2018 මාර්තු 17 වන සෙනසුරාදා

හය මාසයක් ඉවසන්න බැරි වුණා... අන්තිමේදී මට ඔක්කොම නැති වුණා

 2018 මාර්තු 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 367

ඔබේ ළමා කාලය ගෙවුණේ කුරුණෑගලදී.. එහෙම නේද..?
ඔව්... කුරුණෑගල දිස්ත්‍රික්කයට අයිති තෝරවතුර ගමේ තමයි මම ඉපදුණේ. තෝරවතුර ගම ඒ අවට තියෙන ගම් එක්ක බැලුවොත් හරි කුඩා ගමක්. නමුත් ඒ පළාත හඳුන්වන්නෙ තෝරවතුර පළාත කියලයි. ඒ පොඩි ගමේ පවුලේ හතරවැනියා විදිහට මම ඉපදුණා. මට වඩා වැඩිමල් අක්කලා තුන්දෙනයි, මල්ලයි, නංගිලා දෙන්නයි මට ඉන්නවා. අද මගේ ලොකු අක්කා නවකතා කතුවරියක්. ඇය මල්කාන්ති ගුණරත්න. ඒ වගේම මගේ පවුලේ බඩපිස්සි තිලකා රණසිංහ. ඉතින් අපි පසුකාලීනව කලාවට සම්බන්ධ වුණා.

ඔබේ මව්පියෝ කලාවට සම්බන්ධ අය නෙමෙයිද..?
කලාකාමී අදහස් ඒ දෙන්නා තුළම තිබ්බා. මගේ අම්මා ගුරුවරියක්. මගේ තාත්තට ඉඩකඩම් තිබ්බා. තාත්තා නීතිඥවරයෙක් වෙන්න ඉගෙන ගෙන තිබ්බට තිබුණු වතුපිටි බලාගෙන ඒ දේවල් කරගෙන ඉන්න තාත්තට සිද්ධ වුණා.

ඉගෙන ගත්තෙ මොන පාසලේද..?
මම ශාන්ත ආනා විද්‍යාලයේ ඉගෙන ගත්තා. හැබැයි අපේ පවුලේ එක සම්ප්‍රදායක් තිබුණා. ඒ ගමේ පාසලට පන්තියක් දෙකක් හරි යන්න ඕනෙ. ඉතින් අපි හෝඩියේ පන්තියේ ඉගෙන ගත්තේ ගමේ පාසලෙන්. ඊටපස්සෙ තමයි කුරුණෑගල ශාන්ත ආනා විදුහලෙන් වැඩිදුර අධ්‍යාපනය ලැබුවේ.

පුංචි කාලෙ මොනවගේ චරිතයක්ද..?
දඟයි... අධ්‍යාපනයට වගේම මම ක්‍රීඩාවටත් යොමුවෙලා හිටියා. පාසල් කාලෙදී දිවීම, පැනීම, බොක්සිං, කෙඩෙට් වගේ ක්‍රීඩා මම කළා. ඒ වගේම මම පන්තියේ පළවෙනියා හෝ දෙවැනියා වුණා. පාසලේ සාහිත්‍ය සංගමයේ නිලතල දැරුවා. ඒ පසුබිම පසුකාලීනව මට ගොඩක් වැදගත් වුණා.

කොහොමද කලාවට සම්බන්ධ වුණේ...?
පාසල් අධ්‍යාපනයට පස්සෙ මගේ පියාගේ ලොකුම හීනය වෙලා තිබුණේ මාව නීති විද්‍යාලයට ඇතුළත් කරන්න. ඉතින් මම නීති විද්‍යාලයට ඇතුළත් වුණා. ඉතින් ඒ ඇවිත් ඉන්න අතරතුරේ මගේ ලොකු ආසාවක් ඇතිවුණා හමුදාවට හරි පොලීසියට හරි බැඳෙන්න. ඉතින් නීති විද්‍යාලයේ ඉඳිද්දී මම එස්.අයි කෙනෙක් වෙන්න ඇප්ලිකේෂන් එකක් දාලා තිබුණා. හැබැයි ගෙදරින් නම් වැඩිය කැමැත්තක් තිබුණේ නෑ. ඒකට කැඳවීමකුත් ලැබිලා ඒකෙනුත් මම සමත් වුණා. කොහොමහරි ඔය කාලයේදීම හමුදාවට පිරිස ගන්න එක කල්ගියා. ඔය අතරේ මට සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතාව මුණගැසුණා. සතිස් අයියා මාව හෙන්රි ජයසේන මහතාට හඳුන්වලා දුන්නා. ඒ මාර්ගයෙන් මට හෙන්රි අයියගේ හුණුවටේ කතාවේ ප්‍රධාන චරිතයක් රඟපාන්න අවස්ථාව ලැබුණා. එහෙමයි මගේ කලා ජීවිතය හුණුවටේ කතාවේ කෝප්‍රල්ගේ චරිතයෙන් ඇරඹුණේ. ඒක හුණුවටේ කතාවේ ඉතාම ජනප්‍රිය චරිතයක් වුණා.

