2020 අප්‍රේල් 04 වන සෙනසුරාදා

අපේ උන් එකෙකුට හැදුණාම දහදෙනෙකුට බෝකරන්න හදන්නේ

 2020 අප්‍රේල් 04 වන සෙනසුරාදා, පෙ.ව. 12:01 670

කොරෝනා වෛරසයත් එක්කම කලාකරුවන් සියලුදෙනාටම ගෙදරටම වෙලා ඉන්න වෙලා. දුලීකාත් දැන් ඉන්නේ ගෙදර...?
ඔව්... මොනව කරන්නද...? හැබැයි ගමක නම් මනුස්සයෙක් ගෙදරකට ගිහින් බෝ කරනව හැරෙනවට ගෙයින් ගෙට බෝ කරන ප්‍රවණතාවය අඩුයි. ඒකට හේතුව වෙන්නේ නගරයට වඩා ගම්වල ගෙවල් තියෙන්නේ ටිකක් අඩුවෙන්. නමුත් කොළඹ නම් ගෙවල් පිහිටලා තියෙන්නේ බොහෝ ළඟකයි. ඉතින් අද අපිටත් ගෙවල්වලට ඉන්න සිදුවෙලා තියෙනවා. හැබැයි නිලධාරිවරැන් කොච්චර කට කැඩෙනකම් කිව්වත් මේ ඇඳිරි නීතිය පොඩ්ඩක් ලිහිල් කරපු ගමන් මිනිස්සු අනෙකා ගැන නොසිතා පොරකාගෙන බඩුගන්න පෙළඹෙනවා. ඒ තරමටම ඔවුන් හරිම ආත්මාර්ථකාමියි. තමන්ට කොරෝනා ආවොත් ඒක දහදෙනකුට බෝ කරන්නේ කොහොමද කියලයි ඒ බොහෝ දෙනා හිතන්නේ.

මුහුණ පොත (Face book) හරහාත් සමහරැන් අසත්‍ය තොරතුරු හුවමාරු කරගන්නට උත්සාහ ගන්නවා. දුලීකාට මේ ගැන මොකද හිතෙන්නේ?
කොතරම් ගුණ කළත් දුදනෝ නොවෙති යහපත් ඒක තමයි ඇත්ත. ඇතැම් මිනිස්සු හැමවෙලේම උත්සාහ කරන්නේ අනෙකාට අමු තිත්ත කුණුහරුපයෙන් බැණලා, කිසිම ගෞරවයක් නැතිව නරක විදිහට විවේචනය කරන්නයි. අනුන්ට මහ නරක විදිහට බණින එක එච්චර හොඳ දෙයක් නෙමේ. යම් වැරැද්දක් තියෙනවා නම් ඒකට තමයි රටේ නීතියක් කියලා දෙයක් කියන්නේ. ඔහු වැරදිකාරයෙක් නම් නීතිය ඉදිරියේ ඒ දඬුවම් ඔහුට හිමිවේවි.

අද ගිලිහිලා තියෙන්නෙත් මේ රටේ මිනිස්සු තුළ තිබුණ ඒ මනුස්සකම නේද?
ඔව්නේ... මේ මොහොතේ මම කියන්නේ ඔබ ඔබට ආදරේ කරන්න... ඒ තුළින් ඔබ මේ රටට ආදරේ කරාවි. තමන් තමන්වම ආරක්ෂා කිරීම තුළින් අනෙකාත් ආරක්ෂා වේවි. එවිට මේ රට ආරක්ෂා වෙනවා. මීට වසර ගාණක් උඩදී සිට අපි බොහෝ කියපු දෙයක් තමයි තමන් ජීවත්වෙන වටපිටාවේ කොස් ගසක්, අමු මිරිස් පැළයක්, තක්කාලි පැලයක්, එළවළුවක් ඉන්දවා ගණින්. වස විස ගහන්නේ නැතිව ගෙදරට කෑම ටිකක් ගන්න පුළුවන් විදිහට වැඩ කරපං කියලා.

