණ හා රෝගාබාධ ඇතිවීම ඉහළ යාමට බලපාන බව සොයාගෙන ඇත. මද්‍යසාර භාවිතයෙන් දිනකට 50 ක් පමණ මිය යන අතර, වසරකට මිය යන සංඛ්‍යාව 20,000 ක් පමණ වේ. පසුගිය වසරේ අවස්ථා දෙකකදී සියයට 20 හා 14 වශයෙන් මත්පැන් බදු ඉහළ දැමුවද බදු ආදායම බිලියන 11.8 කින් වැඩි වී ඇත. සුරාබදු දෙපාර්තමේන්තුවම කියන පරිදි මේ වසරේ සුරාබදු ආදායම බිලියන 232 දක්වා වැඩි වී තිබේ. ඔවුන් පවසන්නේ එය වාර්තාගත ආදායම් වැඩිවීම බවයි. සුරාබදු ආදායම රටේ විශාලතම බදු ආදායම ලෙස හුවා දැක්වීමට උත්සාහ කළද මහ බැංකු වාර්තා අනුව රටේ බදු ආදායමට සුරාබදුවලින් ලැබෙන්නේ සියයට 11 ක් පමණි. 2022 වසරේ මද්‍යසාර ආදායම බිලියන 165 ක් වූ අතර, 2023 එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සිදුකළ සමීක්ෂණයක් අනුව මද්‍යසාර නිසා රටට සිදුවූ සෞඛ්‍ය හා ආර්ථික පාඩුව රුපියල් බිලියන 237 ක් බව හෙළි වී තිබේ.
නීත්‍යානුකූල නොවන මද්‍යසාර අවම කිරීමේ මුවාවෙන් මිල අඩු කරමින් ජනතාවගේ මද්‍යසාර භාවිතය වැඩි කර මද්‍යසාර සමාගම්වලට වාසි සහගත තත්ත්වයක් ඇති කරමින් ජනතාව මද්‍යසාර උගුලේ සිර කිරීමට කටයුතු නොකළ යුතු බවට මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය තරයේ අවධාරණය කරන බව විධායක අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කරයි.

• යසවර්ධන රුද්රිගු