2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා

ඇත්ත කතා කරන අය පිස්සොලු!

 2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා, ප.ව. 12:31 209

සුපර්ණා කියන්නෙ මේ දිනවල තිරගත වන අනෙක් චිත්‍රපටවලට වඩා වෙනස්, අපේ සොබාදහම පිළිබඳ කියවෙන අපූරු නිර්මාණයක්. මේ නිර්මාණය ගොඩනැගෙන්නෙ කොහොමද..?
සුජීවටත් මටත් මේ ඒකාකාරී වුණු සිනමා රාමුවෙන් මිදෙන්න ඕන වුණා. අපි දීර්ඝ කාලයක් තිස්සේ දකින්නෙ ජාතක කතා, රජ කතා ආශ්‍රිතව නිර්මාණය වුණු සිනමාවයි. මම ඒකෙ වරදක් දකින්නෙ නැහැ. නමුත් ලෝක සිනමාව ගත්තොත් එය මේ වෙද්දී විශාල ගමනක් ගිහින් ඉවරයි. ඔවුන් විවිධ මාතෘකා ඔස්සේ, විවිධ තේමා ඔස්සේ අත්හදා බැලීම් කරමින් දැවැන්ත නිර්මාණ කරලා ඉවරයි. අපි තවමත් ජාතක කතා, රජ කතා කරමින් ඉන්නවා. මේ කතාවලට අපූර්වත්වයක් එකතු කරනවානම් ඒක මරු. නමුත් අද එහෙම සිදුවන්නේ හරිම අඩුවෙන්. හැබැයි මම මේ කාවවත් විවේචනය කරනවා නෙමේ. මේක මම ප්‍රේක්ෂකයෙක් විදිහට දැකපු දේ අනුව හිතුණු දෙයක්.

සුපර්ණා බිහිවෙන්නෙ ඒ වෙනස ඇතිකරන්නද..?
ඔව්.. අලුත් පරම්පරාවේ අලුත් නිර්මාණකරැවන් හැටියට අපිට ඒ වෙනස කරන්න ඕන වුණා. ඒ වෙනස ඇතිකරන්න අපිට ඕනෑතරම් තේමාවන් තිබුණා. නමුත් අපි දැක්කා මේ සොබාදහම විනාශ කිරීම වර්තමානයේ මුළු ලෝකයටම බලපාන කාරණාවක් විදිහට. ඒ නිසා මේ සොබාදහම ආරක්ෂා කර ගත යුතුයි කියන මතයේ අපි ඉන්නවා. දවසින් දවස අපි දියුණු වෙනවා කියන ප්‍රීතියත් එක්ක මිනිසුන් දියුණු වෙන්න හදන්නෙ සොබාදහමත් විනාශ කරගෙනයි. අපි පාරවල් හදනවා, අහස උසට ගොඩනැගිලි හදනවා. නමුත් ඔක්කොම ගස්කොළන් කපලා, සොබාදහම විනාශ කරලා, ඒක කනපිට ගහලා ගොඩනඟන ලෝකය තුළ හෙට දවසේ මොකක් වෙයිද කියලා අපි පොඩ්ඩක්වත් හිතන්නෙ නැහැ. අපි අද ඉඳලා මැරිලා යාවි. ඒත් හෙට මේ පොළොවේ ඉපදෙන දරුවාට වෙන්නෙ මොකක්ද? මේ රටට, ලෝකයට වෙන්නෙ මොනවද කියලා අපි හිතන්නෙ නැහැ.