ඒ කියන්නේ මේ දඬුවම අපිට දුන්නේ මේ ස්වභාව දහමයි..?
ඔව්... අනිවාර්යයෙන්ම. මේ ස්වභාව දහම අපිට හොඳ දඬුවමක් ලබලා දුන්නා. දැන් අපි එහෙම වවාගෙන තිබුණ නම් අපිට අඩුම ගාණේ මේ මොහොතේදීවත් ඒක ප්‍රයෝජනයට ගන්න තිබුණා. පිස්සුද අනේ... මට තියෙන්නෙත් පර්චස් හතරයි කියලා සමහරු කියාවි. නමුත් මේ පොඩි ඉඩ ප්‍රමාණයක් තිබෙන අයට වුණත් පොච්චිවල එළවළු පැල වවන්න පුළුවන්නේ මල් ගස් වෙනුවට එළවළු පැල ටිකක් වවන්න.

පසුගිය දිනවල දුලීකා අසරණ වුණු මිනිසුන් පිරිසකට උපකාර කළා...?
ඔව්... හැබැයි ඒ කිසිදු වාසියක්වත්, ප්‍රසිද්ධියක්වත් බලාපොරොත්තුවෙන් නෙමේ. මේ මොහොතේදී මම කලාකාරියකටත් වඩා මේ රටේ ජීවත්වෙන මනුස්සයෙක් විදිහට මගේ ළඟ තිබෙන දෙයින් යමක් නැතිබැරි වුණ කෙනෙක් එක්ක බෙදාහදා ගත්තා. ඒ වෙලාවේදීත් මමත් පුළුවන් තරම් ආරක්ෂා වෙලා ඒ මිනිස්සුන්වත් ආරක්ෂා කරගෙන පුළුවන් විදිහට ඔවුන් ළඟට ගොස් ඒ මිනිස්සුන්ට සතියකට, දෙකකට අවශ්‍ය බඩු මල්ලක් ගිහින් දුන්නා. මේ රටේ මිනිස්සුන්ගේ අතේ සල්ලි නැත්නම් එළවළු ලොරි, බඩු ලොරි වැඩවල් ගාවට ආවට වැඩක් නැහැ. එදිනෙදා රුපියල් පන්සීයක් දාහක් හොයපු අහිංසක අසරණ මිනිස්සු කොටසක් අපේ රටේ ජීවත් වෙනවා. ඒ මිනිස්සුන්ගේ ආදායම සම්පූර්ණයෙන්ම නතර වෙලා. ඒ නිසා අපි ගාව තියෙන යම් අතිරික්තයක් තමන්ගේ අසල්වාසී අසරණ මිනිස්සු එක්ක බෙදාගන්න. පොඩ්ඩක් මේ මොහොතේ ඒ අහිංසක මිනිස්සු ගැනත් බලන්න. මුහුණු පොතේ ඉඳගෙන එක එක්කෙනාට කෑගහගෙන බැණ ගන්නවාට වඩා තමන් ජීවත්වෙලා ඉන්න වටපිටාවේ බඩගින්නේ ඉන්න මිනිහෙක්ගේ බඩගින්න නිවන එක වටිනවා. අපි ආරක්ෂා වෙනවා එක්කම මේ අසරණ මිනිස්සු ගැනත් හිතන්න. ලෝකේ මෙච්චර කාලයකට මනුස්සයන්ව දුරස් කරන ලෙඩක් මේ වෙද්දී හැදිලා තිබුණේ නැහැනේ. මේක එක්තරා විදිහක මුළු ලෝකයටම පොදුවුණ යුද්ධයක්. මේ යුද්ධයේදී තව මනුස්සයෙක්ට තමන් ළඟට එන්න දෙන්නේ නැහැ. අපි මොනතරම් මනුෂ්‍යත්වය තියෙන මනුස්සයෙක් වුණත් අපිට තව කෙනෙක්ව දුරස් කරලයි තියෙන්නේ. ස්වභාව දහමත් එක්ක ජීවත් වෙන මනුස්සයාව හැමවෙලේම මේ ස්වභාව දහම ආරක්ෂා කරනවා. අපි හැමෝම මේ ස්වභාව දහම එක්ක මීට වඩා සමීපව ජීළුත් වුණා නම් මේකට අපිට මීට වඩා හොඳින් මුහුණ දෙන්න තිබුණා. මේක මුළු ලෝකයෙන්ම තුරන් විය යුතුමයි. ඒ නිසා අපි හැමෝගේම පැතුම වෙන්නේ මේ වෛරසය මුළු ලෝකයෙන්ම තුරන් වී අපිට මේ නිසාම දහමත් එක්ක ජීවත්වෙන්නට හැකි වටපිටාවක් ගොඩනැගීමයි.

 

► Text — Suranga