2017 ජුනි 24 වන සෙනසුරාදා

කලාවෙන් විතරක් ජීවත් වෙන්නෙ කොහොමද?

 2017 ජුනි 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 265

සිල්වියා... ඔයාගේ ගම සහ ඉගෙන ගත්තු පාසල මොකක්ද...?
මගේ ගම නුවර. ඒත් මම ඉගෙන ගත්තේ බෞද්ධ බාලිකා විදුහලෙයි.

නිරූපණ ක්ෂේත්‍රයට යොමුවුණේ කොහොමද....?
නිරූපණ ක්ෂේත්‍රයට මම යොමුවුණේ අහම්බෙන්. ප්‍රංශයේදී ජෝන් එලයිට් නම් විශේෂ ඡායාරූප ශිල්පියා මාව අහම්බෙන් දැකලා මගේ ඡායාරූප ගන්න මට කතා කළා. මම හිතන්නේ මගේ ජීවිතේ නිරෑපණ ශිල්පයේ ආරම්භය ඇතිවුණේ එතැනින්.

නිරූපණ ශිල්පිනියන් දිහා අද සමාජය බලන්නේ වැරදියට. ඒ ගැන මොකද හිතෙන්නේ...?
මේකේ පැති දෙකක් තියෙනවා. එකක් තමා නිරූපණ ශිල්පීන් ශිල්පිනියන් තමාගේ නිරූපණය තාත්වික හා නිවැරදිව කළ යුතුයි. අනිත් දේ තමයි නිර්මාණයක සාර්ථකත්වය රස විඳීමට හැකි මානසිකත්වයක් සමාජයේ ඇතිවිය යුතුයි. මේ දෙකම තවම දියුණු වෙමින් පවතින නිසයි ඔවැනි වැරදි විදිහට මිනිස්සු දකින්නේ.

සිල්වියා ඇඳුම් තෝරද්දී සැලකිලිමත් වෙන්නේ මොනවා සම්බන්ධවද...?
මම ඇඳුමක් තෝරද්දී ප්‍රධාන වශයෙන් බලන්නේ ඒක මට පහසුද කියලයි. ඒ වගේම ඒ ඇඳුම මට කොයිතරම් දුරට ගැලපෙනවද කියලත් මම බලනවා.

නිරූපණ ශිල්පිනියන් වැඩිපුර පිරිමි ආශ්‍රය කරනවා. තව ක්ලබ් යනවා... බොහෝ දෙනා කියන්නේ එහෙමනේ... සිල්වියා මොකද ඒ ගැන කියන්නේ?
මෙයත් වෘත්තියක්. ඒ වගේම අපිත් මිනිස්සු. මම ගැන කිව්වොත් මට ඉන්නේ හොඳම හිතවතුන් ඉතාම අතලොස්සක්. නමුත් දන්නා හඳුනන අය ගොඩාක් ඉන්නවා. අනික මම රෑ අට වෙද්දී නිදි. ඒක මට දැන් පුරුද්දක් වෙලා. ඒ නිසා ක්ලබ් යන්න මට ආසාවක් නෑ. මේක මගේ පෞද්ගලික අදහසක්. මේ මගේ විදිහ. අනිත් අය ගැන මම කතා කරන්න කැමති නෑ. අනික නිරූපණ ශිල්පිනියක් කියලා එයා දවසේ පැය විසි හතරේම නිරූපණ ශිල්පිනියක් විදිහටම ඉන්න ඕනේ නෑ. වැඩ වෙලාවට වැඩේ කරලා අනිත් වෙලාවට සාමාන්‍ය ජීවිතයක් ගත කරාම ඒ හොඳටම ඇති.

නිරූපණ ශිල්පිනියක් වීමෙන් ගොඩාක් සල්ලි හම්බ කරන්න පුළුවන්ද?
මේක කලාවක්. ලංකාවේ කලාව විතරක් කරලා ජීවත් වෙන්න බැහැ. මම ජාත්‍යන්තර ඡායාරූප ශිල්පීන් සමඟත් වැඩ කරනවා. ඒ නිසා සැලකිය යුතු ආදායමක් ගන්නවා කියන්න පුළුවන්. නමුත් ලංකාවේ හැම නිරූපණ ශිල්පිනියකටම නිරූපණ ශිල්පියෙක්ටම සමාන අවස්ථා නැහැ.

පුංචි කාලේ කවුරු වෙන්නද හීන දැක්කේ...?
රටට හොඳ මනුස්සයෙක් වෙන්න මම පුංචි කාලේ ඉඳන්ම ආස කළා. තේරෙන කාලේ වෙද්දි නිරූපණ ශිල්පිනික්ය වෙන්න හීන දැක්කා. අද වෙද්දි ඒ හීනයත් හැබෑවෙලා.

අද ඔබ වෘත්තියෙන් නිරූපණ ශිල්පිනියක්ද...?
ප්‍රංශයේදී මම පූර්ණකාලීනව නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩකළා. නමුත් ලංකාවේදී නම් මම අමතර රැකියාවක් විදිහට තමයි නිරූපණ ක්ෂේත්‍රයේ වැඩ කරන්නේ. මේ වෙද්දි මම වෘත්තියෙන් පෞද්ගලික ආයතනයක වැඩ කරනවා.

රංගනයට ආරාධනා ලැබුණේ නැද්ද...?
ආරාධනා ලැබුණා. නමුත් මගේ හිතට ආසා හිතෙන පිටපතක් ලැබුණෙ නෑ. ඒ වගේ පිටපතක් ලැබුණොත් දවසක මම රඟපායි.

මොනවද ඊළඟට තියෙන බලාපොරොත්තු....?
අපේ ව්‍යාපාරය දියුණු කරගෙන, කවදාහරි දවසක ලංකාවේ විලාසිතා කලාවට යම් සේවයක් කරන්නට බලාපොරොත්තු වෙනවා. නිරූපණ ශිල්පිනියක් විදිහට අද මම ඉන්න තැන ගැන මට සතුටු වෙන්න පුළුවන්.

 

►Text – Dishani / Pic -Malaka Weligodapola