දියුණු වුණු ඇතැම් රටවල් සොබාදහම ආරක්ෂා කරන්න උත්සාහ ගන්නවා..?
හරියට හරි.. එහෙම දියුණු වුණු බොහෝ රටවල් සොබාදහම ආරක්ෂා කර ගැනීම ගැන හිතනවා. අපි අවුරුදු ගාණක ඉඳන් තවමත් දියුණු වෙමින් පවතින රටක්නෙ. ඒක කවදා දියුණු වුණු රටක් වේවිද දන්නෙ නැහැ. දවසින් දවස අපි මේ ස්වභාවික වනාන්තර විනාශ කරනවා. ජල පෝෂක කොටස් විනාශ කරනවා. රටේ තියෙන භූගත ජලය විනාශ කරනවා. වැව් අමුණු වේළී විනාශ කරලා දානවා. ඒවාට නරක බැක්ටීරියා, වෛරස් එකතු කරනවා. ඒවා එක්ක අත්හදා බැලීම් කරනවා. අපිට අයිති, අපිට ආවේණික ශාක පද්ධති පිටරටවලට විකුණලා තියෙනවා. අපිට ආවේණික දේශීය ඖෂධ, ඒවායේ අයිතිය විකුණලා තියෙනවා. අපි පොහොර කියා රසායනික විස පරිහරණය කරනවා. මේ හැමදේම පොළොවට විෂ ද්‍රව්‍ය. මේ නිසා පුංචි කෘමි සතුන්ගේ සිට සියලු දේ විනාශ වෙලා යනවා.

ඒ සම්බන්ධව ජනතාව දැනුම්වත් කරන්න දුලීකාත් සුජීවත් මේ සිනමා රාමුව තෝරාගත්තා. එහෙම නේද..?
ඔව්.. සොබාදහම විනාශය ගැන තැන් තැන්වල විවිධ ක්‍රම මගින් මිනිසුන් දැනුම්වත් කරනවා. අපිට සිනමාපටයක් ඔස්සේ මේ ගැන මුළු රටටම ආමන්ත්‍රණය කරන්න හිතුණා. අද කාලේ කලාව කියන්නෙ හුදී ජන පහන් සංවේගය පිණිස පමණක් යොදාගත හැකි දෙයක් නෙමෙයි. අපිට සමාජය දැනුම්වත් කරන්න, සමාජය පෝෂණය කරන්න, බුද්ධිය වර්ධනය කරන්න මේ හරහා පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා අපි වෙනස් නිර්මාණයක් කරන්න තීරණය කළා. ඒ හරහා තමයි මේ සුපර්ණා සිනමාපටය නිර්මාණය වෙන්නෙ. අනිත් චිත්‍රපට බලන ඇසින් සුපර්ණා බලන්න බැහැ. නමුත් මේක රටේ කුඩා දරැවාගේ සිට වැඩිහිටියා දක්වා නැරඹිය යුතුම අපේ රටේ කතාවක්. මේක අපේ මිනිසුන්ගෙ කතාවක්. සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය වුණු ප්‍රබන්ධ කතාවක්.

චිත්‍රපටයේ දී දුලීකාට අශ්වයකු පදින්නත්, බීච් බයික් එකක් ධාවනය කරන්නත් සිදුවෙනවා. මේක අභියෝගයක් වුණාද..?
මට මේ අශ්වයා පුරුදු වෙන්න පැය දෙකක් ගතවුණා. බීච් බයිසිකලය පුරුදු වෙන්න පැය බාගයයි ගියේ. මට මම ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. ජීවිතේ කිසිම දවසක මේ ලෝකෙ කිසිම සතෙක් මට විරුද්ධ වෙන්නෙ නැහැ කියන දැඩි විශ්වාසය මම ළඟ තියෙනවා. ඒ තරම්ම මම සතුන්ට සමීපයි වගේම සතුනුත් මට සමීපයි. බල්ලෙක්ට බයවෙලා දුවන කෙනාව ඒ බල්ලා පන්නලා කනවනෙ. අපි සතකුට හිරිහැරයක් කරන්න හද්දීම ඒක ඒ සතාට දැනිලා ඉවරයි. ඒ නිසාම තමයි සතුන්ට හිරිහැර කරන මිනිසුන්ට සතුන් හිරිහැර කරන්නෙ. සොබාදහම හරි අපූරුයි. සොබාදහම විනාශ කරද්දී ඒක සොබාදහමට දැනෙනවා. ඒ නිසයි ඒ සොබාදහම අපිට පුංචි පුංචි දඬුවම් ලබා දෙන්නෙ. හැබැයි ඒක කවදාවත් අපි තේරුම් ගත්තෙ නැහැ. ඒ සතුන්ව අපි තේරුම් ගත්තට පස්සෙ, ඒ සතුන්ගේ හෘද ස්පන්ධනය අපිට දැනුණට පස්සෙ කිසිම සතෙක් අපිට පහරදීමක් කරන්නෙ නැහැ. මට තිබුණු එකම ප්‍රශ්නය වුණේ මගේ බර වැඩිවීමයි. ඒ බර වැඩිවීම නිසා ඒ බර ඒ සතාට වැඩි වේවියැයි මට ලොකු දුකක් ඇතිවුණා. හැබැයි මම ඒ සතාට ආදරෙයි කියලා දැනෙද්දී ඒ බර ඒ සතාට බරක් වුණේ නැහැ. ඌ මහ පුදුමාකාර විදිහට මට හීලෑ වුණා. අපේ ෆිල්ම් එකට ගෙනාවේ ඉන්දියානු අශ්වයෙක්. ඒ අශ්වයා අවසානයේ දී මම යන යන තැනට මාත් එක්ක එන්න පටන් ගත්තා. ඒ තරම් ආදරයක් ළෙන්ගතුකමක් ඒ සතා එක්ක මට තිබුණා.

