2025 ජුනි 21 වන සෙනසුරාදා

කෝටි පනහේ නම නොදන්නා වාසනාවන්තයා

 2025 ජුනි 21 වන සෙනසුරාදා, ප.ව. 02:05 155

“අනේ අපිට ලොතරැයියක්වත් ඇදුණා නම්...”‍ මෙරට පවතින ආර්ථික දුෂ්කරතා හමුවේ බොහෝ දෙනකුගේ මුවෙන් මෙබඳු වදන් පිටවීම අද වන විට සාමාන්‍ය තත්ත්වයක් බවට පත්ව තිබේ. ජීවන අරගලයට උරදෙන සාමාන්‍ය මධ්‍යම පාන්තික ජනතාව ලොතරැයි කූඩුවක් වෙත ගොස් ලොතරැයියක් මිලදී ගන්නේ එයින් තමන්ට කුමක් හෝ මුදල් ත්‍යාගයක් ලැබේවි යැයි අපේක්ෂාවෙනි. කෙසේ වෙතත් මිලදී ගන්නා සෑම අයකුටම ලොතරැයි ජයග්‍රහණය කිරීමේ වාසනාව හිමිවන්නේ නැත.

ශ්‍රී ලංකාවේ ලොතරැයි ඉතිහාසය උඩු යටිකුරු කරමින්, මේ වසරේ ජූනි මස 16 වැනි දින, NLB මෙගා පවර් ලොතරැයියෙන්, හතළිස් හත්කෝටි හතළිස් පන්ලක්ෂ අනූනමදහස් හාරසිය විසි දෙකක දැවැන්තම සුපිරි මෙගා ත්‍යාගය දිනා ගැනීමට ඇතුගල්පුරවරයේ ගොකරැල්ල ප්‍රදේශයේ පුද්ගලයකුට වාසනාව හිමිවිය. මෙරට ඉතිහාසයේ ලොතරැයියකින් හිමිවූ දැවැන්තම මෙගා සුපිරි ත්‍යාගය දිනා දුන් ලොතරැයි පත අලෙවි කරනු ලැබුවේ, NLB ගොකරැල්ල අලෙවි නියෝජිතවරියක් වූ එච්.ඒ. ජානකී හේමමාලා මහත්මිය විසිනි. පසුගිය දා සිදුවූ මෙම දිනුම් ඇදීමට පෙරාතුව, ශ්‍රී ලංකා ලොතරැයි ඉතිහාසයේ රුපියල් කෝටි 23 ක් වූ දැවැන්තම මෙගා සුපිරි ත්‍යාගය හිමි වී තිබුණේ කටුගස්තොට ප්‍රදේශයටය. එය ද NLB මෙගා පවර් ලොතරැයියෙන් වීම විශේෂත්වයකි.

මේ අතර ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති එම්.ඩී.සී.ඒ. පෙරේරා මහතා මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් කියා සිටියේ, ජාතික ලොතරැයි මණ්ඩලය වසර හැට ඉක්මවූ ලොතරැයි ඉතිහාසය පුරා ලබා දුන් ලොකුම ලොතරැයි දිනුම් ඇදීම ලෙස ජූනි මස 16 වැනිදා මෙගා පවර් ලොතරැයියෙන් ලබාදුන් හතළිස් හත් කෝටියේ මුදල් ත්‍යාගය ඉතිහාසගත වන බවයි. තවදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා පැවසුවේ ජාතික ලොතරැයි මණ්ඩලය ලොතරැයි දිනුම් ඇදීම් සිදුකිරීමේදී, සිය ආදායමෙන් 50% ට වඩා වැඩි කොටසක් වැය වන්නේ ත්‍යාග ලබා දීමට බවය. හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේ 2025 වසර තුළ බිහිකළ විසි වැනි සුපිරි ත්‍යාගලාභියා මෙම කෝටි හතළිස් හතේ හිමිකරුවා බවය.

