2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා

අඩෝට මඟ පෑදු ජනිත්ගේ බෝට්ටු ගමන

 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:31 267

ජනිත් අපිට මුණගැහෙන්නේ සුපුන් රත්නායක හරහාය. මේ දිනවල විකාශය වන ‘අඩෝ’ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයා වන්නේ ද මොහුය. හොර රහසේ බෝට්ටුවකින් ඉතාලියට යන්නට වෙර දරන තරුණ පිරිසක් වටා ගෙතුණු ‘අඩෝ’ ටෙලිනාට්‍යයේ බෝට්ටු ගමන සැබෑ අත්දැකීම් මාලාවක එකතුවකි. එම සැබෑ අත්දැකීම් මාලාවේ හිමිකරුවා නමින් ජනිත්ය. (නියම නම නොවේ)

එවකට ජනිත් අවුරුදු විසි හතරක තරුණයෙකි. ඒ 2013 වසරේදීය. මීගමුව ප්‍රදේශයේ කතෝලික වටපිටාවක හැදී වැඩුණු ඔහුට බලාපොරොත්තුවක් විය. එනම් රැකියාවක් සඳහා පිටරට යාමය. තම නිවෙස් අවට බොහෝ දෙනා ඉතාලිය වැනි යුරෝපීය රටවලට ගොස් මිල්ලෙ සොයා පැමිණෙද්දී, වාහන මිලදී ගෙන යුරෝපීය ජීවිත ගත කරද්දී, මෙම තරැණයා ද මෙවැනි රටකට ගොස් යම් රැකියාවක් කිරීමට හීන ඇහිඳින්නට විය.

ජනිත්ට රැකියාවක් නොවීය. අවුරුදු විසිහතරක් වන විට තම වයසේ සිටින ඇතැම් යහළුවන් රැකියාවල නිරත වෙද්දී, පුංචි ඉතාලියෙහි ජීවත් වුණු ජනිත් ද රැකියාවකට යාමට වෙර දැරීය.

“මට රට යන්න ඕනෙ”

ජනිත් නිතරම තම මව්පියන්ට ඇවිටිලි කරන්නට විය. මේ අතරේ ඔහුට යහළුවෙක් අපූරු යෝජනාවක් ගෙන ආවේය. එනම් බෝට්ටුවෙන් රට යාමය. එය ද හොර රහසේය. මෙය ඉතා අවදානම් ගමනක් විය. ආරංචිය ගෙන ආ ජනිත්ගේ යහළුවා මෙම ගමනට සියල්ල සැලසුම් කළේය. ජනිත් සමඟ තවත් යහළුවෝ හතර දෙනෙක් මෙම අවදානම් බෝට්ටු ගමනට සූදානම් වූහ. ගමනාන්තය වූයේ නවසීලන්තයයි.

“උඹට පිස්සුද? ඔය වගේ ගිහින් කී දෙනෙක් අතරමං වෙනවද?”

ජනිත්ගේ මව්පියෝ මෙම ගමනට දැඩි ලෙස විරුද්ධ වූහ. එහෙත් ඔහුගේ කෙළිලොල් හිතුවක්කාර හිතෙහි රුඳි නවසීලන්ත ගමන ඒ හැම අවවාදයක්ම යටපත් කරලීය. අවසානයේ අකමැත්තෙන් වුවද මෙම හිතුවක්කාර තරුණයාගේ මෙකී ගමනට ගෙදරින් අවසරය ලැබිණි.

හොර රහසේ බෝට්ටු ගමනෙහි නිරත ජනිත් ඇතුළු මිතුරු කණ්ඩායමට ශ්‍රී ලාංකිකයෝ හැටහය දෙනෙක් සහභාගි වූහ. මේ පිරිසට පිරිමි පාර්ශ්වය පමණක් නොව, දරුවන් දෙදෙනෙක්, තරුණියෝ කිහිපදෙනෙක් සහ එක් ගැබිනි කාන්තාවක් ද එක් වී සිටියහ. මෙයින් බොහෝ දෙනා දමිළ පිරිස වූහ.