ඇතෙක් එක්කත් දුලීකාට ඒ වගේ අපූරු මතකයක් තියෙනවා..?
ඔව්.. මට සුනිල් සර්ගේ අලි කතාව චිත්‍රපටයේ මහ විශාල ඇතෙක් එක්ක ගනුදෙනු කරන්න තිබුණා. ඒ ඇතා මීට පෙර අට දෙනෙක් මරපු ඇතෙක්. නමුත් ඒ ඇතාවම තමයි සුනිල් සර්ට චිත්‍රපටයටත් ඕන වුණේ. ඒ ඇතා මාත් එක්ක කොච්චර යාළු වුණාද කියනවානම් ඌ මගේ ආරක්ෂාව ගැන හරියට හිතුවා. එයාගේ විශාලත්වය මට හානියක් වෙයිද කියලා ඒ සතා හැම වෙලේම හිතුවා එයා හැමවෙලේම පිටුපස හැරිලා මම ගැන හොයලා බැලුවා. සොබාදහම කියන්නෙ පුදුමාකාර දෙයක්. මමනම් හිතන්නෙ ලෝකයේ විසකුරුම සතා මනුස්සයා. මනුස්සයා තමයි මේ සියල්ල විනාශ කරන්නෙ.

චිත්‍රපටයේ සුපර්ණාගේ ළමා කාලයට පණපොවන කෙනාරා ගැන යමක් කිව්වොත්.. ඇයගේ රංගනය පිළිබඳව දුලීකාට සෑහීමකට පත්වෙන්න පුළුවන්ද..?
කෙනාරා කියන්නෙ අපිට ලැබුණු ඉතා දක්ෂ දරුවෙක්. කෙනාරා අපිට මුණගැහුණේ අපේ සහාය අධ්‍යක්ෂකවරයා හරහායි. කෙනාරා එයාට කරන්න ආපු වෙළෙඳ දැන්වීමකට ඉන්න බැහැ කියලා අඬලා ගිහිල්ලත් තිබුණා. නමුත් එයා අපේ සිනමාපටයේ අපිත් එක්ක වැඩ කරන්න කැමති වුණා. සුජීව හරි ලස්සනට කෙනාරාව හැසිරෙව්වා. එයාට එයාගේ පාඩුවේ නිදහසේ ඉන්න සුජීව ඉඩ දුන්නා. අශ්වයා වගේම කෙනාරාටත් ඕන දේ අපි කිව්වෙ නැහැ. පුතේ.. මේ වගේ කතාවක්. ඔයාට ඕන දේ ඔයා කරන්න කියලා අපි කෙනාරාගෙන්ම ඒ චරිතය නිර්මාණය කළා. එයා හරි ලස්සනට එයාගේ තාත්තා හැටියට විශ්වජිත් අයියාව පිළිගෙන ඒ චරිතය ඉදිරිපත් කළා. තාත්තා එක්ක කරපු ඒ ගනුදෙනුවේ දී සමහර දෙබස් පවා නිර්මාණය කළේ කෙනාරාමයි. එයා රඟපාපු ඒ කොටස කොයි මොහොතකවත් පොඩි කොටසක් වුණේ නැහැ. සුපර්ණාගේ කතාව ගොඩනැගෙන්නෙ කෙනාරා තුළිනුයි. කෙනාරා ඒ අපූර්වත්වය හරියටම කළා. කෙනාරාට ලස්සන දිග කොණ්ඩයක් තිබුණා. එයාට කොණ්ඩය කපන්න වෙනවා පුතේ කියලා කියද්දී කමක් නැහැ කියලා කිව්වා. කෙනාරාගේ මව්පියන් වුණත් විශාල කැපකිරීමක් කෙනාරා වෙනුවෙන් කළා. එයාට දීර්ඝ කාලීන ෂූටින් තිබුණේ නැති වුණත් එයා ඒ කාලය හොඳට ගත කළා.

