2019 නොවැම්බර් 16 වන සෙනසුරාදා

කැලණිවැලි ලේඛකයන්ගේ හොඳම කියවන්නෝ

 2019 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 91

නිමා වූයේ කියවීමේ මාසයයි. පොත් කියවීමෙන් ජීවිතය වෙනස් කරගත් විශිෂ්ටයන් රැසක් අප අතර සිටිති. එවන් විශිෂ්ටයන් බිහිකිරීම අරමුණු කරගෙන කැලණිවැලි ලේඛක සංසදය මගින් සංවිධානය කරන ලද හොඳම කියවන්නෝ පොත් කියැවීමේ ව්‍යාපෘතියේ ත්‍යාග හා සහතික ප්‍රදානෝත්සවය පසුගියදා හෝමාගම පින්බිම ධර්මායතනයේ දී සිදු කෙරිණි.

පාසල් සිසුන්ගේ කියැවීමේ රැචිය නංවාලීමේ අරමුණ ඇතිව, හෝමාගම කලාප අධ්‍යාපන කාර්යාලයේ සහයෝගයෙන් සංවිධානය කෙරැණු මෙම වැඩසටහනට හෝමාගම අධ්‍යාපන කලාපයේ 7, 8, 9 ශ්‍රේණිවල සිසු සිසුවියන් දහසක් පමණ සහභාගි වූහ. ඒ අතරින් වැඩිම පොත් ප්‍රමාණයක් කියැවූ සිසු සිසුවියන් 141 දෙනකුට ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය කිරීම මෙහිදී සිදුවිය. ඔවුන් අතුරින් 1-10 ස්ථාන හිමිකරගත් සිසුන් 19 දෙනකුට විශිෂ්ට කුසලතා සහතික හා ත්‍යාග පිරිනමන ලදී. ඉතිරි 122 දෙනාට කුසලතා හා ත්‍යාග පිරිනමන ලද අතර ත්‍යාග වශයෙන් මේ හැමදෙනාට පොත් පිරිනමන ලදී.

ආරාධිත දේශනය පවත්වන ලද්දේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා මානව විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ඒ.ඒ. ජයන්ත ජයසිරි මහතා විසිනි. හෝමාගම ප්‍රාදේශීය ලේකම් බුද්ධි තරංගා කරුණාසේන මහත්මිය සහ හෝමාගම අධ්‍යාපන කලාපයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (පාසල් පරිපාලන) හේමන්ත ගමගේ හා කැලණිවැලි ලේඛක සංසදයේ සභාපති පියසිරි මාතරගේ, සම ලේකම් යූ.එච්. මෛත්‍රීපාල යන මහත්වරැ ද සභාව ඇමතූහ.

සංසදය මගින් ප්‍රකාශයට පත් කෙරුණු, කලණ වරුණ සඟරාවේ මංගල කලාපය එළිදැක්වීම ද මෙම උත්සවයේ දී සිදුවිය. ඉදිරියේ දී එය සිව් මාසික ප්‍රකාශනයක් ලෙස ප්‍රසිද්ධියට පත් කරනු ඇත. දැනුම ලබාදෙන ශාස්ත්‍රීය ලිපි රැසකින් සඟරාව සමන්විතය. අක්ෂර රෑප විද්‍යාව හා සබැඳි ලෝකයේ පැරණි අක්ෂර ක්‍රම, පුරාවිද්‍යාවෙන් හෙළි වූ ලුම්බිණි සල් උයන, භාෂාවක් ශ්‍රේෂ්ඨ වන්නේ ව්‍යාකරණයෙනි, දරුවන් පොතපතින් පෝෂණය කරමු, අන්තර්ජාලය ජංජාලයක් නොවීමට නම් ඒ ලිපි අතරින් කිහිපයකි.

හොඳම කියවන්නෝ පොත් කියැවීමේ ව්‍යාපෘතිය අනුව 2019 මාර්තු මාසයේ සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ තම විදුහල් පුස්තකාලයේ ඇති පොත් කියවා සටහන් තැබීමට උපදෙස් දෙන ලදී. දීපංගොඩ ශ්‍රී මේධානන්ද මහා විද්‍යාලයේ 8 ශ්‍රේණියේ, පී.තේ. නෙත්මි කවීෂා පොත් 149 ක් කියවා ප්‍රථම ස්ථානය හිමිකර ගත්තාය. කිරිවත්තුඩුව ජයතිලක විද්‍යාලයේ සිසුවියන් තිදෙනෙක් පොත් 75 බැගින් කියවා දෙවැනි ස්ථානය හිමිකර ගත්හ. තෙවැනි ස්ථානය ද එම විදුහලේ ශිෂ්‍යාවකට හිමිවිය.