 ඔයා පොලීසියට ගැලපෙන්නෙ නෑ. ඔයාට පොලීසිය ගැලපෙන්නෙත් නෑ

ඊටපස්සෙ ඔබට සිනමාවට එකතුවෙන්න අවස්ථාව ලැබුණා. එහෙම නේද..?
ඔව්.. හුණුවටේ කතාව ලංකාවේ අස්සක් මුල්ලක් නෑර යමින් තියෙන වෙලාවේ අපට පුතේ මඟක් නැතේ කියන සත්‍ය සිදුවීමක් ඇසුරෙන් තවත් නිර්මාණයක් හෙන්රි අයියම අධ්‍යක්ෂණය කළා. ඒකත් හුණුවටේ කතාව වගේම රට පුරාම වේදිකාගත වුණා. මම ඒකෙ ප්‍රධාන චරිතය රඟපෑවා.

එතකොට ඔබට අර පොලීසියට යන්න තිබුණු ආසාව නැතිවුණාද...?
ඔව්නෙ... හුණුවටේ කතාවේ විජේරත්න වරකාගොඩ මහත්තයත් රඟපෑවා. ඉස්සර වරක් අයියා පොලීසියේ සේවය කරලා තිබුණේ. ඉතින් වරක් අයියා දවසක් මට හරි ලස්සන කතාවක් කිව්වා. ඒ තමයි මල්ලි.. ඔයා ගැන දැන් මම හොඳට දන්නවා. ඔයා පොලීසියට ගැලපෙන්නෙ නෑ. ඔයාට පොලීසිය ගැලපෙන්නෙත් නෑ... කියලා කිව්වා. මට ඒක හරි තදින් වැදුණා. අනිත් එක ඒ වෙද්දී මම කලාවට යොමුවෙලා ඉවරයි. ඒ වෙද්දී නීතිය පිළිබඳ අධ්‍යාපන කටයුතු ඔහේ කරගෙන ගියා මිසක් ඒ තරම් උනන්දුවකුත් මගේ තිබුණේ නෑ. ඒ නිසා පොලීසියට යන එක මම අතහැරියා. ඒ කාලේ අදට වඩා නාට්‍ය ලෝකෙ විශාල පිබිදීමක් තිබුණා.

බොහෝ කලාකරුවන්ට වඩා විදෙස් නිර්මාණවේදීන් ඇසුරු කරන්න ඔබට අවස්ථාව ලැබුණා...?
ඔව්.. විදෙස් නාට්‍යවේදීන් අපේ රටට ඇවිත් නාට්‍ය පුහුණුවීම් කළා. ඒ පුහුණුවීම් හරහා මම නාට්‍ය කිහිපයකම රඟපෑවා. පීටර් පොටර් නම් නාට්‍ය අධ්‍යක්ෂකවරයාගේ ෂේක්ස්පියර්ගේ නාට්‍යයක මමත් රඟපෑවා. ඒ අතරේ චිත්‍රපටවලටත් මට ආරාධනා ලැබුණා. හුණුවටේ කතාෙව් විශේෂ දර්ශනයක් බලන්න ආපු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා නාට්‍ය අවසානයේ දී මාව මුණගැහිලා මාව ඇවිත් මුණගැහෙන්න කියලා කිව්වා. පහුවදාම මම ඔහු මුණගැහුණාම අක්කර පහේ සමරේගේ චරිතය මට කරන්න අවස්ථාව ලැබුණා.

අක්කර පහ සමරේගේ චරිතය වෙනුවෙන් ඔබට ලොකු ඇගයීමක් ලැබුණා නේද...?
ඔව්... අධ්‍යක්ෂකවරයෙක් විදිහට ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා මාව ලොකු ඇගයීමකට ලක් කළා. ඔහු වරක් මට මගේ චිත්‍රපටයේ වීරයාව ඩග්ලස්ෙගන් බේරගන්න ලොකු අමාරුවක් වුණා කියලා කිව්වා. ඒ වගේ දෙයක් ලෙහෙසියෙන් අධ්‍යක්ෂකවරයෙක් කියන්නෙ නෑ.

කලා ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කරපු කෙටි චිත්‍රපටයකට ඔබ දායක වුණා නේද..?
ඔව්.. ඒක ඇත්ත. මගේ ජීවිතේ ඒකෙන් වෙනස් වුණා. ඒ භාවනා කියන කෙටි චිත්‍රපටයට දායක වීමයි. ඒක පෝල් විල්ස් කියන ජර්මන් ජාතිකයෙක් විසින් අධ්‍යක්ෂණය කරපු නිර්මාණයක්. ඔහුට ඉන්දියාවේ ගෞරවපූර්ව පුරවැසිභාවය පවා දීලා ඉන්දියාවට කතා කළා. නමුත් පෝල් තෝරාගත්තේ ලංකාවයි. ඔහු භාවනා කෙටි චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට මාව තෝරගත්තා. ඒවගේම ඔහු මාව සහය අධ්‍යක්ෂණයටත් එකතු කරගත්තා. අවසානයේ දී මම සිනමාව ගැන ඉගෙන ගන්න පෝල්ගේ උපදෙස් මත එංගලන්තයේ film school එකට ඇතුළත් වුණා. අවුරුදු තුනක උපාධියක් මම එහෙදී හැදෑරුවා.

