2025 ජුලි 05 වන සෙනසුරාදා

ඔක්ස්ෆර්ඩ් ගිය සිංග්ලිෂ්

 2025 ජුලි 05 වන සෙනසුරාදා, ප.ව. 02:00 2

ඉංග්‍රිසි භාෂාව ගැන නොවන ඉංග්‍රිසි කතාව ගැන මේ දිනවල සිරි ලංකාවේ එක එක කතාය. ඒ අස්සේ සිංහල භාෂාව ගැන ද අලුත් කතාවක්ය. ඊට නිමිති වූයේ ඉංග්‍රිසිකාරයන්ට ‘බයිබලයක්’ බඳු වූ ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට සිංහල වචන කිහිපයක්ද ඇතුළත් කරගෙන තිබීමය. එනම්, අස්වැද්දුම, අවුරුදු, බයිලා, කොත්තු රොටී, කිරිබත්, මැල්ලුම්, ඔසරි, වලව්ව, පපරේ සහ වටලප්පන්ය.

මීට දශකයකට ඉහතදීද සිංහල වචන කිහිපයකට ඔක්ස්ෆර්ඩ් ඉඩක් ලැබුණි. ඒ, අයියෝ, අයියා, මුදලාලි, අම්බලම, පොල් සම්බෝල, පුන්නක්කු හා සිංග්ලිෂ්ය.

භාෂාවක් වෙනත් භාෂාවන්ගෙන් පෝෂණය ලැබීම අලුත් දෙයක් නොවේ. ඉංග්‍රිසිය තුළ ද, වෙනත් භාෂාවන්ගෙන් ගත් වචන, යෙදුම් ඕනෑ තරම්ය. සිංහල භාෂාව තුළ ද, ඉංග්‍රිසි පමණක් නොව, පෘතුගීසි, ලන්දේසි, දෙමළ ආදී වචන රැසකි.
‘අස්වැද්දුම’ යන වචනය තුළ අර්ථ කිහිපයකි. තනි වචනයක් තුළ ඇතුළත් ක්‍රියාවලියකි. ඒ නිසා එය ඉංග්‍රිසියට නැගීමට ගිය ඉංගිරිසියා අමාරුවේ වැටුණේය. අන්තිමේදී “අස්වැද්දුමයි සේෂන්” නමින් ශබ්දකෝෂයට ද ගියේය.
මඳ කලකට ඉහත මම, එදිනෙදා සිංහල කටවහරේදී වැඩිපුරම භාවිත කෙරෙන ‘උපත’ සිංහල නොවන වචන ගැන සොයා බැලීමක් කළෙමි. එහිදී මට හමුවූ වචන කිහිපයකි මේ.

මචං
ගුඩ් මෝනිං
ගුඩ් නයිට්
අයිසේ
රයිට්
ඕ.කේ.
බායි
හලෝ
ඔෆිස්
ජොබ්
බස්
හෝටලය
බයිට්
රයිස්
ලන්ච්

මේ ‘ලැයිස්තුව’ තව බොහෝ දිගය. ඇන්ටිලා, අන්කල්ලා නැති තැනක් නැත. හස්බන්ඩ්ස්ලාට සිටින්නේ වයිෆ්ලාය.

ඉස්සර ගෙවල්වල කක්කුස්සි තිබුණි. දැන් තිබෙන්නේ ටොයිලට්ය. නැත්නම් වොෂ් රූම්ය. ලන්දේසි kak-huis වචනය, අපට කක්කුස්සි විය. ලන්දේසින්ගෙන්ම ලද කුස්සිය, දැන් අපට කිචන්ය.
ඉංග්‍රීසි යටත්විජිතයන්ව තිබූ හැම රටකම, භාෂාව අච්චාරු වී තිබේ. ලන්දේසි, පෘතුගීසි, ප්‍රංශ, ස්පාඤ්ඤ ආදී යටත්විජිතයන්ටද ඒ ආනිසංසයමය. ඇතැම් කළු අප්‍රිකානුවන් වතුර වගේ ප්‍රංශ කතා කරන්නේත්, පිලිපීනුවන් ස්පාඤ්ඤ කතා කරන්නේත් ඒ අනුවය.

