2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා

රටටම බත් බෙදූ සැමුවෙල්, ඇනස්ලි, බර්ටි

 2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:31 455

සැබෑ ජීවිතයේදී කෙනකු දුකට පත්කර ඇඬවීම පහසුය. අසීරු වන්නේ යම් අයකු සතුටට පත් කොට සිනහ ගැන්වීමයි. කලා නිර්මාණයකින් වුව ප්‍රාථමිකයකුට හෝ ප්‍රේක්ෂකයකුට නැතිනම් අසන්නකුට ශෝකය දැනවීම සිනහ ගැන්වීමට වඩා පහසුය. රංගවේදියකුගේ පැත්තෙන් වුවද ශෝකය නැමති මනෝභාවය ආරෑඪ කරගෙන කඳුළු උනා පිටට පෙන්වීම සිනහවෙන් මත්ව ඉන්නා බව පෙන්වනවාට වඩා පහසු බව ස්ටැනිස්ලව්ස්කිගේ රංගවේදය ප්‍රායෝගිකව හැදෑරූ අය දනිති.

රේ කූනි (Ray Cooney) නැමැති ජනප්‍රිය බ්‍රිතාන්‍ය ජාතික ප්‍රහසන නාට්‍ය රචකයා විකට නාට්‍යයක් නිර්මාණය කරද්දි උපයෝගි කරගන්නා නියමයන් හයක් පිළිබඳව මෑතකදී අන්තර්ජාලයෙන් මට කියවා ගන්නට ලැබුණේය. රේ කූනිගේ Funny Money නාට්‍ය අනුසාරයෙන් මා අනුවර්තනය කළ (ධර්මප්‍රිය ඩයස් නිෂ්පාදනය කළ) “සාදය මාරයි සල්ලි හමාරයි” නාට්‍ය තරමක් සාර්ථක වූ නිසා මට රේ කූනි ගැන විස්තර සොයන්නට සිත් වූයේය. ඔහු ඉදිරිපත් කොට ඇති නියමයන් හය කෙටියෙන් මෙසේය. (එය දීර්ඝ වශයෙන් විස්තර කොට කීව මෙහිදී කළ නොහැකි බැවින් මා එය කෙටියෙන් කියමි) පළමුවැන්න නම් ඔහු තෝරා ගන්නා කතා වින්‍යාසය කොමඩියට නොව ට්‍රැජඩියකට සමීප එකක් වීමයි. (සුඛාන්තයකට නොව ශෝකාන්තයකට සමීප වීමයි) දෙවැන්න එම නාට්‍යවල එන චරිත සැබෑ ජීවිතයට සමීප හඳුනාගත හැකි ඒවා වීමයි. තුන්වැන්න තමා ලියන කතාව නැවත නැවත ලිවීමයි. සිව්වැන්න සුදුසු නළුවන් යොදා ගැනීමයි. පස්වැන්න රංග ගත කාලය සැබෑ කාලයම වීමයි. (රඟපාන්නේ පැය දෙකක කතාවක් නම් සැබෑ ජීවිතයේ ද එම කතාව පැය දෙකක එකක් වීමයි) හයවැන්න ප්‍රේක්ෂකයාගේ බුද්ධිය අවතක්සේරු නොකිරීමයි.

මෙම නියමයන් කියවූ මට මතක් වූයේ කිසිදු වේදිකා නාට්‍යයක් නොව, සැමුවෙල්, ඇනස්ලි, බර්ටි තුන්දෙනාගේ විකට වැඩසටහන්ය. රේ කූනි ගැන අප දැනගත්තේ මෑතකදීය. සැමුවෙල් ඇනස්ලි බර්ටි තිදෙනා වුවමනාවෙන් හෝ ඉබේම නැතිනම් අත්දැකීමෙන්ම රේ කූනි කී මූලධර්ම උපයෝගී කරගෙන ඇතැයි මට හැඟේ.

සැමුවෙල් ඇනස්ලි බර්ටි තුන්දෙනා ප්‍රේක්ෂක/ ශ්‍රාවක ජනයාගේ සිත් සතන් සතුටු කරවා ඔවුන් සිනා සාගරයේ ගිල්වා දැමුවේ වරක් දෙවරක් නොවේ. වසරක් දෙවසරක් නොවේ. නවසිය හැට ගණන්වල පටන් මේ මෑතක් දක්වාම ඔවුහු එම අසීරැ කාර්යය කළහ. ඔවුහු එතරම් දක්ෂයෝ වූහ. පරණ කුරු කුරු ගාන ගුවන් විදුලි යන්ත්‍රයෙන් ඔවුන්ගේ විකට වැඩසටහන්වලට සවන් දුන් අපි දැන් YouTube හරහා ද එම වැඩසටහන් නරඹමු.

