2017 මැයි 06 වන සෙනසුරාදා

ශක්තිමත්ම පංතිය ටියුෂන් පංතිය

 2017 මැයි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 110

පසුගිය දෙවෙනිදා, වැඩට යාම සඳහා සූදානම්ව පාරට බසින විටම, ඉදිරියට ආවේ රතු විල්සන් සහෝදරයාය. ඔහු මාක්ස්ටත් වඩා මාක්ස්වාදී, ලෙනින්ටත් වඩා කොමියුනිස්ට්වාදී, චේටත් වඩා විප්ලවවාදී පුද්ගලයෙකු ලෙසින් කා අතරත් ප්‍රකටය.

විල්සන් සහෝදරයා, කොහොමද ඊයේ මැයි පෙළපාලිය? මම ඇසුවෙමි.
අපොයි මම දැන් ඕවට යන්නෙ නෑ සහෝදරයා.
ඒ මොකද?
මැයි දිනේ විනාශවෙලා දැන් හුඟක් කල්නෙ. ඉස්සර අපි මැයි දිනේට යන්නෙ, ආපහු නාවොත් දුක්වෙන්න එපා කියල ගෙවල්වලට දැනුම්දීලා.
ඒ මොකද?
ඒ තරමට විප්ලවීය ජීවගුණේ! පංති හැඟීම! මැයි දිනය දවසෙම වුණත් විප්ලවය සිද්දවෙන්න ඉඩ තිබුණා. එහෙම වුණා නම් අපි ජීවිත පරිත්‍යාග කරන්න ලෑස්ති පිට හිටියෙ.
දැන් ආණ්ඩු පෙරළන්න හදන්නෙත් ඡන්ද බලෙන්නෙ. විප්ලවවාදීන්වත්, විප්ලවය ගැන කතා කරන්නෙ නෑ. ඇත්තටම මොකද්ද මේ වෙනසට හේතුව විල්සන් සහෝදරයා.
අර කිව්වත් වගේ හැමෝම හදන්නෙ පාර්ලිමේන්තුවට රිංගන්න. දැන් ඉන්නෙ සෝබනකාරයො විතරයි. ඒකයි හේතුව.

මෙසේ කියන අතරේම, තම කමිස සාක්කුවට අත දැමූ විල්සන්, හතරට නවා තිබූ ලියුමක් ගෙන මට දිගු කළේය.

මේක කියවල බලන්න. ඔය අපේ බෑණාට මැයිදිනේට එන්නය කියල එවපු ලියුම.

මම ලිපිය දිගහැර කියැවීමි.

ප්‍රිය සහෝදරය,
මෙවර මැයි දින උත්සවය සඳහා කැඳවාගෙන යන පිරිසට ඔබේ නමද ඇතුළත්ව ඇති බව දන්වා සිටින්නේ සතුටිනි. කිසිදු ගමන් ගාස්තුවක් අය නොකෙරේ. කෑම සහ බීමද නොමිලේය. පෙළපාලියට පෙර, පන්සල් වැඳ පුදා ගැනීමටද, මල් උයන නැරඹීමටද ඔබට අවස්ථාව සැලසේ. ඊට අමතරව එම ප්‍රදේශයේ සිටින ඔබගේ ඥාති මිත්‍රාදීන් හමුවීමට යාමට අවශ්‍ය නම් ඊටද වෙලාව ලබාදිය හැකිය. මෙම විනෝදජනක මැයි දින චාරිකාවෙන් උපරිම ඵල නෙළාගන්නා මෙන් සහෝදරත්වයෙන් ඉල්ලා සිටිමු.
ප.ලි.
රැස්වීම ආරම්භ වූ සැණින්ම ආපසු පිටත්වීමට අදහස් කරන බැවින්, හැකි ඉක්මණින් බස්රථය නවතා ඇති ස්ථානයට පැමිණීමට වග බලා ගත යුතුය. වෙනත් ආසන සංවිධායකයින්ගේ මත්පැන් පානය කිරීමෙන් වළකින මෙන්ද කාරුණිකව ඉල්ලා සිටිමු.

ලියුම කියවා මගේ මුවඟ නැගි උපහාසාත්මක සිනාව දෙස, විල්සන්ද බලා සිටියේ එබඳුම සිනාවකින් යුතුවය.

ඔහොම මැයි දිනවලට මොකට යනවද? ලියුම ආපසු සාක්කුවේ බහාගත් රතු විල්සන් ආපසු යාමට සැරසුණේය.

විල්සන් සහෝදරයාට තිබුණනෙ, රතු සහෝදරවරුන්ගෙ රැස්වීමට යන්න. පෙළපාලියත් හරි ලස්සනයි. සෙනඟත් හිටියා පිට්ටනිය පිරෙන්න.

