2019 මාර්තු 02 වන සෙනසුරාදා

අභියෝග ජයගත් රංගන ශිල්පිනියෝ

 2019 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 12:31 701

නාභිය නොදක්වා
සළු ඇඳ බොලට දක්වා
නොපව තන දක්වා
සිනා නොමසෙන් දසන් දක්වා

මේ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් විසින් රචිත කාව්‍යශේඛරයේ බමුණා විසින් සිය තරුණ භාර්යාවට දෙන උපදෙස්ය. මේ අනුව තරුණ කාන්තාවකට නාභිය (බුරිය) පෙන්වීම නොහොබිනාය. වළලුකර පෙනෙන්නට ඇඳුම් ඇඳීම නොමනාය. පියයුරු පෙනුණද එය ඇඳුමේ වරදකි. කොටින්ම දත් පෙන්වා සිනාසීමද කාන්තාවකට නොමනා ක්‍රියාවකි.
මේ සිරි රහල් හිමියන් බමුණු මත හෙළිදරව් කරන කවියක් විනා එතුමන් දෙන ඔවදනක් නොවේ. මෙහි එන උපදෙස් දැඩි පුරුෂාධිපත්‍යයක් හිසේ රුවාගෙන, ලිංගික ඉරිසියාව මැඩගත නොහැකි බමුණකු විසින් දෙන අතීතයේ පවා යල්පැන ගිය උපදෙසක් වූ වග බැලූ බැල්මට පෙනේ.

එහෙත් සාම්ප්‍රදායික සිංහල සමාජයේ ස්ත්‍රිය කෙරේ පුරුෂාධිපත්‍ය පතුරුවා ලීමට ඉහත සඳහන් බමුණු ඔවදන් වලින් පවා උදාහරණ ගෙන ඇත. සැබැවින්ම සම්ප්‍රදායික සිංහල ස්ත්‍රිය හිසේ සිට දෙපතුලට රෙදි පොරවාගෙන දසුන් නොපෙන්වා සිටි ස්ත්‍රියක් නොවේ. අටසිය ගණන්වල පවා ඇතැම් සිංහල සමාජවල ස්ත්‍රිය සිටියේ සිය ළයමඬල නිරාවරණය කරගෙනයි. නැතහොත් තුනී සළු පටකින් පමණක් වසාගෙනයි. මාර්ටින් වික්‍රමසිංහ ශූරීන්ගේ “පුරාණ සිංහල ස්ත්‍රීන්ගේ ඇඳුම්” නම් පොත කියවුවහොත් ඒ සඳහා ඕනෑතරම් සාක්ෂි සොයාගත හැකිය.

කෙසේ වුවද එක්දහස් නවසිය ගණන්වල මුල භාගයේ පටන් ශ්‍රී ලාංකීය සමාජයේ ස්ත්‍රියගේ භූමිකාව නිර්ණය කිරීම උදෙසා බලපවත්වන්නට ගත්තේ සැබෑ ශ්‍රී ලාංකීය, සාම්ප්‍රදායික ස්ත්‍රියට අදාළ මතවාදයක් නොවේ. එය (සැබෑ ආරිය සිංහල කත) මෙසේ විය යුතු යැයි අලුතෙන් කෘත්‍රිමව ඇති කළ මතවාදයකි. ස්ත්‍රියගේ නිදහස පිළිබඳව පුරුෂාධිපත්‍යයට එරෙහි මතවාදයක් හෝ කතිකාවක් එවකට අප රටේ ගොඩනැගී නොතිබිණි. එම නිසා ස්ත්‍රියගේ සමාජ කාර්යභාරය පිළිබඳව පුරුෂාධිපත්‍යය මූලික කරගත් බමුණු මතවාද පොදුවේ පිළිගන්නා සමාජයක් එක්දහස් නවසිය ගණන්වල මුල් කාලයේ පටන් ජනිත වී තිබුණු බව කිව හැකිය.