අවුරුදු තුන අවසානයේ දී ඔබ ලංකාවට ආවද...?
නෑ.. අවුරුදු තුන අවසානයේ දී මගේ ගුරුතුමා පෝල්, එන්න හදිස්සි වෙන්න එපා. ඔයා ඩ්‍රාමා කෝස් එකකුත් කරලා එන්න.. අපි මෙහේ සිනමා සහ නාට්‍ය පාසලකුත් පටන් ගමු. කියලා කිව්වා. ඒක ඊළඟට මගේ අරමුණ වුණා. ඒ නිසා අවුරුදු තුන ඉවරවෙලා ලංකාවට එන්නෙ නැතිව මම එකදිගට අවුරුදු අටක් නවයක් ඒ රටේ හිටියා.

ලාංකික කලාකරුවෙක්ට නොලැබෙන අවස්ථාවකට ඔය අතරේදී ඔබ පයින් ගැහුවා නේද...?
ඔව්.. නාට්‍ය පාඨමාලාව ඉවරවෙද්දී දෙන්නෙක්ට ලන්ඩන් සිනමාවට සම්බන්ධ වෙන්න ආරාධනා ලැබුණා. ඒ වගේ අවස්ථාවක් ලැබෙන්නෙ හරිම කලාතුරකින්. ඒක කලාරෙුවෙක්ට ලැබෙන අහඹු අවස්ථාවක්. පිටරට කෙනෙකුට ඒ අවස්ථාව ලැබෙනවා කියන්නෙ හරිම වාසනාවක්. මට ඒ වාසනාව ලැබුණා. හැබැයි මම ඒ වාසනාවට පයින් ගැහුවා. ඒකට හේතුව වුණේ මට ලංකාවට යන්න ලොකු ඕනකමක් තිබුණා. ම‍ෙහේ මගේ ගෙදර අයව බලන්න මට ඕනෙ වුණා. අනිත් එක තමයි පෝල් එක්ක සිනමා පාසලක් හදන්න මට තිබුණු හීනය. ඒ නිසා මම ඒ අයගේ ආරාධනාව ප්‍රතික්ෂේප කළා. අපි මේක ඔබට රත්තරන් බන්දේසියක තියලා පිළිගන්වනවා. ඔබ ඒකට පයින් ගහනවා... කියලා ඒ අය මට කිව්වා. අවුරුදු අටක් එංගලන්තයේ හිටපු මම තව හය මාසයක් ඉවසගෙන ඉන්නෙ නැතිව ලංකාවට ආවා.

ඒ එද්දී ඔබේ හීනය සුණුවිසුණුවෙලා තිබුණා නේද..?
ඔව්.. ඇත්තටම මම ලංකාවට එද්දී මගේ ජීවිතේ කඩාගෙන වැටුණා. මම ලංකාවට එනකොට පෝල්ට සිරෝසිස් හැදිලා පෝල් ජර්මනියට ගිහින්. ටික කාලයකින් පෝල් නැතිවුණා. සිනමා පාසලත් ඉවරයි. බලාපොරොත්තුත් ඉවරයි. ලැබුණු අවස්ථාවත් ඉවරයි. ඔය කාලේදී මට චිත්‍රපට පොකුරකටම ආරාධනා ලැබුණා. හැබැයි ගස් වටේ දණගහන, බඩගාන චිත්‍රපටවල රඟපාන්න මම කැමති වුණේ නෑ. ඒ නිසා මම ඒ හැමදෙයක්ම ප්‍රතික්ෂේප කළා.

කොහොමද බිරිය, දරුවා එක්ක ගෙවන ජීවිතේ...?
ගොඩක් සතුටින් ඒ ජීවිතේ ගෙනියනවා. මම විවාහ වුණේ සන්ධ්‍යා කුමාරි එක්ක. අපිට එක පුතෙක් ඉන්නවා. ඒ ශ්‍රීබෝධි ඉන්ද්‍රඛීල රණසිංහ. දැන් පුතාට වයස අවුරුදු දාසයයි.

ඔබ ටෙලිනාට්‍ය කිහිපයක්ම නිර්මාණය කළා...?
ඔව්.. මුලින්ම මම රන්මසු උයන කියන නාට්‍ය කළා. ඊටපස්සෙ මම සසර චක්‍ර කියලා තවත් ටෙලිනාට්‍යයක් කළා. ඊළඟට මම දැන් මගේ ලොකු අක්කගේ නවකතාවකින් ටෙලිනාට්‍යයක් කරන්න බලාපොරොත්තු වෙනවා.


► Text – Dishani /   Pic - Sumudu