2020 නොවැම්බර් 28 වන සෙනසුරාදා

ලෝකෙට සුවඳ විලවුන් හදපු දකුණු ආසියාවේ පළමු ගායකයා මමයි

 2020 නොවැම්බර් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 178

ලහිරු මේ දවස්වල මොනවද කරන්නේ?
මම කරන්න හිටපු ප්ලෑන් ගොඩාක් කොවිඩ් 19 එක්ක වෙනස් වුණා. සිංදු කිහිපයක් වගේම ප්‍රසංග ගිහිපයක්ම කරන්න තිබුණා. ඒවා ඔක්කොම කල් ගියා. හැබැයි දැනටත් සිංදු තුනක් කරන්න හිතාගෙන හිටියට සිංදු අටක් දහයක් විතර මේ වෙනකොට කරගෙන ඉන්නවා. ඒ හැමදේම කරන අතරේ මගේ පුතාලා තුන්දෙනයි, බිරිඳයි එක්ක ඉන්න ලැබෙන කාලයත් මේ දවස්වල වැඩිවුණා.

ජීවිතේ පටන් ගත්තේ කොතැනින්ද?
මම ඉපදුණු දවසේ ඉඳන් මගේ ජීවිතේ පටන් ගත්තා. ජීවිතේ පටන් ගන්නේ ගම්පහින්. මම පවුලේ බාලයා. මට අක්කා කෙනෙක් ඉන්නවා. තේරෙන වයසේ ඉඳන් මම ජීවිතේ තේරැම් ගන්න උත්සාහ කළා. ඒ උත්සාහයේදී අනෙක් අයට කරදරයක් නැතිව ජීවත් වෙන්න ගොඩාක් උත්සාහ ගන්නවා. හැබැයි මගේ පවුලේ අයට, ළඟ ඉන්න අයට නම් මාව කරදරයක්ම තමයි. අනාගතය ගැන හිතත්දී මම සෑහෙන්න වෙනස් දේවල් කරන්න උත්සාහ කරන කෙනෙක්. ඒ නිසා සාමාන්‍ය විදිහට ජීවත්වෙන්න බැහැ. අභියෝග ගොඩාක් ගන්න වෙනවා. සමහර වෙලාවට ඒ අභියෝග හරියනවා. සමහර වෙලාවට වරදිනවා. හැබැයි ඒ හැම වෙලාවකදීම සතුටින් ජීවත්වෙන්න උත්සාහ කරනවා.

ගායකයෙකු වීම ජීවිතේ පුංචි කාලේ ඉඳන් දැකපු හීනයක් හැබෑවීමක්ද?
ඔව්... මේක උසස් පෙළ පන්තියේදී දැකපු හීනයක්. හැබැයි මම සංගීතය පටන් ගන්නේ හය වසරේදීයි. මම මුලින්ම ඉගෙනගත්තේ ගම්පහ ශ්‍රීබෝධි විදුහලේ. ශිෂ්‍යත්වය සමත්වෙලා කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයට ඇතුළත් වුණා. ඒ පාසැලෙත් මම සාමාන්‍ය පෙළ විභාගයට සංගීතය හදාරන්න පටන් ගත්තා. හැබැයි මම උසස්පෙළට කළේ ගණිත විෂයයි.

උසස් පෙළට ගණිත විෂය හැදෑරුවත් ලහිරුගේ වැඩි කැමැත්ත තිබුණේ සංගීතයට. එහෙම නේද?
ඔව්... මගේ අක්කා සාමාන්‍ය පෙළ සමත්වුණ නිසා ගෙදරින් අක්කට කී බෝඩ් එකක් අරගෙන දුන්නා. හැබැයි ඒ කී බෝඩ් එක වැඩියෙන්ම පාවිච්චි කළේ මමයි. මට තාම මතකයි ඒ කාලේ රට ඉඳන් කී බෝඩ් එකක් ගෙන්ව ගන්න එකත් ලේසි නැහැ. ඒක ලංකාවට ආව දවසේ ඉඳන් මමමයි ඒක ගැහුවේ. ඒක ගහන්න පටන් ගත්ත දවසේ ඉඳන් මට මගේම සිංදුවක් කරන්න ලොකු ආසාවක් ඇතිවුණා.