නවසිය තිස් ගණන්වල පවා මෙරට සමාජයේ කාන්තාව පාසල් ගියේ නම් ඒ කලාතුරකිනි. ස්ත්‍රිය රැකියා කිරීමට එරෙහිවද සමාජ තහංචි ඕනෑතරම් තිබිණි. එකල තිබූ මතවාදය අනුව ස්ත්‍රියක් රංගන ශිල්පයටත්, ගායන ශිල්පයටත් අවතීර්ණ වීම, පොදුවේ පිළිගත් සමාජ මතය අනුව අශිෂ්ඨ, දුස්සීල, නොහොබිනා වැඩකි. මෙම දුර්මතයේ නෂ්ඨාවශේෂ අදද සමාජය තුළ ශේෂව පවතී. මෙම සමාජ දුර්මත රජයමින් පැවැති අවධියේ රංගනයට ප්‍රවිෂ්ට වන්නට තරම් එඩිතර වූ ලක්ෂ්මී බායි මැතිනියගේ පටන් මේ දක්වා එම කාර්යය ඉටුකරන රංගන ශිල්පිනියන් පිළිබඳ සාකච්ඡා කිරීම මෙම ලිපියේ අරමුණයි. එක් අතෙකින් ඔවුන් කර ඇත්තේ ස්ත්‍රිය පිළිබඳව දුර්මත දුරලීම උදෙසා යුහුසුළුව වැඩකළ සමාජ ක්‍රියාකාරී ස්ත්‍රීන් කළා හා සමාන සමාජ කර්තව්‍යයකි.

ලක්ෂ්මී බායි 1913 දී උපත ලැබුවේ මුස්ලිම් පවුලක වැඩිමලා ලෙසය. කුඩා කාලයේ කළුතර නෑබොඩ පදිංචිව සිටි ඇගේ නම එවකට (කයිජා)ය. ඇගේ නිවස සමීපයේ සන්දානා චව්වු නම් ද්‍රවිඩ ගායිකාවක් විසුවාය. කුඩා කාලයේ කයිජා සන්දානා ගායනා කරන සැටි ඇයට වශී වී අසා සිටියාය. සන්ධානාගේ නිවසේ නිතර මධුවිත සහිත සාදයන්ද පැවැත්වුණු බව කියැවේ.

කයිජාගේ පියා, සන්ධානාගේ ගායනා අසනු පිණිස එම නිවසට යාම කයිජාට තහනම් කළේය. කයිජා එම නිවසට යෑමට දඬුවමක් වශයෙන් කයිජාගේ සීයා ඇයව දඬුකඳේ ගැසුවේය. එහෙත් තහංචි කිසිවකින් කයිජා වළක්වන්නට නොහැකි විය. ඇය රැඟුමටත් ගායනයටත් අවතීර්ණ වූවාය.

ඇය ටවර්හෝල් හිමිකාර එඩ්මන් සෙනෙවිරත්න ප්‍රමුඛ ආර්ය සිංහල නාට්‍ය සභාවට 1928 පමණ එක්වීමෙන් පසුව ඇගේ නම ලක්ෂ්මී බායි යනුවෙන් වෙනස් වන්නේය. ඒ වනවිට ඇය නාට්‍ය පුහුණුවට ආයේ ඇගේ දින 40 වයසැති නැගණිය වන උම්මා සල්වාද වඩාගෙනය. (එම නැගණිය පසුව දේවි සකුන්තලා නමින් කරළියට ආවාය)

රෝහිණී නාට්‍යයේ රෝහිණී චරිතයත්, රොඩී කෙල්ල නාට්‍යයේ රොඩී කෙල්ල චරිතයත් රඟපෑ ඇය රෝමියෝ ජුලියට් නාට්‍යයේ රෝමියෝ සහ ජුලියට් යන චරිත දෙකම රඟපා තිබේ. එසේම සිවම්මා ධනපාල නාට්‍යයේද සිවම්මා ස්ත්‍රී චරිතයත්, ධනපාල පිරිමි චරිතයත් ඇය රඟපෑමට සමත් වූවාය. රෝහිණී නාට්‍යයේද ඇය අතුල සෙනෙවිසේ රඟපා තිබේ.