හොර රහසේ නවසීලන්තයට යන ගමනට ජනිත්ට රුපියල් ලක්ෂ තුන හමාරක් වැය විය. නවසීලන්තයට පිරිස ගෙන යන ඇන්ටන් අයියාගේ සම්පූර්ණ මුදල වූයේ ලක්ෂ පහකි. ජනිත් ගමන යාමට පෙර ඇන්ටන් අයියාගේ අතට රුපියල් ලක්ෂ තුන හමාරක් ලබාදුනි. ඉතිරි මුදල නවසීලන්තයට ගොඩබැස්වූ පසු ලබාදීමේ පදනම මත සම්පූර්ණ මුදල එක් අයකුගෙන් ලක්ෂ පහකි. බෝට්ටුවේ යන මගීන් හැට හය දෙනාගෙන් ලැබෙන මුදල කොපමණදැයි ගණනය කළ නොහැක.

කෙසේ හෝ ජනිත්ට සිය හීනය කරා යාමට මව්පියෝ ලක්ෂ තුන හමාරක් ලබා දුන්හ. ඇතැම්හු ඉඩම් උගස් කොට, වාහන විකුණා මේ අවදානම් ගමනට මුදල් බැඳ සිටියහ. 2013 මාර්තු මාසයේ නවසීලන්ත ගමන යාමට දිනය උදාවිය. ජනිත්ට අහස උසට බලාපොරොත්තු ගොන්නක් විය. ඒ අතරේ හිතේ දෙගිඩියාවකි. නමුත් සියල්ල සැලසුම්සහගතව ක්‍රියාත්මක වන විට ජනිත් ගමන යාමට හිත හදාගන්නට විය. ඇන්ටන් අයියා කොළඹ ප්‍රදේශයේ එක්තරා පාළු තැනක සියලු දෙනා නතර කර තැබීය. මහ රෑ උදා විය. එම ස්ථානයේ සිට බස් රථයකින් ජනිත් ඇතුළු පිරිස ගමන ඇරඹූහ. එක් පාළු තැනක බස් රථය නතර විය.

“ඉක්මනට බඩු ටික අරගෙන අපි පස්සෙන් දුවගෙන එන්න”

සියලු දෙනාට විධානය ලැබිණි. තම තමන්ගේ ගමන් මලු ද රැගෙන බස් රථයෙන් බැසගත් ඔවුහු ඇන්ටන් අයියාගේ ගෝලයන් පසුපස වැටකෙයියා පඳුරු අතරින් වෙරළ දෙසට දිව ගියහ. ඇන්ටන් අයියාගේ තවත් ගෝල පිරිසක් වෙරළේ රැඳී සිටියහ. ඔවුන් මෙම පිරිස ඉක්මනින්ම තවත් කුඩා බෝට්ටු කිහිපයකින් මුහුදේ තිබූ ට්‍රෝලර් බෝට්ටුව වෙත රැගෙන ගියහ.

ට්‍රෝලර් බෝට්ටුවට ගොඩවුණු ජනිත්ට මුහුදට පැන නැවතත් නිවෙස බලා යාමට සිත් විය. මෙය මෙතරම් අවදානම් ගමනක් යැයි ඔහු නොසිතන්නට ඇත. මව්පියන්ගේ විරුද්ධ වීමට හේතුව ජනිත්ට අවබෝධ විය. මෙවැනි අවදානම් ගමනක් ගොස් කාසි පනම් සොයනවාට වඩා මීගමුවට එන විදේශිකයන්ට ‘ගයිඩ් බෝයි’ කෙනෙක් වූවා නම් කොයි තරම් අගනේදැයි ඔහුට සිතුණි.

නමුත් ඔහුට ආපස්සට හැරිය නොහැක. එක් අතෙකින් ලක්ෂ තුන හමාරක් ඇන්ටන් අයියාගේ සාක්කුවේය. අනෙක් අතින් ඒ වන විට ජනිත් ට්‍රෝලර් බෝට්ටුවට ගොඩ වී අවසානය. හිතූ තරම් ගමන සුන්දර නොවන්නක් බව එක් නිමේෂයකින්ම ඔහුට අවබෝධ විය. ජනිත්ගේ ඇස්වලින් කඳුළු කඩා හැළුණි. නමුත් ජනිත්ට ඒ වෙද්දී ගමන යනවා හැර කරන්නට වෙනත් දෙයක් ඉතිරිව නොතිබුණි.