සම්භාව්‍ය සාහිත්‍ය කෘතියක සර්වකාලීන බවක් ඇත්තා සේම ඔවුන්ගේ වැඩසටහන්වල මතු කළ හාස්‍යයද සැමදාටම වලංගුය. ඒවාට එදා සිනාසුණාක් මෙන්ම අද ද සිනා නොවී සිටින්නට නොහැකිය. දැනට දශක කිහිපයකට පෙර නිෂ්පාදනය වූ ඇතැම් නාට්‍යවල තිබුණු හාස්‍යොත්පාදක ගතිය මෑත කාලයේ බලද්දි ඉතිරි වී තිබුණේ නැත. ඊට හේතුව ඒවායේ විහිලු ඒ කාලයට පමණක් වලංගු වීමයි. ඇතැම් ෂේක්ස්පියර් නාටකවල ද එකල හාස්‍ය මතුකළ ජවනිකා අද හාස්‍ය මතු කරන්නේ නැත. එහෙත් සැමුවෙල් ඇනස්ලි බර්ටිලාගේ විහිලු එසේ නොවේ. වසර පනහකට පෙර ඔවුන් මතු කළ හාස්‍යමය කාරණා අදටත් හාස්‍ය මතුකරයි.

1983/84 කාලයේ සැමුවෙල් ඩයස් හමුවී කතාබහ කිරීමේ වාසනාව මට හිමි වූයේය. එවකට ඔහු වැඩ කළේ කොළඹ නාගරික සංවර්ධන අධිකාරියේ මහජන සම්බන්ධතා නිලධාරියා ලෙසයි.

කොළඹ සරසවියේ භූගෝල විද්‍යා සංගමයට අරමුදල් එකතු කිරීම සඳහා යම් ප්‍රසාංගාත්මක වැඩසටහන් කළ යුතු බවට අපි තීරණය කළෙමු. එවකට විශ්ව විද්‍යාලවල පැවති (සම්භාව්‍ය වාදය) නිසා බොහෝ විට සංවාද පැවැත්වුණේත් ප්‍රසංග පැවැත්වුණෙත් සම්භාව්‍ය යැයි සම්මත කරගෙන තිබූ කෘති හා කලාකරුවන් පිළිබඳව පමණකි. ජනතාව අතරට ගිය කලාකරුවන්ගේ සාර්ථකත්වය විමසා බැලීම උදෙසා කෙරෙන සංවාද එවකට විශ්ව විද්‍යාල තුළ පැවැත්වීමේ පුරුද්දක් නොතිබිණි. එම සීමාවලින් ඔබ්බට යමින් එච්. ආර්. ජෝතිපාල, නිහාල් නෙල්සන් යන ජනප්‍රිය කලාකරුවන්ට අදාළ වැඩසටහන් පවත්වන්නට විශ්ව විද්‍යාල පෙළඹුණේ මෑතකදීය.

සැමුවෙල්, ඇනස්ලි, බර්ටි ගෙන්වන්නට අප තීරණය කළ විටද විශ්ව විද්‍යාලය තුළ විහිළු කරන්නට යනවා යන චෝදනාව සහ අපහාසාත්මක කතා අපට එල්ල වූයේය. නාගරික සංවර්ධන අධිකාරියට ගොස් ඇනස්ලි ඩයස් හමු වූ අපි විශ්ව විද්‍යාලයේ නව කලාගාරයේ හාස්‍යෝත්පාදක වැඩසටහනක් පවත්වන ලෙස ඔහුට ආරාධනා කළෙමු. ප්‍රවේශපත් නිකුත් කොට එම වැඩසටහන පවත්වන බව අප කී විට පවා ඔහු වැඩසටහන සඳහා ඉල්ලා සිටියේ ඉතා අඩු මුදලකි. ඇත්තෙන්ම ඔවුන් හාස්‍ය මතු කළේ මුදල් ඉපයීම පිණිස නොව ප්‍රේක්ෂකයා සතුටු කරන්නට බව ඒ කාලේ වඩාත් තහවුරු විය.

