2019 මාර්තු 02 වන සෙනසුරාදා

කෝප් කමිටුවේ ඇදුණු පිළිකා බෙහෙතේ කඹ ඇදිල්ල

 2019 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 36

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ පළමු වාර්තාව අනුව විශේෂයෙන් අවධානයට යොමු වී ඇත්තේ මතබේදයට තුඩු දී ඇති රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට පසුගිය සමයේ පිළිකා නාශක ඖෂධය ගෙන්වීම පිළිබඳවය. මුලින්ම 2017 අප්‍රේල් මස 06 දින මේ පිළිබඳ කරුණු විමසීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නිලධාරීන් කෝප් කමිටුවට කැඳවා තිබූ අතර ඒ පිළිබඳ යළි සාකච්ඡා කිරීම 2017 මැයි මස 24 දින දක්වා කල් තබා තිබිණි.

එම රැස්වීමට පිළිකා වෛද්‍යවරුන්ගේ සංගමයේ සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නිලධාරීන් කැඳවීමට තීරණය වූ අතර ඒ අයට අමතරව අමාත්‍යංශ ලේකම් සහ අදාළ නිලධාරීන් ද, වෛද්‍ය සැපයුම් අංශයේ නිලධාරීන් සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අවසන් වරට හිටපු සභාපති සහ හිටපු ප්‍රධාන විධායක නිලධාරී සමඟ වර්තමාන සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ද සහභාගී විය යුතු බවට තීරණය වී තිබිණි. එසේ වුවද එම නිලධාරීන්ගේ ප්‍රමාණවත් සහභාගීත්වය නොලැබීම නිසා මැයි මස 24 වැනි දින පස්වරු 2.30ට පැවැත්වීමට නියමිතව තිබූ කාරක සභා සැසිවාරය 2017 ජූලි මස 07 දා දක්වා කල් දැමීමට සිදුව තිබුණි. මෙදින පැවැති රැස්වීමේදී මතු වූ සුවිශේෂ කරුණක් වූයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව මගින් Herticad යන ඖෂධය පිළිබඳ විමසීමේදී එයට අදාළ කරුණු ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයාගේ අත්සන නොමැතිව ඉදිරිපත් කර තිබීමය. මෙසේ විධිමත්ව ඉදිරිපත් නොකිරීම පිළිබඳ කෝප් කමිටුවේ දැඩි අප්‍රසාදය පළවී තිබේ. එසේ වුවද සාමාන්‍යයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් බැහැරට යවන ලිපිවලට අත්සන් කරන්නේ අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියා පමණක් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ ලේකම් පසුව කමිටුවට වාර්තා කර තිබිණ. එසේ වුවද අධිකාරිය විසින් මේ පිළිබඳ ලිපිය ප්‍රධාන විධායක නිලධාරියාගේ අත්සන සහිතව ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මගින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත යවා තිබූ අතර එම ලිපියම කෝප් කමිටුවට යොමු කර තිබූ බව අනාවරණය කෙරුණි.

පිළිකා රෝගය සඳහා ප්‍රතිකාර ලෙස යොදාගන්නා රුසියාවෙන් ආනයනය කරන Herticad නැමැති ඖෂධය එරට ලියාපදිංචි කර ඇති ආයතනනය කුමක්ද යන්න පිළිබඳ මෙහිදී සාකච්ඡා වී ඇත. ඖෂධයක් යම් රටක ලියාපදිංචි කරන විට ඒ සඳහා Certificate of Pharmaceutical Product (COPP) සහතිකය ලබාගත යුතු අතර බොහෝ රටවල එය නිකුත් කරනු ලබන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයට අනුබද්ධ ආයතනයක් මගින් බව හෙළිවිය. එහෙත් මෙම ඖෂධය සඳහා රුසියාවේ සහතිකය නිකුත් කර ඇත්තේ කර්මාන්ත සහ වාණිජ අමාත්‍යංශය මගින් බව ඖෂධ නියාමන අධිකාරිය පවසා තිබේ.

එසේම මෙහිදී අනාවරණය වී ඇත්තේ මෙම ඖෂධ සුදුසු බවට නිර්දේශ කළ කමිටුවේ පිළිකා බෙහෙත් පිළිබඳ දැනුවත් වූ වෛද්‍යවරුන් නොසිට ඇති අතර මෙය කැබිනට් ටෙන්ඩරයක් බැවින් තාක්ෂණික කමිටුව මගින් අනුමත කරගෙන ඇති බව ඖෂධ සංස්ථාවේ සභාපති ප්‍රකාශ කර තිබේ.

