2020 ජනවාරි 25 වන සෙනසුරාදා

කලා ලෝකය නිහඬව බැබළ වූ ගුරු රජවරු

 2020 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 12:31 430

පසුගිය සතියේ ජයලත් මනෝරත්න රංගධරයාණන්ගේ නික්මයාම බොහෝ මාධ්‍යවල හඳුන්වා තිබුණේ ගුරු තරුව බැස යාම ලෙසයි. ගුරු තරුව නාට්‍යයෙන් මනෝරත්නයන් හුවාදැක්වූ “සාහිත්‍ය ගුරුවරයා”ගේ මෙහෙවර පිළිබඳ නාට්‍යමය අත්දැකීම නාට්‍ය රසවිඳින්නන්ගේ සිත් තුළ කෙතරම් තදින් සනිටුහන් වී තිබෙන්නේද යන්න පසුගිය සතියේ පැහැදිලි වූයේය.

මා ඇතුළු සිසු පරම්පරාවකට කාව්‍ය, නාටක, සාහිත සංගීත රස කියා දී වේවැල් කෝටු නාරං සියඹලා අතු පහරින් නොව, එකී රස පොවා අපව ශික්ෂණයකට නතු කළ ගුරු තරු රාශියක් මගේ මතක අහසේ නැවත පායන්නට ගත්තේය. එකී ඇතැම් ගුරුවරුන් මා හට මුහුණට මුහුණ හමුවී නැතත් ඔවුන්ගේ සාහිත්‍ය ගුවන්විදුලියෙන් පතපොතින් මා උගෙන තිබේ. ඔවුන්ගේ කවි ගී පාඩම් පොත් කියවූ පාඨකයෝද එම නිර්මාණ එකී ගුරුවරුන්ගේ බව තවමත් බොහෝවිට නොදනිති. අනෙක් කරුණ නම් මා කියන මේ ගුරුවරුන් හැමදෙනාම ඍජුව හෝ අනියම්ව මෙරට ළමා නාට්‍ය ඇතුළු නාට්‍ය කලාවේ උන්නතිය උදෙසා මහත් මෙහෙවරක් ඉටුකර තිබීමය. ඔවුන්ගේ සාහිත්‍ය මෙහෙවර පාසල් මට්ටමින් ඇරඹුවත් එහි ඥානාලෝකයෙන් රට පුරා සිසු පරපුරු ගණනාවකගේ රස නැණ එළිය කරනු ලැබීය.

මගේ මතකයේ මුලින්ම පෑයූ ගුරු තරුවල දීප්තිය අවුස්සා ගන්නට මා කතා කළ යුතු මට සමීපම තැනැත්තා අමතා මම දුරකතනයෙන් කතා කළෙමි. ඒ ප්‍රවීණ රංග ශිල්පී ලක්ෂ්මන් මෙන්ඩිස් හටය. මා හා සම වයසේ පසුවුණත් මා ඔහු අමතන්නේ ලක්ෂ්මන් අයියා කියාය. ඒ ඔහුට ඇති ගෞරවය නිසාය. ලක්ෂ්මන් මෙන්ඩිස් යනු උපතින් ගැඹුරු කටහඬක් හිමි අති දක්ෂ නළුවකු බව මා අමුතුවෙන් කියන්නට ඕනෑ නැත. ලක්ෂ්මන් මෙන්ඩිස් යනු මතක ගබඩාවකි. අවුරුදු 12 වයසේදී රඟපෑ ළමා නාට්‍යයක දීර්ඝ දෙබස්, ඔහු තවමත් මතකයෙන් කියාගෙන යයි. ගීත ගායනා කර පෙන්වයි. පාසල් කාලයේ අවුරුදු 10 – 13 අවධියේ ඔහුගේ රංගන දිවියට පදනම වැටුණු ආකාරය ගැන කියවෙන කතාව මෙරට පෑයූ ගුරු තරු කිහිපයක් ගැන කියවෙන කතාවකි. ඉඳහිට අප අතර ඇතිවූ කතාවලින් මම ඒ බව දැන සිටියෙමි. මුලින් අප ඒ ගැන කතා කළේ 2012 අවුරුද්දේ නව රඟහලේ “දොළහක්” නාට්‍ය රඟදැක්වූ දවසේය. 1969 අගෝස්තුවේ අධ්‍යාපන සියවස ප්‍රදර්ශනය ආරම්භ වෙද්දී නව රඟහල විවෘත වූ හැටි එහිදී ඔහු මතක් කළේය.

