2018 ජනවාරි 13 වන සෙනසුරාදා

කෝණ මාස සලකන්න ඕනෑද?

 2018 ජනවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 3058

කෝණ මාසවල ශුභ කටයුතු ආරම්භ නොකළ යුතු යැයි ජනතා මතයක් පවතී. ඇතැම් ජ්‍යොතිෂවේදීන් කෝණ මාස යැයි කියා සමහර මාසවල නැකැත් තනා නොදෙන බවක්ද පෙනෙන්නට තිබේ. ඔවුන් පවසන්නේ අවශ්‍යතාව හොඳ නැකතක් එනතුරු ප්‍රමාද කළයුතු බවය. මෙහිදී සිදුවන්නේ අවශ්‍ය කටයුතු ප්‍රමාදවීමය. තමන්ට අවශ්‍ය දෙයක් ඉටුකර ගැනීම සඳහා කෝණ මාස ඉවත් වනතුරු බලා සිටීම නිසා විශාල පාඩු සිදුවීමටද ඉඩ ඇත. මේ තත්ත්වය වර්තමාන තාක්ෂණික යුගයට සුදුසුවේද? මෙහිදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ ප්‍රකට ජ්‍යොතිෂවේදීහු දෙදෙනෙක් මෙසේ කියති.

උගත් ජ්‍යොතිෂවේදියකුගේ උපදෙස් ගතයුතුයි

ජ්‍යොතිෂයේදී කෝණ මාසයක් ලෙස හැඳින්වෙන්නේ නැකැත් නොමැති කාල පරාසයක් බව සඳහන් වේ. සාමාන්‍යයෙන් ජනතාව ජ්‍යොතිෂ සිද්ධාන්ත අනුව කටයුතු කිරීමේදී රාහුකාලය, මරු සිටින දිසාව වැනි අශුභ හෝරා මෙන්ම ශුභ හෝරාවන්ද සැලකිල්ලට ගනී. ඒ හා සමානව පෙබරවාරි මාසය අඩු මාසයක් සේ සලකා නැකැත් කටයුතු යොදා නොගන්නා සිරිතක්ද තිබේ.

අතීතයේ සිට ජ්‍යොතිෂය හා බැඳුණු ජනතාව ඒ හා සම්බන්ධ විශ්වාස අනුව නැකැත් නැති කාලයන් තුළ කිසිදු ශුභ කටයුත්තක් යොදා නොගැනීමෙන් මෙය මනාව වටහාගත හැකිවෙයි. අදද ඒ පිළිබඳ සැලකිලි දක්වන්නෝ වෙති.

වාස්තු විද්‍යා කටයුතු, විවාහ කටයුතු වැනි භාරදූර නැකැත් අශුභ හෝරාවල නොගැනීමට වග බලා ගනී. වාස්තු විද්‍යාවේදී මෙම කෝණ මාසය පෘථිවියේ චුම්භක ශක්ති බලය වැඩි කාලයක් ලෙස හඳුන්වා තිබේ. නව නිවාස ඉදිකිරීම්, වහළ ගැසීම්, ගෘහ ප්‍රවේශයන් නොකළ යුතු බව දැක්වේ. මෙහිදී අපද වටහාගත යුත්තක් තිබේ. එනම් සියල්ල එලෙසින්ම අවිචාරවත්ව පවත්වාගෙන යන්නේද නැතහොත් අවබෝධය පදනම් කර ගනිමින් කටයුතු කරන්නේද යන්නයි.

යම් කෙනෙකුට මේ කෝණ මාස කාලය තුළදී හදිසි නැකතත් අවශ්‍ය වුවහොත් නැකත් නොයෙදෙන කෝණ මාසයෙන් බැහැර දිනයක් උදාවනතුරු බලා සිටිය යුතුද? මෙහිදී මිනිස් සිත් තුළ ජනිත වන බිය, සැකය හා අන්ධ විශ්වාසයද බැහැර කරන්නට සිදුවේ.

