2019 සැප්තැම්බර් 13 වන සිකුරාදා

ආණ්ඩුවේ ගබඩාවල වී නෑ!

 2019 සැප්තැම්බර් 13 වන සිකුරාදා, ප.ව. 03:15 109

මෙවර වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් ලක්ෂ 12ක් වශයෙන් ගණන් බලා ඇතත් ගොවීන්ගේ පෞද්ගලික පරිභෝජනය සඳහා ඉතිරි කර ගන්නා මෙට්‍රික් ටොන් ලක්ෂ 6ක පමණ ප්‍රමාණය ඉවත් කළ පසුව වෙළඳපළට යොමුකරන වී ප්‍රමාණය අඩු වී ඇතැයි වාර්තා වේ. රජය සහතික මිලක් යටතේ වී මිලට ගැනීමේ ක්‍රමවේදයක් සකසා ඇතත් පෞද්ගලික අංශය ඉහළ මිලකට වී මිලට ගැනීමට පෙළඹී සිටියි. එය යහපත් තත්ත්වයක් බැවින් වී අලෙවි මණ්ඩලය සතු ගබඩා තවදුරටත් හිස්ව පවතින බව වාර්තා වේ.

ගොවියාට දැන් හොඳ මිලක් ලැබෙනවා
- වී අලෙවි මණ්ඩල සභාපති

වී ගොවියාත් පාරිභෝගිකයාත් ආරක්ෂා කරමින් ස්ථාවර මිලකට වී මිලට ගැනීමත් සහන මිලකට සහල් අලෙවි කිරීමටත් කටයුතු කරන වී අලෙවි මණ්ඩලය පෙන්වා දෙන්නේ අඩු මුදලකට වී අලෙවි කිරීම අවශ්‍ය නොවන බවය. මේ පිළිබඳ අදහස් දක්වන වී අලෙවි මණ්ඩලයේ සභාපති කස්තුරි අනුරාධනායක මහතා පවසන්නේ වී මෙට්‍රික් ටොන් ලක්ෂයක් වුවද මිලට ගැනීමට වී අලෙවි මණ්ඩලය සූදානමින් සිටින බවය. ඒ සඳහා රජය සතු අනුරාධපුර, පොළොන්නරුව, අම්පාර ඇතුළු ප්‍රදේශවල පවතින වී ගබඩාවල පහසුකම් පවතින බවද කීය. වී අලෙවි මණ්ඩලය ක්‍රියාකාරීත්වය මත සහතික මිල අභිබවා පෞද්ගලික අංශය වී මිලට ගැනීමට උනන්දුවීම නිසා එය ගොවීන්ට මහා සහනයක් බවද සභාපතිවරයා පෙන්වා දෙයි.

“දැනට වී මිල ඉහළ ගොස් තිබෙනවා. මහ කන්නයේ පැවති මිලත් සමඟ වී අලෙවි මණ්ඩලය වී තොග මිලට ගත්තා. යල කන්නයේදී ව්‍යාපාරිකයන්ට වී තොග අඩු වී තිබෙනවා. ඒ නිසා ඔවුන් වැඩි මිලකට වී මිලදී ගනිමින් සිටිනවා. එය ස්ථාවර මිලත් අභිබවා පවතිනවා. එය ගොවියාට ඉතාම හොඳ තත්ත්වයක්. මේ නිසා මෙවර වී අලෙවි මණ්ඩලයට එන වී ප්‍රමාණය අඩුයි. ගොවියාගේ වී මිල ඉහළ යන නිසා මේ තත්ත්වය අපට සතුටුයි. අපි වී මිලදී ගැනීමට පෙළඹෙන්නේ ගොවින්ගේ වී මිල ඉහළ නැංවීමේ අරමුණටයි. දැනට එය සිදුවෙනවා. පෞද්ගලික අංශය කුඹුරට ගිහින් මිලට ගැනීමට පෙළඹී සිටිනවා. වී ගොවීන්ට සාධාරණ හොඳ මිලක් ලබාදීමට අපි තරගයේ ඉන්නවා. ඒ සඳහා වී ගබඩා විවෘත කර තිබෙනවා. ලංකාවේ හාල් ආධිපත්‍ය ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් කිහිප දෙනකු අතර පැවැතුණා. කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට අපි කෙළින්ම වී නිකුත් කරනවා. මේ නිසා ඔවුන්ට ආදායමක් ගන්න රැකියා අවස්ථා ඇති කිරීමට අවස්ථාව තිබෙනවා. වී ගොවියා වගේම කුඩා වී මෝල් හිමියන් මේ තුළින් ආරක්ෂා වෙනවා. සතොස හරහා ‘ශක්ති’ සහල් නිකුත් කරනවා. ඒ මගින් හාල් මිල පාලනය කරලා පාරිභෝගිකයන් ආරක්ෂා කිරීමට පියවර ගෙන තිබෙනවා.”