මේ අතරවාරයේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ ආදායම පිළිබඳව අදහස් දක්වමින් සභාපතිවරයා පවසා සිටියේ, ලොතරැයි මණ්ඩලයේ ආදායමෙන් කොටසක් ත්‍යාග වශයෙන් ජනතාවට මුදාහරින අතර තවත් කොටසක් මහා භාණ්ඩාගාරය වෙත ලබා දෙන බවය. එම මුදල් මහා භාණ්ඩාගාරය හරහා සෞඛ්‍ය අමාත්‍යංශය, කෘෂිකර්ම අමාත්‍යංශය, ක්‍රීඩා අමාත්‍යංශය වැනි අමාත්‍යංශවල සේවා සඳහා වෙන් කරන බවය. ඒ මහතා තවදුරටත් පවසා සිටියේ මෙරට මහජනතාව රුපියල් හතළිහක් වැය කරන ලබාගන්නා ලොතරැයි පතෙන් එකතුවන ආදායම නැවත පෙරළා රටේ මහජනතාවට සේවයක් කරනු පිණිසම යොදාගන්නා බවය. මේ අතර ජයග්‍රාහී ලොතරැයි පත අලෙවි කළ, ගොකරැල්ල අලෙවි නියෝජිතවරිය වන එච්.ඒ. ජානකී හේමමාලා මහත්මිය සමඟ ‘දේශය’ සිදුකළ සාකච්ඡාවකදී ඇය මෙලෙස අදහස් දක්වා සිටියාය.

“අපේ අදහස නම් මේ ලොතරැයිපත ලොකු කාලයක් තිස්සේ එකතු වුණු එකක්. ඒ ලොතරැයිපත මේ විදිහට දිනුම් ඇදීමෙන් අපේ ව්‍යාපාරයට ලොකු පිටුවහලක් වුණා. මොකද ලොතරැයි අලෙවිය වැඩි වුණා. මිනිසුන් අතර කාලයක් තිස්සේ තිබුණු අවිශ්වාසය, සැකය දුරුවීමම අපේ ව්‍යාපාරයට ලැබෙන වාසියක්. මගේ නම ප්‍රසිද්ධ වීම තමයි, මගේ ටිකට්පත් අලෙවිය වැඩි කරගන්න ලැබුණු ලොකුම අවස්ථාව. මේ ලොතරැයි දිනුමත් එක්ක අපිට ලැබෙන ලොකුම වාසිය තමයි පාරිභෝගිකයා ලොතරැයිපත් ගැන තබපු අවිශ්වාසය නැති වෙලා දිනුම් ඇදීම පිළිබඳව ජාතික ලොතරැයි මණ්ඩලය ගැන ඇතිවන ප්‍රසාදය සහ ඔවුන් ගැන ඇතිවන විශ්වාසය.”‍

ශ්‍රී ලංකාවේ මෙතෙක් බිහිවූ විශාලතම ලොතරැයි දිනුම් ඇදීමත් සමඟ, එම ලොතරැයිපත අලෙවි කළ අලෙවි නියෝජිතවරියට එමගින් ලැබුණු වරප්‍රසාද සහ ත්‍යාග පිළිබඳ විමසීමේදී ඇය මෙලෙස පවසා සිටියාය.

“මෙහෙමයි. දැන් අපිට ඇවිල්ලා සුබ පතලා ඒ කටයුතු කෙරෙන අතරේදී ලොතරැයිපත ප්‍රදානය කරන අවස්ථාවේ වවුචරයක් ලැබෙනවා. සාමාන්‍යයෙන් මෙතුවක් කාලයකට නම් රුපියල් පන්දහසක වවුචරයක් තමයි අපිට දුන්නෙ. තවම ඒ වගේ දේකට මුහුණ දීලා නැති නිසා, ඉදිරිය ගැන කියන්න මම දන්නේ නැහැ. සහතිකයක් සමඟ අපිට අපේ ෆොටෝ එක ලබා දීලා මහා විශාල ඇගයීමකට ලක් කරලා, සංග්‍රහයක් ලබා දීලා තමයි මේ ලොතරැයිපතේ දිනුම් ඇදීම සිදුවෙන්නෙ. තවම ජයග්‍රාහකයා ප්‍රකාශයට පත් කරලා නෑ. ජයග්‍රාහකයා කවුද කියලා අපි තවම දන්නේ නෑ.”‍

ශ්‍රී ලංකාවේ ලොතරැයි දිනුම් ඇදීමේ ඉතිහාසය උඩු යටිකුරු කළ ජයග්‍රාහකයා කවරෙක්දැයි තවමත් ප්‍රකාශයට පත් කර නොමැති අතර, ජයග්‍රාහකයා හඳුන්වා දී ඔහුට හිමි වාසනාවන්ත මුදල ලබා දීම ඉදිරි දිනවලදී සිදුවනු ඇතැයි ජාතික ලොතරැයි මණ්ඩලයේ ප්‍රකාශයෙක් පැවසීය.

• මංගලා පවිත්‍රානි