2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා

චමා...නිදා ගත්තා ඇති දැන් ඉතින් නැගිටින්න...

 2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා, ප.ව. 12:31 243

චාමර ප්‍රියදර්ශනගේ උපන් ගම නුවර තෙල්දෙණියයි. පුංචි කාලේ ඉඳන්ම නළුවෙක් වෙන්න හීන ඇහින්ද චාමර කොළඹට එන්නෙ කොහොමහරි නළුවෙක් වෙන හීනය හැබෑකර ගන්නයි. කොළඹට ආපු චාමරට ඇවිදගෙන යන්න මල් මාවත් තිබුණෙ නැහැ. කොළඹ නාට්ටාමිලා නිදාගන්න තැන්වල පවා චාමර නිදාගත්තු බව වරෙක කොහෝ හෝ තැනක දී කියා තිබුණා මතකයි.

මහේන්ද්‍ර පෙරේරා, නැත්නම් අපේ කලා ක්ෂේත්‍රයේ ආදරණීය ලොකු අයියා චාමරගේ හීනය හැබෑ කරන්නට අත දෙන්නෙත් මේ උත්සාහයේ ප්‍රතිඵලයක් විදිහටයි. එතැන් සිට චාමර ලොකු අයියාගේ වැඩමුළුවලට සහභාගි වෙමින් නළුවෙක් වෙන්න උත්සාහ දැරුවා.

&2004 දී මම සතියේ දවස් පහේම රංග සහ නාට්‍ය වැඩමුළුවක් පැවැත්වුවා. ඒකට චාමරත් මුලින්ම සම්බන්ධ වුණා. ඒ ආපු දවසේ ඉඳන් චාමර හරිම උනන්දුවෙන් වැඩ කළා. චාමර මේ ෆීල්ඩ් එකේ ගොඩනැගෙන්න, හොඳ ස්ථාවරයක් හදාගන්න පුදුම උත්සාහයක් දරපු කොල්ලෙක්. ගෝලයෙක්ටත් වඩා සහෝදරයෙක් යාළුවෙක් වගේ සම්බන්ධකමක් අපි අතරේ තියෙනවා. කාලයක් ගියාට පස්සෙ මගේ හැම වැඩමුළුවකටම ලොකු සපෝට් එකක් චාමරගෙන් ලැබුණා. හැම වැඩකදීම කිසිම කම්මැලිකමක් නැතිව හරිම උනන්දුවෙන් ඒ වැඩ ටික කළා. ගොඩක් අවංක ගරුත්වයක් තියෙන හොඳ යාළුවෙක්. 
චාමර ගැන ඒ මතකය අවදි කළේ මහේන්ද්‍රයි.

චාමර අනතුරට පත්වුණේ පෙබරවාරි මාසේ පහළොස් වැනිදා. ඒ කියන්නෙ පෙම්වතුන්ගෙ දිනය ගෙවිලා පැය දෙකකුත් විනාඩි හතළිස් පහක් විතර ගෙවුණාට පස්සෙ. චාමරගේ උපන් දිනය යෙදිලා තිබුණෙත් පෙබරවාරි මාසෙ හය වැනිදාටයි. පෙබරවාරි මාසේ පහළොස් වැනිදා චාමරත් තවත් මිතුරකුත් තලවතුගොඩට යතුරුපැදියකින් පැමිණියේ බඩගින්නට යමක් කෑමේ බලාපොරොත්තුවෙන්. චාමර යතුරැපැදිය පිටුපස වාඩිවෙලා හිටිය බව තමයි ආරංචි වෙන්නෙ. නොසිතූ මොහොතක යතුරුපැදිය තලවතුගොඩ හන්දියේ ලයිට් කණුවක හැපීමෙන් චාමරගේ හිසට බරපතළ හානි සිදුවුණා. ඒකට ප්‍රධාන හේතුව වෙන්නෙ චාමර තමන්ගේ හිස්වැසුම අඩමානයට පැළඳ සිටීම නිසා අනතුරු සිදුවීමත් සමඟ හිස්වැසුම හිසෙන් විසි වී යාමයි.
ඒ මොහොතේ සිට අද දක්වාම චාමර ඉන්නෙ කොළඹ මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයෙයි. හිසට සිදුවූ බරපතළ හානියත් සමඟ වෛද්‍යවරුන් ඉතා ඉක්මනින් චාමරගේ හිස ශල්‍යකර්මයකට ලක් කළා.