නැකතක් එනතුරු බලා සිටි තමාගේ දෛනික අවශ්‍යතාවයන් ප්‍රමාද වීමෙන් බොහෝ කටයුතු අසාර්ථකවීමට හේතුවෙයි. යමෙකුට යමක් කළයුතු වේද  එය කළයුතු කාලයේදීම කරන්නට අවශ්‍ය වේ. පමා කිරීම සුදුසු නොවේ. යනුවෙන් ශිවාලිකිතය නැමති නැකත් ග්‍රන්ථයේද දක්වා තිබේ. එසේම ඇති කරනු ලබන නැකත් දෝෂයක් වී නම් එම දෝෂ දුරු කර ගැනීමේ ක්‍රමවේදයන්ද උගත් දෛවඥ මහතුන්ගෙන් විමසා දැනගත හැකිය.

කොපමණ හොඳ නැකැත් කාලයක යමක් කළත් ග්‍රහ බාධක, ඒරාෂ්ටක දෝෂ ඇතිවී මිල මුදල් කරදර බාධක උද්ගත වීමට ඉඩ තිබේ. හොඳම නැකතක් යොදාගෙන ඉබේ දියුණු වනතුරු බලා සිටියහොත් එය සාර්ථකවේද? මේ නිසා හැමදේම ගැන දෙවරක් සිතන්න. බුද්ධියටද තැන දෙන්න. ජ්‍යොතිෂයටද ගරු කරන්න. බිය-සැක දුරු කරගන්න.

කෝණ මාසය තුළ හෝ වේවා පෙබරවාරි මාසයේ හෝ වේවා ඔබේ නැකත් කටයුතු දැන උගත් ජ්‍යොතිෂ මහතකු හමුවී ඉටුකරගතහොත් ඔබට වරදින්නේ නැත.

ජ්‍යොතිෂවේදී සමන් ගුණසේන
ඉහළ කොස්ගම

කෝණ දෝෂවලට මුළු මාසයම ඉවත් කළ යුතු නැහැ 

කෝණ මාස පිළිබඳ ඕනෑවට වඩා අවධානය යොමුකරන අය සිටින බවද පෙනෙන්නට තිබේ. සමහර ජ්‍යොතිෂවේදීන් ද කෝණ ගැන කියා ජනතාව භීතියට පත් කරන වග ‍පෙනෙයි.  හිරු හෙවත් සූර්යා නැතිව කිසිම දෙයක පැවැත්මක් නැති බව කවුරුත් දන්නා කරුණකි. අපි කවුරුත් සුබ කටයුත්තක් ආරම්භ කරන විට හොඳ වේලාවක් බලන්නේ එම කටයුත්ත වඩාත් සාර්ථකව කරගන්නටයි. ඉතින් හිරු හා සඳු මූලිකව අනිකුත් ග්‍රහයන්ගේ බලපෑමත්, දිනය, තිථිය, නැකත, යෝගය හා කරණය යන පංචාංග හා තවත් කාරණා රාශියක් උපයෝගී කරගනිමින් පුද්ගලයාට යහපත් ස්වාභාවික පරිසරය හඳුන්වා දීම ජ්‍යොතිෂ්‍ය ශාස්ත්‍රීය ක්‍රමයයි. මෙහිදී සූර්යාගේ චලනය තුළ දී සිදුවන සූර්ය දෝෂ ඇති විට සුබ කටයුතු ආරම්භ කිරීම සුදුසු නොවන බව ජ්‍යොතිෂ්‍යයේ සඳහන් වෙයි. එහිදී පෙන්වා දෙන්නේ එම අවස්ථාවේ දී ආරම්භ කළ කාරිය වැරදී පසුතැවෙන්නට සිදුවන බවයි. විශේෂයෙන් අවාහ විවාහ හා නිවාස ඉදිකිරීම් ආදිය ආරම්භයට නම් මෙම සූර්ය දෝෂ ඇති අවස්ථාවන් ඉතා අහිතකර බව කියවෙයි. පුද්ගලයාගෙන් පුද්ගලයාට පෞද්ගලිකව බලපාන සූර්ය දෝෂ ගණනාවකි. ඒවා නම් භූකම්පා, උල්කා, බ්‍රහ්ම දණ්ඩ, මෝහ, දූමකේතු, ව්‍යාතිපාත ආදියයි. නමුත් පොදුවේ කාටත් එක සේ බලපාන සූර්ය දෝෂයක් වන්නේ සූර්යාගේ කෝණයයි. මෙය සමාජගත වී ඇත්තේ සියලු සුබ ආරම්භයන් කෝණ මාසයේ අත්හල යුතු බවයි.