මණ්ඩලය කරන්නේ මහා පරිමාණ මෝල්කරැවන්ට ගසාකෑමට ඉඩදීමයි
- නාමල් කරුණාරත්න (සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක)

වී අලෙවි මණ්ඩලය සාමාන්‍යයෙන් වී මිලදී ගන්නවා වුණාට මේ පාර එහෙමවත් කළේ නෑ. රජයේ ගබඩාවලට වී ගත්තොත් තමයි යම් තරගකාරීත්වයක් ඇති වෙන්නේ. 25%වත් රජය මිලට ගන්නවා නම් යම් බලපෑමක් කරන්න පුළුවන්. ඒකත් වැඩක් වෙන්නෙ නෑ රජය මැදිහත් වෙලා වී හාල් නොකරනවා නම්. රජයට වී මෝල් නෑ. කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට වී දීලා හාල් කරලා සාධාරණ මිලකට අලෙවි කරන්න පුළුවන්. ත්‍රිවිධ හමුදාව, රෝහල්, බන්ධනාගාර වගේ ස්ථානවලට හා සතොසට හාල් ලබාදීමට පුළුවන්. එහෙමවත් කරන්නේ නෑ. ගොවියාටත් පාරිභෝගිකයාටත් සහනයක් වෙන්න එහෙම කළ යුතුයි.

රජයේ ගබඩාවල වී මෙට්‍රික් ටොන් 50,000ක් තිබෙන බවට වාර්තා යනවා. මැයි මාසෙ ටෙන්ඩර් කළා. නාඩු කිලෝව 43/44 මිලකට සම්බා කිලෝව 41/42 මිලකට විකිණීම සඳහා. නමුත් ඒවා විකුණුවේ නෑ. දැන් අපට ආරංචියි එදා ටෙන්ඩර් කළ මිලට දැන් වී විකුණන්න සූදානම් වෙනවා කියලා. දැන් නාඩු කිලෝව 48/49 වෙනවා. සම්බා කිලෝව 44 වෙනවා. පරණ මිලට මේවා විකුණුවාම ගත්තු කෙනා අලුත් මිලකට විකුණනවා. එතකොට මේ වී ටික ගන්නේ රටේ ප්‍රධානම හාල් ව්‍යාපාරිකයො. ඔවුන් කෝටි ගාණක ලාභයක් උපයනවා මේ වැඩෙන්. රජය ගැසට් කළ මිලට හාල් විකුණන්නේ ව්‍යාපාරිකයන් කිහිපදෙනකු පමණයි. අනෙක් අය ‘සුපිරි’ කියන ලේබලය යටතේ අධික මිලකට හාල් අලෙවි කරනවා. ඒ සඳහා පාලන මිලක් නෑ. සමහර විට එම සහල් සාමාන්‍ය සහල්වලට වඩා බාලයි. මෙය ඔප්පු වෙලා තිබෙනවා. වෙළෙඳපොළේ හාල්වලට වඩා අලෙවි වන්නේ වෙළඳ නාමය බව පැහැදිලියි. විවිධ හේතු කියලා රජය වී මිලදී නොගෙන ඉන්නවා. ඉදිරියේදී කුඩා මෝල් හිමියන්ටත් ගොවියන්ටත් වී නැති වෙනවා. අන්තිමේ මහා පරිමාණ ව්‍යාපාරිකයන් කිහිපදෙනා විසින් හාල් මිල පාලනය කරනවා. ඒක තමා ඉදිරියේදී සිදුවෙන්නේ.

සමන්ත ප්‍රදීප් විල්තෙර