රටින් ගෙනාපු කී බෝඩ් එකට කලින් ලහිරු කී බෝඩ් ගහන්න දැනගෙන හිටියද?
ඔව්නේ.... ටික ටික දැනගෙන හිටියා. ඉස්කෝලෙත් මගේ යාළුවන්ගෙන් මම කී බෝඩ් ඉල්ලගෙන පොඩ්ඩක් පුරුදු වෙලා තිබුණා. හැබැයි අක්කට ගෙනාපු කී බෝඩ් එක ගහන්න පටන්ගත්තු දවසේම මට කියලා සිංදුවක් හදන්න ඕනේ කියලා හිතුණා. මට අනුන්ගේ සිංදු කියන්න පොඩි අකමැත්තක් තිබුණා.

උසස් පෙළ ගණිත ධාරාවෙන් ඉගෙන ගත්ත ලහිරු සංගීතයට නැඹුරු වෙනවට ගෙදරින් කැමැත්තක් තිබුණද?
අපේ තාත්තා ව්‍යාපාරිකයෙක්. තාත්තට බේකරියක් තියෙනවා. දැන් ඒ බේකරිය කරන්නේ මගේ අක්කා. මේ කොවිඩ් කාලේදී මම ජීවත් වුණෙත් ඒ බේකරියෙන්ම තමයි. සල්ලි නැතිවුණාම දැන් මම අක්කාගෙන් තමයි ඉල්ලා ගන්නෙත්. ඉතින් මම ඇපිට් ආයතනයේ පරිගණක විද්‍යාව හැදෑරුවා. කොහොමටත් මම ගණිතයට ආසයි. තාත්තාට ඕනවුණේ මාව ඉංජිනේරු පීඨයට යවන්න තමයි. තාත්තා මාව ඉංජිනේරුවෙක් කරන්න ආසා කළා. හැබැයි මටත් වඩා හොඳට තාත්තාට සිංදු කියන්නත් පුළුවන්. ඇපිට් ආයතනයේ පරිගණක ඉංජිනේරැ විද්‍යාව හැදෑරුවත් මගේ හිතේ තිබුණෙ මගේම සිංදුවක් කරන්න ඕනේ කියලයි.

ලහිරු හදපු මුල්ම ගීතය වුණ මන බැන්දා ගීතයටත් අපූරු අතීතයක් තිබෙනවා. ඒක ආයෙත් මතක් කරමුද?
ඔව්... මට Sound Card එකක් ගන්න ඕන වුණා. තාත්තාට කිව්වට අරගෙන දුන්නේ නැහැ. අක්කා ඒ කාලේ ඉතිරි කරගත්තු තිස්හතර දාහක් මට දුන්නා. මම අඩුම මුදලට Sound Card එකක් අරගත්තා. තාත්තාට සල්ලි තිබුණට මාව විශ්වාස කළේ නැති නිසාම මට ඒ සල්ලි දුන්නේ නැහැ. හැබැයි මගේ දුක අක්කට දැනුණා. ඒක අරගත්තු දවසේ ඉඳන් හදලා හදලා මං මන මැන්දා ගීතය හැදුවා. ඒක මට තවත් හයියක් වුණා. ඉතින් තාත්තාටත් හරි සතුටුයි. ඊටපස්සේ තාත්තත් මට උදව් කළා. මම සිංදු හදලා හදලා දෙසීය විතර ගීතය තමයි රම්බරී ගීතය. ඒකෙන් මාව තවත් ජනප්‍රිය වුණා.

ලහිරුගේ ප්‍රථම ප්‍රේමය...
මගේ ප්‍රථම ප්‍රේමයම තමයි අදටත් එකම ප්‍රේමය වෙන්නේ. ප්‍රථම ප්‍රේමය තමයි මම කසාද බැන්දේ. එයාගේ නම නීපමා සල්මලී කීර්තිරත්න. උපි උසස්පෙළ පන්තියේදී ආදරේ කළා. 2011 දී අපි විවාහ වුණා. එයාගෙන් තමයි සහයෝගය උපරිමයෙන්ම මට ලැබෙන්නේ. ඒ නිසාම තමයි මම හරිම නිදහසේ මගේ වැඩේ කරගෙන ඉන්නේ. අපිට පුතාලා තුන්දෙනෙක් ඉන්නවා. විවාහ ජීවිතේ ගතකරන වාසනාවන්තම පුද්ගලයා විදිහට තමයි මම මාව සලකන්නේ. අවශ්‍ය කාලේදී අවශ්‍ය මිනිස්සු අවශ්‍ය දේ හරියටම ලැබුණ කෙනෙක් තමයි මම. කාලය නාස්ති කරන්න මට ඕන වුණේ නැහැ. කාටවත් යටත් නොවී, මාත් එක්ක ඉන්න අයත් මට යටත් නොවී මේ ජීවිත ගමන මම යනවා. මම කරන දේ අනුමත කරලා මගේ බිරිඳගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. මගේ සංගීත වැඩවලට කවදාවත් එයා ඇඟලි ගහන්නේ නැහැ. ගෙදර, පවුල ගෙනියන්නේ මගේ බිරිඳම තමයි.