සරසවියේ නව කලාගාරයේ පැවැත්වුණු වැඩසටහන අතිශය සාර්ථක විය. ඊට බර්ටි ගුණතිලකව සහභාගී කරවා ගන්නට නොහැකි විය. සැමුවෙල් රුද්‍රිගු සහ ඇනස්ලි ඩයස් දෙදෙනා විනාඩි 45ක් පුරා ප්‍රේක්ෂකයන් හාස්‍යයෙන් මුසපත් කළහ. ඒ වනතුරුත් ඔවුන්ගේ ගුවන් විදුලි වැඩසටහන් අසා තිබුණා විනා ඔවුන්ගේ සජීවී රඟපෑම් මා දැක තිබුණේ නැත. ඔවුන් රෑපවාහිනී තිරයේද ඒ වනවිට රංගන ඉදිරිපත් කොට තිබුණේ නැත. ඔවුන් මුලින්ම රංගන ඉදිරිපත් කළ නන්දන වින්දන වැඩසටහන් රූපවාහිනියෙන් ඉදිරිපත් වූයේ ඊට කලකට පසුවයි.

රේ කූනිගේ නියමයන්ගෙනුත් ඔබ්බට ගිය විශේෂ ලක්ෂණ මෙම තිදෙනාගේ හාස්‍යෝත්පාදක ජවනිකා තුළින් හඳුනාගත හැකිය. නවසිය හැට ගණන්වල ඔවුන් සහභාගී වූ ගුවන් විදුලි සම්මුඛ සාකච්ඡාවකට මම සවන් දුනිමි. එදා ඇනස්ලි සහ සැමුවෙල් දෙදෙනා එක්ව කීවේ “අපි බත් බෙදනවා” කියාය. බත් බෙදනවා යන කියමනේ අදහස නිවේදකයා විමසුවේය. “කොළඹ කුරුඳුවත්තෙ උදවියත් බත් කනවා. පිටිසර ගමේ මනුස්සයත් බත් කනවා. ඒ වගේ තමා අපේ විහිලු කුරුඳුවත්තටත් ගැලපෙන්න, ගැමියටත් ගැලපෙන්න තමා අපි විහිළු කරන්නේ”

තමන් මතු කරන හාස්‍යයේ සර්ව දෙශී බව ඔවුන් කියා සිටියේ එසේය. ඔවුන් කළ විහිලුවල තවත් විශේෂ ලක්ෂණ කිහිපයක්ම විය. ඔවුන් තමන්ගේ විහිළුවලට දේශපාලනය ගාවා ගත්තේ නැත. ඔවුන් තමන්ගේ විහිළුවලට අසභ්‍ය කතා ගාවා ගත්තේ නැත. ඒවායින් කිසි කෙනකුට රිද්දුවේ නැත. රේ කූනිටවත් එකී සීමා ඔස්සේ හාස්‍ය මතුකරන්නට නොහැකි වූයේය.

රේ කූනි හයවැනි තැනට කී “ප්‍රේක්ෂක බුද්ධිය අවතක්සේරු නොකිරීම” පැහැදිලිව ඔවුන් අවබෝධ කරගෙන තිබුණේ රේ කූනි නාට්‍ය ලියන්නටත් පෙරය.

මෙම ශිල්පීන් තිදෙනාගේ හාස්‍යෝත්පාදන වැඩසටහන් සාර්ථක වන්නට බලපෑ එක් හේතුවක් ලෙස මා දකින්නේ ඔවුන් භාෂා ඥානයෙන් පොහොසත් වීම යන කාරණයයි. ඉංග්‍රීසියෙන් පාසල් අධ්‍යාපනය ලබා තිබූ ඔවුහු (ඇනස්ලි ඩයස් මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ අයෙකි) සම්භාව්‍ය ඉංග්‍රීසි සාහිත්‍ය කෘති හොඳින් පරිශීලනය කළ අයයි. රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ භාෂා පරිවර්තකයකු ලෙස සේවය කළ ඇනස්ලි ඩයස් ප්‍රංශ නාට්‍ය කතුවර වොලියර්ගේ නාට්‍යයක් ද පරිවර්තනය කර තිබිණි. 1990 ගණන්වල මුල් භාගයේ වේදිකා ගතවූ (ලුසින්දේ) ඔහුගේ නිර්මාණයකි. මහාචාර්ය සරච්චන්ද්‍රගේ නාට්‍යවලට (මට මතක හැටියට හාස්තකාන්ත මන්තරේ නාට්‍ය) ඔහු රඟපෑමෙන් දායක වී තිබිණි. 
මේ තිදෙනාම ඉංග්‍රීසි අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව කැලණිය විද්‍යාලංකාර පිරිවෙනෙන් පාලි හා සංස්කෘති භාෂා අධ්‍යයනය කර තිබුණි. ඒ කාලයේ කැලණිය විද්‍යාලංකාර පිරිවෙණේ පාලි සංස්කෘත භාෂා ඉගැන්වූයේ බඹරුන්දේ සිරිසීවලී හිමි, කොටහේනේ ප්‍රඥාකීර්ති හිමි ඇතුළු භික්ෂු ප්‍රාඥයන්ය.