මෙම ට්‍රෝලර් බෝට්ටුව මාළු ඇල්ලීමේ නිරත වන්නකි. බෝට්ටුවට නැගුණු සැණින් සියලු දෙනාම එහි මධ්‍යයේ වූ විශාල පෙට්ටියකට ගාල් කරනු ලැබූහ. මුහුදේ සිට ගොඩබිමට මසුන් රැගෙන එන මෙම කොටස පිළී ගඳකින් යුක්තය. පෙට්ටියෙහි කුඩා කවුළු දෙකක් විය. හැට හය දෙනකු තෙරපෙන මේ කුඩා කොටසෙන් පැමිණෙන සුළං පහර ඔවුන්ට දැනෙන්නේ ද නැත. බොහෝ දෙනා මෙහි කවුළුව අසලට යාමට පොර කන්නට වූහ. ඒ නිසාම එතැන එකම ගාලගෝට්ටියක් විය. සියල්ලෝම කෑ ගැසූහ. ඇතැමුන්ට පිළී ගඳ නිසා හිස රිදුම් දෙන්නට විය. තවත් පිරිසක් එහිම වමනය කළහ. ඇතැමුන්ට හුස්ම ගැනීමට ද අපහසු විය.

කවුළු සීමාව අයිති කර ගැනීමට ඇතැම්හු රණ්ඩු වූහ. දමිළ පිරිස වැඩි නිසාම ඔවුන් කවුළුවට ළං වී සිටීම නිසා අනෙක් පිරිසට සුළං පහර වැදීමට හෝ ඉඩක් නොවීය. ලංකාවේ මුහුදු සීමාව පසු කරන තුරු මෙම කොටසෙහි වූ කිසිවකු එළියට ගත්තේ ද නැත. මුහුදු සීමාව පසු කිරීමට දවස් දෙකහමාරක් පමණ ගත විය. ගැබිනි කාන්තාව හා දරුවන් දෙදෙනා පමණක් වෙනම කොටසක රඳවා තිබුණි. එය ස්කීපර්ගේ කොටසයි.

ජනිත් ඇතුළු පිරිසට මුල් දින කිහිපයේදී බිස්කට් වැනි කුඩා දෙයක් ආහාරයට ලැබුණි. ඔවුන්ට වැඩිපුර කෑම නොලැබුණි. බෝට්ටුව ගැස්සීමෙහි ඇති නුහුරුකම නිසාම බොහෝ දෙනකුට වමනය යන්නට විය. එම තත්ත්වය සීමා කරන්නට කෑම ද සීමා කෙරිණි. මේ නුහුරුකම නිසාම කිසිම කෙනකුට කෙළින් සිටගෙන සිටීමේ හැකියාවක් නොවීය. හිස කරකැවිල්ල, වමනය යාම නිසා බොහෝ දෙනා දුර්වල වූහ. බිස්කට්වලට අමතරව බීම පානයක් ද ලැබුණි. නමුත් ජලය ලැබුණේ ඉතාමත් සීමිත ප්‍රමාණයකි. ගමන දුර නිසාම ඔවුහු ජලය අරපිරිමැස්මෙන් බෙදා හැරියහ. දිනකට එක් මගියකුට එක් කුඩා කෝප්පයක ජලය පමණක් ලැබුණි. එය කිසිසේත්ම ප්‍රමාණවත් නොවීය. මේ නිසාම ඇතැමුන්ගේ තොලකට වියැළුණි.

ලංකාවේ මුහුදු සීමාව පසුකළ පසු මෙම පිරිසට රැඳී සිටි කොටසින් එළියට පැමිණ ලෑලි ගැසූ කොටසේ වාඩි වී සිටීමේ හැකියාව ලැබුණි. එතෙක් ඔවුන් සිටියේ තෙරපෙමින් මරණයත් සමඟ සටන් කරමිනි. ගමන ඇරඹෙන විට මුහුද සැරය. නමුත් මුහුද මැද එතරම් සැර බවක් නොවීය. ඒ නිසාම බෝට්ටුවට එතරම් ගැස්සීමකින් තොරව හෙමින් ගමන් කිරීමට හැකි විය. මේ නිසාම ජනිත් ඇතුළු පිරිස එක්ව බෝට්ටුවේ කෑම පිසූහ. ඒ සඳහා කරවල, හාල්, ගෑස් ඇතුළු කුළුබඩු ප්‍රමාණවත් ලෙස තිබුණි.