කෙසේ වුවද මෙම Herticad නැමැති ඖෂධය තාක්ෂණික කමිටු කිහිපයකින්ම සුදුසු නොමැති බව ප්‍රකාශ කර තිබෙන අතර එම මතය නොසලකා හැර එවැනි විරෝධතා තිබියදී ටෙන්ඩරය ලබා දී ඇති බවද හෙළි වී තිබේ. එසේම වෛද්‍යවරුන් අවශ්‍ය වූ විට මෙම බෙ‍හෙත ඉල්ලා සිටින්නේ Trastuzumab යන ඖෂධීය නාමයෙන් බවද එය කිසි ලෙසකින් Herception යන වෙළෙඳ නාමයෙන් ඉල්ලා නොසිටින බවද පිළිකා වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපතිවරිය කෝප් කමිටුව ඉදිරියේ ප්‍රකාශ කර තිබේ.

පසුව මෙහි ප්‍රගතිය වාර්තා කිරීමේදී සනාථ වී ඇත්තේ ඖෂධය පිළිබඳ පත් කළ පළමු තාක්ෂණික ඇගයීම් කමිටුවට පිළිකා රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනකු සහභාගීව සිට ඇති අතර එහිදී එක් වෛද්‍යවරයකු පමණක් Herticad බෙහෙත මිලදී ගැනීමට එකඟ නොවූ නමුත් අනෙක් වෛද්‍යවරුන් දෙදෙනා එකඟ වූ බව ද සඳහන්ව තිබීමය. යළිත් වෛද්‍යවරුන් පහකින් සමන්විත කමිටුවක් පත්කළ අතර එහිදී ද මුලදී විරුද්ධ වූ වෛද්‍යවරයා හැර සෙසු හතර දෙනා ඒ පිළිබඳ එකඟ වූ බව අමාත්‍යංශ ලේකම් වාර්තා කර තිබිනැයි කමිටුවට දන්වා තිබේ.

කෙසේ වුවද මේ දක්වාම මහරගම අපේක්ෂා රෝහලේ ඇතැම් වෛද්‍යවරුන් මෙම Herticad යන ඖෂධය රෝගීන් සඳහා නිර්දේශ නොකරන බව මාධ්‍ය මගින් ප්‍රකාශ විය. එසේ වුවද සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශ ලේකම්වරයා මෙය රෝගීන් සඳහා නිර්දේශ කරන ලෙස වෛද්‍යවරුන්ට චක්‍රලේඛයන් මගින් උපදෙස් දී ඇති අතර එම උපදෙස් ක්‍රියාත්මක නොකරන වෛද්‍යවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට යන බවට ද දැනගන්නට තිබිණ. කෙසේ වුවද සමහර වෛද්‍යවරු චක්‍රලේඛය අනුව යමින් මෙම ඖෂධය රෝගීන් සඳහා නිර්දේශ කිරීම සිදු කරති. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහරගම රෝහලේ වෛද්‍යවරුන් දෙපසකට බෙදී ඇති බවද දැනගන්නට ඇත. එසේම සෞඛ්‍ය අමාත්‍යංශය වෙනත් චක්‍රලේඛයකින් රෝගීන් සඳහා බෙහෙත් නියම කිරීමේදී වෙළෙඳ නාමය බෙහෙත් සීට්ටුවල සඳහන් නොකරන ලෙස උපදෙස් දී ඇති නිසා වෛද්‍යවරුන් මෙම Herception වෙළෙඳ නාමය ලිවීමෙන් වැළකී සිටින බව ද පැවසේ. මේ චක්‍රලේඛය සහ ඊට පසු දුන් උපදෙස් අතර පරස්පරතාවයක් ඇත.


