2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා

අසරණව කොන්වෙලා ඉද්දී මාව ළඟට ගත්තේ නිලන්ති විතරයි

 2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 215

රජිත.. මොනවද මේ දවස්වල අලුත් තොරතුරු?
මේ දවස්වල රියැලිටි තරගයක වැඩ කරනවා. තව චිත්‍රපටයක් කරන්න සැලසුම් කරනවා. හර්ෂ උඩකන්ද සමඟ මරුවා සමඟ වාසය කියලා පොඩි වැඩකට අතගහලා තියෙනවා. කොරෝනාත් එක්ක හිරවෙලා තිබුණු වැඩ ටික එකදිගටම මේ දවස්වල කරනවා. මේ ටිකක් කාර්යබහුල වැඩි කාලයක්.

රජිත.. ඔබට මිතුරු මිතුරියෝ කොච්චර වගේ ඉන්නවද?
මට ගොඩක් යාළුවෝ ඉන්නවා. යාළු මිත්‍ර කණ්ඩායම් කිහිපයක් ඉන්නවා. විශේෂයෙන්ම අපේ රංගන සිල්වා කණ්ඩායම, හර්ෂ උඩකන්දගේ කණ්ඩායම, ක්‍රිෂාන්ත වීරමන්ගේ කණ්ඩායම වගේ ක්ෂේත්‍රයේ යාළුවෝ ගොඩක් ඉන්නවා.

ඔබට ඒ ඉන්න යාළුවෝ අතරින් හිතවත්ම මිතුරෙක් හෝ මිතුරියක් ඉන්නවද?
මෙහෙමයි. මගේ ජීවිතේ දැන් අවුරුදු 40ට කිට්ටුයි. ක්ෂේත්‍රයේ අවුරුදු 20යි. ඉතින් ජීවිතේ ආපහු හැරිලා බලද්දි වැඩිපුර මුණගැසිලා තියෙන්නෙ කච්ඡපුටලයි මූසිලලයි. ඒ කච්ඡපුටලයි මූසිලලයි අවුරුදු 40ක් තිස්සෙ හිටියා. ක්ෂේත්‍රයේ අවුරුදු 20ක් ඇතුළත සාමාන්‍යයෙන් ජීවිතයට සුජාතාව වගේ පිරිසිදුව, හිතවත්කමින්, ගුණයහපත්කමින් හිටපු එක්කෙනෙක් ඉන්නවා.

කවුද ඒ සුජාතාව?
ඒ තමයි නිලන්ති ඩයස්. මම සිනමාවට පය තබන දවසේ ඉඳලාම මගේ මිත්‍රත්වය තිබ්බෙ නිලන්ති එක්ක.

රජිත.. ඔබට කොහොමද නිලන්තිව මුලින්ම මුණගැහෙන්නෙ?
මට මුලින්ම නිලන්ති මුණගැහුණෙ මගේ පළවෙනි චිත්‍රපටයේ මුහුරත් උළෙලෙදි. මම අසරණයෙක් වගේ පැත්තකට වෙලා මුල්ලකට වෙලා කොන්වෙලා ඉන්නකොට එයා මට අඬගහලා එයාලා ඉන්න තැනට ගත්තා. එදා ඉඳන් තමයි අපේ මිත්‍රත්වය පටන් ගත්තෙ.

