2017 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා

කළ කළ දේ පල පල දේ

 2017 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 95

මේ දිනවල මහත් ආන්දෝලනයකට තුඩු දී තිබෙන මියුසික් වීඩියෝවක් හදපු පුතෙකුට දිට්ඨධම්මවේදනීය කර්මයේ පල ඇස් පනාපිටම අත්දකිනවලු.

ප්‍රවීණ වියපත් කලා ශිල්පියෙකුගේ ජීවිතයේ එක්තරා සිද්ධියක් පදනම් කොටගෙනයි අර මියුසික් වීඩියෝව හදලා තිබුණෙ.
දැන් පුතාගෙ තාත්තට ඒ වගේම දෙයක් වෙලාලු.
එහෙම කියන්නෙ අර වීඩියෝව හදපු පුතාලු.

පුතා එයාගෙ යාළුවන්ට කතා කර කර දොස් නගනවලු තාත්තා ගැන කියලා.
බලපං මචං තාත්තට 70ටත් ළඟයිනෙ. සුපර් මාකට් එකක වැඩ කරන අවුරුදු 22ක කෙල්ලෙක් සෙට් කරගෙන එයා මත්තෙම මැරෙන්න හදනවා. ඒ කෙල්ල දැන් මෙයාව ගණන් ගන්නෙ නැහැයි කියලා නොකා නොබී අඬ අඬා ඉන්නවා බං තාත්තා. මාර ලව්සික් එකක් ගහලා තියෙන්නෙ.

 

බිස්කට් දුන්නට ප්‍රවීණයාට මලේ මල

ඕනෑම නිර්මාණයක අවසන් ප්‍රතිඵලය සුභ වීමට නම් එයට සම්බන්ධ සෑම පාර්ශ්වයකගේම සුභදායක දායකත්වයක් තිබිය යුතුයි.

එය කලාවට පමණක් විශේෂිත වූ න්‍යායක් නොවේ. කණ්ඩායම් හැඟීමෙන් වැඩ කිරීම තුළින් ලැබෙන ජයග්‍රහණය හා ප්‍රශංසාව වචනයෙන් විස්තර කරන්නට බැහැ.

කලා ක්ෂේත්‍රයට අලුතෙන් කෙනෙක් ආවොත් එයාට අත දෙනවා මිසක් බොහෝ අය කැපිලි දාන්නෙ නැහැ.
ඒත් සමහර ප්‍රවීණයෝ අතර අතළොස්සක් ඉන්නවා අලුත් අය පේන්න බැරි, ඔවුන්ට අකමැති උදවිය. ඒ වගේ දක්ෂ, ඇහැට කනට පේන කෙනෙක් ආවොත් කුහකකම් කරන ඉතාම සුළු පිරිසක් ඉන්නවා.

ඒ වගේ සීන් එකක් මෑතකදී දර්ශන තලයක පහුගිය දවසක සිද්ධ වුණාලු. තරුණ නිළියක් ළඟදි ආපු අලුත් නළුවෙකුට බිස්කට් දුන්නා කියලා ප්‍රවීණ නළුවෙකුට මල පැනලා සෙට් එකේ කෑගහනවලු පලු යන්න, ඔන්න දැක්කද නළුවන්ට කඩේ යන නිළියො, කියලා.

 

කෙසෙල් කේස් එකෙන් නිෂ්පාදක තක්බීර්

පහුගිය දවසක විශාල ආන්දෝලනයකට ලක් වූ එක්තරා ගීතයක රූපරචනාවක පෙනී සිටි නිරූපණ ශිල්පිනියක් පිටරට ප්‍රසංගයකට සහභාගි වූ වෙලාවේ ඇයට කුණු බිත්තර වලින්, වතුර බෝතල් වලින් කෙසෙල් ගෙඩි වලින් නොසෑහෙන්න සංග්‍රහයක් ලැබුණු බව කවුරුත් දන්නවනෙ.

