2020 ජනවාරි 18 වන සෙනසුරාදා

පන්ති කාමර පුංචි කිරීම

 2020 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 12:30 1363

පන්ති කාමරය යනු පාසල් සංස්කෘතිය තුළ හුදෙක් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රමවේදයට අභිමුඛ වන්නා වූ කේන්ද්‍රයයි. සිසු සිසුවියන්ගේ පාසල් ජීවිතයටත්, සමාජ සංවර්ධනයටත්, පෞරුෂ්‍ය වර්ධනයටත්, මාර්ගෝපදේශනය සැපයීම සඳහා පන්ති කාමරය ඉතා වැදගත් කාර්යභාර්යයක් ඉටු කරනු ලබයි. ජාතික අධ්‍යාපන කොමිසන් සභා වාර්තාව (1992) පෙන්වා දී ඇත්තේ ද “පාසල් පද්ධතිය තුළ යම් මැදිහත්වීමක් සිදු කරන්නේ නම් එම මැදිහත් වීම සාකල්‍යයෙන්ම සිදු කළ යුත්තේ පන්ති කාමරයට ඍජුවම අදාළ අයුරින්” බවය.

2015 අගෝස්තු මස පැවති මහ මැතිවරණයෙන් පසු අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෙනස්කම් සිදුකිරීමට අදාළව බිහිවූ කථිකාවන් රැසක් පැවතුණි. පාසල් පන්ති කාමරයකට ශිෂ්‍යයන් සංඛ්‍යාව 35කට සීමා කිරීමද ඉන් එක යෝජනාවකි. එම යෝජනාව පාසල් අධ්‍යාපනය තුළ සිසුන්ගේ සාධනීය හැකියාවන් නැංවීම පිණිස ඉටුකළ යුතු වෙනස්කමක් බව අධ්‍යාපනඥයින්ගේ මතය ද වී ඇත.

පසුගිය රජය විසින් පාසල් පන්ති කාමරයක සිටිය යුතු ශිෂ්‍ය සංඛ්‍යාව 35 දෙනකුට සීමා කරනු ලැබූ අතර සිසුන්ට පාසල් නොලැබීමේ තත්ත්වය අවම කිරීම සඳහා වත්මන් ආණ්ඩුව තීරණය කර ඇත්තේ පන්ති කාමරයක සිටිය යුතු සිසුන් සංඛ්‍යාව 40ක් දක්වා වැඩි කිරීමටයි. මේ සඳහා අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අමාත්‍ය ඩලස් අලහප්පෙරැම මහතා විසින් කැබිනට්ටුවට ඉදිරිපත් කර ඇති අතර ඊට කැබිනට් අනුමැතිය ද හිමි වී තිබේ.

පන්ති කාමරය තුළ යහපත් ගුරු, සිසු අන්තර් සබඳතා ගොඩනැගීම මගින් ශිෂ්‍යයන්ගේ ශක්‍යතා හා ළැදියාවන් ඉස්මතු කර ගැනීමට අවශ්‍ය පාදකය නිර්මාණය වේ. දරුවන්ට හිතකර ඉගෙනුම් පරිසරයක් ඇති කිරීමේ භාරදූර වගකීමේ නියමුවා වන්නේ ගුරුවරයාය. වත්මන් ගුරුවරයා පන්ති කාමරය නැමති. කළමනාකාර ඒකකයේ සැලසුම්කරුවා, සංවිධායකයා, මෙහෙයවන්නා හා පාලකයා ලෙස කටයුතු කරයි. පන්ති කාමර තුළ ශිෂ්‍යය කළමනාකරණ ක්‍රියාදාමය පදනම් කොටගෙන බොහෝ අර්බුදකාරී තත්ත්වයන්ට මුහුණදීමට සිදුවන බව ගුරුවරු කියා සිටිති. පන්ති කාමරයක අවශ්‍යම කාර්යන් වන්නේ ශිෂ්‍යයාගේ ඉගෙනුම් කාර්යය ගුරුවරයා විසින් සමීපව නිරීක්ෂණය කිරීම වුවද පන්ති කාමරවල ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි වුවහොත් බොහෝ සිසුන්ට ගුරුවරයාට සමීපවීමට ඉඩකඩ ඇති බවද ගුරුවරු පෙන්වා දෙති.