ටවර් හෝල් නාට්‍ය නිසා ඈ කොතරම් ජනාදරයට පත්වීද  කිවහොත් නාට්‍ය ප්‍රේක්ෂකයා ඈ තම රථයෙන් බසිනු බලන්නට ටවර් ශාලාව සමීපයේ නැවති බලා සිටියේලු. ඈ රථයෙන් බසිත්ම මරදාන පුරා රැව්දෙන්නට ඔවුහු ලක්ෂ්මී බායි යනුවෙන් ඔල්වර හඬ නැගුවේලු. 1944 වර්ෂයේ පවා ඈ රැඟුම්, ගැයුම් වලින් මසකට රුපියල් 500කට වැඩි ආදායමක් ඉපැයූ බව කියැවේ.

මුල් කතා නාද චිත්‍රපටයේ රඟන්නට එවකට ලක්ෂ්මි බායිට ආරාධනා නොකිරීම ගැන කනස්සල්ලෙන් පසු වුවත් පසුකාලීනව ඇය රන්මුතු දූව, ගැටවරයෝ, සූර චෞරයා, සැමියා බිරියගේ දෙවියාය, වෙස්සන්තර යන චිත්‍රපටවල රඟපා තිබේ.

රූපසිංහ මාස්ටර් සහ ගවුස් මාස්ටර් සමඟ ඈ ගීත සියයකට අධික සංඛ්‍යාවක් ගායනා කර තිබේ. “පිට දීප දේශ ජයගත්තා” ඇගේ වඩාත් ජනප්‍රිය වූ ගීතයයි. අසූ ගණන්වල ගම්උදාවේ, වේදිකාවේ, රොම්ලස් සිල්වා සාලිය කුමරු ලෙස ගීත ගයද්දී ඇය අසෝක මාලා ලෙස ගීත ගැයුවාය.

දරුවන් 12 දෙනෙකු ලැබූ ඇයගේ දරුවන්ගෙන් 1983 වනවිට ජීවත්ව සිටියේ දරුවන් 4 දෙනෙකු පමණි. ඇයට වඩා වයසින් බාල ස්වාමියා 1983 රෝගාතුර වූ විට ඈ සතු ධනය සියල්ලම ඇය ඔහු වෙනුවෙන් වියදම් කළාය. 1993 සැප්තැම්බර් 23දා ඈ මිය යනවිට ඇය අවසන් වශයෙන් වාසය කළේ ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයා ලබාදුන්, ආමර් වීදියේ තට්ටු නිවාසයකයි. සියලු සමාජ තහංචි හා සටන් වැද ඈ රංගන දිවිය සාර්ථක කරගත්තා පමණක් නොව මෙරට නිළි පරපුරකට රංගනයට පිවිසෙන්නට ශක්තියත්, ධෛර්යයත් අභිමානයත් ලබා දුන්නාය.

ලක්ෂ්මී බායි නූර්ති නාට්‍යවලින් හිස දරා සිටි නිළි රැජින කිරුළ ඉන්පසු භාර ගන්නේ රුක්මණී දේවිය විසිනි. රුක්මනී දේවී කුඩාකලම ලක්ෂ්මී බායි, ඇනී බොතේජු, සුසිලා ජයසිංහ මෙන් ගීත ගායනා කරන්නට ඇත්නම් කියා සිහින මැව්වාය.

තමා රඟපෑමට පිවිසියේ “මොනවද ඔය ටීටර් කාරයෝ” යනුවෙන් රඟපෑම පාච්චල් කරන යුගයේ බව 1956 (මගේ ජීවන විත්ති) නම් පොතට රුක්මණී දේවී කියා තිබිණි.

1923 රම්බොඩ උපන් ඇය පල්ලියේ ගීතිකා ගායනයෙන් සිය කටහඬ හොඳින් ප්‍රගුණ කරගත්තාය. දෙමටගොඩ ශාන්ත මැතිව් විද්‍යාලයට ඇතුළත් වූ එවකට ඩේසි ඩැනියෙල්ස් නම් වූ ඇය එහි රංග ගත කළ “දේව දූතයෝ” නම් නාට්‍යයේ රඟපාමින් ගීත ගායනා කළාය.