ලහිරු හරි අපූරු විලාසිතා කරන කෙනෙක්. ඒක පටන් ගත්තේ කොයි කාලේදිද?
විලාසිතාවට මම හරි ආසයි. මම ක්ෂේත්‍රයට එන්නෙත් රම්බරී ගීතයෙන්නේ. ඒකත් එක්තරා විකාරයක්නේ. ඒකත් එක්තරා විකාර විලාසිතාවක්නේ. මම වේදිකාවේ ඉන්න එකයි මෙහෙම කතා කරන එකයි, ගෙදර ඉන්න එකයි, වැඩ කරන එකයි ටිකක් සමානයි. මාගේ ජීවිතේ මවාගත්තු චරිත නැහැ. මේ ජීවිත විවෘත වීම සමහරු වෙනස් විදිහඑටත් මනිනවා. විලාසිතා ගත්තත් මට ඕන දෙයක් කිරීමේ හැකියාවක් තිබෙනවා. වේදිකාවේ මම කරන ඕන එකක් රඟපෑමක් විදිහටත් සමහරු හිතනවා. මයික් එක ඇහෙන්නේ නැතිවුණාම මට මේකෙන් ඇහෙන්නේ නැහැ. මහත්තයෝ දෙන්නකෝ වෙන එකක් කියලා මම වේදිකාවේ ඉඳලා ඉල්ලුවත් සමහරු ඒකත් මගේ රඟපෑමක් කියලා හිතනවා. හැබැයි ඒ මගේ හැටි. ඒක නිසාම මම හරි නිදහස් වුණා.

ලහිරුගේ La Singnore දැන් බ්‍රෑන්ඩ් එකක් වෙලා නේද?
ඔව්... La singnore ගේ දැන් අලුත් La sin gnore The fragrance කියලා Parfum එකක් ඇවිත් තියෙනවා. දැන් ඒක ඩුබායිවලත් විකුණනවා. ශ්‍රී ලාංකිකයෙක් තමයි මේ Parfum එක නිෂ්පාදනය කරන්නේ. Parfum Brand එකක් අයිති South Asia වල පළවෙනි ගායකයා වන්නේ මමයි. මට La singnore බෑන්ඩ්  එක හදලා අවුරැදු හයකට පස්සේ තමයි ඒ නිෂ්පාදකයා මට කතා කරලා මේ බ්‍රෑන්ඩ් එකෙන් Parfum එක හදන්න පටන් ගත්තේ. එයා දැන් ඉන්නේ ලංකාවේ. මේක ආරම්භයක්. තව මේ බ්‍රෑන්ඩ් එක යටතේ නිෂ්පාදන කිහිපයක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. සංගීතය ඇතුළේ කරන්න පුළුවන් බොහෝමයක් දේවල් තියෙනවා. මට කලාව කියන්නේ හිත හොඳින් කරන ලස්සන බිස්නස් එකක්. සරිගමපදනි ස්වර කාටවත් අයිති දෙයක් නෙමේ. ඒක විශ්වයෙන් හැදුණු දෙයක්. ඒවා තමන්ගේ ඔස්ෙස් ගොස් ඒවා එකට අමුණා නිර්මාණ බිහිවෙනවා. ඒ නිර්මාණවලින් දෙයියනේ කියලා මිනිසුන් සතුටු කරලා අපිත් කීයක් හරි හම්බ කරගත්තාට වරදක් නැහැනේ? ඉතින් මම හිතන්නේ La singnore ට තව ගොඩාක් දුර යන්න තියෙනවා.

 

                      සේයාරූ සුමුදු හේවාපතිරණ