“නව රඟහල ඉදිකළේ ඒ කාලෙ රෝයල් ප්‍රයිමරියෙ විදුහල්පතිතුමා හැටියට හිටිය එච්.ඩී. සුගතපාල සර්ගෙ උනන්දුව නිසා. විවෘත කරන දවසට කලින් දවසෙත් ඒකට තිරයක් තිබුණෙ නෑ. විදුහල්පතිතුමා තමන්ගෙ කාරෙක විකුණල ඒ සල්ලිවලින් තිරයක් අරගෙන ඒක දාල තමයි නව රඟහල විවෘත කළේ.”

එච්.ඩී. සුගතපාල මහතා එවකට නාට්‍යකරුවන්ට සහයෝගය දෙන, සුගතපාල ද සිල්වා, හෙන්රි ජයසේන ඇතුළු නාට්‍යකරුවන්ගේ මිතුරෙක් විය. නාට්‍යකරුවන්ගේ පුහුණුවීම් උදෙසා එතුමා දෙන ලද සහයෝගය පිළිබඳව සුගතපාල ද සිල්වා ශූරීන් ඇතැම් තැනෙක ලියූ විස්තර මම කියවා ඇත්තෙමි. එවකට නාට්‍ය දර්ශන සඳහා නව රඟහල සහන මුදලකට වෙන්කර දෙමින් එතුමා නාට්‍යකරැවන්ට සහයෝගය දුන්නේය.

සාමා, අමරලා සිටි සිංහල 1, 2 ආදී පොත් පාසල්වල පහළ ශ්‍රේණිවලට නියම වන්නට පෙර 1 සිට 5 දක්වා ශ්‍රේණිවලට නියම වූයේ “නවමග” පොත් පෙළයි. එම නවමග පොත් පෙළ එච්.ඩී. සුගතපාල මහතාගේ නිර්මාණයකි. පළමු හා දෙවැනි ශ්‍රේණිවලට නියම වූ රමණිලා සුනිල්ලා සිටි පොත එතුමාගේ රචනයකි. 2 වැනි ශ්‍රේණියේ සිට 5 වැනි ශ්‍රේණිය දක්වා නියමිත වූ (නවමග) පොත් එතුමා සංස්කරණය කළේ දේශීය, කවියට ගීතයට මෙන්ම විශ්ව සාහිත්‍යය ද දරුවාට විවර කර දෙමිනි. දෙවැනි ශ්‍රේණියට නියමිත පොතේ රුඩ්යාඩ් කිප්ලින්ගේ කතාවක පරිවර්තනයක් විය. (ලිම්පෝසෝ ගඟේ කිඹුලාට කියා හොඬ දික් කරගත් අලියාගේ කතාව). එසේම හියුබත් දිසානායකගේ “හඳපානේ” (සුනිල් සාන්ත ගැයූ) ගීතය ද විය. තුන්වැනි ශ්‍රේණියට නියමිත නවමග පොතේ “ඇහැළ මලේ, ඇහැළ මලේ, සුනිල දියේ කුමුදු පිපේ ගීතය විය. හතරවැනි ශ්‍රේණියට නියමිත වූ නවමග පොත පුරා විශ්ව සාහිත්‍ය කතන්දර විය. ටොම් සෝයර්ගේ කතාවෙන් ඇරඹි එම පොතේ, තිබූ “අබුකාසිම්ගේ සෙරෙප්පු කුට්ටම” ඇතුළු කතාවලින් පරිවර්තන සාහිත්‍ය කෙරේ දරුවාගේ උනන්දුව තීව්‍ර කළේය. පස්වැනි ශ්‍රේණියේ පොත තවමත් මට සිහිනෙන් පෙනෙන පොතකි. මාර්ටින් වික්‍රමසිංහ ශූරීන්ගේ මඩොල් දූවේ “කජු කොල්ලය” පරිච්ඡේදයෙන් ඇරඹි එම පොතේ පිටකවරයේ තිබුණේද “හිටිහාමි යෝධයාගේ” කතාවට සම්බන්ධ මල්ලවපොර රූපයකි. අපි කුඩා කාලයේම ගුත්තිලේ කවි රස විඳින්නට පුරුදු වූයේ 5 නවමග පොත නිසාය. පස්වැනි ප්‍රමාණයේ “නවමග” පොතට හැඳින්වීමක් කරන එතුමා එහි එක් තැනක මෙසේ කියයි.