කෙසේ හෝ පන්ති කාමරයක සිසුන් සංඛ්‍යාව 40ක් දක්වා ඉහළ දැමීමට මෙම රජය ගත් තීරණය වගා අහෝසි කරන ලෙසත් එසේ නොකළහොත් ඊට එරෙහිව අනිවාර්යෙන්ම අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවත් ලංකා ගුරු සංගමය පවසති. මෙලෙස පන්ති කාමරයක සිටිය යුතු පාසල් සිසුන්ගේ සංඛ්‍යාව 35 දක්වා අවම කිරීමේ නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කරනු ලැබූ අතර වර්තමාන රජය විසින් ගත් මෙම අමාත්‍ය මණ්ඩලයේ තීරණය ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී අවසර ලබාගැනීමට නියමිතය. මෙලෙස එක් පන්ති කාමරයක සිසුන් සංඛ්‍යාව 35 සිට 40 දක්වා වැඩි කිරීම පිළිබඳව දේශයේ අප පාර්ශ්ව කිහිපයකින් විමසීමක් කළෙමු.

මේ වැඩේ නීති විරෝධීයි
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින්

2011 වසරේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගයකට අනුව වසරින් වසර 2021 වනවිට ක්‍රමිකව සිසුන් සංඛ්‍යාව අඩු කරමින් එක් පන්ති කාමරයකට සිසුන් 35 දක්වා අවම කිරීමට චක්‍රලේඛයක් නිකුත් කරනු ලැබුවා. 2015 වසරේ ඉඳලා මෙම පන්ති කාමරයකට ළමුන් 35ක් කරන්න සීමාකරත් පැවති යහපාලන රජය යටතේ එය සංශෝධනය කරලා තමයි 2021 වසර වනවිට ළමුන් 35ක් කරන්න සීමා කළේ. ඒ අනුව 2016 ළමයින් 40ක්ද, 2017 වසරේ ළමයින් 39ක්, 2018 වසරේ ළමුන් 38ක්, 2019 වසරේ ළමුන් 37ක් හා 2020 වසරේ ළමයින් 36ක් මෙන්ම 2021 දී ළමයින් 35ක් කරීමට තමයි සැලසුම් වෙලා තිබුණේ. නමුත් මේ ආණ්ඩුව නැවත පන්ති කාමරයකට සිසුන් 40ක් දක්වා වැඩි කිරීම නීති විරෝධී කාරණාවක්. ළමුන් සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩි වුණොත් වෙන්නේ ගුරුවරුන්ට එක් ළමයකුට දක්වන සැලකිල්ල අඩුවෙන එක. ඒ වගේම මේ කුඩා පාසල් වැසී යනඑක තමයි මේ මගින් සිදුවන්නේ. ඒ නිසා වහාම මේක නවත්වන්න කියලා අපි ජනපතිවරයාගෙන් ඉල්ලීමක් කරා. එම ඉල්ලීමට ප්‍රතිචාර නොලැබී එක් පන්ති කාමරයකට සිසුන් 40ක් කළහොත් ඉදිරියේදී ඒ පිළිබඳ අපි නීතිමය පියවර ගන්නවා.

අනුමත කරන්න බැහැ
අධ්‍යාපන මනෝවිද්‍යා උපදේශක ධර්මදාස ගලබොඩ

සාමාන්‍යයෙන් එක් පන්තියක ළමුන් 30ක් හෝ ඊට වඩා අඩු ප්‍රමාණයක් තමයි සිටිය යුත්තේ. එහෙම වුණාම තමයි පන්ති කාමරයක උගන්වන ගුරුවරුයකුට සෑම ළමයෙක් කෙරෙහිම අවධානයක් යොමු කරන්න පුළුවන් වෙන්නේ. එක පන්තියක ළමයි විශාල සංඛ්‍යාවක් ඉන්න කොට ගුරුවරයකුට ළමුන් පිළිබඳ විශාල අවධානයක් යොමු කරන්න බැහැ. ඒ මොකද ගුරුවරයකුගේ කාර්යභාර්ය තමයි ළමයා අවබෝධ කරගෙන ළමයාගේ හැකියාවන් හඳුනාගෙන ඔහු වෙත අවධානය යොමු කිරීම. නමුත් ළමුන් වැඩි සංඛ්‍යාවක් ඉන්න වෙලාවක මෙය සිදු කිරීමට අපහසුයි. දැන් ලෝකයේ දියුණු රටවල පවා එක් පන්තියක ඉන්නේ ළමයින් 20-25ක් වගේ ගණනක්. ඒ නිසා වැඩි ළමයින් සංඛ්‍යාවක් ඉන්නඑක අනුමත කරන්න බැහැ.

 සටහන - හසිත් අංජන

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00