2017 දෙසැම්බර් 09 වන සෙනසුරාදා

ඇක්ෂන් කට් පැත්තක තියලා අධ්‍යක්ෂක ත්‍රීවිල් පස්සෙ දුවලා

 2017 දෙසැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 204

ඔවුන්ට මේ මුළු විශ්වයම දිනන්නට අවශ්‍යතාවයක් නැත. ඔවුන්ට දිනන්නට තිබුණේ තම ජීවිතය පමණයි. ඒ වෙනුවෙන් ඔවුන් අපමණ වෙහෙසක් ගත්තා. පිරිමියෙකුගේ හව්හරණක් අහිමි වූ ඇය මේ මුළු සමාජයේ සිටින පිරිමින් සමඟ උරෙන් උර ගැටී වෙහෙස වූවා. ඇයට ලෝකයේම රැජනක් වන්නට අවැසි නැතත් ඇයට ඇගේම ලෝකයේ රැජන වෙන්න වුවමනා වුණා.

රවීන්ද්‍ර විජේරත්න අධ්‍යක්ෂණය කළ තරංග දිසානායකගේ නිෂ්පාදනයක් වූ රැජිනියෝ සතියේ දින පහේම රූපවාහිනි නාලිකාවක් ඔස්සේ ඔබේ ආලින්දයට එනවා. කාන්තාවන් පස්දෙනෙකු වටා ගෙතුණු මෙම ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂක අපට කීවේ මෙවැන්නක්.

මේ කාලය වෙනකොට ටෙලිනාට්‍ය රැල්ල වෙනස් කරමින් පවතින යුගයක් වෙලා තියෙනවා. ඉතින් මටයි තරංගටයි ඕනවුණා මේ වෙනස්වන කලාවත් සමඟ වෙනස් විදිහේ ටෙලිනාට්‍යයක් නිර්මාණය කරන්න. ඒ වෙනසට ඔරොත්තු දෙන්න වෙනස් විදිහේ නාට්‍යයක් කරන්න අපිට ඕනවුණා. මම හිතන්නෙ රැජිනියෝ ඒ වෙනසට තවත් වෙනසක් කරාවි... රූගත කිරීම් කරද්දි වුණත් මෙතෙක් පාවිච්චි කළ කැමරා කෝණවලට වෙනස් විදිහේ කැමරා කෝණ තමයි මම පාවිච්චි කළේ. ප්‍රවීණම කලාකරුවන් කලාකාරියන් මෙන්ම නව පරපුරේ කලාකරුවන් සහ කලාකාරියක් ද මෙම ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙලා තියෙනවා...*

මුලදීත් කිව්වනේ ටෙලි නාට්‍යයේ ප්‍රධාන ගැහැනු චරිත පහක්ම ඉන්නවා කියලා. ඔවුන් වටා ගෙතුණු අපූරු කතාවක් තමයි රැජිනියෝ කියන්නේ. බලමුද ඒ කවුද කියලා. වසනාගේ චරිතයට පණ පොවන්නේ ජයනි සේනානායකයි. නමින් වසනා වුණාට ඇය වාසනාව දෝතින් ගෙන ජීවිතයට මුහුණ දෙන ගැහැනියක් නම් නොවේ. වාසනාගේ රැකියාව වෙන්නේ මේසන් වැඩ කිරීමයි.

“මේක ඒතරම් ලේසි රාජකාරියක් නෙවේ. හැබැයි අපේ රටේ මේ රැකියාවේ නිරත වෙන කාන්තාවන් ඉන්නවා. ඉතින් ඒ වගේ කාන්තාවන්ගේ චරිතය කරන්න ලැබීමත් එක අතකින් වාසනවාක්.
ජයනි චරිතය ගැන කියන්නේ එපරිද්දෙනි.