“නවීන කතා අතුරෙන්ද අප තෝරාගත්තේ ළමයින්ගේ හිත්ගන්නා භාෂාව හා සිදුවීම් ඇති කතා වස්තුය. පැරණි දෙයටත් වර්තමාන දෙයටත් ඒකාකාරව තම විචාර බුද්ධිය යොමු කිරීමට ශිෂ්‍යයා පුහුණු කරවන ක්‍රියා පටිපාටියකුත් අප විසින් මේ සමඟම ඉදිරිපත් කරන ලදී. පැරණි සියල්ල යහපත්ය යන මතය නැමති යදමින් හෝ පණ්ඩිතත්‍රිය මතය නැමති යදමින් ළමා චින්තනය බැඳීමට පෙර බාල වයසේදීම, විචාරාත්මකව ක්‍රියා කිරීමට අප ඉදිරිපත් කළ ක්‍රමය නිසා ශිෂ්‍යයා පෙළඹෙයි.”

තමන්ගේ පළමු නාට්‍ය ගුරුවරයා වූ ඒ.එච්. පියසේන මහතාව, එවකට රාජකීය ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති ධූරය දැරූ එච්.ඩී. සුගතපාල මහතා ගෙන්වාගත් ආකාරය ලක්ෂ්මන් අයියා මට දුරකතනයෙන් විස්තර කළේය.

“ඒ කාලෙ ගුරු අභ්‍යාස විද්‍යාලෙ විදුහල්පතිතුමා හැටියට ඉඳල තියෙන්නෙ යූ.ජී.පී. ද සිල්වා මහත්තයා. නාට්‍ය, සංගීතය සාහිත්‍ය උගන්වන්න හොඳ ගුරුවරයෙක් හොයල දෙන්න කියල සුගතපාල මහත්තයා, යූ.ජී.පී. ද සිල්වා මහත්තයගෙන් ඉල්ලීමක් කරල තියෙනවා. නිතර ඒ ගැන මතක් කළත් අවුරුදු දෙකක් යනකම් ඉල්ලීම ඉටුවෙලා නෑ. හොඳ ගුරුවරයෙක් ඉන්නවා, මිනිහා වනගත වෙලා ඉන්නෙ. කිව්වට ඒවිද දන්නෙ නෑ.” ඔන්න ඔහොම තමා කියල තියෙන්නෙ.