වසරක දී හෙවත් මාස 12 ක් තළ සූර්යා උතුරට හා දකුණට චලනය වීමේදී උතුරට ගොස් නියමිත සීමාවේ දී දකුණ බලා චලනය වන මොහොතත්, දකුණට ගොස් නැවත උතුර දෙසට චලනය වන මොහොතත් හා මේ යන ගමනේ දී පෘථිවියෙහි නිරක්ෂය හමුවන අවස්ථාවන් දෙකත් සූර්යාගේ කෝණයන් හැටියට හඳුන්වා දිය හැකියි.

එක් වර්ෂයක් තුළ දී අවස්ථා 4කදී මෙය සිදුවන අතර පුරාණයේ ඍෂිවරු මෙය සිදුවන මාස දක්වා තිබුණේ සූර්ය මාසවලිනි. ඒ අනුව මීන රවිය, මිථුන රවිය, කන්‍යා රවිය, ධනු රවිය වශයෙනි. එයින් අදහස් කර ඇත්තේ සූර්යා මීන රාශියේ ගමන් කරන දින 30 හෙවත් සාමාන්‍ය දළ වශයෙන් මාර්තු 15 සිට අප්‍රේල් 15 දක්වා කාලසීමාවටයි. මිථුන රාශියේ හිරු ගමන් කරන කාලසීමාව වන්නේ ජූනි 15 සිට ජුලි 15 දක්වායි. කන්‍යා රාශියේ දී හිරු ගමන් කරන දින 30 වන්නේ සැප්තැම්බර් 15 සිට ඔක්තෝබර් 15 දක්වායි. ධනු රාශියෙහි හිරු ගමන් කරන කාලසීමාව වන්නේ දෙසැම්බර් 15 සිට ජනවාරි 15 දක්වා කාලයයි. අසවල් මාසයේ කෝණය සිදුවෙනවා යැයි එදා මහ ඍෂිවරු සඳහන් කළත් එම මුළු මාසය පුරාවටම සූර්යා කෝණ වන බවක් ඒ අය පවසා නැත. සාමාන්‍යයෙන් කෝණය සිදුවන කාලයට අදාළ දින 3 පමණක් අශුභ බවයි කිව යුත්තේ. එය සිදුවන්නේ අග දින 15 වේ මැද දිනයන්දීය.

රාහු කාලය මෙන්ම කෝණ මාසය කෙරෙහි ද ජනතාව දක්වන්නේ භීතියක්. කෝණය සිදුවන මාසයේ කිසියම් පුද්ගලයකුට සුබ මුහුර්ථයක් සකස් කර දුන් ජ්‍යොතිර්වේදියා පවා අපකීර්තියට පත්වන අවස්ථාවන් ඇතිවන්නට තරම් කෝණ මාසය කෙරෙහි දක්වන ආකල්ප සමාජගත වී තිබීම කනගාටුදායකයි. ඒ නිසා වටහාගත යුත්තේ කෝණ මාසය අපල යැයි කියා මුළු මාසයම ඉවතලීම වැරදි බවයි. වර්තමාන කාර්යබහුල සමාජයේ හැම විනාඩියක්ම, පැයක්ම යම් කාර්යයක් සඳහා යොදවාගත යුතුයි. ඒ නිසා අපතේ යැවීම වැරදිය. කෝණ මාසය භීතියට පත්විය යුතු මාසයක් නොවන අතර සුළු කාලයක් හැර ඉතිරි කාලය මුළුමනින්ම යහපත් කාර්යයන් සඳහා යොදවාගත හැකියි. එබැවින් ගතානුගතික මතවලින් බැහැරව කටයුතු කිරීම බුද්ධිමත් ජනතාවගේ යුතුකමකි. එසේම කෝණ දෝෂවලට ලක්වීමේදී අවධානය යොමුකළ යුත්තේ ජීවිතයේ වැදගත්ම අවස්ථා එම කාලයට යොදානොගැනීම මිස, එදිනෙදා කාර්යයවලට මෙය බලනොපාන වන කිව යුතුය.

ජ්‍යොතිෂ විඤාණාචාර්ය සාමවිනිසුරු වෛද්‍ය ඩබ්ලිව් තිලක් ද සිල්වා