2019 ජුලි 20 වන සෙනසුරාදා

ඇසළ පෙරහරේ ඇතුන්ගේ කතා

 2019 ජුලි 20 වන සෙනසුරාදා, ප.ව. 12:31 332

ඇසළ සමයත් පළතුරු වාරයත් පැමිණෙන්නේ එකවිටය. කොළඹ නගරයේ පාර දෙපස රඹුටන් ගොඩගසාගෙන විකුණන්නේත් ඒ කාලයටයි. රඹුටන් මෙන්ම හැමදාම සුලභව නොදකින මැංගුස්ටින්, ගඩුගුඩා ආදිය කන්නට ලැබෙන්නේත් ඒ කාලයටයි. ඇසළ සමයේ එළඹෙන වේල් උත්සව කාලයට වැල්ලවත්ත, බම්බලපිටිය කෝවිල් සමීපයේ ගාලු පාරේ තාප්පවලට හේත්තුකරගත් උක්ගස් ගොඩගසාගෙන විකිණීමද ඉස්සර සිටම සිදුවිය.

ඇසළ සමයේ අප රටේ පවත්වන ප්‍රධාන ජාතික උත්සවය මහනුවර ඇසළ පෙරහරයි. කතරගම පුද පූජා සහ පෙරහර සමය එළඹෙන්නේත්, බෙල්ලන්විල පෙරහර ඇතුළු තවත් උත්සව ගණනාවකුත් පැවැත්වෙන්නේත් මේ ඇසළ සමයේදීය. 

මහනුවර ඇසළ පෙරහර පිළබඳ කතාව 4 වැනි සියවස දක්වා අතීතයට දිව යන්නකි. කිත්සිරිමෙවන් රජ, රජකම් කළ කි.ව. 301 – 328 කාලයේ පටන් දළදා පෙරහර මෙරට පැවැත් වූ වගට මහාවංශයෙන් සාක්ෂි ලැබේ. දළදා වහන්සේ මෙරටට වැඩම කර ඇති බව කියන්නේ ද එම කාලයේ පටන්ය. 

“රජතෙමේ නව ලක්ෂයක් දන විසඳා දළදා මහ පෙරහර කළේය. අවුරුදු පතා අභයගිරි විහාරයට ගෙන ගොස් දන්තධාතුවට මෙබඳු පූජා කරවයි නියෝග කළේයි.” යනුවෙන් දළදා පෙරහර පටන් ගත් ආකාරයට මහාවංශයේ දැක්වෙයි. 

පාහියන් භික්ෂුවගේ වාර්තා වලද දළදා පෙරහර එකල කරන ආකාරය ගැන තොරතුරු දැක්වේ.

“රජතෙමේ තුන්වන මස (ඇසළ මස) මැදදී බුදුරජාණන් වහන්සේගේ දළදාව පෙන්වයි.”

පෙරහර පවත්වන්නට දින දහයකට පෙර ඒ ගැන නිල නිවේදනය කළ ආකාරය ද පාහියන් භික්ෂුවගේ දේශාටන චාරිකාවල දැක්වේ. 

“දින දහයකට පෙරාතුව කීමෙහි බිනීමෙනි දක්ෂ මිනිසකු රජ ඇඳුම්, පැළඳුම්, හඳවා, පළඳවා මොනවට සැරසූ ඇත්හු පිට නඟවා නුවර ඇවිද අණබෙර ගසා මෙසේ කියන්නට සලස්වයි.”

හොඳ කටවාචාලයකුට රජ ඇඳුම් අන්දවා රජයේ නිවේදන කරන්නට ඉඩදීම කෙතරම් භයානක වුවද ඒ කාලයේ එසේ කළ බව පාහියන් භික්ෂුවගේ වාර්තාවලින් හෙළිවේ. 

එක්දහස් හයසිය ගණන් අගභාගයේදී මෙරට සිරකරුවකු ලෙස වාසය කළ රොබට් නොක්ස් ලියූ සිය ශ්‍රී ලංකාද්වීපය පිළිබඳ ඓතිහාසික විස්තරයේ ඇසළ පෙරහර ගැන දීර්ඝ විස්තරයක් කර ඇත. ඩේවිඩ් කරුණාරත්න ලියූ එය සිංහල අනුවාදයෙන් ද අපට ඒ ගැන කියවා ගත හැකිවේ. එහි එක් තැනක මෙසේ සඳහන් වේ. 