මේ දවස්වල සෙනසුරාදා මම කරන වැඩමුළුවක් තියෙනවා. ඒ සෙනසුරාදාත් මම ඒක කරන්න එතැනට ගියා. චාමර කියන්නෙ හරියට වෙලාවට එන කෙනෙක්. වෙනදාට මටත් කලින් එතැනට ඇවිත් මම එනකම් ඉන්නවා. මම එදා ගිහින් බලද්දී චාමර ඇවිත් හිටියේ නැහැ. මම ටික වෙලාවක් බලලා කෝල් කරන්න ෆෝන් එක අතට ගනිද්දීම මට කෝල් එකක් ආවා.

මහේන්ද්‍ර කියන්නෙ එහෙමයි. ඒ චාමර ගැන තවත් යාළුවෙක් කියපු අසුබ ආරංචියයි.

ඉක්මනින්ම ලොකු අයියාත් තවත් කිහිප දෙනකුත් මහ රෝහලට ගිය විටදී දකින්න ලැබුණේ කිසිවෙක් අපේක්ෂා නොකරපු දසුනක්.
චාමරගේ තවත් ළඟම යාළුවෙක් තමයි දසුන් පතිරණ. දස්සායි චාමරයි එක්තරා කාලයක දී එකම නිවෙස් බොහෝ කාලයක් නැවතිලා ඉඳලා තියෙනවා. ගම්වලින් කොළඹට එන බොහෝ අය නවතින්නෙ දසුන්ගෙ ගෙදරයි.


චාමායි මමයි අවුරුදු ගාණක් තිස්සෙ හොඳම යාළුවෝ. මහේන්ද්‍ර අයියගේ work shop එකෙන් තමයි චාමාව මම හඳුනාගත්තෙ. චාමා කියන්නෙ පට්ට හොඳ එකෙක්. කාටවත් වරදක් කරන්නෙ නැති එකෙක්. මෙයා වලියකටවත් යන්නෙ නැහැ. ඒවාට බයයි. ගොඩක් අහිංසකයි. හැමවෙලේම කාටහරි විහිළු කතාවක් කිය කියා ඉන්නවා. ඒ නිසා හැමෝම ආදරෙයි. ගේම් ගහන වැඩ, කුහක වැඩ චාමා ගාව නැහැ. චාමාට ඒවා තේරෙන්නෙ නැහැ. චාමාට අනතුරක් වෙලා කියලා මට සෙනසුරාදා උදේ ආරංචි වුණා. චාමා හිත හොඳ එකෙක්. චාමා ඉක්මනට සනීප වේවි.

ඒ දසුන්ගේ අදහසයි.

චාමා... ක්ෂේත්‍රයේ අය චාමරට ආදරේට කියන්නෙ එහෙමයි. බලාපොරොත්තු ගොඩක් හිතේ තියාගෙන හිටපු චාමා ලස්සනට අඳින්න පළඳින්න ආසයි. වරෙක මිතුරකුට තම දෑත පෙන්වා මේ අත්වලින් මොන තරම් දේවල් මහන්සිවෙලා කරලා තියෙනවද අයියේ.. කියලත් තියෙනවා. චාමා ජීවිතේ කටුකත්වය උපරිමයෙන්ම විඳපු කොල්ලෙක්. ඒ විඳපු කට්ට නිසාම නැඟිටින්න උත්සාහ කරපු කොල්ලෙක්. 

