2018 දෙසැම්බර් 29 වන සෙනසුරාදා

මැරෙන්න ඉස්සර මරණ ගොන් FB

 2018 දෙසැම්බර් 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 79

අද සමාජයේ ඇතැම් මිනිස්සුන්ගේ මිනිස්කම් ගැන බරපතළ ප්‍රශ්න මතුවී තිබෙන බව අමුතුවෙන් කිවයුතු නැත. අද බොහෝ අය වැඩ කරන්නේ ඒ මොහොතේ ලැබෙන ආතල් එකක් ගැනීම සඳහාය. විශේෂයෙන් සමාජ මාධ්‍ය ජාලා සැරිසරන්නන් අතර මෙය පොදු ලක්ෂණයකි.

පසුගිය දවසක හදිසි අසනීප තත්ත්වයක් නිසා රෝහල්ගත කෙරුණු අපේ ජනප්‍රිය හා ප්‍රවීණ රංගන ශිල්පියකු වන ජයලාල් රෝහණ මියගියායැයි අසත්‍ය පුවතක් මූණුපොතේ සටහන් වී තිබුණි.

එම ප්‍රවෘත්තිය අසත්‍යයක් බව ජයලාල් රෝහණට ඔහුගේ කටහඬින්ම ප්‍රතිචාර දැක්වීමට සිදුවීම කෙතරම් ඛේදනීයද?

 

තෙපි වෙනුවට පෙති කියන්නද?

මෑතකදී පැවති එක්තරා සංගීත ප්‍රසංගයකදී ජනප්‍රිය යුග ගීතයක් ගායනා කිරීමට ප්‍රවීණ ගායන ශිල්පිනියක් ඉදිරිපත් වුවද එහි ගායකයා පැමිණ සිටියේ නැහැලු.

එනිසා කඩිමුඩියේ සංගීත කණ්ඩායමේ තරුණ හාදයකුට ඒ සින්දුව ප්‍රවීණ ශිල්පිනියත් එක්ක කියන්න පැවරුණා. සින්දුවේ පද ටික කියවූ තරුණ ගායකයා එය ගායනා කරන්න අදිමදි කළාලු.

ඇයි මොකෝ ප්‍රශ්නෙ? උඹට මේක කියන්න පුළුවන්, කණ්ඩායම් නායකයා කිව්වලු.
ඒකෙ එක පේළියක් තියෙනවා තෙපි නැහැ දන්නේ කියලා. මම කොහොමද ප්‍රවීණ ගායිකාවකට එහෙම කියන්නෙ? මම ඒ පේළියේ තෙපි වෙනුවට පෙති කියන්නද? කොල්ලා ඇහුවලු.

 

සර් මට කතා කළාද?

අලුත් චිත්‍රපටයක නැටුම් දර්ශනයක් රූපගත කරන්න කොළඹ අවට මනරම් ස්ථානයක් තෝරාගෙන තිබුණා.
නර්තනය හදාරන සිසුවියන් 20 දෙනෙක් විතර දර්ශන තලයට ඇවිත් අදාළ ඇඳුම්වලින් සැරසිලා නැටුම් අධ්‍යක්ෂකවරයා එනකම් හිටියලු.
නැටුම් අධ්‍යක්ෂකවරයාගේ පැමිණීමත් සමඟ වැඩේට අවශ්‍ය සියලු කටයුතු සකස්වෙමින් තිබුණා.

අයියෝ ෂිහ්.. නැටුම් අධ්‍යක්ෂකට ඉබේම කියවුණාලු. නර්තනය සඳහා ඔහු සකස් කරගෙන තිබුනු රූපපෙළ දර්ශන තලයට ගේන්න ඔහුට අමතකවෙලා.
ඒත් එක්කම නටන්න ආපු තරුණ කෙල්ලක් නර්තන අධ්‍යක්ෂකගෙන් ඇහුවලු සර් මට කතා කළාද? කියලා.
නෑ නෑ මම කතා කළේ නැහැ
මගෙ නම කියවුණු නිසා ඇහුවෙ සර්
මොකක්ද ඔය ළමයගෙ නම?
අයෝෂි

 

► Text - Mithra