මෙම ට්‍රෝලර් බෝට්ටුවේ මසුන් ඇල්ලීමට ධීවරයෝ හය දෙනෙක් හෝ හත් දෙනෙක් පමණක් ගමන් කළහ. එවැනි සුළු ප්‍රමාණයක් ගමන් කරන බෝට්ටුවක හැට හය දෙනකුට අධික පිරිසක් ගමන් කිරීමේදී බෝට්ටුව පාලනය කිරීම ද එතරම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. ඇතැම් දමිළ මගීන් සිංහල භාෂාව දැන සිටියේ නැත. හැට හය දෙනා කණ්ඩායම් කිහිපයක එකතුවකි. මේ නිසාම ඇතැම්හු බෝට්ටුවේ තැන් තැන්වලට ගොස් කතාබහ කරති. මේ නිසා බෝට්ටුව පාලනය කිරීමට ද අපහසුය. ස්කීපර් කිහිප වතාවක්ම කෑගසමින් පිරිස පැති දෙකකට වන්නට වාඩිකර බෝට්ටුව ධාවනය කළේය.

මෙවැනි අවදානම් බෝට්ටුවක සිටින මගියකු යම් හෙයකින් මියගියහොත් එක්වරම මළසිරුර උස්සා මහ මුහුදට අතහැරීම සිරිතය. නමුත් වාසනාවකට ජනිත් ගමන් කළ ට්‍රෝලර් යාත්‍රාවේ එවැනි අවාසනාවන්ත දෙයක් සිදු නොවීය. නමුත් බෝට්ටුව ෆයිබර් යොදා නිෂ්පාදනය කිරීම නිසා එහි ඇති කුඩා කෙඳි ශරීරයට විෂ වී ශරීරයේ කුඩා බිබිලි මතු වූ අවස්ථා ද එමටය. ජනිත්ගේ ශරීරයේ ද එවැනි බිබිලි කිහිපයක් මතුවිය. ඒවා පැසවා තිබිණි. ලුණු ජලය වැදීම නිසා ශරීරය තවත් අපහසුතාවයට පත් විය. නමුත් මේ කිසිදු රෝගයකට බෝට්ටුව තුළදී ප්‍රතිකාරයක් නොලැබුණි. මගීන්ගේ ගමන් මලුවල තිබුණු ආලේප මගින් ඒවාට යම් තරමක සුවයක් ලැබුණි.

මගීන් රැගත් ට්‍රෝලර් බෝට්ටුව නවසීලන්තයට ළඟා වීමට දින 14 ක් හෝ 15 ක් ඉලක්ක කරගෙන තිබුණි. නමුත් මේ සඳහා බෝට්ටුවට දින විසි තුනක් ගත විය. එයට හේතු කිහිපයක්ම විය. ප්‍රධාන හේතුව වූයේ ප්‍රධාන ස්කීපර්ගේ වැටුප් මුදල ඔහුගේ නිවෙසට බාර නොදීම හේතුවෙන් ඔහු බෝට්ටු ගමන මහ මුහුදේ නතර කිරීමය. තම මුදල නිවෙසට ලැබෙන තුරු ඔහු බෝට්ටුව ධාවනය නොකිරීමට තීරණය කළේය. මේ නිසාම දින දෙකක් හෝ තුනක් මුහුද මැද බෝට්ටුව නතර විය. බෝට්ටුව මුහුද මැද නවතා තිබියදී එය ඉදිරියට ධාවනය වූ ප්‍රමාණයට නොදැනීම සුළඟේ වේගය හා රළ වේගය නිසාම බෝට්ටුව ආපස්සට යයි. මේ නිසාම බෝට්ටුව මුහුද මැද නතර වුණු කාලය සැබැවින්ම අපතේ යාමකි.

ගමනේ අවසන් අදියර වනවිට ජනිත් රැගත් ට්‍රෝලර් බෝට්ටුව කුණාටුවකට හසුවිය. රැල්ල වැඩිවීමත් සමඟ බෝට්ටුව අධික ලෙස ගැස්සීමට ලක් විය. ඇතැම්විට පිරිස රැගත් බෝට්ටුව එකවරම ඉහළට එසවී නැවත මුහුදට වැටුණු අවස්ථා ද විය. මේ වන විට ජනිත්ට මරබිය දැනෙන්නට විය. “මේ අවදානම් ගමන ඒම මෝඩකමක්” යැයි ඔහුට සිතුණි. නමුත් කිරීමට කිසිවක් නොවීය. කුණාටුවත් සමඟ බෝට්ටුව රැල්ල දෙසට ධාවනය විය. ඒ නිසාම නවසීලන්තය වෙත ගිය ට්‍රෝලර් බෝට්ටුව අවසානයේ ළඟා වූයේ ඔස්ට්‍රේලියානු සීමාවටය.