චාමර ගැන අපිට විස්තර කිව්ව තවත් ඔහුගේ හිතවත් සඟයෙක් තමයි ගයාන් වික්‍රමතිලක. මේ දිනවල ගයාන් ටිකක් කාර්යබහුලයි. නමුත් චාමර ගැන අපි ගයාන්ගෙන් අහපු මොහොතේ දී ගයාන් අපිට ඒ විස්තර කිව්වෙ මේ විදිහටයි.


මහේන්ද්‍ර අයියාගේ work shop එකේ දී මුලින්ම මට මුණගැහුණු යාළුවා තමයි චාමර කියන්නෙ. එදා ඉඳන් මේ අනතුර වෙච්ච දවස වෙනකම්ම කිසිම වෙනසක් නැතිව හිටපු චාමර තමයි අදටත් ඉන්නෙ. චාමර කවදාවත් ශරීර ප්‍රමාණයෙන්වත් අදහස්වලින්වත් වෙනස් වුණේ නැහැ. චාමර නළුවෙක් වෙන්න, මේ කලා ක්ෂේත්‍රයේ යම් තැනකට එන්න සෑහෙන කට්ටක් කෑවා. චාමර යම් ස්ථාවරයකට පත්වෙද්දීම තමයි මේ අනතුරට මුහුණදෙන්න සිද්ධ වුණේ. මට චාමරගේ යාළුවෙක් විදිහට මේක දරාගන්න හරි අමාරුයි. අදටත් මට චාමරව බලන්න යන්න බැහැ. චාමර ඇඳක, එහෙම ඉන්න ඕන කොල්ලෙක් නෙමේ. හැම වෙලාවෙම අපිත් එක්ක හිනාවෙලා හරිම විනෝදයෙන් හිටපු අපේ මිතුරෙක්. චාමර මේ මොහොතේ දැඩි සත්කාර ඒකකයේ සුවවෙමින් ඉන්න අතරතුරේ එයාව බලන්න ගිහින් එයාට වදයක් වෙන්න මම කැමති නැහැ. ඒ නිසා පුළුවන් විදිහට අපි හැමෝම එකතුවෙලා චාමරට ඉක්මන් සුවය පතමු. 

ඒ ගයාන්ගේ පැතුමයි.

චාමරගේ හදිසි අනතුරෙන් ඔහුගේ දකුණු අතටත් අනතුරැ සිදු වුණා. හිසට ඇතිවුණු අනතුර නිසාම වෛද්‍යවරැන් ඔහුගේ හිස්කබල ඉවත් කර හිසේ සැත්කමක් සිදු කළා. සැත්කමෙන් පස්සෙ කිහිප වතාවක්ම චාමරට සිහිය ආවත් ඒ හැම මොහොතකම චාමර දඟලන්න උත්සාහ කළා. එයින් හිසට සෙලවීමක් සිදුවන නිසා ඒක වළක්වන්න වෛද්‍යවරැන් චාමරට නිදාගැනීම සඳහා ඖෂධ ලබා දෙන්නෙ එයාගෙම යහපත වෙනුවෙන්.

චාමා වෙනුවෙන් පවුලේ අය, ආදරණීය කලාකරුවන් කලාකාරියන් පමණක් නොව යාළුවන්, රසික රසිකාවියන් පවා කැලණි විහාරයේ පිල්ලෑව බෝධීන් වහන්සේ ඉදිරියේ පමණක් නෙමේ, බොහෝ තැන්වල බෝධිපූජා පවත්වන්නෙ ඔහුට නිරෝගී සුව පතලයි. 

චාමා.. දැන් නිදාගත්තා ඇති. නැඟිටලා ආයේ වැඩ පටන්ගමු..
ඒ හැමෝගෙම පැතුමයි.

 

Text - Dishani   /  Pic –   Internet