2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා

මාව සනීප කරන්න බෑ කියලා කියපු අයත් හිටියා - හේෂාන් මනුල

 2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 02:01 164

 ඇත්තටම ආදරය මොකක්ද කියලා දැන් මට තේරෙනවා 

Q හේෂාන්... පහුගිය කාලයේදි ඔයා දරුණු අසනීප තත්ත්වයකට මුහුණ දුන්නා. දැන් අසනීප තත්ත්වය කොහොමද?

දැන් නම් අසනීප තත්ත්වය බොහෝ දුරට සුවයි. මගේ අසනීපය ඇතිවෙලා මාස පහක් පමණ වෙනවා. දැන් මම සුවය වෙමින් පවතින කාලයක තමයි ජීවත් වෙන්නෙ. මේ අසනීපයත් එක්ක ජීවිතයේ බොහෝ වෙනස්කම් සිදු වුණා. මිනිසුන්ගේ හැටි දැනගන්නට ලැබුණා. මේ අතරේ බොහෝ අය මාව තේරුම් ගත්තා. අදටත් මගේ යාළුවෝ මාත් එක්ක ඉන්නවා. මේක "sciatica” කියන රෝගයයි. මේක කොන්ද සම්බන්ධව ඇතිවෙන රෝගයක්. ඒ රෝගයත් එක්ක කොන්ද වගේම වම් කකුලෙත් ලොකු වේදනාවක් ඇතිවුණා. සමහර වෙලාවට හිරි වැටුණා. 

Q මේ රෝගය ඇතිවුණේ කොහොමද?

සාමාන්‍යයෙන් මම ජිම් යන කෙනෙක්. ඒ කිහිප වතාවකම මේ ආශ්‍රිතව වේදනාවල් ඇතිවෙලා තියෙනවා. ඒක දවස් දෙක තුනකින් සුව වුණා. නමුත් එකපාරටම ඇතිවුණු ඒ වේදනාව අඩු වුණේ නැහැ. මම ඒ අතරේ සති දෙක තුනක් රූගත කිරීම්වලටත් සහභාගි වුණා. ඔය  අතරේ නිදි මැරුවා. ඒ දේවලුත් එක්ක ඇඟ ටිකක් දුර්වල වුණා. ඒ අතරේ මම ජිම් එකට ගිහින් සෙල්ලම් කිරීමත් එක්ක රෝගය දරුණු විදිහට උත්සන්න වුණා. මම camping යන කෙනෙක්. වැඩිපුරම බදුලු බණ්ඩාරවෙල තමයි ගියේ. උදේ පාන්දර කොළඹින් පිටත්වෙලා එකදිගට මම ඒ තැන්වලට වාහනේ පැදගෙන ගියා. ඒ යද්දිත් මට කොන්දේ වේදනාව දුන්නා. හැබැයි මම ඒක එච්චර ගණන් ගත්තේ නැහැ. එකදිගට පැය ගාණක් එකම තැන වාඩිවෙලා ඉඳීමත් මේ රෝගයට එක හේතුවක් කියලයි වෛද්‍යවරුන් කිව්වේ. 

Q අසනීපෙත් එක්ක හේෂාන්ගේ මිතුරන්ගෙන් ලොකු සහයෝගයක් ලැබුණා නේද?

අම්මෝ.... ඔව්. මේ රෝගයත් එක්ක මම එතෙක් සහභාගි වුණු නිර්මාණවලට මම අසාධාරණයක් කරන්න කැමති වුණේ නැහැ. ඒ නිසාම මම පුළුවන් විදියට ඒවාට සහභාගි වුණා. ඒ දේවලුත් එක්ක මගේ රෝගය එන්න එන්නම වැඩි වුණා. ඒ අතරේ වෛද්‍යවරුන් බෙහෙත්වලට මට වේදනානාශක පෙති දුන්නා. ඒවත් අරගෙන මම මාසයක් විතර රූගත කිරීම්වලට ගියා. හැබැයි රෝගය එන්න එන්නම වැඩි වුණා. දෙසැම්බර් මාසය වෙද්දි මගේ රෝගය දරුණු විදිහට උත්සන්න වුණා. ඒ අතරේ මට රූගත කිරීම්වලට යන්න අමාරු වුණා. ඒත් මම මට පුළුවන් උපරිමෙන් ඒ දේවල්වලට සාධාරණයක් කරන්න උත්සාහ කළා. ඒ අතරේ මගේ යාළුවන්ගෙන් මට පුළුවන් උපරිමයෙන්ම ලොකු සහයෝගයක් ලැබුණා. මාව රෝහලට ගෙන ගියේ, මට අත්වාරුවක් වුණේ, මට රෝහලේ නියම කරපු ව්‍යායාම් පවා කරන්න මගේ යාළුවෝ උදව් කළා. ඒ වගේම මට ඒ කාලෙදි බිම නිදියන්න කියලයි වෛද්‍යවරු කිව්වේ. ඉතින් බිම අතුපතු ගාලා ඒ හැමදේම කළේ මගේ යාළුවෝ. 

Q ඔබගේ අසනීපය හරියට තේරුම් නොගත් අය ඔබ නිර්මාණ අතරමඟ දාලා යනවා කියලත් කිව්වා නේද?