දමිතා පැද්ද පැදිල්ලට අපේ ඇඟේ ලේ රත්වුණා

ජයනිට වාසනා වෙන්න එතරම් ලේසි වුණෙත් නෑ. හැබැයි ජයනි සේනානායක කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂ ප්‍රතිභාපූර්ණ කලාකාරියක්. එවන් චරිතයකට මෙවැනි ඕනෑම අභියෝගාත්මක චරිතයක් කරන්න හරි පහසුයි. ජයනි මේ චරිතය කරන්න කලින් මේසන් බාසුන්නැහේලා වැඩකරන වැඩබිමක ඔවුන් වැඩවල නිරතවන අන්දම දිහා බලාගෙන ඉඳලා තියෙනවා. මේසන් හැන්ද අල්ලන හැටි සිමෙන්ති අනනා ආකාරය, ගඩොල් එකිනෙක බැඳ බිත්ති නංවන අන්දම දිහා ජයනි බලාගෙන ඉඳලා තියෙනවා. ඒ විතරක් නොවේ ඔවුන්ට අත්උදව් පවා ජයනි නොමිලේ දීලත් තියෙනවා. ජයනි “රැජිනියෝ ටෙලිනාට්‍යයේ මේසන් වැඩ කරන්නේ ඉතා විශාල වැඩබිමකයි. පලංචිවල නඟින, පිරිමින් හා හරි හරියට බිත්ති බඳින වාසනාව රුජිනියෝ ටෙලිනාට්‍යයෙන් බලාගන්න පුළුවන් වේවි.

දමිතා අබේරත්න රැජිනියෝ ටෙලි නාට්‍යයේ රඟපාන්නේ නිර්මලාගේ චරිතයයි. ඇය මාළු වෙළෙන්ඳියක්. තම සැමියාගේ වියෝවත් සමඟ ඇය තම අතට ගන්නේ මාළු පිහියයි. ගෙවල් ගාණේ ගොස් මාළු විකුණන නිර්මලා කත් වෙළෙන්දියක්නම් නෙමේ. ඇය මාළු රැගෙන යන්නේ මෝටර් බයිසිකලේක ගැට ගහපු ලොකු මාළු පෙට්ටියකයි. මාළු... මාළු... කියා කෑගසන්නට දමිතාට පුළුවන් වුණාට මාළු පෙට්ටියකුත් බැඳගෙන මෝටර් බයිසිකලය පදින එකත් දමිතට එක්තරා අභියෝගයක්. සාමාන්‍ය ජීවිතේ මෝටර් රථය ධාවනය කරන්න හැකියාවක් තිබ්බට මෝටර් බයිසිකලයක් හරි පුරුදුකාරියක් සේ පැදගෙන යන්න දමිතා පුරුදු කාරියක්නම් නෙවේ.

ඒ නිසාම තරංග ඇතුළු රැජිණියෝ කණ්ඩායම රූගත කරන්නට පළමුව දමිතාව ලොකු පිට්ටනියකට එක්කරගෙන ගිහින් බයිසිකලය පදින්නට පුරුදු කරලා. හැබැයි ඉතින් කියලා දෙනවාට වඩා වේගෙන් යද්දිනම් කාර්මික ශිල්පීන් ඉඳලා තියෙන්නෙ ඇඟේ ලේ වතුර කරගෙනයි. කොහොමෙන් කොහොමහරි අද වෙද්දී නිර්මලා තුළින් දමිතා අපූරු රැජිණක් වී හමාරයි. 

රොසෑන් රුජිණියෝ ටෙලි නාට්‍යයේ තවත් කාන්තා චරිතයක්. රොසෑන් චරිතයට පණ පොවන්නේ සුජානි මේනකා. සැමියාගේ වියෝවත් සමඟ කුඩා දියණියක් සමඟ තනිවෙන රොසෑන් ව්‍යාපාරික කාන්තාවක්. පුංචි තිරයේ තවත් ජනප්‍රිය කලාකාරියක් වූ සුජානි තුළින් ඔබට රොසෑන් දැකගත හැකිවේවි.

පබෝධා සංදීපනී පසුගිය දිනක තලවතුගොඩ ප්‍රදේශයේ මහ පාරේ මහා ධාවන තරගයක නියැලුණා කියලයි අපිට ආරංචිය ලැබුණේ. හැබැයි පබෝධාගේ පිටුපස්සේ විශාල පිරිසකුත් එලවගෙන ගිහින් තිබුණා. ඒ සැබෑ කොටස බලන්න ඕනෙමනම් රැජිණ බලන්නම වෙනවා. සාරාගේ චරිතයට රඟපාන පබෝධා අපට සිටිනා දක්ෂ නිළියක්. සාරා කියන්නේ තේරෙන භාෂාවෙන්ම කියනවනම් පික්පොකට්කාරියක්. පහුගිය දිනෙක රූගත කිරීම් සඳහා රවීන්ද්‍ර ඇතුළු කණ්ඩායම කැමරා ආම්පන්න නොපෙනෙන තැනක අටවාගෙන තිබුණා. පික්පොකට්කාරිය වුණු සාරාට (පබෝධා) ඇක්ෂන් විධානය ලැබුණා. තලවතුගොඩ මහපාරේ හැටට හැටේ සාරා දුවනවා.. රවීන්ද්‍රගේම තවත් කණ්ඩායමක් හොරෙක් හොරෙක්... අල්ලපියව් කියමින් සාරා පිටුපස දුවනවා. කැමරාව රෙඩී... රවීන්ද්‍රට සැටිස්. එකපාරටම රවීන්ද්‍රගේ කණ්ඩායමට තලවතුගොඩ කණ්ඩායමකුත් එකතු වුණා. අල්ලන්න.. අල්ලන්න.. ඔන්න ඔය කෙල්ලව අල්ලගන්න... දැන් සාරා දුවන්නේ ෂූට් එකට නෙමේ... තලවතුගොඩ මිනිස්සුන්ගෙන් බේරෙන්නයි. ඒ මදිවට පොලිස් රාළහාමිත් කලබල වෙලා. අවසානයේදි රවීන්ද්‍ර ඇතුළු කණ්ඩායම මැදිහත් වෙලා සාරාව නවත්තලා මිනිස්සුන්ට ඇත්ත කතාව කිව්වට පස්සෙ අනේ.. මේ පබෝධා නංගිනේ... අපි හිතුවේ ඇත්තටම හොරෙක් කියලයි. කියද්දීනම් සාරාට හිනා ගියා...