ඔස්ට්‍රේලියානු දේශසීමාව ඉක්මවූ ට්‍රෝලර් බෝට්ටුව ඔස්ට්‍රේලියාවේ එක්තරා තැනකට සේන්දු විය. එහිදී ට්‍රෝලර් බෝට්ටුව ඔස්ට්‍රේලියානු අත්අඩංගුවට පත් විය. ඔස්ට්‍රේලියානු පොලීසිය ජනිත් ඇතුළු පිරිස බෝට්ටුවෙන් ගොඩට ගෙන පසුව ඔවුන්ට කෑම බීම ලබා දෙනු ලැබීය. ඔවුහු මේ සියලු දෙනාගේම වෛද්‍ය වාර්තා ලබා ගත්හ. පසුව පර්සිවල පිහිටි කඳවුරක මොවුන් රඳවනු ලැබූහ. දින එක හමාරක් පමණ කෑම බීම, ඇඳුම් ලබා දෙමින් ජනිත් ඇතුළු පිරිස එම කඳවුරේ ආරක්ෂාකාරීව රඳවනු ලැබීය. දෙදෙනකුට එක කාමරයක් බැගින් හිමි විය. එහි තවත් ලාංකික බෝට්ටු කිහිපයකින් අත්අඩංගුවට ගෙන රැඳවූවෝ ද වූහ.

දින එකහමාරකට පසුව ජනිත් ඇතුළු පිරිස පැය හතරක් තුළ ගුවන් මාර්ගයෙන් නැවතත් දූපතක තිබූ කඳවුරකට රැගෙන යනු ලැබූහ. එය ඉතා කුඩා කඳවුරකි. එහි ද දිනක් රඳවනු ලැබීය. පසුව ජනිත් ඇතුළු පිරිසගෙන් තනි තනිව ප්‍රශ්න කරනු ලැබීය. “නවසීලන්තයට යන්න ගියේ. බෝට්ටුව කැඩුණු නිසා ඔස්ට්‍රේලියාවට ආවේ” ට්‍රෝලර් බෝට්ටුවේ සිටි සැමගේ පිළිතුර එකම විය.

දින දෙකකට පසුව දැන්වීම් පුවරුවේ අංක පේළියක් සඳහන් විය. ඔස්ට්‍රේලියානු අත්අඩංගුවට පත්වූ මොහොතේම ජනිත් ඇතුළු මගීන් සියල්ලටම අංකයක් ලැබුණි. බෝට්ටුවට සහ මගියාට වෙන් වෙන්ව අංක ලැබුණි. ඒ අනුව ජනිත්ගේ අංකය 667-27 විය. දැන්වීම් පුවරුවේ තිබූ අංක පේළියේ ජනිත්ගේ අංකය ද විය. ඒ අනුව ලංකාවට පිටුවහල් කළ පිරිස අතරට ජනිත් ද අයත් විය. ඔහුගේ මිතුරන් දෙදෙනකුට ද, ගැබිනි කාන්තාව, ඇගේ සැමියා ඇතුළු කිහිප දෙනකුට ද ඔස්ට්‍රේලියාවේ රැඳී සිටීමට අවසර ලැබිණි.

අවසානයේ ලක්ෂ තුන හමාරක් වියදම් කොට ජීවිත අවදානමක් ගෙන මුහුදු ගමනක නිරත වූ ජනිත් දින කිහිපයකට පසුව කිසිදු මුදලක් නොමැතිව ලංකාවට පැමිණියේය. 2013 වසරේදී ලංකාවට පැමිණි සැණින් හොර රහසේ නවසීලන්තයට යාමට උත්සාහ කිරීම හේතුව මත ජනිත් ඇතුළු පිරිසට නඩු පැවරුණි. වසර ගණනාවක් පුරා පැවැති එම නඩුව අවසන් වූයේ මීට මාස තුනකට ඉහතදීය. ඒ රුපියල් පනස් දහසක ඇප මත නිදහස් වීමත් සමඟය.

අදටත් ජනිත් රට යන සිහිනය අතහැර නැත. නමුත් ඒ නීත්‍යානුකූලවය. නොබෝ දිනකින් එම සිහිනය සැබෑ කර ගැනීමට හැකිවනු ඇතැයි ඔහු බලාපොරොත්තු තබා සිටියි.

 විශේෂ ස්තූතිය 
 සුපුන් රත්නායක මහතා

► දිශානි ජයමාලි කරුණාරත්න

 2020 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 12:29
 2020 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2020 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 06:07