ඔබගේ පළවෙනි චිත්‍රපටයෙ මුහුරත් උළෙලට නිලන්ති විතරක් නෙවෙයි.. තවත් ක්ෂේත්‍රයේ කට්ටිය පැමිණෙන්න ඇති. ඒත් ඇයි ඔබ නිලන්තිවම විතරක් මිතුරියක් කර ගත්තෙ?
බන්දු අයියා, ටෙනී අයියා හිටියා. තව සිංහල සිනමාවේ හිටපු දැවැන්තම අය එදා ඇවිල්ලා හිටියා. හරියට එදා මම හිටියේ කුරා කුහුඹු මිනිසා වෙමි මා ඔබේ මන්දිරේ වගේ තමා. හරියට නිකම් ලොකු මන්දිරයක පුංචි කූඹියෙක් වගේ. මොකද මම ජීවිතයේ පළවෙනියටම සහභාගි වුණු මුහුරත් උළෙල තමයි ඒ. තට්ටු ගෙවල් නාට්‍යයේ රඟපෑවත් මට ඒ නාට්‍යයේ මුහුරත් උළෙලට සහභාගි වෙන්න ලැබුණෙ නෑ. මම නාට්‍යයේ මැදදි තමයි නාට්‍යයට පැමිණියේ. ඉතින් මම මුහුරත් උළෙලක් පළවෙනියට දැක්කෙ එදා තමයි. මට 8.30ට එන්න කියපු මුහුරත් උළෙලට මම ගියේ 7.30ට වෙලාවත් පරක්කු කරන්නෙ නැතිව. ඉතින් එදා දැවැන්ත මිනිස්සු ආවා. සමහරු මාත් එක්ක හිනාවෙලා ගියා. සමහරු හලෝ කියලා ගියා. තවත් සමහරු මල්ලි පිංපොං නේද? කියලා ගියා විතරයි. ඒක වැරැද්දක් නෙවෙයි. ඒගොල්ලො මාව අඳුරන්නෙ නෑනෙ. මමත් වැඩිය ඒගොල්ලන්ව අඳුරන්නෙ නෑ. වැඩි ඇසුරක් නෑ. දැන් ඒ හැමෝමත් එක්ක එකතුයි. ඉතින් එදා මම මුල්ලක තියෙන මේසයක මුල්ලකට වෙලා ඉන්නකොට නිලන්ති කිව්වා ඇයි ඔයා අස්සට වෙලා ඉන්නෙ.. මෙන්න මෙතනට ඇවිල්ලා ඉන්න කියලා මාව අඬගහලා ගත්තා. කොහොම හරි ඒ මුහුරත් උළෙලෙදි පහන පත්තු කළෙත් අපි දෙන්නා එකට ඉටිපන්දම අල්ලගෙන තමයි. නිලන්තිට නම් මතක නැතුව ඇති. නිලන්තිට මේ ඊයේ පෙරේදා වුණු දේවලුත් මතක නෑනෙ. ඉතින් එදා ක්ෂේත්‍රයේ දැවැන්තයෝ ගොඩක් හිටියත් මාත් එක්ක හොඳටම කතාබහ කරලා මාත් එක්කම හිටියෙ නිලන්ති විතරයි. ඒ නිසාම තමයි මම නිලන්තිව මගේ මිතුරියක් විදිහට ආශ්‍රය කරන්න ගත්තෙ.

නිලන්තිගෙ සහ ඔබගේ මිත්‍රත්වයට අවුරුදු 20ක් විතර වෙනවා කියලා ඔබ කිව්වා. ඒ අවුරුදු 20ක කාලය තුළදි ඔබ දෙපළ අතර මතගැටුම් ප්‍රශ්න ඇතිවෙලා නැද්ද?
නෑ. කවදාවත් මතගැටුම් ප්‍රශ්න ඇතිවෙලා නෑ. මම දන්න විදිහට නිලන්ති කාත් එක්ක වුණත් ප්‍රශ්න මතගැටුම් ඇතිකරගන්න කෙනෙක් නෙවෙයි. කවුරුහරි වැරදි වුණත් එයා කවදාවත් වාදයට යන්නෙ නෑ. එයාගෙ මතය හරි වුණත් අනිත් කෙනා වැරදි වුණත් කවදාවත් තර්ක කරගෙන යන්නෙ නෑ. නිහඬව ඉන්නවා. ඉතින් ඒ නිසා කිසිම කෙනෙක් සමඟ රණ්ඩුවට යන කෙනෙක් නෙවෙයි නිලන්ති කියන්නෙ.

රජිත.. ඔබ කියනවා නිලන්ති සුජාතාවක් වගේ කියලා. එහෙම කියන්න හේතු මොනවද?
නිලන්ති කවදාවත් අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න කෙනෙක් නෙවෙයි. මම මුලදි කිව්වෙ සමහර යාළුවො මූසිලලා වගේ කියලා. ඒ කියන්නෙ සමහරු ඉන්නවනෙ තවත් කෙනෙකුගේ සම්පූර්ණ සාරය සූරාගෙන බොන. ඒ කියන්නෙ මගෙන් උපරිම වැඩ කරවාගෙන පස්සෙ මාව අමතක කරලා දාන. එහෙම යාළුවෝ ගොඩක් හිටියා. මට තව මෙහෙම කට්ටියකුත් හිටියා. අර මම තව නමක් කිව්වෙ කච්ඡපුටලා හිටියා කියලා. ඒ කියන්නෙ ජන්මෙන් ජන්මෙ වෛරයෙන් පතාගෙන ඇවිල්ලා මිත්‍රත්වයෙන් වෙස්වලාගෙන ඉන්න මිතුරනුත් මම ළඟින් ආශ්‍රය කරලා තියෙනවා. ඉතින් ඒ වගේ මිතුරන් අතර වෙස්මූණක් නොදාපු, හිතට එකඟව හැමතිස්සෙම කතා කරපු, කවදාවත් ලාභ ප්‍රයෝජන මත මාව ආශ්‍රය නොකරපු කෙනෙක් තමයි නිලන්ති කියන්නෙ. මට තව දෙයක් කියන්නම ඕනෙ. නිලන්ති විතරක් නෙවෙයි මම ආශ්‍රය කරන හැම යාළුවාම මූසිලලයි කච්ඡපුටලයි වගේ නෙවෙයි. ඒ වගේ ඉන්නෙ සමහරක් විතරයි කියලා.

