2017 මාර්තු 25 වන සෙනසුරාදා

දුර්වල පන්දු යැවුවොත් ගුටි ෂුවර්

 2017 මාර්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 139

නුවන් කුලසේකර, ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ නොමැකෙන සටහන් කීපයක් සටහන් කළ ක‍්‍රීඩකයෙක්. කුලසේකර අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය ද ඔහු හිමිකරගෙන සිටියා. 
ටෙස්ට් පිටියෙන් සමුගෙන සිටින මෙම දකුණතින් වේග පන්දු යවන්නා මේ වන විට එක්දින සහ විස්සයි20 තරගවලට සහභාගි වෙනවා. මෙම සතියේ ‘හදසර ක‍්‍රිකට් තරුව විශේෂාංගයට අපි එක්ක ක‍්‍රිකට් පිලේ වඩාත් නිහතමානී ක‍්‍රීඩකයෙක් ලෙස නුවන් කුලසේකරයි. නුවන් එක්ක අපි කතා කළේ එයා කැමතිම වේග පන්දු යවන්නන් ගැනයි.

ඔබ වඩාත් කැමති විදේශීය සහ දේශීය වේග පන්දු යවන්නන් කවුද?

මම පොඩි කාලේ ඉඳලම කොදෙව් හිටපු වේග පන්දු යවන්නකු වන කර්ට්ලි ඇම්බ්‍රොස්ට කැමතියි. ඒ මොකද කිව්වොත් ඔහු ක‍්‍රීඩා කරන ආකාරය, ඒ වගේම ඔහුගේ වේග පන්දු යවන්නකු ලෙස දැවැන්ත ශරීරිය මගේ හිතට වැදිලා තිබුණා. 
ශ්‍රී ලංකාවේ හිටපු වේග පන්දු යවන්නන්ගෙන් රවී රත්නායක සහ රුමේෂ් රත්නායක යන ක‍්‍රීඩකයෝ පන්දු යවනවා බලන්න මම කැමතියි. ඒ ක‍්‍රීඩකයෝ පන්දුව දෝලනය කරන ආකාරය ඒ වගේම පන්දුව දෝලනය සඳහා පතිත කරන ස්ථානය වගේ දේවල් ගැන මම විශේෂ අවධානයක් යොමු කරනවා. 

මෑත කාලයේදී වාස් අයියා (චමින්ද වාස්) සහ ලසිත් (ලසිත් මාලිංග) යන පන්දු යවන්නන්ට මම ගොඩක් කැමතියි.

ඔබ ජාතික කණ්ඩායමට පැමිණීමට පෙර අනුකරණය කළ ක‍්‍රීඩකයෙක් ඉන්නවද?

එහෙම කෙනෙක් කියලා විශේෂයක් නෑ. මම අනුකරණය කළේ නෑ. ඔවුන්ගෙන් ඇතැම් දේවල් ලබාගත්තා. වසීම් අක‍්‍රම්, වකාර් යුනිස්, බ්‍රේට් ලී සහ ජේම්ස් ඇණ්ඩසන් වැනි ක‍්‍රීඩකයන් පිළිබඳව අවධානය යොමු කළා. පන්දුව දෝලනය කරන ආකාරය වගේ දේවල් තමයි ලබාගත්තේ. 

 කර්ට්ලි ඇම්බ්‍රෝස්ගේ දැවැන්ත ශරීරය මගේ හිතට වැදුණා 

ශ්‍රී ලංකාවේ තරුණ වේග පන්දු යවන්නන් ගැන අදහස කොහොමද?

අපිට පසුගිය වසර පහක පමණ තුළ තරුණ හොඳ වේග පන්දු යවන්නන් රැසක් ඉන්නවා. විශේෂයෙන් වයස 19 න් පහළ පිලෙන් දක්‍ෂ පන්දු යවන්නන් දෙන්නෙක් ආවා. ළහිරු කුමාර හොඳින් ක‍්‍රීඩා කරනවා. අසිත ප‍්‍රනාන්දු ටෙස්ට් සංචිතයේ සිටියා. ඒක ඉතාමත් හොඳ තත්ත්වයක්. ඒ ක‍්‍රීඩකයන්ට පුළුවන් වසර දෙකක් විතර යන විට ජාත්‍යන්තරට ඉතාමත්ම හොඳින් අනුගත වෙන්න.

ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයෙක් වන ඔබගෙන් තරුණ ක‍්‍රීඩකයන් උපදෙස් ලබාගත් අවස්ථා තිබෙනවද?

අනිවාර්යෙන්ම. මම කිසිඳු පැකිලීමක් නැතුව මගේ රටේ හෝ වෙනත් රටක හෝ ක‍්‍රීඩකයකු මගෙන් කිසියම් දෙයක් ඇහුවොත් කියලා දෙනවා. මම ඉගෙනගත්තු දේ කියලා දෙන්න මම වඩාත් කැමතියි. 

පුහුණුවීම්වලදී අපේ යොවුන් ක‍්‍රීඩකයෝ මගෙන් පළමු  ඕවර 10 පන්දු යවන විට සහ අවසන් ඕවර යවන විට කරන වෙනස්කම් පිළිබඳව අහනවා. මම ඉතාමත්ම කැමැත්තෙන් මගේ අත්දැකීම් ලබා දෙනවා.

 මගේ උපරිමයන අදද හෙටද කියලා දන්නෙ නෑ... 

ඔබට පන්දු යැවීමට වඩාත් අසීරු පිතිකරුවකු ඉන්නවද?

ජාත්‍යන්තර තලයේ ක‍්‍රිස් ගේල්, විරේන්ද්‍ර සෙවැග්, ඇඩම් ගිල්ක‍්‍රිස්ට් වැනි පිතිකරුවන්ට පන්දු යැවීම අසීරුයි. මොකද ඒ පිතිකරුවන්ට දුර්වල පන්දුවක් යැවුවොත් ගැලවීමක් ලැබෙන්නේ කලාතුරකින්. සෙසු පිතිකරුවෝ සහ මේ සුවිශේෂි පිතිකරුවෝ අතර වෙනස ඒකයි. දුර්වල පන්දු යැවුවොත් ගුටි කන්න තමයි වෙන්නේ.  

මෑතක සිට පුහුණුවීම්වලදී නිරෝෂන් දික්වැල්ලට පන්දු යැවීම අසීරුවෙලා තියෙනවා. 

ඔබට දැන් වයස 34 ක් ක‍්‍රීඩාවේ අනාගතය ගැන හිතලා තියෙනවද?

ඒක ඉතින් එහෙම කියන්න බෑ. ඒක කරන්න වෙලාවක් එයි. මම හිතපු නැති වෙලාවක ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියට ආවා. හොඳින් පන්දු යැව්වා. දැනුත් උපරිමයෙන් ක‍්‍රීඩා කරනවා. අද ද හෙට ද කියලා කියන්න බෑ. 

Text — Yohan / Pic-internet