සුපර්ණා රූගත කිරීම් කළේ කොහේද..?
අපි මේ චිත්‍රපටය රූගත කිරීම් කළේ ආරුගම්බය ප්‍රදේශයේ. ඒක තාමත් විනාශ නොවුණු පැත්තක්. හරිම සුන්දර මිනිස්සු ඒ පැතිවල අදටත් ජීවත් වෙනවා. මේ චිත්‍රපටය රූගත කිරීම් කරද්දී පුදුමාකාර සහයෝගයක් ඒ මිනිසුන්ගෙන් අපිට ලැබුණා. රූගත කිරීම් දවස් විසි පහක් තිබුණා. ඒත් මාස තුනකට අධික කාලයක් අපේ චිත්‍රපට කණ්ඩායම එහේ ගත කළා. ගමේ මිනිසුන්ගෙන්, යුද හමුදාවෙන්, නාවික හමුදාවෙන්, පොලීසියෙන්, වනජීවී නිලධාරීන්ගෙන්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ලැබුණු සහයෝගය අති විශාලයි. කිසිම ජාති භේදයකින් තොරව ඒ මිනිස්සු අපිට උදව් කළා. ඒක ඇත්තටම සුන්දර අත්දැකීමක්.

වර්තමාන බොහෝ දෙනා නොදැකපු, නමුත් අපිට උරුම වුණු දහඅට සන්නිය වැනි දේවල් ගැන හරි අපූරුවට සුපර්ණා ඔස්සේ නැවතත් කතාබහ කරනවා...?
ඔව්.. මේ දහඅට සන්නිය හැබෑම දහඅට සන්නියක්. මේ කතාව ආරම්භ වන දහඅට සන්නියට සූදානම් වන මොහොතේ සිට ඒක අවසන් වන පැය හතළිස් අටක කාල පරාසයක් තුළයි කතාව ගොඩනැගෙන්නෙ. දහඅට සන්නිය නටන්නෙ රටට සෙත් පතලයි. වෙන්න තියෙන ව්‍යසනයන්ගෙන්, හිංසාකාරී පීඩාවන්ගෙන් රට ආරක්ෂා කර ගන්නයි දහඅට සන්නිය නටන්නෙ. පහතරට ශාන්තිකර්මයේ තියෙන විශාලම ශාන්තිකර්මය තමයි දහඅට සන්නිය කියලා කියන්නෙ. දහඅට සන්නිය ඉවර වෙද්දී රටේ තියෙන මේ වෛරස සියල්ලම හමාර කරලා ආයෙමත් අලුත් අපූරු දවසකට ඉර උදා වෙනවා. අපේ රටටත් අවශ්‍ය අන්න ඒකම තමයි. අපේ රටේ තියෙන සියලුම විෂබීජ විනාශ කරලා අපි නැවතත් ශ්‍රී ලාංකිකයෝ හැටියට නැගිටින්න ඕනෙ.

