2020 ජනවාරි 18 වන සෙනසුරාදා

පද හදන මිනිස්සු ගැන කලකිරෙනවා

 2020 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 12:31 350

හා හා පුරා කියලා 2020 ලබද්දී නෙහාරා ආරම්භ කරපු මේ අලුත් වැඩ කටයුත්ත මොකක්ද..?
මම ඩාන්සින් ස්ටූඩියෝ එකක් ආරම්භ කළා. ඒකෙ නම Nehara Dancing Studio. ඒ සමඟම N wear නමින් ඇඳුම් ලේබලයකුත් ආරම්භ කළා. ඒ වැඩ කටයුත්ත 2020 අවුරැද්දේ ජනවාරි මාසේ තමයි පටන් ගත්තෙ.

මේ වැඩ කටයුත්තෙදි ඉගැන්වීම් සඳහා කිහිප දෙනෙක් එකතුවෙලා ඉන්නවා නේද..?
ඔව්.. මෙතනදී මම ක්ලාස් කරන්නෙ නැහැ. ඒ සඳහා පිළිගත් නර්තන ගුරැවරැන් සම්බන්ධවෙලා ඉන්නවා. මේ වන විට අසංග ද සිල්වා හිපොප්, බොලිවුඩ් ක්ලාස් කරනවා. අමිල යෝගා ක්ලාස් කරනවා. ඊට අමතරව Zumba, ලැතින්, බෝල්රූ ක්ලාස් කරනවා. තව කිහිප දෙනෙක්ට නර්තන ක්ලාස් සඳහා කතා කරලයි තියෙන්නෙ. ඉතින් ඒ හැමදේම ඉතා ඉක්මනින් ආරම්භ කරාවි.

මෙවැනි කටයුත්තක් කරන්න හිතුණෙ නෙහාරටද..?
ඔව් මට. මේනකටයි මටයි දෙන්නටම මේ ආසාව ඇතිවුණා. අපි දෙන්නා අමෙරිකාවේ ඉඳිද්දී තමයි මේ අදහස ආවෙ. අපි දෙන්නා අමෙරිකාවේ ඉඳිද්දී ව්‍යායාම කරන්න හරි කැමතියි. කොච්චර කාර්යබහුල වුණත් අමෙරිකාවේ ඉඳිද්දීත් ජිම් එකට යන්න අපි දෙන්නා අමතක කළේ නැහැ. අමෙරිකාවේ හිටපු කාලයේදී අපි ජිම් කිහිපයකටම ගිහින් තියෙනවා. එක එක කායවර්ධන මධ්‍යස්ථාන විවිධයි. ඒ අයගේ කණ්ඩායම් පන්ති ඒ රටේ තිබුණා. බොහෝ වෙලාවට මම ඒ කණ්ඩායම් පන්තිවලට සහභාගි වුණා. මම ඒකට යන්න ආස කළා. ඒ නිසාම ස්ටූඩියෝ එකක් දාන්න ඕනෙ කියලා අපි දෙන්නටම හිතට ආවා.

ලංකාවට ආවට පස්සෙ දෙන්නම ඒකට මහන්සි වුණා..?
ලංකාවට ආවට පස්සෙ ඒහෙම එකක් පටන් ගන්න ඕනෙ කියන අදහස අපිට ඇතිවුණේ නැහැ. මුලින්ම මට මියුසික් වීඩියෝ එකක් කරන්න ඕන වුණා. ඒ දේ මම කළා. ඊටපස්සෙ Nehara Jewelry collection by stone n string නමින් ජුවලරි කිහිපයක් හඳුන්වා දුන්නා. අමෙරිකාවේ ඉඳන් ලංකාවට එද්දී මට ඉලක්ක කිහිපයක් තිබුණා. ඒ අනුව තමයි ඒ ඉලක්ක දෙක මම ඉටුකර ගත්තෙ. ඊටපස්සෙ අපිට දවසක් මල්ශ්‍රී හංසව මුණගැහුණා. ඔහු එංගලන්තයෙදී ලැතින් නර්තනය ප්‍රගුණ කරපු කෙනෙක්. එයා නෙහාරා ඩාන්සින් ක්ලාස් එකක් පටන් ගන්නෙ නැත්තෙ ඇයි? කියලා අපිට ආයෙත් අර අපේ ආසාව මතක් කළා. මම අමෙරිකාවේදී සුම්බා හොඳටම ඉගෙනගෙන තියෙනවා. සහතික ලබාගෙන තියෙනවා. මේකටත් මට ක්ලාස් එකක් කරන්න කියලා කිව්වට මම ඒකට කැමති වුණේ නැහැ. මට ඒක ලොකු වගකීමක්. ක්ලාස් එකක් පටන් ගත්තොත් මම ෂූටින් යද්දී අතපසු වෙනවා කියන අදහස මට ඇතිවුණා. මම කරන වැඩේ වගකීමෙන් කාටවත් පාඩු වෙන්නෙ නැති විදිහට කරන්න ඕන වුණා. ඒ නිසා තමයි අපි මෙහෙම ස්ටුඩියෝ එකක් කරන්න පටන් ගත්තෙ.