“වර්ෂයක් පාසාම පවත්වනු ලබන මෙම පෙරහර වර්ෂ 1664 දී පවත්වන්නට මහරජතුමා ඉඩ නොදුන්නේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් දෝ එම වර්ෂයෙහි රජුට විරුද්ධව මහ කැරැල්ලක් ඇති වූයේය. “එයින් පසු කිසිම වර්ෂයක පෙරහර අවලංගු කරන්නට මහරජු බිය විය.”

රොබට් නොක්ස් මේ කියන්නේ දෙවැනි රාජසිංහ රජු ගැනයි. පොතේ මේ හරිය එනවිට ඔහු දෙවැනි රාජසිංහ රජු ගැන පාඨකයාට හඳුන්වාදී හමාරය. දළදා පෙරහර කෙතරම් මහජනයාගේ ජීවිතවලට එකල පටන්ව සමීපවීදැයි මෙයින් පෙනීයයි. මහනුවර ඇසළ උත්සවය ලෙස මෙය නම් කළද පෙරහර පැවැත්වෙන්නේ බොහෝ විට නිකිණි මාසය තුළයි. පෙරහර වර්ග 4ක් දළදා පෙරහරට අයත්ය. 

1. ඇතුළේ පෙරහර - දේවාල ඇතුලේ දින 5ක් සිදුකරයි
2. කුඹල් පෙරහර - දින පහක් තිස්සේ කරන මෙහිදී කාරියකරවන රාළ මාලිගාව තුළ තිබෙන මුරායුධ, පළිහ, සේසත්, රිදී උඩැක්කි, පන්තේරු, අත්පන්දම් ආදිය පිරිසිදුකොට ඒවාත් කුඹල් පෙරහරේ වීදි සංචාරය කරවයි. 
3. රන්දෝලි පෙරහර - මාලිගාවේ ඇතාව ප්‍රධාන දොරටුව අසලදී සරසා ගෙන යන්නේ මෙහිදීය. හේවිසි හඬ හා සියලු තූර්ය වාදන මාධ්‍යයේ දියවඩන නිලමේ කැඳවාගෙන අවුත් දළදා කරඬුව ඇතා පිට තබන්නේ මෙම පෙරහර ආරම්භයේදීය. 
4. දවල් පෙරහර - පෙරහර සමය අවසන් වන්නේ දවල් පෙරහරෙනි. 

කසකරුවෝ, ගිනිබෝලකරුවෝ, බෞද්ධ කොඩි ගෙනයන්නෝ, පෙරමුණේ රාළ, හේවිසි වාදකයන්, ගජනායක නිලමේ, අලි ඇතුන්, කවිකාර මඩුවේ ශිල්පීන්, දළදා කරඬුව රැගත් ඇති වෙස් නැටුම්, දියවඩන නිලමේ ගමන් යන උත්කර්ෂවත් පෙරහර වන්නේ තුන් වැනිව කී රන්දෝලි පෙරහරයි.

ඉස්සර පටන්ම කුඩා දරුවාගේ පටන්ම පෙරහරේ උත්කර්ෂය මනින එක් කාරණයක් වූයේ පෙරහරේ අලි ඇතුන් කී දෙනකු ගියාද යන්නයි. සාමාන්‍යයෙන් විසිතුරු ඇඳුමෙන් සරසා, විදුලි බුබුළෙන් ආලෝකමත් කොට පෙරහර අලි ඇතුන් ගෙනගියද උන්ගෙන් සංකේතමත් වන්නේ මේඝයයි. හෙවත් කාලවර්ණ වැහි වළාකුලයි. වැහි වළාකුල සශ්‍රීකත්වයේ සංකේතයකි. රටේ භවබෝග දියුණු වී ඉසුරු සම්පත් වැඩි වන්නට වර්ෂාව අවශ්‍යය. විදුලි බුබුළෙන් සැරසූ ඇතාට වඩා කාල වර්ණ වැහි වළාකුල වඩාත් හොඳින් සංකේතවත් වන්නේ නිරුවතින් යන ඇතාගෙනි. එහෙත් නිරුවතින් යන ඇතුන් බලන්නට කිසි කෙනකු පෙරහර බලන්නට එන්නේ නැත.