කට ඇරගෙන කතා ඇහුවට, කතිරෙ ගහන්නෙ වෙන වෙන පක්ෂවලටනෙ. ඒකනෙ ජවිපෙට වෙලා තියෙන්නෙ. මොනව වුණත් රතු අපිට ඉතිරිවෙලා තියෙන්නෙ ඒ ගොල්ලො විතරයි. ඒ වුණාට ඒගොල්ලො බලයට නෑවිත් ඉන්න එකත් හොඳයි.

ඒ මොකද? පාර්ලිමේන්තු ක්‍රමයෙන් එන හින්දද?
නෑ නෑ... ඒගොල්ලොත් ඇවිත් අපේ බලාපොරොත්තු සුන් කරයි කියන බයට. ඊට වඩා හොඳයි ඔහොම පෙළපාලි, රැස්වීම් තිය තිය අපිට පොඩි විප්ලවීය ආස්වාදයක් ලබාදෙන එක.

විල්සන් නික්ම ගියේය. ඔහු වැනි රතු සහෝදරවරුන්ට දැන් ඉතිරිව තිබෙන්නේ බලාපොරොත්තු පමණි. එහෙත් ඒවා තම ජීවිත කාලය තුළ සැබෑ නොවන බවද ඔවුහු දනිති. එහෙත් ජීවිතය ඉදිරියට ගෙනයාම සඳහා වෙනත් බලාපොරොත්තු මෙන්ම දේශපාලන බලාපොරොත්තුවක්ද තිබිය යුතුය.

දෙදිනකට පසු, වාසිබෝලන්තයේ ජනමාධ්‍ය සංගමයේ ලේකම් අබුජාගෙන් මට දුරකතන ඇමතුමක් ලැබුණි. ඔහු, අප රට පැවති මැයි දින උත්සවය පිළිබඳ වාර්තා අන්තර්ජාලයෙන් හා විදෙස් පුවත් සේවා තුළින් දැක තිබුණි.

ඔයගොල්ලන්ගෙ රටේ කම්කරු පංතිය හරිම ශක්තිමත් නේද? හැම රැස්වීමක්ම කම්කරුවන්ගෙන් පිරිලා තිබුණා. අබුජා කීවේ කිසියම් සතුටකිනි.

නෑ... නෑ... ඒ කම්කරැ පංතිය නෙවෙයි. මධ්‍යම පංතිය, කම්කරැවො හිටියෙ ටික දෙනයි. ගොවියො නම් ආවෙම නෑ. ඒ ගොල්ලන්ට වකුගඩු අසනීපනෙ....

මධ්‍යම පංතිය, කම්කරු ජනතාවත් එක්ක සහයෝගයෙන් වැඩකරන එකත් ලොකු දෙයක්නෙ.
නෑ නෑ... අබුජා, සහයෝගය නෙවෙයි, මධ්‍යම පංතියත් කම්කරු පංතියෙ ජීවන මට්ටමට වැටිලා.
ඒකත් එහෙමද? මං හිතුවෙ ලංකාවෙ කම්කරැ පංතිය ළඟදිම බලය අල්ලයි කියල. අබුජාගෙ හඬෙහි වූයේ කනස්සලු ගතියකි.
ලංකාවෙ දැන් ශක්තිමත්ම පංතිය වෙලා තියෙන්නෙ ටියුෂන් පංතිය.
හැබෑට...?
ඔව්. දේශපාලන රැස්වීම්වලට වැඩි සෙනඟක් ඉන්නව ටියුෂන් පංතිවල. පක්ෂ අතර වගේ තමයි, ටියුෂන් පංති අතරත් ලොකු තරගයක් තියෙනවා. සමහර ටියුෂන් පංතිවල පෝස්ටර් එකේ ඉන්නෙත් චේ ගුවේරා.
ටියුෂන් පංතිවල ඉන්නෙ ශිෂ්‍යයොනෙ. ඒගොල්ලන්ට පුළුවන් වෙයිද බලය අල්ලන්න.
ලංකාවෙ ශිෂ්‍යයො උනන්දු වෙන්නෙ රිසල්ට්ස් ගැන විතරයි. බලය අල්ලන්න හදන්නෙ ටියුෂන් ගුරුවරු. දැනටත් කීප දෙනෙක් ඉන්නවා පාර්ලිමේන්තුවෙ.

නියමයිනෙ. මාක්ස්ටත් හිතන්න බැරිවුණා ටියුෂන් පංතිය ගැන. ලංකාවෙදි මාක්ස්වාදයත් වෙනස් වෙයි වගේ. ටියුෂන් පංතියට ජයවේවා! එසේ කියමින් අබුජා සංවාදය නිමා කළේය.

 කපිල කුමාර කාලිංග

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00