වනගත වී ඇති ගුරුවරයා යනුවෙන් යූ.ජී.පී. ද සිල්වා මහතා කියා ඇත්තේ ඒ.එච්. පියසේන මහතා ගැනය. අතාවුදහෙට්ටිගේ පියසේන මහතාට රාජකීය විදුහලේ ඉගැන්වීම සඳහා පත්වීම ලැබී ඇත්තේ එතුමා මීරිගම ගුරැ අභ්‍යාස විද්‍යාලයෙන් පිටමං වූ අලුතමය. ඒ 1947 දීය. එවකට රාජකීය විද්‍යාලයට ලැබුණු පත්වීම ප්‍රතික්ෂේප කළ එතුමා ඉගැන්වීම සඳහා තෝරාගෙන ඇත්තේ ඇහැටුවැව සියඹලන්ගමුව විද්‍යාලයයි.

අතාවුදහෙට්ටිගේ පියසේන ගුරුතුමන්ගේ කතාව කියන්නට කලින්, ගුරු විද්‍යාලයේදී ගුරුවරුන්ටත් ගුරු වූ යූ.ජී.පී. ද සිල්වා මහතාගේ සාහිත මෙහෙවර ගැන නොකියාම බැරිය.

“මේ ගසේ බොහෝ - පැණි දොඩම් තිබේ
පැහිල ඉදිල බිමට නැවිල - බරවෙලා අතු
නංගිටයි මටයි - ගෙඩි දෙකක් ඇති
වැඩිය කඩන නරක ළමෝ හෙම නොවේ අපි”

එතුමා රචනා කළ මේ ගීතය ගායනා නොකළ සිංහල දරුවකු සිටී නම් එය අරුමයකි. උණවටුන ගමගේ පැටර්සන් ද සිල්වා මහතා මෙම ගීය රචනා කර ඇත්තේ 1944 දීය. 1906 නොවැම්බර් 10 වැනිදා උපත ලද ඔහු ගාල්ලේ බොනවිස්ටා පාසලේ සහ ගාල්ල මහින්ද විද්‍යාලයේ ඉගෙනීම ලබා තිබේ. එවකට ඒ මහතා සමඟ ගාල්ල මහින්ද විද්‍යාලයේ ඉගෙනුම ලැබූ මාතර ජස්ටින් විජේවර්ධන මහතා (ප්‍රවීණ ගත්කතුවර/ විදුහල්පති) සහ ඩී.බී. ධනපාල (පසුකාලීන ප්‍රවීණ පුවත්පත් කලාවේදී) සමඟ එක්වී පාසලේදී “රාමායනය” නාට්‍ය රඟපා ඇත. ඒ මහතා ගුරු වෘත්තියට ඇතුළු වූයේ වයස 18 දීය. 1928 දී ඒ මහතා කොළඹ ගුරු අභ්‍යාස විද්‍යාලයට ඇතුළත් වී ඇති බව වාර්තා වේ. එවකට ගුරු අභ්‍යාස විද්‍යාලය තිබී ඇත්තේ දැන් තර්ස්ටන් විද්‍යාලය පිහිටි ස්ථානයේය. ඔහු ගුරු අභ්‍යාස විද්‍යාලයේදී “පොතේගුරා සහ සකුන්තලා” නාට්‍යයන් රඟදැක්වීමට කටයුතු කර ඇත.

ගුරු අභ්‍යාස විද්‍යාල බිහි කිරීමේදීද යූ.ජී.පී. ද සිල්වා මහතා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකර තිබේ. 1944 මීරිගම, 1945 බලපිටිය, 1947 පොල්ගොල්ල සහ කටුකුරුන්ද ගුරු අභ්‍යාස විද්‍යාල පිහිටුවීමේදී ඔහු වෙහෙසී ක්‍රියා කළ බව පෙනේ.
ඔහු 1938 මාර්තු මාසයේදී ගුවන්විදුලි නාට්‍යයක රඟපා තිබේ. “සමාජ සේවකයා” නම් එම නාට්‍ය රචනා කර තිබුණේ හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනය. එම නාට්‍යයේ ප්‍රධාන චරිත දෙකට හඬ දී තිබුණේ ජේ.ආර්. ජයවර්ධන මහතා සහ එම ආර්යාවය. මහාචාර්ය ගුණපාල මළලසේකර හිමිනමකගේ චරිතයට කටහඬ දී ඇත. යූ.ජී.පී. ද සිල්වා මහතා රඟපා ඇත්තේ හිඟන්නකුගේ චරිතයකි. ඔහු එහි ගීත දෙකක්ද ගායනා කළේය.