1935 වෝල්ටර් අබේසිංහ නම් නාට්‍ය නිෂ්පාදකවරයා ඇයව රාමායණය නාට්‍යයේ සීතාගේ චරිතයට තෝරාගන්නා විට ඇයට වයස අවුරුදු 12කි. රෑපසිංහ මාස්ටර් සමඟ ඈ “සිරි බුද්ධගයා විහාරේ” ගීතය ගැයුවේ 1939 දීය. ඇගේ “ඩේසි” යන නම වෙනුවට ඇයට රුක්මණී නම යෙදුවේ රෑපසිංහ මාස්ටර්ය. මුලින් රුක්මණී වසුන්දරා යන නම භාවිත කළ ඇය පසුව රුක්මණී දේවි වූවාය.

පළමු කතා නාද චිත්‍රපටය වූ “කඩවුණු පොරොන්දුව” හි රංජනී චරිතයට තෝරාගන්නට පෙර ඇය, වෙස්සන්තර, සඳකිඳුරු, රාමායණය, අසෝකමාලා යන නාට්‍යවල රඟපා තිබිණි. ඇගේ රඟපෑම තරමටම ගායනාද ජනාදරයට පත්වූයේය. කපටි ආරක්ෂකයා චිත්‍රපටයේ (සන්ධ්‍යාවෙ ශ්‍රීය රම්‍යාරස පේනා) පෙරළෙන ඉරණම චිත්‍රපටයේ (ගලා කන්දේහි මතුවෙලා) හදිසි විනිශ්චය චිත්‍රපටයේ (ඕලු මලේහි සුදෝ සුදෝ) යන ගීත අද පවා අලුත් පරපුරෙන් දිනෙන් දින අලුත් වෙයි. පෙරකදෝරු බෑණා චිත්‍රපටයේ මොහිදීන් බෙග් සමග ගැයූ (රාණී එනකෝ නැගී....) ගීතයත්, (පෙම් මල් මාලා) ගීතයත් අදටත් අතිශය ජනප්‍රියය.

(ප්‍රවේශමෙන් යන්නකො මගේ සුදා) නම් චිත්‍රපටයේ රූගත කිරීම්වලදී ප්‍රවේශමෙන් යෑම කෙසේ වෙතත් ඇය හර්බට් එම්. සෙනෙවිරත්න සමග ගමන් කළ රිය පල්ලමකට පෙරළී ගස් දෙබලක නතර වූයේය. ඈ 1978 ඔක්තෝබර් 28 ජා-ඇල තුඩැල්ලේදී ගමන් කළ රථය ඉන්ධන බවුසරයක හැපුණු අවස්ථාවේදී ඇයට පල්ලමෙන් පහළට රථය පෙරලුණු අවස්ථාවේදී මෙන් දිවි රැකගන්නට නොහැකි විය. සමාජ අවලාද, සමාජ ගැරහීම් සියල්ල තිබියදී රංගනයට පිවිසි ඇය, පොදු ජනයා වෙතින් රංගනය ගැන දුර්මත කෙතරම් ඉවත් කළේදැයි ඇගේ මරණය ගැන කම්පා වූ අති විශාල සහෘදයාගෙන් දැනගත හැකි විය.

නිළි රැජිණ කිරුළ රුක්මණී දේවියගෙන් මාලිනී වෙත මාරුවෙන්නට පෙර පැවති අන්තර් කාලයේදී පුණ්‍යා හීන්දෙණිය සූක්ෂම චරිත රංගන කිහිපයක යෙදී ප්‍රේක්ෂක සිත් සතන් දිනාගත්තාය. අනුලා කරුණාතිලක බොහෝ සෙනෙහෙවන්ත චරිත රඟපාමින් ප්‍රේක්ෂක සෙනෙහස නොමඳව දිනාගත්තාය.

තම දෙවැනි චිත්‍රපටය රූගත කිරීමේදී තමාට හමුවූ ඩේසි අක්කා පසුව තම ආදරණීය මිතුරියක් වූ ආකාරය මාලිනී ෆොන්සේකා එක්තරා සම්මුඛ සාකච්ඡාවක විස්තර කර තිබිණි. එසේ රුක්මණී දේවියගේ යහගුණ ඇය හොඳින් එහි කියා තිබිණි.