නර්තන ඉගැන්වීම්වලට අමතරව තවත් නිර්මාණවලට Nehara Dancing Studio වෙන්කර ගන්න පුළුවන් නේද..?
ඔව්.. මේ තැන වැඩමුළුවලට, නර්තනවලට වගේම නාට්‍ය පුහුණුවීම්වලටත් අපි වෙන් කරනවා. ඒ සඳහා අවශ්‍ය සියලුම පහසුකම් මේ ස්ටූඩියෝවෙන් ලැබෙනවා. සමහරු අපිට කෝල් කරලා ඒ අයට විවාහ උත්සවයේදී නර්තන අංග ඉදිරිපත් කරනවද කියලා අහනවා. ඒ දේවලුත් අපි කරනවා. ඒ වගේ බොහෝ නිර්මාණ කටයුතු ඉදිරියේදී අපේ ස්ටූඩියෝ එකේදී කරනවා. මේ අතරේ අපි ඒ වෙනුවෙන් සුදුසු තැනක් හොයද්දී අහම්බෙන් තමයි මේ තැන දකින්න ලැබුණෙ. ඒකත් අපේ වාසනාවක්. 

N wear ටිකක් වෙනස්..? 
ඔව්.. මට ව්‍යායාම කරද්දී අඳින ඇඳුමක් කරන්න මුලදී ඕන වුණා. අමෙරිකාවෙදී අපිට ක්ලාස් බොහොමයකට සහභාගි වෙන්න අවස්ථාව ලැබුණා. ඒ වෙනුවෙන් Zumba ඇඳුම් පවා වෙනම තියෙනවා. මම ඒවාට හරි ආසයි. ඒ නිසා හැමදෙයක්ම තියෙන දේට වඩා ටිකක් වෙනස් දෙයක් කරන්න මට ඕන වුණා. ලංකාවෙදී Kids Zumba නැති තරම්. ඉතින්.. මේ දේවල් හඳුන්වා දෙන්නත් මම බලාපොරොත්තු වෙනවා. ලංකාවේ වෙළෙඳපොළට Zumba fashion මගේ නමින් කරන්න මට ඕන වුණා. දැන් ඒකට පොඩි උත්සාහයක් අරගෙන තියෙනවා.