ඔව්... කිහිප දෙනෙක් එහෙම කිව්වට මගේ ආදරණීය රසික රසිකාවියන් මාව මුල ඉඳන්ම තේරුම් ගත්තා. මම මුල ඉඳන්ම මගේ මුහුණුපොතේ සහ මගේ යූටියුබ් එක හරහා ඒ සම්බන්ධයෙන් දැනුවත් කළා. හැබැයි අසනීපයක් ගැන කිව්වට මම අසනීපෙ මොකක්ද කියලා ඒ අයට කිව්වේ නැහැ. ඒ නිසා ඒ අය මාව ඒ ලේබල් එකට ඇලෙව්වේ නැහැ. නිර්මාණයක් අතරමඟ දාලා යන නළු නිළියන්ට රසික රසිකාවියන් ඇඟිල්ල දිගු කළාට ඒකටත් යම් හේතු කාරණා තියෙනවා. ලංකාවේ ටෙලිනාට්‍ය බොහොමයක ගිවිසුම් අත්සන් කරන්නේ නැහැ. ඒ නිසා මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් රංගන ශිල්පීන් ශිල්පිනියන්ට නාට්‍ය අතරමඟ දාලා යන්න පුළුවන්කම වගේම නිෂ්පාදන කණ්ඩායමටත් ඕනෑ තරම් ටෙලිනාට්‍ය ඇදගෙන යන්න පුළුවන්. ඒ වගේම රටේ තියෙන ආර්ථිකයත් එක්ක ඇතැම් නිෂ්පාදන කණ්ඩායම් ශිල්පීන්ට ලබා දෙන ගෙවීම් ප්‍රමාද කරනවා. ඒ නිසා අදටත් සමහර ශිල්පීන් නිර්මාණයක් කරලා අවසාන වුණත් ඔවුන්ට ලැබිය යුතු මුදල් ලබාගෙන නැහැ. සමහර නිෂ්පාදන කණ්ඩායම් නාට්‍ය රූගත කිරීම් සම්පූර්ණයෙන්ම අවසන් වුණාට පස්සේ ගෙවීම් කරන්න කර අදිනවා. සමහර නිර්මාණකරුවන්ගේ නිර්මාණ අතරමගදි නතර වෙන්න ඔය හේතුත් බලපානවා. හැබැයි මට ඒ වගේ දේවල්වලට නම් මුහුණ දෙන්න සිදුවුණේ නැහැ. 

Q සුපුන් රත්නායක අධ්‍යක්ෂණය කරන "තත්පරයක් දෙන්න" නිර්මාණයේ හේෂාන් වෛද්‍යවරයකු ලෙසින් රඟපානවා...?

ඔව්... මට හමුවුණු හොඳම අවස්ථාවක් ලෙසින් "තප්පරයක් දෙන්න" නිර්මාණය මම හඳුන්වනවා. මම මෙගා ටෙලිනාට්‍යවලට කොටුවෙලයි හිටියේ. නමුත් ඒ කොටුවීම "තත්පරයක් දෙන්න" නිර්මාණය හරහා වෙනස් වුණා. ඒ ටෙලිනාට්‍යයේ මම ඩොක්ටර් මිලී ලෙස රඟපානවා. රංගන ශිල්පීන්ගේ ආධුනිකයෙක්ට ඉන්නෙ මම විතරයි කියලයි මට හිතෙන්නෙ. අනිත් බොහෝ දෙනා ප්‍රවීණයන්. සුපුන් රත්නායක මේ නිර්මාණයට කතා කරද්දි ඒක මට ලොකු අවස්ථාවක් කියලයි මට හිතුණේ. ඔහු සම්මානනීය අධ්‍යක්ෂවරයෙක්. 

Q රංගනයට අමතරව ඔබ තමන්ගේම ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා නේද?

ඔව්... මම ඇඳුම් නිර්මාණ ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා. මගේ "warning by HM” කියන වෙළෙඳ නාමය යටතේ පොඩි ව්‍යාපාරයක් විදිහට පවත්වාගෙන යනවා. "හිත ළඟ හිනැහුණා" ටෙලිනාට්‍යයේදි මහේෂ් අයියා (මහේෂ් රත්සර මද්දුමආරච්චි) මගේ ඒ ඇඳුම් නිර්මාණය සඳහා අඳින්න මට යෝජනාවක් කළා. "තත්පරයක් දෙන්න" ටෙලිනාටයෙත් මම අඳින්නේ ඒ මගේම ඇඳුම් නිර්මාණයි. බොහෝ වෙලාට ඉතාලි විලාසිතා මම ටිකක් අනුකරණය කරනවා. කාලයක් මම ඉතාලියේ හිටියා. ඉතාලි භාෂාව වුණත් ටිකක් කතා කරන්න පුළුවන්. ඒ නිසා මම වැඩිපුරම ඒ විලාසිතා ගැන අධ්‍යයනය කරනවා. 

Q මේ වෙනකොට හේෂාන් පෙම්වතෙක්ද?

මම සෑහෙන කාලයක් තනිකඩව හිටපු කෙනෙක්. මගේ අසනීපයත් එක්ක දෙන්නෙක් විතර මට ළං වෙන්න ආවා. හැබැයි අසනීපය හොඳ කරගන්නකම් මම උත්තරයක් දුන්නේ නැහැ. මගේ අසනීපය මගේ  ජීවිතයේ  තීරණාත්මක අවස්ථාවක්. සමහරු "මේක හොඳ කරන්න බැහැ" කියලා කිව්වා. සමහර වෛද්‍යවරුන් මේකට සැත්කමක් කරන්න කිව්වා. කොන්දට කරන ඒ සැත්කමට අපේ ගෙදරින් වුණත් බය වුණා. මගේ වාර්තාවලට අනුව සමහර වෛද්‍යවරුන් මේක දරුණුයි කියලා කිව්වා. හැබැයි මගේ ආදරණීය මිනිසුන්ගේ ආශිර්වාදයත් එක්ක  මම දැන් සුව වෙමින් පවතිනවා. ඒ ආශිර්වාදය මාව ශක්තිමත් කළා. 

I දිශානි
සේයාරූ I සුමුදු හේවාපතිරණ