කෙසේ වුවද මෙම ඖෂධ රෝගීන්ට ලබාදීමට පිළිකා වෛද්‍යවරැන්ගේ සංගමය විරුද්ධව ඇති බව කෝප් කමිටුවේදී අනාවරණය විය. මෙය රුසියාවේ රෝගීන් 44 දෙනකුට ලබා දී ඇති අතර ඒ අය අතරින් 05 දෙනකු මියගොස් ඇති බව ද වාර්තා වී තිබේ. එසේම මෙම බෙහෙත පැතිරුණු පියයුරු පිළිකා රෝගීන්ට ලබාදෙන බෙහෙතක් වන අතර එය මූලික අවස්ථාවේ රෝගීන්ට ලබාදීමට සිදුවීම ඔවුන්ට හානිදායක විය හැකි බැවින් තමන් එයට විරැද්ධ වූ බව වෛද්‍ය සංගමයේ නියෝජිතයන් කෝප් කමිටුවට පෙන්වා දී තිබිණ.

නමුත් පිළිකා වෛද්‍යවරැන්ගේ සංගමයේ වෛද්‍යවරුන් කොටසක් මේ ඖෂධය රෝගීන්ට ලබාදීමට නිර්දේශ කරන අතර, තවත් කණ්ඩායමක් එසේ ලබා නොදෙයි. ලබා නොදෙන වෛද්‍යවරුන් පිළබඳ විනය පරීක්ෂණවලට මුහුණ දීමට සිදුවන බවද සංගමයේ සභාපතිවරිය කෝප් කමිටුව හමුවේ වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

Herticad යන පිළිකා ඖෂධය ලියාපදිංචි කිරීමෙන් පසු පිළිකා වෛද්‍ය සංගමයෙන් පැමිණිලි ඉදිරිපත් කර තිබුණ ද යන්න පිළිබඳ කෝප් කමිටුව සොයා බලා ඇති අතර එහිදී දැන ගැනීමට ලැබී ඇත්තේ ඔවුන් ලියාපදිංචි කර ඇත්තේ Herception වලට බොහෝ සෙයින් සමාන Herticad නැමැති ඖෂධය බවයි. එය සෑම තත්ත්වයේම රෝගීන් සඳහා සුදුසු නොවන අතර එය සුදුසු වන්නේ පැතිරුණු පියයුරු පිළිකා රෝගීන්ට පමණක් බව පැවසේ. එසේම සභාපතිනිය පවසා ඇත්තේ 44 දෙනකු තරම් සුළු රෝගීන් ප්‍රමාණයකට මෙම ඖෂධය ලබා දී කරන ලද සායනික පරීක්ෂණයකින් පසුව එම සෑම අවධියකම සිටින රෝගීන්ට ලබාදීම සුදුසු නොවන අතර, එම තත්ත්වය අමාත්‍යංශ ලේකම්ට දිගින් දිගටම දන්වා සිටි නමුත් පූර්ව අවස්ථාවේ පිළිකා රෝගීන්ට ද මෙය ලබාදෙන ලෙස බල කරමින් රෝහල් අධ්‍යක්ෂ විසින් ලිපි එවන බවය. වෛද්‍යවරැන්ගේ විශේෂඥ මතයට ගරු නොකිරීම පිළිබඳ හා එම මතයට ලැබිය යුතු නිසි ගෞරවය නොලැබීම පිළිබඳ තමා කනගාටු වන බව ද ඇය කමිටුවට පවසා සිටියාය. එසේම විශේෂඥ වෛද්‍යවරයකුට තිබිය යුතු රෝගීන්ට අවශ්‍ය ඖෂධ නිර්දේශ කිරීමේ අයිතිය තමන් වෙත තිබිය යුතු බවද ඇය කමිටුව හමුවේ අවධාරණය කර ඇත.

විගණකාධිපති පක්ෂග්‍රාහීව මෙම සිද්ධියේදී කටයුතු කර ඇති බවට ඖෂධ නියාමන අධිකාරියේ නියාමන ඖෂධවේදී ක්‍රිෂාන්ත ද සිල්වා කමිටුවේදී කරන ලද චෝදනාව පිළිබඳව ද සලකා බලා තිබේ. ඔහු මෙම බරපතළ චෝදනාව කර ඇත්තේ ඖෂධ ලියාපදිංචියේදී තාක්ෂණික කමිටු අනුමැතිය ලබා ගැනීමේ කමිටු රැස්වීම සඳහා අදාළ වෛද්‍යවරුන් නොමැතිව අනුමැතිය ලබාගෙන ඇති බවට විගණන මතය අනුව තහවුරු වී ඇති බවට විගණකාධිපති සඳහන් කළ අවස්ථාවේදීය.