ජයනි නැංගේ නැත්තේ පලංචියට විතරයි. මේසන් බාස්ලත් එක්ක හිටු කියලා වැඩ. අන්තිමේදි කුලී නැතුව බාස්ලට වැඩත් කරලා දීලයි ආවේ

නිම්මි කියන්නෙත් අපේ සමාජයේ ජීවත්වෙන තවත් සහෝදරියක්. ඇය ත්‍රීවිල්කාරියක්... නිම්මි ලෙසින් රඟපාන්නේ අපේ තවත් දක්ෂ රංගන ශිල්පිනියක් වන චතුරිකා පීරිස්. මෝටර් රථයක් හරිහරියට ධාවනය කරන්න චතුරිකා හපනියක් වුණාට ත්‍රීවිලරයක් ධාවනය කරනවා කියන්නෙ ඇයට අලුත් අත්දැකීමක්. ඒ නිසාම තරංග ඇතුළු කණ්ඩායම දමිතාට වගේම පිට්ටනියක චතුරිකාටත් හොඳ පුහුණුවක් ලබලා දුන්නා. දැන් ඔන්න ත්‍රීවිලරය අරගෙන පාරට යන මුල්ම රූගත කිරීම් කරන කොටස කරන්න රවීන්ද්‍ර පටන් ගත්තා. අතුරු පාරක තමයි මුල්ම රූගත කිරීම. චතුරිකාත් කියලා දුන්න විදිහට ඔන්න අතුරු පාරෙන් ත්‍රීවිලරය පාරට දාන්නයි ලෑස්තියි. මහපාරේ ඉතා වේගෙන් වෙනත් වාහන යන නිසාම රවීන්ද්‍ර චතුරිකාට කියලා තිබුණේ මහපාරට වාහනය නොදමා අතුරු පාරෙදිම වාහනය නවත්තන්න කියලයි. ඒත්... ඉතින් කැමරාවට සිග්නල් ලයිට් එහෙමත් පෙනෙන නිසාම චතුරිකා අතුරු පාරෙන් වාහනය මහපාරට දාලාම අනිත් වාහන අස්සෙන්ම ටික දුරක් අරගෙන ගිහින්. රවින්ද්‍රට මොන අධ්‍යක්ෂණයද...? හැම එකක්ම නවත්තලා රවින්ද්‍ර චතුරිකාගේ පස්සේ දුවලා තියෙන්නේ හිතේ තිබුණු බයටමයි. අන්තිමට කැමරාවෙලා තියෙන්නේ අතුරු පාරෙන් මහ පාරට දාලා යන චතුරිකාගේ ත්‍රීවිලරය පස්සේ දුවන රවින්ද්‍රවයි.

මෙවැනි බොහෝ විහිළු තහළු මැද ගෙවන රැජිනියෝ රූගත කිරීම් හරි සුන්දරයි. බජාජ් එකේ චණ්ඩි කෙල්ලන් වූ නිම්මි, නිර්මලා, වාසනා, සාරා සහ රොසෑන්ලා අපේ සමාජයේ ඕනෑ තරම් ජීවත් වෙනවා. මේ චරිතවලින් යම්තැනක මමත් ඔබත් ජීවත් වෙනවා... ගැහැනියකගේ ආත්මශක්තිය සමඟම ඇය සැබැවින්ම රැජනක්ම තමයි.

► Text - Dishani / Pic- Internet