සිංහල අපගේ නම් ගම්ද හුදු සිංහලම නොවේ. ඉංග්‍රිසි, පෘතුගීසි, ලන්දේසි, දෙමළ නම් අප අතර සුලභය.
ප්‍රවීණ පත්‍ර කලාවේදී ඩී.එෆ්. කාරියකරවනයන්, සිය “මතක පොතේ” ලියා ඇති සිද්ධියක් මෙසේය. සිරි ලංකාවේ පත්‍ර කලාවේදීන් පිරිසක් තායිවානයේ සංචාරයක යෙදුණහ. ඔවුන් නවාතැන් ගත් හෝටලයට ගිය විට, සාමාන්‍ය සිරිත අනුව කවුන්ටරයට නම් ගම් සැල කිරීමට සිදුවිය.
එක් අයකුගේ වාසගම ‘පින්තු’ ය. ඒ ඇසූ කවුන්ටර කෙල්ලෝ ලැජ්ජාවෙන් ඇඹරෙමින්, එකිනෙකා හා සිනා පාන්නට වූහ.

“ඇයි මොකක්ද ප්‍රශ්නෙ?”
කාරියකරවන වෙනත් තායි ජාතිකයකුගෙන් විමසයි.
“පින්තු කියන්නෙ, අපේ භාෂාවෙන් හොර මිනිහට.”

හඳුන්නෙත්ති ඇමැතිතුමා විදෙස් සමුළුවකට ගොස් කළ ඉංග්‍රිසි සංවාදය ගැන මේ රටේ ඉන්නා පර බස් හීනමානකාරයන් අතර එක එක කතාය. මීට කලකට ඉහත නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයකුට ජිනීවාහි සමුළුවකට දෙසුමකට යාමට ඇරැයුම් ලැබුණි. ඔහුට ඉංග්‍රිසි බැරිය. හඳුන්නෙත්ති මෙන් නොව, කොළයක් බලාගෙනවත් කියවන්නට බැරිය. ඒ නිසා ඔහුගේ ලේකම්, ඉංග්‍රිසියෙන් පිළියෙළ කළ කතාව, සිංහල අකුරෙන් ලියා ඇමැතිට දුන්නේය. ඇමැතිද සිංහල පිටපත බලාගෙන ඉංග්‍රිසි කතාවක් කළේය. ඒ සිද්ධිය ඔහුගේ ලේකම්ම පසු කලෙක කියන තුරු කිසිවෙක් දැනගත්තේද නැත.

ඉංග්‍රිසි උච්චාරණය ගැන ද, අපේ ඇත්තන්ට ඇත්තේ මහා ලොකු රුදාවකි. අපි ඉන්දියානුවන්ගේ ඉංග්‍රිසි කතාබහ ගැන සිනාසෙමු. ඉන්දියාවේ තිබෙන්නේ ඔවුන්ට රිසි සේ නමා හදාගත් ඉංඩියන් ඉංග්ලිෂ්ය. එහෙත්, ලෝකයේ වැඩිපුරම ඉංග්‍රිසි පොත් පළවන හා විකිණෙන රටවලින්, ඉන්දියාව ද එකකි. අපේ ඉංග්‍රිසිකාරයෝ අනුන් හෙළා දකිනවා පමණි.

ඉංග්‍රිසි - දෙවැනි බස කරගත්තවුනට, ඉංග්‍රිසි වැරදීම හෝ නොතේරීම ලොකු වරදක් නොවේ. එහෙත්, පන්තිය ඉදිරියේ ඉංග්‍රිසි රචනාවක් කියවන ළමයකුත්, සභාවක් අමතන ඇමැතිවරයකුත් අතර වෙනසක් තිබිය යුතු බවත් සැබෑය.
මේ කාරණා දෙස බලන කල, ඉංග්‍රිසියෙන් කපුටාට, කපුටාම යැයි කීමේද ලොකු වරදක් නැත. ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට ‘කපුටා’ යන වචනය ද ඇතුළත් කරගත යුතු යැයි යෝජනා කරමි.

කපිල කුමාර කාලිංග