සැමුවෙල්, බර්ටි, ඇනස්ලි, එච්. ඩී. විජේදාස, ඇල්ෆ්‍රඩ් පෙරේරා යන පස්දෙනාම එකල එකට හමුවී තිබුණේ කැලණියේ විද්‍යාලංකාර පිරිවෙණේදීය.

වසර පනහකට ආසන්න කාලයකදී මෙම ශිල්පීන් තිදෙනා ඉදිරිපත් කළ හාස්‍යෝත්පාදක වැඩසටහන් බොහෝමයක් අප මතකයේ රැඳී පවතී. ඉන් එක් වැඩසටහනක වූ දෙබස් කිහිපයක් පහත ඉදිරිපත් කරන්නේ එහි ඇති නාට්‍යමය ගුණය මතක් කර ගැනීම සඳහාය.

එහි ඇත්තේ සම්මුඛ පරීක්ෂණයක ජවනිකාවකි. පිළිගැනීමේ නිලධාරියකු තෝරා ගැනීම සඳහා වූ එම සම්මුඛ පරීක්ෂණය මෙහෙයවන්නේ ඇනස්ලි ඩයස්ය. රැකියාව ලබාගැනීමට පැමිණෙන භාරත ආසියානන්ද බර්ටි ගුණතිලකය.
සම්මුඛ පරීක්ෂක - හාරත ආසියා! ආ.. මට වැරදුණා. හාරත නෙමෙයි. භාරත! භාරත ආසියා! භාරත ආසියානන්ද.

බර්ටි (භාරත) - හරි. ඇවිල්ලා. මම තමයි භාරත ආසියානන්ද.

ස. පරීක්ෂක - හා හොඳයි වාඩිවෙන්න. ආ වාඩිවෙලා නේද ඉන්නේ? දන්නවද තමුන් ඉල්ලලා තියෙන රස්සාව මොකද්ද කියලා?

භාරත - පිළිගැනීමේ නිලධාරී වැඩක්.

සම්මුඛ පරීක්ෂක - බොහෝම සැහැල්ලුවට නේද අරන් තියෙන්නේ. හිතන්නෙපා මේක බොහොම ලේසි පහසු රක්ෂාවක් කියලා. මේක වගකිව යුතු වැඩක්. ඒ කියන්නේ පිළිගැනීමේ නිලධාරියගෙන් තමයි ආයතනයේ තත්ත්වය මැනගන්නේ. පිළිගැනීමේ නිලධාරියට පුළුවන් මේ ආයතනය ඇති කරන්නත්, නැතිකරන්නත් පුළුවන්.

භාරත - හරි සර්. ඒ දෙකෙන් කොයි එකද මම කරන්න ඕන?

සම්මුඛ පරීක්ෂක - මොනවා?

මුතුකුඩආරච්චිගේ ෆ්‍රැන්සිස් ඇනස්ලි ඩයස් 2009 ජුනි 12 වැනිදා අප හැර ගියේය. හේනගේ සැමුවෙල් රුද්‍රිගූ ද අපව හැරගියේය.

95 වැනි වියේ පසුවන බර්ටි ගුණතිලක ගොඩකවෙල තම දූ දරැවන්ගේ සත්කාර විඳිමින් පසුවන බව දැනගන්නට ලැබුණි. ශෝක වන්නට දහසක් හේතු ඇති ජනයා සිනහවෙන් සතුයෙන් තැබීම ගැන ඔවුන් තිදෙනාටම අපේ ගෞරවයත්, ආචාරයත්, ආදරයත් හිමිවේවා!

I  සමන් පුෂ්ප ලියනගේ