මෙහිදී කාරක සභාව නිර්දේශ කර ඇත්තේ අදාළ නිලධාරියාට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වා එහි වාර්තාව කාරක සභාව වෙත ඉදිරිපත් කළ යුතු බවටය. එසේම ක්‍රිෂාන්ත ද සිල්වා කාරක සභාවේදී පිළිතුරැ දීම සඳහා රැගෙන ආ සහ මේ පිළිබඳ ගොනු කර ඇති නඩුවට ඉදිරිපත් කිරීමට සකස් කරන ලද ලිපිගොනු සියල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබාදිය යුතු අතර ඒ ගැන ප්‍රගතිය කවරේද යන්න කාරක සභාවට වාර්තා කරන ලෙස ද නිර්දේශ කර තිබේ.

මේ පිළිබඳ ප්‍රගතිය හා වර්තමාන තත්ත්වය ගැන කෝප් කමිටුවට වාර්තා කර ඇති අතර එහිදී සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ ලේකම්ගේ 2018-03-29 දිනැති ලිපිය පරිදි සඳහන් කර ඇත්තේ විගණන නිලධාරීන් වෙත ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් ලබාදෙන ඇතැම් තොරතුරු නොසලකා හරිමින් මෙම වාර්තාව සකස් කර ඇති බව හැඟී ගිය බැවින් ඒ පිළිබඳ ඇති වූ සිත් වේදනාව මත අදාළ වාර්තාව සැකසූ නිලධාරීන් පිළිබඳ ඔහු මෙම ප්‍රකාශය සිදු කරන්නට ඇති බවය. එසේම එය විගණකාධිපතිට එරෙහිව පවසන ලද්දක් නොවන බවද පවසා තිබේ. එසේම මේ පිළිබඳ ක්‍රිෂාන්ත ද සිල්වා කෝප් කමිටුවේදී විගණන නිලධාරීන්ගෙන් සමාව ගෙන ඇති බවද ලිපියේ සඳහන් කර ඇත.

රුසියාවේ COPP සහතිකය නිකුත් කරන්නේ සෞඛ්‍ය අමාත්‍යංශය මගින් නොවන අතර, රුසියානු සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ලබා දී ඇති සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශයන් ඇතුළු ඖෂධ වර්ග පිළිබඳ ප්‍රමුඛතාව ලබාදෙන බව ආදි අමාත්‍යංශ වෙබ් අඩවියේ සඳහන්ව ඇති ඇතැම් කරුණු මෙම වාර්තාව සකස් කළ නිලධාරීන්ගේ අවධානයට ලක් නොවීම පිළිබඳව ද ක්‍රිෂාන්ත සිල්වා මෙහිදී අවධානයට ලක්කර ඇති බවද අමාත්‍යංශ ලේකම් කමිටුවට දන්වා තිබේ.

එසේම කෝප් කමිටුවට රැගෙන ආ ලේඛන සියල්ලම නිර්ව්‍යාජ ඒවා බවට ලේකම්වරයා වගකීමෙන් ප්‍රකාශ කර තිබේ. මේ පිළිබඳ අභියාචනා අධිකරණයේ පැවැති නඩුවට ජාතික ඖෂධ නියාමන අධිකාරිය පාර්ශවයෙන් කරුණු ඉදිරිපත් කිරීමේදී එම කාර්ය පහසු කර ගැනීමට අවශ්‍ය ලිපි ලේඛන එකට ගොනු කර තිබූ අතර කෝප් කමිටුවට ගෙන ආවේ ද එම ලිපි ගොනුව බැවින් එම ලිපිගොනු සියල්ල නඩුවට ඉදිරිපත් කළ ඒවා නොවන බවද ලේකම්වරයා කියා සිටී.

කෙසේ වුවද ඖෂධවේදී ක්‍රිෂාන්ත ද සිල්වා පිළිබඳ කාරක සභාව විසින් නිර්දේශ කරනු ලැබ ඇති පරිදි විනය පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කරන ලද බවක් හෝ විනය පරීක්ෂණයක් පිළිබඳ ගෙන ඇති ක්‍රියාමාර්ග කිසිවක් හෝ මෙතෙක් කාරක සභාව වෙත වාර්තා කර නොමැති බව කෝප් වාර්තාවේ සඳහන්ය. එහිදී කාරක සභාවේ නිර්දේශ පිළිබඳ අදාළ අංශ නිසි සැලකිල්ලක් දක්වා නොමැති බව නිරීක්ෂණය කර තිබේ.

යසවර්ධන රුද්රිගු