සැමදා දළදා කරඬුව රැගෙන ගියේ විශේෂ ලක්ෂණ ඇති ඇතකු පිටය. සාමාන්‍යයෙන් කියන්නේ ධාතු කරඬුව ගෙනයන ඇතාගේ හත් වැඳුම්පොළ පිහිටා තිබිය යුතුයැයි කියාය. එනම් සතර පා, හොඬය, ලිංගය හා වලිගය පොළොව හා ස්පර්ෂ වන ආකාරයෙන් එකී ඇතාගේ තිබිය යුතුය. එපමණක් නොව මෙවැනි මංගල ඇතකුගේ පුළුල් කුඹුතල, පුළුල් පිට, උදාලීලාව හා තේජාන්විත දළ යුග්මය ආදිය පිහිටා තිබීම අනිවාර්යකි. ඉස්සර කාලේ මේ සඳහා යොදාගත්තේ රජුගේ නිල ගමන් ගිය මඟුල් ඇතාය. 

මෑත අතීතයේ වාර්තාගත පළමු හස්තියා ලෙස හැඳින්වෙන්නේ ලෙව්කේ වලව්වේ ඇතාය. ඉන්පසු මාතලේ වෑගොඩපොළ වලව්වේ ඇතා. පානබොක්කේ වලව්වේ ඇතා (දළ කොටා), මහයියාවේ රත්වත්තේ වලව්වේ ගෝමර ඇතා ගැනද ඉතිහාසයේ ලියැවී ඇත. මේ වනවිට කඩුවෙල නැඳුන්ගමුවේ වලව්වේ රාජා හස්තියා කරඬුව වැඩම කරලීමේ සුවිශේෂ කාරයභාරය ඉටුකර ඇත. ගිය වසරේ නැඳුන්ගමුවේ ඇතා මේ සඳහා මහනුවරට ගිය ගමන සමාජ මාධ්‍යවල බෙහෙවින් ජනප්‍රිය වූයේය. 

එහෙත් අප පරිහණය කරන රුපියල් දාහේ කොළයේ ඉන්නා “රාජා” මහනුවර ඇසළ පෙරහරේ සුවිශේෂ හස්තියෙකි. මෙම රාජා හස්තියා ජාතික වස්තුවක් ලෙස නම් කරනු ලැබීය. රුපියල් දාහ කොළය ඉක්මනින් වියදම් වී දියවී යන්නට පෙර එම කොළයේ ඉන්නා රාජා ඇතාගේ රූපය දෙස ටික වේලාවක් බලා හිඳ රාජා හස්තියා ගැන මෙනෙහි කරනු වටී. 1925 වෘත්තීය අලි අල්ලන්නකු වූ උමේරැ ලෙබ්බේ නම් පුද්ගලයකු විසින් මෙම කුඩා අලි පැටවා අල්ලා ගිරාගම මාම්පිටිය වලව්වේ ටිකිරි බණ්ඩාර දිසාවේට විකුණා ඇත. එම පැටවාට රාජා කියා නම් තබා ඇත්තේ ඔහුය. මාම්පිටිය දිසාවේ වයස් ගත වෙද්දී 1937දී, වයස 22ක් පමණ වූ මෙම ඇතාව තවත් ඇතකු සමඟ ඔප්පුවක් මගින් දළදා මැඳුරට පූජාකර තිබේ. කුමරිය කුලයේ ඇතකු ලෙස සැළකෙන රාජාගේ වම් දළය දකුණු දළයට වඩා උස්ව පිහිටියේය. 
1955 වසරේ ඇසළ පෙරහරේ රන්දෝලි පෙරහර වීදි සංචාරය කරද්දී රාජා ක්වීන්ස් හෝටලය අසළදී නතර වී තිබේ. කරුණු පරීක්ෂා කිරීමේදී ඇතා පිට ඇති රන්සිවිගෙය බැඳ තිබූ බඳ පටියක් කැඩී ඇති බව දැනගන්නට ලැබිණි. 
දිනක් මුරණ්ඩු වී දවසම ඇත්ගොව්වන්ගේ කීම නාසා කටුගස්තොට ගඟේ බැසගෙන සිටි රාජා, හවස නැවත මහනුවර නගරය මැදින් ගෙන ගියේ ශබ්ද විකාෂණ මගින් අනතුරු හැඟවූ පසුවය. එදා පාර මැද වැඳ වැටුණු එක් මිනිසකුට රාජා කිසි හානියක් නොකර ඔහුව ඔසවා පාර අයිනෙන් තැබුවේලු. 

ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා රාජාව ජාතික වස්තුවක් ලෙස නම් කළේ 1986 අගෝස්තු 26 වැනිදාය. 1987 ජනවාරි පළමු වැනිදා රාජා රථයක ගැටී තුවාල ලැබුවේය. (ඇත්ගොව්වා එතැනම මියැදුණේය) එතැන් පටන් රාජාගේ පාද අප්‍රාණික විය. 1988 ඇසළ මස 16 වැනිදා රාජා අවසන් හුස්ම හෙලුවේය. රාජාගේ ජීවමාන අනුරුව දළදා මාලිගාවේ මහජන ප්‍රදර්ශනයට තැබුවේ 1989 පටන්ය. රාජාගේ රූපය සහිතව එළිදැක්වූ මුද්දරය ශත 75 මුද්දරයක් වුවද රාජාගේ රුව රැගත් මුදල් නෝට්ටුව නම් දාහේ එකකි. 

1959 දී පවා දළදා පෙරහරට ආලෝකය සැපයූවේ කොප්පරා පන්දම් එළියෙනි. 1959 දළදා පෙරහරේ සුප්‍රසිද්ධ අලි කුලප්පුව සිදුවූයේ කොප්පරා පන්දම්වලින් පාරට වැටුණු ගිනි පුළිඟුවක් ඇතෙකුට පෑගීම නිසා බව කියවේ. එදා සිදුවූ අලි කුලප්පුව නිසා රාජා නම් වෙනත් ඇතෙකුට පොලිසියෙන් වෙඩි තැබූ බව වාර්තා වේ. රාජා නැමති එකී අලියාගේ දේහය පාරේ වැටී ඇති අයුරු කිහිපදෙනකුම ඡායාරෑප ගෙන තිබුණේය. ඒ උඩුරාවණ නිලමේගේ රාජා නම් ඇතා බවද වාර්තාවේ. ඒ ගැන ඇන්ටන් ජෝන්ස් බයිලාව කීවේ මෙසේය. 

“ඇත්ගොව්වා මනප්පු
හොඳට බීලා කසිප්පු
හෙණ්ඩුවෙන් ඇණපු පාරට විය
අලියා කුලප්පු”

එහෙත් ඒ අලියාට ඊට වඩා අසාධාරණයක් එදා සිදුවුණු බව පෙනීයයි. හෙණ්ඩුවෙන් අණින අණින පාරට අලි කුලප්පු වනවා නම් කවදාවත් පෙරහරේ අලි ගෙනියන්නට ලැබෙන්නේ නැත. කෙසේ වුවද කරඬුව වැඩම කළ රාජාද එහි සිටිබවත් අලි කුලප්පුව මැද කිසිදු කළබලයකින් තොරව රාජා කරඬුව ආරක්ෂා කළ බවත් වාර්තා විය.

අලංකාර වතින් සැරසුණු අලින්ගේ රූ ඇඳීම නුවර යුගයේ පටන්ම ජනප්‍රිය කලාවකි. එම රූප විදේශ සංචාරකයන් අතර බෙහෙවින් ජනප්‍රියය. මේ අතර සුදුහුම්පොළ ගජනායක කොඩියේ ඉන්නා ඇතාගේ රෑපය අන් ඒවාට වෙනස්ය.

සුදුහුම්පොළ ගජනායක කොඩියේ ඉන්නා ඇතාගේ රූපය තාත්වික ඇත් රුවක් නොවේ. ඌ ඉන්නේ මඳ සිනාවක් පාමිණි. හරියට මිනිසුන්ගේ මෝඩකම්වලට සිනා පාන්නාක් මෙනි.

 සමන් පුෂ්පලියනගේ