ස්ත්‍රීන් රංගනයට පිවිසීම ගැන තිබූ දුර්මත වලට, සිනමා කලාව පිළිබඳව හා සමස්ත ස්ත්‍රිය පිළිබඳව තිබූ සමාජ දුර්මතවලට මාලිනී ෆොන්සේකා නම් නිළිය පහර දෙන්නේ සමාජ ක්‍රියාකාරීත්වය කථන මගින් හෝ ලිපි මගින් කරන්නා සේ නොවේ. ඈ එම කාර්ය ඉටුකරන්නේ විවිධ කාන්තා චරිත සූක්ෂමව රඟපෑම මගිනි. රඟපෑම යනු එක් එක් සමාජ තල නියෝජනය කරන චරිතයක් පිළිබඳ සූක්ෂම අර්ථකථනයන් වගත් එය ප්‍රේක්ෂක දැනුම, වින්දනය, අධ්‍යාපනය වර්ධනයට උරදෙන ක්‍රියා පිළිවෙළක් බවත් මාලිනී කියා දෙන්නේ රඟපෑම මගිනි. චිත්‍රපට 140කට වඩා රඟපෑ ඈ ලබාගත් සම්මාන ගැන කියන්නට මෙවැනි ලිපියක් ප්‍රමාණවත් නැත. 56 වාරයක් හොඳම නිළිය සම්මාන දිනා ඇති මාලනී 56 වාරයක් ඒ සඳහා නාමකරණයට අසුවී තිබේ. අප රටේ රංග ශිලිපිනියක් ප්‍රථම වරට අන්තර්ජාතික සම්මානයක් දිනාගන්නේ 1985 එයා දැන් ලොකු ළමයෙක් චිත්‍රපටයෙනි. මාලිනී එම සම්මාන දිනාගන්නේ නව යොවුන් යුවතියකගේ චරිතය සාර්ථකව රඟපෑ නිසාය. ඇගේ රංගන පරාසය ගැන සාර්ථකව හදාරන්නකුට සිනමාව ගැන ආචාර්ය උපාධියකට සුදුසු කෘතියක් කළ හැකිය.

පුරුෂාධිපත්‍යයට එරෙහි දුර්මතවලට ස්වර්ණා මල්ලවාරච්චි වෙතින් පහර වැදුණේ පුරුෂාධිපත්‍ය නිසා පීඩා විඳි ස්ත්‍රීන්ගේ චරිත ඉතාමත් සූක්ෂම ලෙස රංගනයේ යෙදීම මගිනි. දඩයම මීට හොඳම උදාහරණයකි. සුද්දීලාගේ කතාවද එසේමය.
අද සමාජයේ ස්ත්‍රී පීඩනයට එරෙහි කතිකාවන්, ස්ත්‍රිය ප්‍රචණ්ඩත්වයට භාජනය කිරීමට එරෙහි කතිකාවත් දැන් කරළියට පැමිණ තිබීම සතුටට කරුණකි. ලක්ෂ්මී බායි සහ රුක්මණී දේවී රංගනයට පිවිසි කාලයට වඩා දැන් සමාජය ප්‍රගතියක් අත්කරගෙන තිබේ. මේ ඒ වනවිට රංගනයේ ප්‍රවීණත්වය හිමි කරගෙන සිටින චාන්දනී සෙනෙවිරත්න, කෞෂල්‍යා ප්‍රනාන්දු වැනි රංගන ශිල්පිනියන් සමාජ වගකීම පිළිබඳ කතිකාවන්ට සහභාගි වී අදහස් ඉදිරිපත් කරන්නේ ඒ නිසාය.
එහෙත්, තම පවුලේ තතු පත්තරවලට සමාජ මාධ්‍යවලට කියා මේකප් එකෙන්ම ජනාදරයට පත්වන්නට උත්සාහ කරන, රංගනයේ හරය මෙතෙක් ඉගෙන නොගත්, ටෙලිනාට්‍ය නැරඹීම රසිකයාට එපා කළ නිළි පරපුරක්ද මතුවී සිටින බව කියන්නේ කනගාටුවෙනි.

I සමන් පුෂ්ප ලියනගේ