රජිත.. ඔබගේ පවුලේ අය සහ නිලන්තිගේ පවුලේ අය ළඟින්ම ආශ්‍රය කරනවද?
ඔව්.. ගිය දෙසැම්බර් මාසයේ නිලන්තිගේ බබාගේ උපන්දිනය තිබුණා. ඒකට මගේ බිරිඳයි බබාලයි සියලු දෙනාම සහභාගි වුණා. ඒ වගේම මගේ බබාලව ක්‍රිස්තියානි කරන දවසෙත් නිලන්ති තමයි ආවෙ. ඉතින් ගොඩක් වෙලාවට පුළු පුළුවන් විදිහට අපි දෙගොල්ලන්ගෙ පවුල් එකතු වෙනවා.

කොච්චර හොඳ යාළුවෙක් වුණත් ඕනෑම කෙනෙකුගේ කිසියම් හෝ දුර්වලකමක් තියෙන්න පුළුවන්. රජිත.. ඔබ නිලන්තිගෙ දකින දුර්වලකම් මොනවද?
එයාගෙ තියෙන දුර්වලකම තමයි එයා දකින දේ විශ්වාස කිරීම. හැමතිස්සෙම පසුපසට යෑමයි ඉවසීමයි තමයි මම දකින ලොකුම දුර්වලකම. මම එහෙම කියන්නෙ නිලන්ති කවදාවත් කැමති නෑ ඉස්සරහට එන්න. ඒ කියන්නෙ එයාම තීරණය කරනවා නෑ ඕනෙ නෑ.. මම පස්සට යනවා කියලා. කිසියම් දෙයක් හඹාගෙන යන්න පොඩ්ඩක්වත් කැමති නෑ. මම දන්නෙ නෑ ඒ ඇයි කියලා. සමහර වෙලාවට ඒ එයාගෙ ඉවසීමද දන්නෙ නෑ. හැබැයි ඒ ඉවසීමනම් මම දකින්නෙ එයාගෙ දුර්වලකමක් විදිහට.

ජීවිතේ ඉදිරි කාලයෙ කවදා හෝ දවසක ඔබ හෝ ඇය අතර ප්‍රශ්නයක් වෙලා මේ මිත්‍රත්වය නැතිවුණොත් ඔබට මොනවගේ හැඟීමක් දැනෙයිද?
කවදාවත් රණ්ඩුවක්නම් මේ වෙනතුරු වෙලා නෑ. හැබැයි එකපාරක් මට මල පැන්නා. එක්තරා පුවත්පතක මුල් පිටුව සඳහා පින්තූර ගන්න එන්න මට කතා කළා. ඉතින් මම කිව්වා මමයි නිලන්තිවයි දෙන්නම ගන්න කියලා. ඊටපස්සෙ මම ඡායාරෑප ගන්න ඔක්කොම ලෑස්ති කරලා තියෙද්දි ඡායාරෑප ශිල්පියා මට කතා කරලා කියනවා මචං උඹ නිලන්ති එක්ක ෂූට් එක කරමු කියලා කිව්වට නිලන්තිගෙ අම්මා මගෙන් අහනවා ඇයි අනේ පිංපොංලව විතරද cover page වලට ගන්නෙ. බැරිද ටිකක් හොඳ නළුවෙක් දාන්න* කියලා. ඊට පස්සෙ මට මල පැන්නා. මම කිව්වා cover page ඕනෙත් නෑ. ‍මුකුත් ඕනෙ නෑ.. මේක නවත්තලා දාමු කියලා. ඔන්න ඔය දේ ටික කාලයක් හිතේ තිබුණා. පස්සෙ ඒකත් අමතක කරලා දැම්මා. හැබැයි ඉදිරි කාලෙදි අපි දෙන්නා තරහ වුණොත් ලොකු පාළුවක් දැනෙයි. හරියට පෘථිවියෙන් කොටසක් කඩාගෙන ගියා වගේ දැනීමක් එයි.

අවසාන වශයෙන් නිලන්තිට මොනවද ඔබට කියන්න තියෙන්නෙ?
රුක්මනී දේවි, මාලනී ෆොන්සේකා, සංගීතා, දිල්හානි, සබීතලාගෙන් පස්සෙ වර්තමානයෙ සිංහල සිනමාව බාරව ඉන්නෙ නිලන්තියි අනූෂායි. ඉතින් හැමතිස්සෙම පිටිපස්සෙ ආසනය තෝරාගන්නෙ නැතිව ඉස්සරහ ආසනයට එන්න කියලා තමයි මම එයාට කියන්නෙ. තරග කරන්න, සටන් කරන්න, ජයග්‍රහණය කරන්න. පසුබහින්න එපා. මොකද ඉස්සරහට දිනපු නිලන්ති පස්සටත් දිනන්න ඕනෙ කියලා තමයි මම කියන්නෙ.