ඒත් මේ සිද්ධිය නිසා වැඩියෙන්ම තිගැස්සුණේ කවුද දන්නවද? වෙනත් රටක වාසය කරන ශ්‍රී ලාංකික චිත්‍රපට නිෂ්පාදකවරයෙක්. මේ නිරූපණ ශිල්පිනිය මුල්වරට සිනමා නිළියක ලෙස දොරට වඩින්නේ මේ නිෂ්පාදකයාගේ චිත්‍රපටයකින්.

මේ චිත්‍රපටයේ මංගල දර්ශනය පවත්වන්න සූදානම් කරලා තියෙන්නෙ ලබන සතියේ.
අපිටත් මෙයා නිසා කුණු බිත්තර කෙසෙල් පාරවල් කන්න වෙයිද? ඔහු ඔහුගේ හිතවත්ම යාළුවන්ගෙන් කෝල් කර කර අහනවලු.

මේන් රෝල් නැත්නම් පොලු තමයි

මේ දිනවල රූගත වෙමින් තිබෙන ටෙලිනාට්‍යයකට ජනප්‍රිය නළුවෙක් තෝරගෙන තිබුණා ප්‍රධාන චරිතෙට. ඒ වෙනුවෙන් ලොකු ගාණකුත් පොරොන්දු වෙලා ගිවිසුම් ගහලත් ඉවරලු. ඒත් රූගත කිරීම් පටන් ගන්න සතියකට කළින් නිෂ්පාදන කණ්ඩායම ඒකමතිකව තීරණය කරලා තියෙනවා ප්‍රධාන චරිතෙට නවක නළුවෙක් ගන්න.

ඔන්න ඕක ආරංචි වුණා විතරයි අර ජනප්‍රිය නළුවා දැන් රූගත කිරීම්වලට දින දෙන්නෙ නැහැලු.
මේන් රෝල් එක නොදුන්නට නිෂ්පාදන කණ්ඩායම අමාරුවෙ දාන්න කරන උත්සාහයක් කියලා වැඩේ පැහැදිලියිලු.

 

අප්පට සිරි පැටලිල්ලක්

මෑතකදි පැවැති සජීවී රූපවාහිනී වැඩසටහනකට සහභාගි වීමට කලා ශිල්පීන් හතර දෙනෙක් නියමිතව හිටියා.
මේකප් කාමරේ එක්තරා ජනප්‍රිය කලා ශිල්පිනියක් මේකප් කරගෙන ඉන්නවලු. දැන් වැඩේ ඉවරවෙන්න ළඟයි. එතකොටම එතනට එනවා තවත් ජනප්‍රිය නළුවෙක්.
ආ අයියා කොහොමද? කාලෙකින්නෙ..., කණ්ණාඩියෙන් නළුවා දුටු මේකප් දාගෙන හිටි ශිල්පිනිය කිව්වලු.

හොඳයි නංගි, වැඩ කරගෙන යනවා. ඒක නෙවෙයි අද මේ ප්‍රෝග්‍රෑම් එකට එන අනිත් තුන්දෙනා කවුද? ඔහු ඇහුවලු.
අනේ මම දන්නෙ නැහැනෙ. අයියා ඉන්නවා කියලා දන්නෙත් දැන් දැක්කට පස්සෙ...
ආ... ඒක නේන්නම්. මට නම් ආරංචි වුණා අහවලාත් මේකට එනවා කියලා.
ඒත් ඇගෙන් ඒකට ප්‍රතිචාරයක් ලැබිලා නැහැ. 

ඔහු කලබල වෙලා හිතුවලු මොනවා හරි වැරදි දෙයක්වත් කියවුණාද කියලා. ඔහු ඇය දිහා ආයෙත් ඕනකමින් බැලුවලු.
අප්පට සිරි. මම අර අහවලා කියලා අහපු නිළියනෙ මේ. මදෑ කරගත්ත ගොන්කම. මේකප් දානකොට ගාණකට දාගන්න එපායැ, මනුස්සයෙකුට අඳුරගන්න පුළුවන් විදිහට. ඔහු ඔහුටම කියාගෙන එතනින් මාරු වුණාලු.

► Text - Mithra