රජ්ජුරුවෝ චරිතයෙන් මෑත කාලීන චරිත සිනමාවට ගෙනෙන්න සුපර්ණා හරහා උත්සාහ ගෙන තියෙනවා...?
ඔව්.. ඉතිහාසයේ සිටම මේ මහපොළොව රකින්න වගේම මහපොළොව විනාශ කරන්න ඉපදුණු අය බොහෝමයි. අවුුරදු ගණනාවක ඉතිහාසයේ සිටම මහපොළොව ආරක්ෂා කරන්න ඉපදුණු දෙන්නෙක් තමයි මේ නැවත නැවත ඉපදෙන්නෙ. වර්තමානයේ දී ඒ අය සුපර්ණා හා රජ්ජුරුවෝ හැටියට අපි දකිනවා. රජ්ජුරුවෝ තමයි මේක මෙහෙයවන්නෙ. ඔහු පිස්සෙක් හැටියටයි අපි පෙන්වන්නෙ. මේ රටේ ඇත්ත කතා කරන අයව පිස්සෝ හැටියටයි මිනිස්සු දකින්නෙ. කවුරුහරි මේ රටේ සත්‍ය කතා කළොත් ඔහු හෝ ඇයව රට හඳුන්වන්නෙ පිස්සා කියලයි. මේ සිනමාපටයෙත් පිස්සෙක් ඉන්නවා. හැබැයි ඔහු කතා කරන්නෙ ඇත්ත. සත්‍ය කවදාවත් මරන්න බැහැ. ඒ තමයි ඇත්ත.

සුපර්ණා ගැන එහෙම දුලීකා කියද්දී සුපර්ණාගේ ළමා කාලය රඟන කෙනාරා එක්කත් පොඩ්ඩක් කතා කරන්න අපි අමතක කළේ නැහැ.

කෙනාරා.. දිගට තිබුණු කොණ්ඩේ කපන්න දුක හිතුණෙ නැද්ද..?
චුට්ටක් දුක හිතුණා. ඒත්.. මේ චිත්‍රපටය ගොඩක් ලස්සනයි. කොණ්ඩෙ ඉතින් වැවෙනවනෙ. ඒ නිසා මම කොණ්ඩේ කපන්න කැමති වුණා. ඒ කාලේ මම නර්සරි ගියා. එතකොට මම ගොඩක් චූටියි.

දවස් කීයක් කෙනාරාට සුපර්ණා චිත්‍රපටයේ ෂූටින් තිබුණද..?
මමයි අම්මයි දුලීකා ආන්ටිලා එක්ක දවස් පහක් විතර ෂූටින්වල හිටියා. ඒ කාලය ෂෝක්. දුලීකා ආන්ටි සැරෙන් සැරේ ඇවිත් ඕනෙ මොනවද? කියලා අහනවා. සුජීව අංකලුයි දුලීකා ආන්ටියි හරි හොඳයි. මට ඒ දෙන්නා ගොඩක් ආදරෙයි. මම ඒ චිත්‍රපටයේ රඟපෑවේ හරිම ආසාවෙන්.

සුපර්ණා බැලුවනෙ.. කෙනාරාට ආස හිතුණද..?
ඔව්.. ගොඩක් ආසයි. මගේ අක්කා සුනාමි චිත්‍රපටයේ රඟපෑවා. ඉතින් දැන් අපි දෙන්නගේම චිත්‍රපට දෙක පෙන්නනවා. මට සතුටුයි. මුලින්ම චිත්‍රපටය බැලුවේ මගේ අම්මයි තාත්තයි අක්කයි එක්ක එකට ඉඳගෙනයි. චිත්‍රපටය බල බලා ඉඳිද්දී අක්කා ඔයා ෂෝක් කියලා කිව්වා. 

 

► Text - Dishani / Pic – Sumudu