“ගුරැ වෘත්තියක යෙදී සිටි මම හිඟන්නාගේ චරිතය හොඳින් රඟපෑම පුදුමයක් නෙවෙයි කියල මා කීවාම ෂර්ලිඩා සිල්වා හිනාවුණා.” ඔහු 1983 ජනවාරි 12 නවයුගය පුවත්පතට එසේ කියා තිබුණි. ෂර්ලිඩා සිල්වා යනු නාට්‍යයේ නිෂ්පාදකවරයාය. එතුමාගේ වචනවලින් එම සාකච්ඡාවේදී මෙසේද කියා තිබිණි.

“මේකෙ ලස්සනම වැඩේ මේකයි. මේ නාට්‍ය අහල රත්නපුරේ පැත්තෙ නෝනා කෙනෙක් හිඟන්නගෙ කොටස රඟපෑමට රුපියල් 25ක තෑග්ගක් එවල තිබුණා.”

“හඳහාමී හැංගි හැංගි එබිල බලනවා
ඈත අහසෙ වටකුරුවට සුදට පේනවා
පුංචි අපට කිරියි පැණියි ගෙනැල්ල දෙනවා”

මෙම ගීය ද එතුමා රචනා කළ ගීතයකි.

තිස්ස අබේසේකරයන් මහගෙදර චිත්‍රපටයට යොදාගෙන තිබුණු “නිල් අහස් තලේ අගේ නෑ වළාකුළු” ගීතය මුලින්ම ගායනා කර තිබුණේ යූ.ජී.පී. ද සිල්වා මහතාය. (එය රචනා කළේ යූ.ඩී. පෙරේරා මහතා බව වාර්තා වී ඇත.) නිල් අහස් තලේ ගීතය වර්තමානයේ ළමයින් අතරත් වැඩිහිටියන් අතරත් ජනප්‍රිය වූවකි.

කෙසේ වුවද යූ.පී.ජී. ද සිල්වා මහතාගේ ඉල්ලීම අනුව, රාජකීය විද්‍යාලයට මාරු වී එන්නට අතාවුදහෙට්ටිගේ පියසේන ගුරු මහතා කැමති වන්නේ 1963 දීය.

අපගේ රංගධරයාණන් වූ ලක්ෂ්මන් මෙන්ඩිස් හට ඒ.එච්. පියසේන ගුරු මහතා මුණගැසෙන්නේ රාජකීය විද්‍යාලයේ ප්‍රාථමික අංශයේදීය. එසේම එම ගුරු පියාණන්ගේ පුත්‍රයන් වූ සමන් අතාවුදහෙට්ටි සහ අසෝක අතාවුදහෙට්ටි සොයුරන් මුණගැසෙන්නේ ද ඉන් අනතුරුවය. සමන් අතාවුදහෙට්ටි ගැන මා අමුතුවෙන් හඳුන්වාදීමක් කළ යුතු නැත. සමන් අතාවුදහෙට්ටි යනු සකල කලාවන් එක් කොටගත් ආත්මයකින් හෙබි විද්වතෙකි. අසෝක අතාවුදහෙට්ටි 2002 සිට මගේ මිතුරෙකි. ඔහු දක්ෂ චිත්‍රපට හා නාට්‍ය අධ්‍යක්ෂවරයකු බව මා අමුතුවෙන් කිව යුතු නැත.

(ලබන සතියේ - අතාවුදහෙට්ටිගේ පියසේන ගුරැතුමන්ගේ මෙහෙවර)
සමන් පුෂ්ප ලියනගේ

 2024 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00