අවුරුදු ගාණකට පස්සෙ ආයෙත් ෆීල්ඩ් එකට එකතු වෙන්න නෙහාරාට අවස්ථාව ලැබුණා..?
ඔව්.. ඒ ගැන මට සතුටුයි. මම මේ ක්ෂේත්‍රයට ඇවිත් දැන් අවුරුදු දොළහක් විතර වෙනවා. රට යනතුරුම මට ක්ෂේත්‍රයේ කැපිලි තිබුණා කියලා මම දැනගෙන හිටියෙ නැහැ. සමහරවිට ඒ කාලෙදී මම එහෙම කැපිලි කෙටිලි නොතිබෙන්නත් ඇති. හැමෝම මාත් එක්ක සුහදව කතාබහ කළා. හැබැයි මම අමෙරිකාවට ගිහින් ආවට පස්සෙ කිහිප දෙනෙක් වෙනස් වුණා. මම ගොඩක් ගරු කරපු ආදරය කරපු දෙන්නෙක් තවත් අධ්‍යක්ෂකවරු දෙන්නෙක්ට මාව ඒ අයගේ නිර්මාණවලට ගන්න එපා කියලා තිබුණා. මම ඒ අයට කවදාවත් කිසිම වරදක් කරලා නැහැ. ඒ නාට්‍ය දෙකෙන්ම මාව අයින් වුණා. ඒ ගැන මට දුකක් නැහැ. හැබැයි මේ මිනිස්සු ගැන හිතට දැනුණේ ලොකු කලකිරීමක්. මිනිස්සු වෙනස් වෙනවා. හැබැයි වරදක් නොකර මෙහෙම මිනිස්සුන්ට හැසිරෙන්න පුළුවන්ද? සමහරු ෂූටින් කරද්දීත් මගේ පෙනුම ගැන කතා වෙනවා කියලා මට ආරංචි වුණා. හැබැයි ඒ අයගේ පෙනුම ගැන ඒ අය හිතන්නෙවත් නැහැ. තමන් ගැන හිතන්නෙ නැතිව අනුන්ට පද හදන, කැපිලි දාන මිනිස්සු එක්ක හිතේ තියෙන්නේ ලොකු කලකිරීමක්. ඒ නිසා අලුතින් මේ ක්ෂේත්‍රයට එකතුවෙන අයට මෙවැනි අයගෙන් පරිස්සම් වෙන්න කියලයි මම කියන්නෙ. බොරුවෙන් ජීවත්වෙන මිනිස්සු එක්ක එකතු වෙන්න එපා. තමන් තමන්ට අවංකනම්, තමන් තමන්ට ආදරේනම් මේ මොන කැපිලි ආවත් යන්න තියෙන ගමන කාටවත් නවත්වන්න බැහැ. මේක මගේ අත්දැකීමක් නිසාමයි මම කියන්නෙ.

හේලි එක්ක නෙහාරා ටිකක් වෙනස් චරිතයකින් දකින්න ලැබෙනවා..?
ඔව්.. ධනුෂ්ක රත්නායකගේ හේලි ටෙලිනාට්‍යයේ මම ඉන්නවා. ඒක හරි ලස්සන ටෙලිනාට්‍යයක්. මම හරිම ආසාවෙන් ඒකට එකතු වුණා. ලංකාවට ආවට පස්සෙ මේනකටත් මටත් ආරාධනා කිහිපයක්ම ලැබුණා. මේනකනම් ආපු ගමන් වැඩ පටන් ගත්තා. මටත් නිර්මාණ හයකට කතා කළත් හේතු කිහිපයක් නිසාම ඒවාට සම්බන්ධ වුණේ නැහැ. ඔය අතරේ තමයි ධනුෂ්ක අයියා මට හේලි නිර්මාණයට කතා කළේ. ඇත්තටම කිව්වොත් හේලි ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙන්න කලින්ම මම ධනුෂ්ක අයියගෙන් ප්‍රශ්න ගොඩක් ඇහුවා. ෂැනල්ගේ චරිතයයි මම කරන්නෙ. ඊට කලින් මම දුෂ්ඨයාගේ චරිතයක් කරලා තිබුණෙ නැහැ. අනික මේක අලුත් දෙයක්. මගේ ඇඳුම, සපත්තු දෙක, කොණ්ඩය පවා මේකෙ වෙනස්. ඒ වගේම මේ නිර්මාණයට සම්බන්ධ වෙලා ඉන්න අශාන් ඩයස් වගේම අනෙකුත් නළු නිළියන් නිසාම මම මේ චරිතය කරන්න බාර ගත්තා. රූගත කිරීම් කරද්දීත් හැමෝගෙන්ම සහයෝගය ලැබුණා. ඒ වගේම අධ්‍යක්ෂක ධනුෂ්ක අයියාටත් නිෂ්පාදක ගයාන්ටත් ගොඩක් ස්තූති කරන්න ඕනෙ. ධනුෂ්ක රත්නායක කියන්නෙ අද ඉතාම සාර්ථක අධ්‍යක්ෂකවරයෙක්.

නෙහාරාගෙ ඊළඟ ඉලක්කය මොකක්ද..?
මම දෙයක් කරලා කතා කරන්නයි කැමති. මට ලොකු හීන තිබුණෙ නැහැ. හැබැයි ඉලක්ක තියෙනවා. මගේ ජීවිත ඉලක්ක දෙකක් තියෙනවා. බලමු නේද..?
   

► Text - Jayamali   /   Pic -Sumudu